මානුෂික සුවඳ ගෙන එන කතා එකතුවක් ‘ආදරය, මරණය සහ නිදහස’

 ඡායාරූපය:

මානුෂික සුවඳ ගෙන එන කතා එකතුවක් ‘ආදරය, මරණය සහ නිදහස’

කර්තෘ - රෝහිත මුණසිංහ

ප්‍රකාශනය - එස්. ගොඩගේ සහෝදරයෝ

රෝහිත මුණසිංහගේ නවතම කෙටිකතා සංග්‍රහය ‘ආදරය, මරණය සහ නිදහස’ යි. ප්‍රබන්ධකරණයට මෑත අවතීර්ණ වූ ලේඛකයකු වන රෝහිත මුණසිංහ වේගයෙන් ලියන්නෙකි. ගත වූ පස් වසක පමණ කාලයේ ඔහු වසරකට පොත් දෙක තුනක්වත් එළිදක්වා ඇත.

‘ආදරය, මරණය සහ නිදහස’ කතා එකතුවේ කෙටිකතා 10කි. ඒ කතා අතරින් මගේ වඩාත් සිත්ගත්තේ ‘මෝරෙක් අහුවෙලා’ කතාවය. ‘මෝරෙක් අහුවෙලා’හි එන්නේ ප්‍රංශයේ වෙසෙන රන්ජන් නම් පුද්ගලයකු මව්රටට පැමිණ පාසැල් වියේ සිට ඇසුරු කළ, දැනටත් ඇසුරු කරන මිතුරකු හමුවීමට ගොස් මුහුණ දුන් අකරතැබ්බයකි. රන්ජන්ට වුවමනා වන්නේ මිතුරා හා නිදහසේ සංවාදයක නිරත වීමටය. ඔහු ඊට මත්පැන්ද පානය කළ හැකි නිස්කලංක තැනක් නම් කරයි. මිතුරා ඊට වෙරළ පාරේ අලුතින් ඉදි කළ අවන්හලක් තෝරයි. අනතුරුව දෙදෙනා ඊට ගොස් බ්‍රැන්ඩි බෝතලයක් හා කටගැස්ම ගෙන රස විඳිමින් කතාබහේ නියුතුව වෙති. මෙසේ සාකච්ඡාවේ නියුතු වන අතර ජංගම දුරකථනයක්ද කනේ ගසාගත් අයෙක් හදිසියේ කඩාපාත් වෙයි. ඔහු රන්ජන් අමතන්නේ ඉතා කුලුපග මිතුරකු ලෙසය. එහෙත් ඔහු තමාගේ මිතුරු ලේඛනයෙහි නොසිටි ඈතින් මිත්‍රශීලී වූ කෙනෙක් පමණි. ඔහු පැමිණෙන්නේ බ්‍රැන්ඩි බෝතලය වෙත ඇස ගසාගෙනම නිසා ඔහු නොපමාව මත්පැන් සාදයට එක් වෙයි. මෙසේ මොහොතක් සිටින අතර ඔහු තමාට දුරකථන ඇමතුමක් ආවේ යැයි කියමින් මඳක් ඈතට යයි. පසුව ඇමතුම ගත් ඔහු යළි මිතුරු සමාගමට එන අතර මිනිත්තු කීපයකින් තවත් කෙනෙක් ඊට එක් වෙයි. තවත් කාලයකින් තවත් කෙනෙක් ඊට එක් වෙයි. සියලු දෙනා එකතු වන්නේ මත්පැන් පානයටය. මේ ලෙස පිරිස ක්‍රමයෙන් වැඩි වෙද්දී රන්ජන්ට ඔවුන් වෙනුවෙන් ඇණවුම් කරන්නට වන මත්පැන් හා කටගැස්මද වැඩි වේ. මෙහිදී රන්ජන් සමඟ පැමිණි ඔහුගේ පාසල් මිතුරා ඔහුට වක්‍රාකාරයෙන් පවසන්නේ එතැනින් නික්මිය යුතු බවය. ඒ අනුව ඔහු මිතුරා සමඟ මේ හදිසියේ පාත් වූ මිතුරු කාණ්ඩයෙන් බැහැර වන්නේ බේරීමට බැරි තැන ඔවුනට ඔවුන් ඉල්ලන ගල් බෝතලයක්ද මිලට ගෙන දෙමිනි. කෙසේ හෝ මෙහිදී රන්ජන්ට දැරීමට සිදු වන වියදම රුපියල් විසිදහසකට ආසන්න මුදලක් වන අතර පසුව කියවෙන ආකාරයට මිතුරු සමාගමට අනෙක් පිරිස කැඳවා ඇත්තේ දුරකථන ඇමතුමක් ගැනීමට කියා බැහැරට ගිය හදිසි මිතුරා විසිනි.

