අපි දැන් ත්‍රීවීල්කාරයෝ නෙවෙයි

 ඡායාරූපය:

අපි දැන් ත්‍රීවීල්කාරයෝ නෙවෙයි

“අපි මිනිස්සුන්ට කොච්චර උදවු කළත් වැඩක් නැහැ. අපි ගැන සමාජය බලන්නේ වපර ඇහින්. අපිට කතා කරන්නේ ත්‍රීවීල්කාරයො කියලා. ඒත් අපි දැන් ත්‍රීවීල්කාරයෝ නෙවෙයි. අපි දැන් ඉලෙක්ට්‍රීෂියන්ස්ලා.”

මේ කතාවට මුල පිරුවේ නුවරඑළිය නගරයේ වසර විස්සකට අධික කාලයක් ත්‍රිරෝද රථ රියැදුරෙක් ලෙස සේවය කරන සුරංග එදිරිවීරයි.

සුරංග කියන අකාරයට ඔවුන් අද වන විට වෘත්තියවේදීන් බවට පත් වූයේ කෙසේදැයි සොයා බැලීමට අපි තීරණය කළෙමු.

ශ්‍රම බලකායේ දස ලක්ෂයක්

මේ වන විට ලංකාවේ මෙරට ත්‍රිරෝද ලක්ෂ දොළහක් පමණ ඇති අතර එවායින් දස ලක්ෂයක් පමණ මගී ප්‍රවාහනයේ නිරත වෙයි. රැකියා විරහිතව සිටින තරුණය‍න් හට ඉතා සුළු මුදලක් ආයෝජනය කොට ඉතා කෙටි කාලයකින් ත්‍රිරෝද රථයක් ලබා ගැනීමට හැකි නිසා මෙන්ම මෙම වෘත්තියට පිවිසීමට වෙනත් වෘත්තිය සුදුසුකමක් අවශ්‍ය නොවන නිසා බොහෝ දෙනෙක් මේ වෘත්තියට නිරන්තරයෙන් පිවිසෙති. මෙහි ඇති බැරෑරුම් කාරණය වන්නේ මේ වන විට මෙරට ශ්‍රම බලකායෙන් සෑම පුදගලයන් නව දෙනකුගෙන්ම එක් අයකු ත්‍රිරෝද රථ රියැදුරකු වීමයි.

වසරකට ශ්‍රම පැය මිලියන 6500ක්

එසේම දෛනිකව පැය අටක සේවා කාලයක් වෙනුවෙන් ත්‍රිරෝද රථ නැවතුම් පොළවල් වෙත ඇදෙන මේ රියදුරන් සැබෑ ලෙසම තම වෘත්තියේ නිරත වන්නේ දිනකට පැය දෙකක් පමණක් වන අතර අනෙක් පැය හය ඔවුහු සමාජ ජාලා වෙබ් අඩවිවල මෙන්ම එකිනෙකා සමඟ නොයෙක් වල්පල් දොඩවමින් ගෙවා දමති. දිනකට දස ලක්ෂයක් පමණ වන ත්‍රීවීල් රථ රියදුරන්ගෙන් ශ්‍රම පැය මිලියන හයක් රටට අහිමි වන අතර එය වර්ෂයකදී මිලියන හයදහස් පන්සියක් පමණ වෙයි. මෙය සුළුකොට තැකිය නොහැකි තත්ත්වයකි.

සමාජ ආකල්පය හා ජනප්‍රියත්වය

ත්‍රිරෝද රථ මෙරට සංස්කෘතියට මෙන්ම සමාජයට බලපෑම් එල්ල කිරීමට සමත් උප සංස්කෘතියක් බවට මේ වන විට පත්ව ඇත. ත්‍රිරෝද රථ රියදුරන් නිහඬව සමාජයට විශාල සේවයක් සිදු කරනු ලබන අතර මධ්‍යම පාන්තිකයන්ට මෙන්ම දිළින්දන්ගේ දෛකින අවශ්‍යතාවන් බොහෝමයකදී පිහිටට සිටින්නේද ත්‍රිරෝද රථ රියැදුරන්ය. ඉතා අඩු මුදලකට කඩිනමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත හැකි වීමද ත්‍රිරෝද රථය ජනප්‍රිය වීමට බොහෝ සෙයින් බලපා ඇත.

එසේම සමාජයේ සිදුවන බොහෝ අහිතකර හා සමාජ විරෝධී ක්‍රියාවන්හිද වැඩි වශයෙන් වරද පැටවෙන්නේ ත්‍රිරෝද රථ රියදුරන්හටය. මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ඉතා සුළු පිරිසක් සිදු කරනු ලබන සමාජ විරෝධී ක්‍රියා නිසා සමස්තයටම එම ලේබලය ඇලවී තිබීම කනගාටුදායකය.

