තවදුරටත් දරුවන්ට තලන්න එපා

 ඡායාරූපය:

තවදුරටත් දරුවන්ට තලන්න එපා

ගුරුතුමිය අරගත්තා අඩි රූල. අඩි රූලේ දාරෙන් මගේ වැලමිටේ ඇට ටිකට ගහගෙන ගහගෙන ගියා. මට අද වගේ මතකයි මම ගෙදර ඇවිල්ල හොඳටම ඇඬුවා. මම අම්මට කිව්වා මට පෙරදිග නැටුම් කරන්න බැහැ කියලා. ඒ තමයි මගේ ජීවිතේ මම නටපු පළවෙනි සහ අවසාන දවස.”

උපතින්ම වැලමිටේ අස්ථිය පිහිටා ඇති ආකාරය හේතුවෙන් ගුරුතුමිය පැවසූ පරිදි "අත් දෙක රවුම් නොකිරීම" නිසා එදා එලෙස නැටුම් ගුරුතුමියගේ දැඩි පහර දීමට ලක්වූ ඒ දැරිය වර්තමානයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥවරියක සහ නීති උපදේශිකාවකි.

"මම හැම අභියෝගාත්මක අවස්ථාවක්ම පසු කළා මවක් හැටියට. ඒත් ආඩම්බරයි කියන්න මම මේ අත් දෙකෙන් මගේ දරුවෝ දෙන්නට ගහල නැහැ."

ආචාර්ය චාරිකා මාරසිංහ නම් වූ ඇය එසේ විස්තර කළේ නිවසේදී, පෙර පාසලේදී, පාසලේදී හෝ වෙනත් ආයතනයකදී දරුවන්ට පහර දීමේ ආදීනව ගැන බීබීසී සිංහල සේවය සමඟ දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමිනි.

"මම එතකොට දැනගෙන හිටියේ නැහැ අද තියෙන ස්නායු වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම් හා අද තියෙන මනෝ වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්. කුඩා කාලයේ ශාරීරික වධ හිංසාවලට ලක්වෙච්ච දරුවන් වැඩිහිටියන් බවට පත්වුණාට පස්සේ විශේෂයෙන් ඒගොල්ලන්ගේ වෛවාහික සම්බන්ධතාවලදී විවිධ ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ මම දැනගෙන හිටියේ නෑ."

පාසල් දරුවකුට අමානුෂික ලෙස පහර දීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියකට අධිකරණය විසින් දෙවසරක සිර දඬුවමක් නියම කරනු ලැබීමත් සමඟ දරු දැරියන්ට පහර දීම ගැන ශ්‍රී ලාංකේය සමාජය තුළ යළිත් වරක් සංවාදයක් මතුවී තිබේ.

ඒ සමඟම කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ ඩී එස් සේනානායක විද්‍යාලය අතර පැවති සුහද රග්බි තරගයක් අතරවාරයේ ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි පුහුණුකරු සනත් මාටිස් පාසල් ක්‍රීඩකයකුට ප්‍රසිද්ධියේ පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්ද ප්‍රබල අවධානයට ලක් විය.

ලෝක රග්බි පරිපාලකයන් විසින් සියලුම රග්බි තරගවලින් ඉවත් කරනු ලැබීමත් සමඟ පුහුණුකරු සනත් මාටිස්ගේ වැඩ තහනම් කොට ඔහු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රථම සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, ළමුන්ට පහර දීමේ ආදීනව හෙළි කළේ මෑතදී තමන් හමුවට පැමිණි පාසල් ශිෂ්‍යයකු ගැන විස්තර කරමිනි.

"ඒ දරුවා බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. දැන් එයා පුහුණුවීම්වලට යන්නේ නෑ. මොකද සර් බණිනවා, ගහනවා. ඒ දරුවා මගේ ළඟට ඇවිල්ලා අඬනවා."

අපේක්ෂිත පරිදිම පාසල් දරුවාට පහර දුන් ගුරුවරියට සිර දඬුවම් නියම කිරීම සහ රගර් පුහුණුකරු සනත් මාටිස්ට එරෙහිව විනය පියවර ගැනීම ගැන ශ්‍රී ලාංකේය සමාජය තුළින් මතු වන්නේ එකිනෙකට පරස්පර අදහස්ය.

විශේෂයෙන්ම සිසුවාට පහර දුන්නේ අදාළ ගුරුවරිය නොවන බව පවසමින් බොහෝ ජනමාධ්‍ය සහ ඇතැම් දේශපාලන පක්ෂ පවා ඇය නිර්දෝෂී බව හුවා දැක්වීමේ උත්සාහයක නිරතව තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඒ තීන්දුව විවේචනයට ලක්කර තිබිණ.

