ඔබ කියන්න අපේ වරද මොකක්ද කියලා : ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

 ඡායාරූපය:

ඔබ කියන්න අපේ වරද මොකක්ද කියලා : ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එන 20 වැනි සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් සිටියි. එසේම නව දේශපාලන බලවේගයක් සංවිධානය කරන බවද පෙනෙන්නට තිබේ. මේ කාරණා පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සමඟ සිදුකෙරෙන සංවාදයකි.

රුසියාවෙන් සම්මානයක් ලැබුණා. මොකද්ද ඒ?

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය සංවිධානය කරපු 19 වැනි ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙළ රුසියාවේ පැවැත්වුණා. එම උලෙළ සඳහා ලෝකයේ රටවල් 170කට වැඩි ගණනකින් ශිෂ්‍යයෝ 30,000කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වුණා. එම තරුණ උලෙළ සඳහා

ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම සභාපති ධුරය දැරුවේ මම සහ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම්ධුරය දැරුවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරුණ තරුණියන් 382ක් උලෙළට සම්බන්ධ කරන්න අවස්ථාව ලැබුණා. ලෝක තරුණ උලෙළේ 3වැනි ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව ශ්‍රී ලංකාවේදී සාර්ථකව පැවැත්වූවා. මේ තරුණ උලෙළ සඳහා සූදානම් වීම, විශාල තරුණ පිරිසක් සම්බන්ධ කිරීම නිසා ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුවට රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින්ගේ අත්සනින් මුද්‍රාවක් සහ ඩිප්ලෝමාවක් ලබා දුන්නා. මටත්, දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාත් ඇතුළු 5 දෙනකුට එම සම්මානය පිරිනැමුණා. එම උත්සවය 10 වැනිදා රුසියානු තානාපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

ඔබ මේ දිනවල දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් නිහඬව සිටින බවක් පේනවා?

කිසිම විදිහකට නිහඬ නෑ. එක් පැත්තකින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙනවා. අයවැය කාරක සභා විවාදය ආරම්භ වුණා. අපේ මන්ත්‍රීවරු සියලු දෙනා අයවැය විවාදය සමඟ සජීවීව සම්බන්ධ වෙනවා. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ආසන බලමණ්ඩල ගොඩනඟමින් යනවා. ජාතික බලමණ්ඩල සක්‍රිය කරමින් යනවා. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා වන වැඩපිළිවෙළ කඩිනම් කරමින් යනවා. මේ සම්බන්ධව දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරන අතරම විධායකය අහෝසි කිරීමට බල කෙරෙන උද්ඝෝෂණ මාලාවක් රටපුරා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේ එම වාමාංශික පක්ෂ, ප්‍රගතිශීලි සංවිධාන, බුද්ධිමතුන් එකතු කරගත් පුළුල් ජනතා පෙරමුණක් හැදීමේ වැඩකටයුතු ආරම්භ කර තියෙනවා.

ජවිපෙ ජනාධිපතිවරණයක් එපා කියන්නේ ජනාධිපතිවරණයට බය නිසා කියලයි බොහෝ අය කියන්නේ?

ඒක එහෙම නම් 1988දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වුණේ එතුමිය ඒකට බය නිසා වෙන්න ඕන; චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1994දී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට ජනතාවට ලිඛිතව පොරොන්දු දුන්නේ එතුමිය ජනාධිපතිවරණයට බය නිසා වෙන්න ඕන; 1999දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විධායක ජනාධිපතිධුරය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනාවේ ජනාධිපතිවරණයට බය නිසා වෙන්න ඕන; 2005දී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතා විමුක්ති පෙරමුණත් සමඟ එකතු වෙලා මහින්ද චින්තන වැඩපිළිවෙළ හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට එකඟතාවකට ආවේ ජනාධිපතිවරණයකට බය වෙලා නිසා වෙන්න ඕන; 2010, 2015 වසරවලදී ඒ අයුරින්ව මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට පොරොන්දු වුණේ ජනාධිපතිවරණයට බය නිසා වෙන්න ඕන; 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව කීවෙත් ජනාධිපතිවරණයට බය වෙලා වෙන්න ඕන. ඒ නිසා ඒ තර්කය හරියට දැන හෝ නොදැන කරන අඳ බාලයන්ගේ මෝඩ ප්‍රකාශනයක්.