මෙම කතාවේ මතුපිටින් කියවෙන්නේ පිටරට වෙසෙන අයකු මව්රටට පැමිණි විට මුහුණ දෙන අකරතැබ්බයකි. එහෙත් එහි යටිතලයෙන් කියවෙන්නේ ගත වූ කාලයේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය මෙරට සමාජ පරිසරය ජරාජීර්ණ කර ඇති තරමත්, ඒ තුළ පුද්ගලයා අධ්‍යාත්මික වශයෙන් පිරිහී ඇති තරමත්ය. එහිදී ගරිල්ලා මාකටින් වෙළඳපොළ ක්‍රමය තුළ පුද්ගලයාද කොල්ලකරුවන් වී ඇති සැටියකි. කෙටිකතාව තුළ මේ දේ - ගරිල්ලා මාකටින් පුද්ගල සබඳතා - වඩාත් ඉස්මතු වී පෙනීමට විශේෂ හේතුවක් තිබේ. ඒ, කතාවේ කථකයා - රන්ජන් - තමාට මුහුණ පෑමට සිදු වන අතවරය තමා සූරාකන්නන් කෙරේ කිසිදු ප්‍රතිවිරෝධයක් නොදක්වා උපේක්ෂාසහගතව ඉදිරිපත් කිරීමය. පුළුල් අර්ථයෙන් සැලකූ කල එහිදී ඔහු වෙළෙඳපොළ ආර්ථක බලවේගය තුළ අසරණ වන පාරිභෝගිකයාම වේ. පාරිභෝගිකයාට වෙළෙන්දාට අභියෝග කළ නොහැකිය. ඔහු තමාට පැනවෙන දේ පිළිගන්නෙක් පමණි.

මෙහිදී ‘මෝරෙක් අහුවෙලා!’ යන කෙටිකතාවේ නමද ජන වහරින් ගැනීම කතාවට මැනවින් අනුගත වේ. ඇත්ත වශයෙන් මෙහිදී සියලු අදිසි මිතුරු පිරිස හැසිරෙන්නේ ඔවුනට මෝරෙකු හසු වූ ගානටය. මුලින් ඔවුන්ගේ සමාගමට එකතු වන දුර මිත්‍රයා දුරකථන ඇමතුමක් ගැනීමට කියා ඈතට ගොස් කරන්නේද ‘මෝරා මැරීමට’ බේබදු පිරිස කැඳවීමය.

මේ කතාව සාර්ථක වීමට තවත් හේතුවක් තිබේ. ඒ, කතාකරණයේදී කතා කලාව මැනවින් සුරැකීමය. ඔහු කතාවට අනවශ්‍ය දේ වැද්දාගෙන කතාවේ තේමාව උදාසීන කර නැති අතර කතානායකයා හැම විටම සංස්කෘතික අතරමැදියකුගේ තැනට පත් කර ඇත. එනම් ඔහුට වසර තිහක් පදිංචි ප්‍රංශයද මගේ යැයි හැඟීමක් ඇති කර නැති අතර තමා උපන් මව්රටද එවැනි හැඟීමක් ඇති කර නැත. කතාව ආරම්භයේ කථකයා පවසන අදහසකින්ම කතාවේ ඉදිරිය කොයි අතවේදැයි සලකුණු වේ:

“ඉපදුණු රටේ පුරුදු ගමේද වුව හිතට දැනෙන්නේ ආගන්තුක හැඟීමකි. සෞභාග්‍යවත් බොහෝ දේ වෙනස්ව ඇත. වෙනසක් නොවූ බව පෙනෙන දේවල්ද නැතුවා නොවේ.”

