ලොව ජය ගන්නට දරුවන්ගේ සවන පිනවන ගුරු මව

 ඡායාරූපය:

ලොව ජය ගන්නට දරුවන්ගේ සවන පිනවන ගුරු මව

“මට ඔබිනා මතු රැකෙනා ශිල්පයමයි උගත මනා” යනුවෙන් අපූරු වෙනස් වචන පේළියක් තිබෙන්නේ මහරගම ගුරු විද්‍යාලයේය. “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” කියන සාම්ප්‍රදායික තත්ත්වයෙන් මිදුණු රැඩිකල් කතාවක් එහි වෙයි. 'ඔබට දෙවියෙක්‌ වන්නට බැරිනම් හොඳ ගුරුවරයකු වන්න' යනුවෙන් කියමනක්‌ ඇත.

ගුරුවරයා යනු කවරෙක්ද? ජීවිත ගොඩ දැමීම වෛද්‍යවරයකුට කළ හැකිය. හැබැයි ආත්මය ගොඩදැමිය හැක්කේ ගුරුවරුන්ටය.

මේ කතාව එවැනි අපූරු ගුරුවරියක ගැනය.

"ඇහෙන්නේ නැති ළමයින්ට ඉගැන්වීම ආරම්භ කරලා දැන් වසර 50ක් විතර වෙනවා. මම වෙන වැඩක් මගේ ජීවිතේ කරලම නැහැ." ග්‍රේටා නාලවත්ත නම් වූ ඇය එසේ කියා සිටියාය.

ඇය ස්වේච්ඡාවෙන් කළ එම සේවයට උපහාරයක් වශයෙන් මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ සම්මානයකින්ද පිදුම් ලැබුවාය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පිරිස ලක්ෂ තුනකට වැඩිය. ශ්‍රවණ ඌනතාව නිසාම බොහෝ දෙනකුට වාචික සන්නිවේදනය අපහසු වීම සාමාන්‍ය දෙයක් වුවත් ග්‍රේටා නාලවත්ත සොයුරියගේ අරමුණ එම තත්ත්වය වෙනස් කිරීමය.

"මේ ලෝකේ කිසිම ළමයෙක් සම්පූර්ණයෙන්ම බිහිරි නැහැ. ඇහීම ටිකක් හරි තියෙනවා. ළමයාට උගන්වන්න ඕනේ ඒ තියෙන ඇහීම පාවිච්චි කරන්න ශ්‍රවණ උපකරණයක් භාවිත කරලා. බිහිරි ළමයින්ට තියෙන්නේ භාෂා ප්‍රශ්නයක්. ඇහෙන්නේ නැති නිසා කතා කරන්න බැහැ. ඒ නිසා අපි කරන්න ඕනේ ශ්‍රවණ උපකරණයක් භාවිත කරලා ඔවුන්ට කතා කරන්න පුරුදු කරන එකයි." ඇය ප්‍රකාශ කළාය.

මේ සඳහා ඇය කිසිදු මුදලක් අය නොකරන්නීය.

"ගොඩක් දෙනෙක් කරන්නේ ළමයකුට ඇහෙන්නේ නැහැ කියල දැන ගත්තම මුකුත් කතා කරන්නේ නැතුව සංඥා භාෂාව පටන් ගන්නවා. එතකොට ඒ ළමයට කිසිම වචනයක් දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ කියලා දැනගත්ත විට කරන්න තියෙන්නේ ශ්‍රවණාධාර උපකරණයක් පලඳවන එක."

ශ්‍රවණ ඌන දරුවන්ට හැකි තරම් ශබ්ද ඇසීමට සැලැස්වීමකින් තොරව භාෂාව වර්ධනය කර ගැනීමට නොහැකි බව පවසන ග්‍රේටා නාලවත්ත සොයුරිය, ඒ සඳහා නවීන තාක්ෂණික ශ්‍රවණ උපකරණ භාවිතය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන්නීය.

"මේ අධ්‍යාපනය පටන් ගන්නවා නම් පුංචිම කාලේ පටන් ගන්න ඕනේ. මාස 8න් අවුරුද්දෙන් වගේ ඒක කළ යුතුමයි. එතකොට ළමයින්ව හොඳ තැනකට ගේන්න පුළුවන්." ඇය කියා සිටියාය.

කතෝලික සොයුරියක් ලෙස ග්‍රේටා නාලවත්ත තම ඉගැන්වීම් මුලින්ම ආරම්භ කරන්නේ රාගම බිහිරි පාසලෙනි. නමුත් කෙටි කලකින් ඇය එයින් ඉවත් වන්නේ ශ්‍රවණ ඌන ළමුන්ට කථනය ඉගැන්වීමේ මූලික අරමුණ සහිතවය.

"කාලයක් ගියාම මට හිතුණා ළමයින්ට එතනම ඉඳල උගන්නන්න බැහැ කියලා. මොකද ඉඟි භාෂාව කරන තැනක කතා කරන එක උගන්වන එක අමාරුයි. ඊට පස්සේ මට ශිෂ්‍යත්වයකින් ජපානෙට යන්න හම්බ වුණා. ඉගෙනගෙන ඇවිල්ල තමයි වෙනම තැනක් පටන් ගන්න ඕනේ කියලා හිතුණේ. මොකද මේ ළමයි කතා කරන්නේ නැති වුණාම සමාජයෙන් කොන් වෙනවා. සංඥා භාෂාව දන්නේ සීමිත පිරිසයි. මම ගොඩාක් දුක් වින්දා. නමුත් මට ගොඩාක් සතුටුයි අද මගෙන් ඉගෙන ගත්ත ළමයි, සාමාන්‍ය ළමයි වගේ සමාජයේ ඉහළ තැන්වල ඉන්නකොට. උපාධිධාරීන් ගණනාවක් ඒ අතර ඉන්නවා." ඇය කියා සිටියාය.

