කේ.කේ. සමන් කුමාරගේ කෘති දෙකක් එයි

 ඡායාරූපය:

කේ.කේ. සමන් කුමාරගේ කෘති දෙකක් එයි

කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදනය කරන ලද ‘නිර්මාණාත්මක ලේඛනය: නවකතාවේ වාස්තුවේදය’ යන කෘතිය හා ‘සිනෙ සමාධි’ අනුවර්තන කෘතිය දැන් නිකුත් වී ඇත. මින් මුල් කෘතිය නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය, තාක්ෂණය හා දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි ලෙස ලියා ඇති අතර දෙවන කෘතිය වන ‘සිනෙ සමාධි’ ජර්මානු පුරෝගාමී සිනමා න්‍යායධර රුඩෝල්ෆ් ආන්හයිම්ගේ ‘ෆිල්ම්ස් ඈ ආර්ට්’ කෘතියෙන් තෝරාගත් ලිපි කිහිපයක අනුවර්තනයකි. මෙය සිනමා මාධ්‍යය හා රූප විඥානයත්, එහි දෘශ්‍ය මනෝ විද්‍යා නියාමයනුත් පිළිබඳ විචිත්‍ර ප්‍රවේශයකි. මෙම කෘති දෙකම කවිවර ප්‍රකාශනයකි.


අසිත් කුමාරගේ ‘සෘතුවක අග’ කාව්‍ය සංග්‍රහය19 දා එයි

අසිත ගීත් කුමාර ලියූ ‘සෘතුවක අග’ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම මාර්තු 19 දා ප.ව.3.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුජීව සිරිමෙවන්, ජයන්ත කහටපිටිය සහ ළහිරු කිතලගම දෙසුම් පවත්වති.


තාරක කල්දේරාගේ ‘ඉයුලෝසියා: අන්ධකාරාලෝක සටහන්’ විද්‍යා ප්‍රබන්ධය හෙට එළිදකී

තාරක එරන්ද කල්දේරාගේ ‘ඉයුලෝසියා: අන්ධකාරාලෝක සටහන්’ නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව හෙට (16දා) සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදකී. මෙය ඔහුගේ 'කල්පාවසාන සාදය' නම් මුලින් ලියූ විද්‍යා ප්‍රබන්ධ කතාවේ දෙවන කොටසයි. කාලය පමණක් නොව අප නොදන්නා අවකාශයන්ද මෙහිදී කතුවරයා පිටු මත චිත්‍රණය කිරීමට උත්සාහ දරා ඇත.


 

කේ. ජයතිලක නිර්මාණ සාහිත්‍ය තරගයට නිර්මාණ බාරගැනේ

2019 ජුනි 30 වෙනිදාට යෙදෙන කන්නිමහර කේ. ජයතිලක පදනමේ 15 වෙනි සංවත්සරය සහ ජයතිලක මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ජුනි 30 වෙනිදා කන්නිමහර කේ. ජයතිලක පදනමේදී සමරු උලෙළක් පැවැත්වෙන අතර ඊට සමගාමීව කණිෂ්ඨ - ජ්‍යෙෂ්ඨ සහ විවෘත වශයෙන් නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කණිෂ්ඨ අංශය සඳහා වයස අවුරුදු 6 - 9 සිසු දරුවනට ඉදිරිපත් විය හැකි අතර ඔවුන් කේ. ජයතිලක නිර්මාණ ඇසුරින් ‘පුංචි අපි’ තේමාවෙන් වචන 100කට නොඅඩු ගද්‍ය ලිපියක් එවිය යුතුය. ජ්‍යෙෂ්ඨ අංශය සඳහා වයස අවුරුදු 10 - 14 සිසුවනට සහභාගි විය හැකි අතර ඔවුන් ‘කේ. ජයතිලක නිර්මාණ ඇසුරින් නිරූපිත ගම’ මැයෙන් වචන 2000කට නොඅඩුව ගද්‍ය ලිපියක් එවිය යුතුය. විවෘත අංශය සඳහා වයස් භේදයකින් තොරව ‘කේ. ජයතිලක භාවිත කළ නිර්මාණාත්මක බස් වහර’ මැයෙන් වචන 3000කට නොඅඩු රචනාවක් එවිය යුතුය. සියලු ලිපි මැයි මස 30 වෙනිදාට පෙර ලේකම්, කන්නිමහර ජයතිලක පදනම් ශාඛාව, එෆ්.ඒ. ගුණසිංහ මහතා, 262, රදාවාන දකුණ, රදාවාන ලිපිනයට යොමු කළ යුතුය.

මාතෘකා