අනෙක් අතට දෛනිකව වැඩිවන රථවාහන අනතුරු බොහොමයක වගකීම පැවරෙන්නේද ත්‍රිරෝද රථ වෙතය. ඒ කෙසේ වුවත් මේ වන විට ත්‍රිරෝද රථය අප කා හටත් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත.

රියැදුරන්ට වෘත්තිය පුහුණුව

මේ වන විට සමාජයේ විශාල කතාබහකට ලක්ව ඇති ත්‍රීවීල් ක්‍රියාකාරිත්වය මෙන්ම දෛනිකව හා වාර්ෂිකව රටට අහිමි වන ශ්‍රම පැය ගණන ඵලදායි ලෙස රටේ සංවර්ධනයට යොදා ගැනීමේ කාර්යභාරය මේ වන විට ජාතික අධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් ආරම්භ කොට ඇත. මෙම අධිකාරියේ වත්මන් සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ මඟපෙන්වීම අනුව ත්‍රීවීල් එකෙන් ෆෝවීල් එකට යන සංකල්පය යටතේ ත්‍රිරෝද රථ රියදුරන්හට වෘත්තිය පුහුණුව නොමිලේ ලබා දීම සිදු කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසුවේ මෙවැන්නක්.

“සමහරු ත්‍රීවීල් කියන්නේ සමාජයට ප්‍රශ්නයක් කියලා කියනවා. ඒත් අපිට ඒ අය එකවර මේකෙන් අයින් කරන්න බැහැ. රැකියා විරහිත තරුණයෝ බොහෝ අය සුළු මුදලක් ආයෝජනය කරලා මේ රැකියාව කරන්න පුළුවන් නිසා ඉක්මනට මේකට යොමු වෙනවා. ඉතින් ඒ අය මේකෙන් අයින් කරන්න නම් අපි මුලින්ම ඒ අයගේ ආර්ථිකය සංවර්ධනය කරන්න ඕනේ. ඒකට තමයි අපි නියෝජ්‍ය ඇමතිතුමාගේ උපදෙස් අනුව මේ වෘත්තිය පුහුණුව පටන් ගත්තේ.

අලුත්ම ඇප් එකක්

“අද වෙද්දි ත්‍රීවීල් පාරක් එකට යන පුද්ගලයෙක් දවසකට වැඩ කරන්න තියෙන පැය අටෙන් පැය දෙකක් විතරයි වැඩ කරන්නේ. අනිත් පැය හයම නිකන් ඉන්නේ. මේ අය තමයි ශ්‍රම බලකායේ ඉන්න හොඳටම වැඩ කරන්න පුළුවන් අය. මේ අය මෙහෙම නිකන් කාලේ නාස්තිකරන එක අපරාධයක්. අපි මේ අයට නයිටා එකෙන් විදුලි කාර්මික ශිල්පය, වඩු කර්මාන්තය, පෑස්සුම් ශිල්පය, පයිප්ප කාර්මික වගේ ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තිය පුහුණුවක් ලබා දෙනවා.

“ඒ අයට කණ්ඩායමක් විදිහට තමන්ට පුළුවන් වෙලාවට නයිටා එකට ගිහින් මේ වෘත්තිය පුහුණුව ලබා ගන්න පුළුවන්. අපි ඒ අයට පිළිගත් සහතිකයක් දෙනවා. ඒ වගේම අපි ඒ අයගේ වෘත්තිය ඇතුළුකරලා ෆෝන් ඇප් එකක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ගෙදරක වයරින් හෝ ජලනල කාර්මිකයෙක් හරි ඕනේ නම් ඉක්මනින් ඒ ඇප් එකෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම හයර් නැතිව පාර්ක් එකේ නිකන් ඉන්න වෙලාවට ඒ අයට වෙනත් වෘත්තියක යෙදිලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් මේ අයගේ ආර්ථිකය වර්ධනය වුණාම ඒ අයට ත්‍රීවීල් එකෙන් රොද හතරේ වාහනයකට මාරු වෙන්න පුළුවන්.” සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

නයිටා ආයතයන මඟින් ආරම්භ කරන ලද මෙම වෘත්තිය පුහුණු වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය නුවරඑළිය දිස්ත්‍රික් ජාතක ආධුනිකත්ව සහා පුහුණු කිරීමේ අධිකාරි කාර්යාලයේදී ආරම්භ කරන ලද අතර එය මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ තිබේ. මෙහිදී මුලින් අප හා අදහස් දැක්වූ සුරංග මෙම වෘත්තිය පුහුණුව ලබන රියැදුරු කණ්ඩායමේ සාමාජිකයෙකි.