‘ආදරය, මරණය සහ නිදහස’ කතා සංග්‍රහයේ දෙවනුව මගේ සිත්ගත් කතාව ‘ධෛර්වත් මිනිසෙකුගේ කතාවක්’ ය. එහි එන්නේ වට්ටක්කයා නම් ගමේ විසිළුවට ලක් වූ පුද්ගලයකුගේ කතාන්දරයකි. වට්ටක්කයා උපතින් දෙපා අවසඟ වූවෙකි. එහෙත් ඔහුගේ මවගේ අප්‍රතිහත කැපවීම මත දිගු කාලයක් කළ සිංහල බේත්හේත්වල ප්‍රතිඵල වශයෙන් ඔහු කොරයක් ඇතිව හෝ දෙපයින් ඇවිදීමට සමත් වේ. පසුව තමාට කළ හැකි රස්සාවක් වූ වට්ටක්කා විකුණමින් පියා නැති මවත්, සහෝදර සහෝදරියන් සිව්දෙනාත් රැක ගනිමින් ගෙදර දිළිඳු බව තුරන් කිරීමට වෙහෙස වෙයි. එහෙත් නොන්ඩි ගසමින් වට්ටක්කා රැගෙන සතිපොළට යන ඔහු ගමේ පිරිසට විසිළුවක් වන්නේ, ඔහුට ‘වට්ටක්කයා’ යැයි නමක් පටබැඳේ. තවද ඔහුට ඇත්තේ මුක්කම් කටහඬකි. මෙනිසා ඔහු ්‍මඟතොටේදී නිතර දෙවේලේ පීඩාවට පත් වන අතර ලොකු ලාභයක් නැති වට්ටක්කා වෙළෙඳාමෙන් ඔබ්බට යෑමටද අපොහොසත් වේ. මේ අනුව වට්ටක්කයා ගමේ විහාරස්ථානයට ගොස් කාලය ගෙවීමට පුරුදු වෙයි. කාලය සමඟ ඔහු විහාරස්ථානයේ ප්‍රධාන හේවිසිකාරයා බවට පත් වන්නේ එතෙක් හේවිසි ගැසූ නිථ්‍ය හේවිසිකාරයා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙනි. වර්තමාන සමාජ පරිසරය තුළ හේවිසි ගැසීම බොහෝ දෙනාට අවමානී වෘත්තියකි. එනිසා උරුමයෙන් ඒ හිමි වූවන් ඒ බාරගැනීමට මැලි වෙද්දී වට්ටක්කයා එය කැමැත්තෙන් බාරගනී. එපමණක් නොව දරුවන් සිව්දෙනෙකු සමඟ කණවැන්දුම් ගැහැනියක සරණ පාවා ගෙන එම පවුලේ දරුවන් නඩත්තු කිරීමද ඔහු පවරා ගනී. තවද විශේෂතාවක් වෙයි. ඔහු කවර කායික දුර්වලතා පැවතියද තමා පවරාගත් හේවිසි වෘත්තිය ගෞරවණීය තත්ත්වයට ගෙන ඒමට වෑයම් කරයි. ඔහු තමා විවාහ කරගත් පවුලේ, දරුවන්ද ඊට සහභාගි කරගෙන විහාරස්ථානයේ හේවිසි කණ්ඩායමක් තනයි.

කතාකරුවා වට්ටක්කයා හඳුන්වන්නේ ධෛර්යවත් මිනිසකු ලෙසය. එහෙත් වට්ටක්කයා එවැනි කෙනෙක්ද? මට පෙනෙන ලෙස ඔහු වට්ටක්කයකු වන්නේ කථකයා ඊට දෙන අර්ථ නිරූපණය තුළය. වට්ටක්කයාගේ දෘෂ්ටිකෝණයෙන් ඔහු විවරණය කිරීමක් මෙහිදී සිදු වී නැත. ජීවිත විවරණය යනු චරිතයේ ඇතුළතින් සිදු විය යුත්තකි. එසේ නොකළහොත් එය මතුපිට නිරූපණයක් පමණි. එහෙත් මෙහිදී තවත් දෙයක් සිදු වේ. කථකයා තමාගේ කතානායකයා කෙරේ හෙළන්නේ සානුකම්පිත දෘෂ්ටියකි. එසේම මේ අත්දැකීමේ ප්‍රබලභාවයක් ඇත. මේ සියල්ල නිසා මට හැඟෙන්නේ මෙහි මතුපිට ජීවිත විවරණය වුව කිසියම් පුළුල් තලයකට පැතිර යන බවය.

මෙම කතා එකතුවේ තවත් ආකර්ෂණීය කතාවක් නම් ‘නියපොතු’ ය. එහි එන්නේ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් උයාපිහා, ඔවුන් වෙනුවෙන් විවාහද නොවී, ඔවුන්ගේ දරුවන් හදාවඩා වෙහෙසුණු, එනිසාම තමන්ගේ අත් හා නියපොතු දුර්වර්ණ කරගත් බාලාච්චි හා සුගුණා නැන්දා නම් ගැහැනුන් දෙදෙනා පිළිබඳ අනුවේදනීය කතාවකි. අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන මිනිසුන් අපට කොතෙකුත් හමු වේ. මේ කතාවේ වෙනස එතරම් පරාර්ථකාමී ගැහැනුන් දෙදෙනා අවසන ඉතා ඛේදනීය ලෙස මියයෑමය. එහිදී බාලාච්චි මියයන්නේ මුඛ පිළිකාවකිනි. සුගුණා නැන්දා මියයන්නේ මහාමාර්ගයේ හදිසි අනතුරකිනි. පරාර්ථකාමී වන මිනිසුන් දරුණු ඉරණම්වලින් මියයන්නේ ඇයිද යන පැනය මෙහිදී කතාකරුවා නඟන්නේ එය කර්මයට පිළිතුරු දීමට ඉඩ දිය හැකිද යන පැනයද නඟමිනි. මේ කතාවේදී කතාකරුවා තවද කරුණක් කියයි. එනම් බාලාච්චි, සුගුණා නැන්දා මෙන් වූ අනුන් වෙනුවෙන් කැප වුණු මිනිසුන් ඒ දෙදෙනාගෙන් අවසන් නොවන බවත්, ඉදිරියේදීත් එවැනි අය බිහි වන බවත් පෙන්වා දෙමිනි. මෙය ජීවිතය හා ඉතිහාසය පුනරුච්චාරණය වන බව පැවසීමකි.