සිය පල්ලියේ පියතුමන්ගේ හා දානපතියන්ගේ දායකත්වයෙන් වසර 37කට පෙර මෙම ශ්‍රවණ ඌන ළමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය ආරම්භ විය. එය මේ වන විට පවත්වාගෙන යන්නේ කැලණිය ප්‍රදේශයේය. ඉන් අධ්‍යාපනය ලබා ඇති ශ්‍රවණාබාධිත ළමුන්ගේ සංඛ්‍යාව දහස් ගණනකි.

කුඩා වයසේ පසුවන දරුවන් සඳහා ශ්‍රවණ හා කථන අභ්‍යාස ලබාදී ඔවුන්ට වසර 5ක් සම්පූර්ණ වන විට සාමාන්‍ය පාසලකට ඇතුළත් කිරීමට හැකි දරුවකුගේ මට්ටමට ගෙන ඒම මෙම පාසලෙන් සිදු කෙරෙයි.

"මේ ඔක්කොම ළමයි ඉස්කෝලේ ගිහිල්ලා සාමන්‍ය ළමයි වගේ ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මගේ වැඩසටහන. ඒකට තමයි මේ තැන පටන් ගත්තේ. මෙතන ඉගෙන ගන්න සියලු විෂය නිර්දේශ මම හදපු ඒවා. ගුරුවරුන් පුහුණු කරන්නෙත් මම.

මෙතැනට ළමයින් බාර ගන්නේ ඉතාම කුඩා අවධියේ සිටයි. නමුත් ඔවුන්ගේ අම්මලත් සමඟයි අපි ඒ දරුවන් බාර ගන්නේ. අම්මා නැතිව තනියෙන්ම අපි දරුවන් බාර ගන්නේ නැහැ. මගේ ක්‍රමය අම්මා ළමයාගෙනුත්, ළමයා අම්මාගෙනුත් ඉගෙන ගැනීම. මොකද මේ ළමයි ඉස්කෝලෙදි වගේම ගෙදරදීත් ඉගෙන ගන්න ඕන. විද්‍යාත්මක සහ නව තාක්ෂණික ක්‍රමවලින් ඒ දරුවන්ට ඇසීමට සහ කතා කරවීමට අපි මහන්සි ගන්නවා." ඇය කියා සිටියාය.

පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් සාමූහිකව තීරණ ගෙන පවත්වාගෙන යනු ලබන මෙය හැඳින්වෙන්නේ ‘ප්‍රජා පාසලක්’ ලෙසිනි.

"මට ඕනේ මේ රටේ ඇසීම නැති එකම ළමයෙක්වත් කොන් වෙන්නේ නැති තත්ත්වයක් ඇති කරන්න. මම මගේ සම්පූර්ණ ජීවිතයම ඒ සඳහා කැප කළා. මම ඒ ගැන තෘප්තිමත්. නමුත් ලංකාවේ ඇසීමේ ගැටලු තියෙන හැම ළමයකුටම මෙතනට එන්න බැහැ. ඒ නිසා මම උත්සාහ කරනවා මේ දැනුම, ක්‍රමවේදය බෙදා ගන්න." ඇය කතාබහ අවසන් කරමින් කියා සිටියාය.

මෙම ප්‍රජා පාසල තුළ ජාති, කුල, ආගම් භේද නොමැත. ග්‍රේටා නාලවත්ත සොහොයුරියගේ මෙම පාසලේ වත්මන් අනුශාසකවරුන් වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් හා මහාචාර්ය ඇලෝයි පීරිස් පියතුමාණන්ය.

ශ්‍රවණාබාධිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් පනස් වසරක අත්දැකීම් ඇති ග්‍රේටා නාලවත්ත සොයුරිය ජනතාවගෙන්ද ඉල්ලීමක් කළාය.

"ඇහෙන්නේ නැති ළමයෙක් හිටියොත් මුලින්ම ශ්‍රවණ ආධාරක උපකරණයක් දාලා පුළුවන් තරම් ඒ ළමයත් එක්ක කතා කරන්න. සද්ද ඇහෙන්න සලස්වන්න. ඉඟි භාෂාවෙන් කතා කරන්න එපා."

රටකට අවැසි එවන් උදාර ගුරුවරු නොවේද?

නාසි වද කඳවුරකින් පලා ආ වින්දිතයකු තැබූ සටහනක් එහිදී සිහිපත් වෙයි.

"ආදරණීය ගුරුතුමනි,

මම නාසි සිර කඳවුරකින් මිදී පලා ආවෙක්මි.

බොහෝ මිනිසුන් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.

උගත් ඉංජිනේරුවන් ගෑස් කුටි තනන අයුරු,

දක්ෂ වෛද්‍යවරුන් මිනිසුන්ට විෂ එන්නත් කරන අයුරු,

පුහුණුව ලත් හෙදියන් ළදරුවන් මරාදමන අයුරු,

උපාධිධරයන් ගැහැනුන් සහ ළමයින් මරා පුලුස්සන අයුරු,

මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.

මගේ ඉල්ලීම ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරුය යන්නයි.

ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.

කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියා දෙන්නේ නම් පමණි..."

 

BBC ඇසුරිනි

මාතෘකා