ඒ කියන්නේ ජනාධිපතිවරණයක් ආවොත් ජවිපෙ අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා කියන එකද?

2015 ජනවරම හැටියට ජනාධිපතිවරණයක් නැවත එන්න බෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වුණා පමණක් නෙවෙයි; පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළා. පොදු අපේක්ෂකයකු ජය ලැබූ පළමු මැතිවරණය වන්නේ 2015 ජනවාරි මැතිවරණය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරයේ නිල කාලය අවසන් වෙමින් යනවා. එතුමා කළ යුතු වන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පවරන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවලිය ආරම්භ කිරීමයි.

ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සමස්ත රටම ජනාධිපතිවරණයකට සූදානම් වන බවක් පේනවා?

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ කාර්යය ජනාධිපතිවරයාගෙන් නොකෙරෙනකොට ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය ගෙන ආවේ. ඒක ජනතා විමුක්ති පෙරමුණේ තනි උවමනාවකට වඩා මේ රටේ ප්‍රජතන්ත්‍රවාදය අගය කරන බහුතර ජනතාවගේ උවමනාව. අපේ සම්පූර්ණ උත්සාහය යොදලා තියෙන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ කාර්යය වෙනුවෙන්. එයට සහාය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා සිදු කළේ. ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂත් එක්ක කතා කිරීමට අපි සූදානම්.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිදුකළ සාකච්ඡා සාර්ථක බව කියැවුණා?

මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න කැමතියි. ඔහු කියන්නේ විධායකය අහෝසි කරනවා නම් ඡන්ද ක්‍රමයේ වෙනසක් සහ 13 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට පැවරී තියෙන බලය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි කියලා. අපි ඒකට එකඟයි. සාකච්ඡා ඉදිරියට ගෙන යන්නත් සූදානම්. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේදී වන තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියල්ල සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත් සූදානම්.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය ගැන කතා කළොත්?

දෙමළ ජාතික සන්ධානය පැහැදිලිව කීවා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඔවුන් එකඟයි කියලා. ඊට අමතරව මෙතුවක් කල් රටේ ආණ්ඩු කරපු පක්ෂ දෙකම දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ මැදිහත්වීමක් කරලා නැහැ; එම නිසා රටේ ජාතික ප්‍රශ්නවලදී දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් තවත් කුඩා පක්ෂත් එකතුව යම් වැඩපිළිවෙළකට යා හැකියි කියලා ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශයට පත් වුණා. එය සාධනීය ප්‍රවේශයක් කියලා අප හිතනවා. ඒ නිසා දැනට පවත්වපු සාකච්ඡා දෙකම සාර්ථකයි කියන්න පුළුවන්.

ජවිපෙ තීන්දු ගන්නේ ප්‍රමාද වෙලා කියලා විවේචනයක් තියෙනවා. ආදරවන්තයන් ගැන කතා කිරීමේදී දෑවැදි ප්‍රශ්නය වගේ තැනකට පටු වෙන බවට චෝදනා කරනවා?

දෑවැදි ප්‍රශ්නය සමාජයෙන් සදහටම නැතිවෙනකම් ඒක පරණ වෙන ප්‍රශ්නයක් නෙවෙයි. සමහර ප්‍රශ්නවලට මුහුණ දුන්නාට පස්සේ ඒවා පිළිබඳව විවෘත සාකච්ඡාවක් ඇති වුණාම තමයි විසඳුම හොයා ගන්න වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ බොහෝ ප්‍රශ්න කලින් දැකලා ඒවාට කලින් විසඳුම් දීලා තියෙනවා. නමුත් මේ සමාජය වෙළාගෙන තියෙන ප්‍රශ්න කන්දරාවේ හැටියට ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම තැනකින් අල්ලා ගන්න පුළුවන්.

මත්පැන් භාවිතය සම්බන්ධ ජවිපෙ මතය පැහැදිලිව ප්‍රකාශ කරන්න හොඳ අවස්ථාවක් පසුගියදා පැමිණියත් ජවිපෙ එය මඟ ඇරි බවට බොහෝ දෙනකු චෝදනා කරනවා?