ඒ අතර මාධ්‍යවේදීන් අමතා අදහස් දක්වමින් සිසුවාගේ මව, එම්.එම්. ස්වර්ණලතා සිය පුතුට පහර දීමෙන් නොනැවතී සමස්ත සමාජය තමන්ට එරෙහිව අවි අමෝරා ගත් ආකාරය හෙළිකර තිබිණ.

"මේ සිදුවීමෙන් පස්සේ පුතා නන්නත්තාර වුණා. ඉස්කෝලෙ යන්න කැමති වුණේ නැහැ. අපටත් වෛර කළා. එයා මුලින්ම කියපු වෙලාවෙ අපි මොනවත් කළේ නැති බව එයා කිව්වා. එයා තමන්ටම වෛර කරන්න ගත්තා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තා." යනුවෙන් සිසුවාගේ මව තමන් මුහුණ දුන් අත්දැකීම දීර්ඝව එහි විස්තර කර තිබේ.

මෙලෙස වැඩිහිටියන් දරුවන්ට පහර දීම මඟින් දරුවන් අනිවාර්යයෙන්ම දැඩි මානසික පීඩාවකට ලක්වන බව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටි මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසන්නේ එලෙස දරුවන්ට අමානුෂික ලෙසින් පහර දෙන වැඩිහිටියන්ද මානසික රෝගීන් බවය.

"ඔය විදියට ළමයින්ට ගහන ගුරුවරුත් මානසික ලෙඩ්ඩු. ඒ සමහර කට්ටිය පහර දීම තුළින් තෘප්තියක් ලබනවා."

විශේෂයෙන්ම ළමා වියේදී පහර දීමට හෝ වෙනත් අපයෝජනයකට ලක් වන දරුවා වැඩිහිටියකු බවට පත්වූ විට ඔහු හෝ ඇය අපයෝජකයකු බවට පත් වීමේ හැකියාව ඉතා ඉහළ යයි බොහෝ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙති.

එබැවින් අපයෝජකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතරම ඔවුන් පුනරුත්ථාපනය කිරීමද සමාජයේ වගකීමක් බව ඔවුහු පවසති.

නීතිය කුමක්ද?

90 දශකයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව 1995දී එහි ඇතැම් කරුණු ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කළේය.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 308-ඒ වගන්තිය ප්‍රකාරව දරුවකුට එරෙහි කෲරත්වය වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කර තිබේ.

දරුවෙකුට පහර දුන් කුරුණෑගල ගුරුවරියට සිර දඬුවම් නියම කළේ එම නීතිය ප්‍රකාරවය.

කෙසේ වුවත් "කෲරත්වය" යන්න විවිධ ආකාරයට අර්ථ දැක්විය හැකි බැවින් දරුවන්ට පහර දීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් නොකරන්නේ මන්දැයි ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව

ශ්‍රී ලංකාවෙන් කිහිපවරක්ම ප්‍රශ්න කර තිබේ.

පාසල් ගුරුවරුන් දරුවන්ට පහර නොදිය යුතු බව එවක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පදවිය දැරූ වෛද්‍ය තාරා ද මෙල් විසින් සියලු පාසල් ගුරුවරුන් වෙත චක්‍රලේඛයක්ද නිකුත් කරනු ලැබ තිබිණි. එහෙත් එය උපදෙසක් විනා නීතිය ඉදිරියේ වලංගු දෙයක් නොවේ.

එක් අතකින් පවත්නා නීතිය සංශෝධනය විය යුතු බවට ක්‍රියාකාරීන් තර්ක කරද්දී, විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ දරුවන්ට පහර දීම වැළැක්වීම පිණිස පවත්නා නීතිය පමණක් වුවත් ප්‍රමාණවත් බවය

"විශේෂයෙන් ඒක තහනම් කරන්න අවශ්‍ය නෑ. දැනට තියෙන නීතියෙනුත් මේකට දඬුවම් කරන්න බැරිකමක් නෑ. හැබැයි මට හිතෙන්නේ මේක නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි." ආචාර්ය හරිනි අමරසූරිය සිය අදහස පැහැදිලි කළාය.

"අපේ යම්කිසි විදියක ආකල්පයක් තියෙනවා, දඬුවම් කළේ නැත්නම් විනය පිරිහෙනවා කියන එක. ඒ සඳහා ප්‍රචණ්ඩත්වය වුණත් පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක් නෑ වගේ ආකල්පයක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ප්‍රශ්නය."

නිවසේදී, පාසලේදී හෝ වෙනත් ආයතනයකදී දරුවාගේ පෞරුෂ වර්ධනය සහතික කිරීමට නම් දරුවාට "ගහල හෝ හැදිය යුතු" බවට ශ්‍රී ලාංකේය සමාජය තුළ පවතින "වැරදි වික්ටෝරියානු ආකල්පය" වෙනස් විය යුතු බව ඇය අවධාරණය කරන්නීය.

අනෙක් පැත්තෙන් ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය තුළ ගුරුවරුන්ටද සේවය කිරීමට සිදුවී තිබෙන්නේ දැඩි පීඩාකාරී වාතාවරණයක් තුළය.