“මගේ පෞද්ගලික මතය නම් මේ වෘත්තිය පුහුණුවත් එක්ක අපි ගැන සමාජයේ තියෙන ආකල්පය වෙනස් වුණා. මම මෙහේ විදුලි කාර්මික ශිල්පය හදාරනවා. මෙතනට එනකොට මම දන්නේ හෝල්ඩරයකට වයර් එකක් සෙට්කරන්න විතරයි. දැන් මට ගෙයක් වයරින් කරන්න පුළුවන්. මට මේකෙන් හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. ඇත්තටම මේක හොඳ වැඩක්. අනිත් ත්‍රීවීල්වල ඉන්න අයත් මේවට සම්බන්ධ වෙනවා නම් මම හිතනවා එක ගොඩාක් වටිනවා කියලා.” ත්‍රිරෝද රථ රියැදුරෙකු වන විජිත බංඩාර මහතා පවසයි.

දරුවන්ටත් ආඩම්බරයක්

“මම ඉලංගොවන්. දැන් අවුරුදු දාහතරක් තිස්සේ කඳපොළ වීල් දුවනවා. මම ඉස්කොලේ ගිහින් ඉවර වුණු ගමන් නයිටා එකේ පුහුණුව ලැබුවා නම් මට ත්‍රීවීල්කාරයා කියන්නේ නැහැ කවුරුවත්. එහෙනම් මම මේ වෙද්දිත් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්. මම නයිටා එකට ස්තුතිවන්ත වෙනවා මට අවුරුදු පනස් හතරක් වෙද්දි හරි මේ තත්ත්වයට එන්න අත දුන්නු එක ගැන. ඇත්තටම මටත් මගේ දරුවන්ටත් දැන් ආඩම්බරෙන් කියන්න පුළුවන් ‘මගේ තාත්තා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්’ කියලා. මම ත්‍රීවීල් වැඩකරන හැමෝටම කියන්නේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන නයිටා එකට ගිහින් මේ නොමිලේ දෙන වෘත්තිය පුහුණුව අරගෙන දියුණු වෙන්න කියලා.”

නුවරඑළිය නයිටා ආතනයේ මේ වන විට ගෘහස්ත විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් තිස් දෙනකුගේ කණ්ඩායමක් සිටිති. අම්පාර කල්මුණේ ආදී දිවයින පුරා පිහිටි නයිටා අයතනවලද විවිධ වෘත්තිය පුහුණු ලබන ත්‍රිරෝද රථ රියදුරන් විශාල පිරිසක් සිටිති.

ජයන්ත රණසිංහ යනු එලෙස වෘත්තිය පුහුණුව ලබන තවත් එක් රියැදුරෙකි.

“අපි ඇත්තටම වීල් පාර්ක් එකට වෙලා හයර් නැතිවෙලාවට වල්පල් දොඩවන එක තමයි කරන්නේ. ඇත්තටම මේ වගේ ආකල්පයක් අපි ගැන නයිටා එකට ඇතිවුණු එක ගැන මට සතුටුයි. අපි පැය දෙකක් වීල් එක දුවලා පොඩි ගාණක් අරන් දවසම ගෙවලා ගෙදර යනවා. දැන් මේ පුහුණුවත් එක්ක හයර් දුවන ගමන් වයරින් කරන්න පුළුවන් තැන් හොයාගත්තා නම් අමතර රුපියල් දෙදාහක් විතර හොයා ගන්න පුළුවන්. ඒකෙන් මුදල් වගේම අපිට ලැබෙන වෘත්තීය තත්ත්වය ගොඩාක් වටිනවා.”

ත්‍රීරෝද රථ රියදුරන්හට වෘත්තීමය තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ නයිටා නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරු

යූ. ඩී. එච්. ද සිල්වා මහතා විසිනි. ඔහු තවත් වටිනා යමක් සමාජයට එක් කරන්නට අදහස් කරයි.

පාසල් බස් රියදුරන්ටත් පුහුණුවක්

“මේ වෙනකොට පහළොස් දෙනා ගානේ කණ්ඩායම් දෙකක් විදුලි කාර්මික පුහුණුවේ අවසන් අදියරේ ඉන්නවා. නුවරඑළියේ ස්ථාන කිහිපයකම විදුලි කාර්මික ශිල්පය වගේම තවත් වෘත්තීය පුහුණු පාඨමාලා පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාසල් බස්රථ රියදුරන්ගෙත් විශාල කාලයක් අපතේ යනවා. ඒ අයත් මේ වගේ දෙයකට යොමු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි ත්‍රිරෝද රථ රියැදුරන්ට අරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.”

ත්‍රිරෝද රථ මෙන්ම රියදුරන් නිසා සමාජයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳවම කතා කරමින් නොසිට ඔවුන්ද රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීම පිණිස රජය මැදිහත්ව සිදුකරනු ලබන මෙවැනි වැඩසටහන් අගය කළ යුතුය. එම රියැදුරන්ද තමන්ට ලැබුණු මෙම අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සුක විය යුතුය.

[චන්දන තිලක්. ද සිල්වා]

මාතෘකා