කවුරුන් හෝ මත්පැන් පානය කරන එක හෝ නොකරන එක ඒ අයගේ අයිතියක්. නමුත් දේශපාලනය කිරීමේදී අපගේ දේශපාලන කටයුතුවලට කොතරම් දුරට බාධාකාරී වෙනවාද නැද්ද කියලා පක්ෂය ලෙස තීන්දු ගන්න පුළුවන්. අදත් අපි ඒ සම්බන්ධව හිටපු ස්ථාවරයන්වල වෙනසක් නෑ. එසේ වුණා කියලා සමාජයේ මිනිස්සුන්ට මත්පැන් බීම සම්බන්ධව ජවිපෙ නීති දාන්න යන්නේ නෑ.

සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් කරන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ දරුවන් ඉන්නවා. එසේ තිබියදී අපට පේන්නේ නෑ ජනතාව ඒ පිළිබඳව විශාල වශයෙන් අවධානය යොමු කරනවා කියලා. එවැනි චෝදනාවලට ලක්වුණු අය මනාප ලක්ෂ ගණන් අරගෙන පාර්ලිමේන්තුවට එවනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කෙනකු අතින් සිදුවන අතපසුවීමක් හෝ වරදක් මෙතරම් අවධානයට යොමු වීම ගැන එක පැත්තකින් අප සතුටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිළිබඳව රටේ ජනතාව විශාල අවධානයකින් සිටිනවා කියන එකයි එයින් පෙන්නුම් කරන්නේ. ඒ නිසා අපෙත් වගකීමක් තියෙනවා එයට අනුව හැසිරෙන්න.

ජවිපෙට ලැබෙන ඡන්ද ගණන දිහා බැලුවාම තවමත් ජවිපෙ ජනතාව සමඟ සමීප වෙලා මදි වගේ පේන්නේ?

අපේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ ඒ අයට සමීපම කෙනාටද කියලා විමසනකොට ඔබ ඔය කියන කතාව ඇත්ත කතාවක් නෙවෙයි. 2018 පළාත් පාලන මැතිවරණයේදී තමන් කවදාවත් නොදැකපු, තමන්ගේ කොට්ඨාසයේවත් නොයන අයට මේ රටේ ජනතාව කතිරය ගැහුවා. හොඳම උදාරණය මහරගම නගර සභාව. ඒ නිසා ඡන්දය දීමේදි ජනතාවට එම අපේක්ෂකයන්ගේ සමීප බව එතරම් අදාළ නොකරගන්නා බවක් පේනවා. ඒ වගේම ජවිපෙ කියන්නේ නොදන්නා පක්ෂයකුත් නෙවෙයි. මේ රටේ හැම ප්‍රශ්නයකදීම ඔවුන්ට මුලින්ම මතක් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. සමහර කෙනකුට දෙවියන් මතක් වෙනවා. දෙවියන් ළඟ ඉන්න කපුවන්ට ප්‍රශ්නයක් ආවම ඔවුන්ට ජවිපෙ මතක් වෙනවා. තමන්ට කරදරයක් වුණාම මතක් වෙන කෙනා ඡන්දෙදි ඇයි මතක් නොවෙන්නේ ඇයි කියලා ජනතාව තමන්ගේම අසාගත යුතු ප්‍රශ්නයක් වගේම මේක සමීප වීම හෝ නොවීම අතර ප්‍රශ්නයක් නෙවෙයි.

එහෙම නම් මොකක්ද ප්‍රශ්නය?

තවමත් මේ බලය හොබවපු පක්ෂ දෙකට කොතරම් විවේචන තිබුණත් තීරණාත්මකව ගැලවෙන්නට විවිධ කාරණා මත ජනතාව මැලිකමක් දක්වනවා. ඒ නිසා තීන්දුව ගන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි ජනතාව. අපේ තිබෙන මෙන්න මේ වරද නිසා ඔබට ඡන්දය දෙන්නේ නෑ කියලා ජනතාව කීවොත් අපට ඒ වරද හදාගන්න පුළුවන්. හැමෝම කියන්නේ ඔබ අවංකයි, ඔබ හොරකම් කරන්නේ නෑ කියලා. ඔක්කොම හොඳ කාරණා තියෙද්දි දිනන්නේ නැති නිසා කතිරේ ගහන්නේ නෑ. තකිරේ ගැහුවොත් තමයි දිනන්නේ කියලා ජනතාව තේරුම් ගන්නෙත් නෑ. ඒ නිසා මෙය වෙනස් කර ගත යුත්තේ ජනතාවගේ පැත්තෙන්.

සංවාදය [රසිකා හේමමාලි]

මාතෘකා