මෙම ‘නියපොතු’ කෙටිකතාවත්, පසුව එන ‘මාලය’ කෙටිකතාවත් විමසන විට එහි කිසියම් සාම්‍යයක් දක්නට ලැබේ. එනම් අතීත සිද්ධියක් මතින් වර්තමානය අවලෝකනය කිරීමය. එහෙත් මට හැඟෙන ලෙස මෙම අවලෝකනය නිවැරදිව සිදු වන්නේ අතීත කතාව අවශ්‍ය තරම් - පාඨකයා කරකවන තරම් - කල්පනා ලෝකයක ගලායෑමට සැලැස්වීම තුළිනි. එහෙත් මෙහිදී එවැනි ප්‍රබල කල්පනා ලෝකයක් පාඨකයාට අත්දැකීමට නොලැබෙන බව කිව යුතුය. සැබැවින්ම මෙහි අතීත කතාව කුඩා සිද්ධියකින්, දෙකකින් පමණක් සෑදී ඇත. එය ඉන් එහා විශාල පරාසයක පැතිර නැත. මෙනිසා එම අතීත කතාවෙන් වර්තමානය අවලෝකනයද සාර්ථක ලෙස සිදු වී නැත.

‘ආදරය, මරණය සහ නිදහස’ හි කතා අතරින් මීළඟට සඳහන් කිරීමට තරම් වටින්නේ ‘පුරුෂාධිපත්‍යය’ කෙටිකතාව පමණි. අවසාන කතාව වන ‘කඳුළු’ සිද්ධි කීපයක් පමණි. ඒ සිද්ධි එකිනෙක සබැඳෙන ලෙස ගොඩනඟා නැත.

කෙසේ වුව සමස්තයක් වශයෙන් මෙම කතා එකතුව රෝහිත මුණසිංහගේ සාර්ථක ප්‍රයත්නයකි. ඒ සාර්ථක ප්‍රයත්නය අතිසාර්ථක නොවී ඇත්තේ මුලින් කී ලෙස ඔහු අධිවේගයෙන් කතා ලිවීම නිසාද යන ගැටලුව මට පැනනැඟුණි. එහෙත් එහිදීද ඇගයිය යුතු කරුණක් තිබේ. ඔහුගේ කතා මේ තරමින් හෝ සාර්ථක වන්නේ ඔහු තමා අනුදත් අත්දැකීම් පමණක් ලිවීම නිසාය. සැබැවින්ම දිවයිනෙන් බැහැරව සිට ලියන කතාකරුවන් අතරින් සාර්ථකම කතාකරුවා රෝහිත මුණසිංහ විය හැකිය. හේතුව පෙර කී කරුණමය. ඔහු අනුන්ගේ - ප්‍රංශකාරයන්ගේ - අත්දැකීම් ලියා නැත. ඔහු සේන් නදිය ගැන ලියා නැත. ඔහු ප්‍රංශයේ කැෆේ ගැන ලියා නැත. ප්‍රංශයේ කැමූගේ කතා කලාව හෝ ගී ද මෝපසාන්ගේ කතා කලාව හෝ අනුකරණය කර නැත. ඔහු ලියන්නේ ප්‍රංශයේ සිටින සිංහල ගැමියකු ලෙසය. ඔහු බොහෝ දුරට සාර්ථක වන්නේ එනිසාය.

එහෙත් තවද කරුණක් කිව යුතුය. මේ කතා සංග්‍රහයේ බස භාවසූචක වුවත් එහි න,ණ,ල,ළ සහ වියරණ වැරදි කප්පරකි. සාහිත්‍ය කෘතියක බස යනු කෘතිය තුළින් ගොඩනැඟෙන දේකි. එය සැබෑය. එහෙත් කවර බසක වුව වියරණයක් තිබිය යුතුය. ඒ නොමැති වුවහොත් අර්ථද ව්‍යාකූල වේ.

[එස්. පල්ලියගුරුගේ]

මාතෘකා