මේ අතර වැරදිකරුවන්ට දඬුවම් කරන අතරම පහර දීමට ලක් වන දරුවාට මානසික උපදේශන සේවා ලබා දීමත් අත්‍යවශ්‍ය කරුණක් බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසයි.

"දඬුවම් කරන්න ඕන කොහොමටත්. ඒ වගේම ගහන මිනිහගේ පුනරුත්ථාපනයත් වැදගත්. මොකද ඒ පුද්ගලයා ගහන්නෙත් තමුන් පොඩි කාලේ ගුටි කාපු මානසිකත්වය නිසා."

ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙන පරිදි “දරුවකු දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල බාරකරුවකුගේ හෝ රැකවරණයේ සිටින අතරවාරයේ කිසිඳු ආකාරයක ශාරීරික හෝ මානසික හිංසනයකට හෝ පීඩාවකට ලක් නොවිය යුතුය” යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වැනි වගන්තියේ සඳහන් වේ.

දරුවා කිසිඳු ආකාරයක පරිභවයකට ලක්වීම, නොසලකා හැරීමට ලක්වීම මෙන්ම අයථා ලිංගික ක්‍රියාවකට පොලඹවා ගැනීමෙන් ආරක්ෂා කිරීම පිණිස රජය පියවර ගත යුතු බව එහි දැක්වේ.

"ළමයකුගේ ළමා කාලයෙන් වැඩිම කාලයක් ගත වන්නේ දෙමාපියන්ගේ රැකවරණයෙන් පරිබාහිරව. නිවසෙනුත් පරිබාහිරව. ඒ කියන්නේ දරුවාගේ බාරකාරත්වය බාර ගන්නා නීත්‍යනුකූල බාරකරුවන්ගේ බාරයේයි. ඒ නිසා තමයි මේ වගන්තිය ඉතා වැදගත්."

දරුවන්ට ශාරීරික දඬුවම් දීම සම්බන්ධයෙන් ලොව පුරා විවිධ රටවල විවිධ ආකල්ප පවතින බැවින් ඒ තත්ත්වය සලකා බලා දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කළ යුතු යයි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත සඳහනක් නොමැති බවත් ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙන්නීය.

නීතිය සංශෝධනය නොවන්නේ ඇයි?

ළමුන්ට පහර දීමේ බරපතළ ආදීනව ගැන ලොව පුරා පැවැත්වූ බොහෝ පර්යේෂණවලින් අනාවරණය වී තිබියදීත් එය තහනම් කිරීමට ශ්‍රී ලංකාව පැකිළෙන්නේ දේශපාලන පක්ෂවල ආකල්ප හේතුවෙන් බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ ආචාර්ය චාරිකා මාරසිංහ පෙන්වා දෙති.

"ගුටි කන්නේ ළමයි. ළමයින්ට ඡන්දෙ නෑ. ගහන්නේ වැඩිහිටියෝ, වැඩිහිටියන්ට ඡන්දෙ තියෙනවා." මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය."

“මේ දවස්වල පවා අපිට දකින්න තියන දේ තමයි ළමුන්ට පහර දීම දේශපාලන පක්ෂවලින් සාධාරණීකරණය කිරීම.”

ආචාර්ය චාරිකා මාරසිංහද එය අනුමත කරන්නීය.

එමෙන්ම වැඩිහිටියකු තවත් වැඩිහිටියකුට පහර දීමේදී ඒ දෙදෙනාම "බලයේ සම තත්ත්වයක සිටින" නමුත් වැඩිහිටියකු විසින් දරුවකුට පහර දෙනු ලබන අවස්ථාවේ ඔවුන් දෙදෙනා "තරාදියේ ඉන්නේ සමබර මට්ටමක නොවන බවද" ඇය පෙන්වා දෙන්නීය.

මේ අතර ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී හරිනි අමරසූරිය පවසන්නේ, වැරදිකරුවන්ට මරණ දඬුවම පැනවීම අනුමත කරන ශ්‍රී ලාංකේය සමාජය දරුවන්ට පහර දීම අනුමත කිරීම අරුමයක් නොවන බවය.

"සමාජය තුළම තියෙනවා නම් විශ්වාසයක්, අපිට ඒ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ දඬුවම් හරහා පමණක්ය කියලා, ඒ කියන්නේ එල්ලුම් ගස් යවන්නත් කැමති සමාජයක ළමයින්ට ගහන එක ගැන විවේචනයක් එන්නේ නෑ."

එබැවින් දරුවන්ට පහර දීම ගැන පමණක් නොව, සමස්තයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය පිළිබඳව

ශ්‍රී ලාංකේය සමාජයේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව ඇයගේ ස්ථාවරය වී තිබේ.

[සරෝජ් පතිරණ]

මාතෘකා