ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ පර්යේෂණ

 ඡායාරූපය:

ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ පර්යේෂණ

සිංහරාජයේ මහ ඇදුරු වත

සිංහරාජ පර්යේෂණ මධ්‍යස්ථානය මුල් කරගෙන සිදුකරන සියලු පර්යේෂණයන්ට තම උපරිම දායකත්වය දෙමින් මාටින් විජේසිංහයන් විද්‍යාර්ථීන් සමඟ උරෙනුර ගැටී කටයුතු කරන අයුරු පසුගිය සතියේ ඔබට කීවෙමු. පර්යේෂණ හා තොරතුරු එක්රැස් කරගැනීම සඳහා ඔහු විද්‍යාර්ථීන් පිරිසක් සමඟ සිංහරාජය තුළ මංමුළාවී ලැබූ රසබර අත්දැකීම් ද විස්තර කළෙමු. අද එතැන් සිට ඉදිරියට.

එදා මහ කැලය තුළ මං මුලාවී ලැබූ අත්දැකීම් සේම තම පිරිස දැක මිහිඳුතලාව ගම්වැසියන් බියට පත් වීම ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන සිදුවීම් බව අදත් මාටින් විජේසිංහයන් පවසයි. කැරලි ගැසුණු දිග කොණ්ඩයත් මුහුණ පුරා වවා සිටි රැවුලත් හේතුවෙන් සරත් කොටගම අඩ අඳුරේ දුටු ගම්වැසියන් සිතා ඇත්තේ ඔහු ආදිවාසියකු ලෙසයි. ඡායාරූප ගැනීමට ගෙන ගිය ආධාරකය ( tri pord) කානු තුනේ තුවක්කු ලෙස දැක තිබිණි.

අතැඹුලක් සේ සිංහරාජය ගැන දන්නා මාටින් විජේසිංහයන් සිංහරාජයේ අතරමං වීම ද එක් අතකින් සුවිශේෂ කරුණකි. තමන් ලැබූ අත්දැකීම් මත සිංහරාජයට ඇතුළුවන ඕනෑම අයකුට මඟපෙන්වන්නකු සිටිය යුතු බව මාටින් අයියා සිතන්නට විය . එවකට සිංහරාජයට ඇතුළු වන්නන් සඳහා මඟපෙන්වීමට කිසිවකු නොසිටියේය. මේ සියලු දේ සැලකිල්ලට ගත් මාටින් අයියා තම අදහස එවකට සංරක්ෂක ලෙස කටයුතු කළ භාරතීය මහතාට යොමු කළේය.

තමන් යටතේ සේවය කරනු ලබන බංගලා මුරකරුවාගේ අදහස ක්‍රියාත්මක කළ යුතු දැයි දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස භාරතී මහතා කිසි විටෙක නොසිතුවේය. එයට හේතු වූයේ ඒ වන විට මාටින් අයියා කෙරෙහි දෙපාර්තමේන්තු ප්‍රධානීන් තුළ ඇතිව තිබූ විශ්වාසයයි.

මාටින් විජේසිංහයන් ඒ ගැන මෙසේ කීය, “මම භාරතී මහත්තයට කිව්වා සිංහරාජය නරඹන්න, තොරතුරු හොයන්න එන අයට පුහුණු මඟපෙන්වන්නන් අවශ්‍ය බව. ඊට පස්සේ මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කරන්න දහ දෙනෙක් බඳවා ගත්තා. ඒ අය ඔක්කොම අවට ගම්වල අය. ඒ අයට අවශ්‍ය පුහුණුව ලබා දුන්නා. මේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මට. දින දහයක් පුරා පැවති පුහුණුව සඳහා සරත් කොටගම සර් සමඟ විශ්වවිද්‍යාලයේ ළමයි උදවු කළා. ඒ වගේම පළමු වතාවට සිංහරාජයේ ඇති වැදගත්කම ගැන අවට ගම්වාසීන්ට වැඩමුළුවක් තිබ්බා.”

රාජකාරි නියමයකින් තොරව සිංහරාජයේ පළමු මඟපෙන්වන්නා ලෙස කටයුතු කළ මාටින් අයියාගේ සිතිවිල්ල මුල්කරගෙන ඇරඹි සිංහරාජයේ මඟපෙන්වන්නන්ගේ සේවය අද දක්වාම ක්‍රියාත්මක පවතී. එය සිංහරාජය නරඹන්නන්ගේ සේම සිංහරාජ වනයේද ආරක්ෂාවට හේතු වී ඇත.

කවුද ඒ මුලින්ම බඳවා ගත්තු අය මම මාටින් අයියාගෙන් විමසුවෙමි.

“මට දැන් ඔක්කොම නම් මතක නෑ. සුනිල්, යසරත්න, ප්‍රඥාරත්න, සෝමපාල යන අය හිටියා මතකයි. හැබැයි දැන් අලුතින් බඳවා ගන්නා අයට එදා වගේ පුහුණුවක් ලැබෙන්නේ නෑ” යැයි ඔහු පැවසුවේ තරමක නොසතුටකිනි.

නිතර දකින කුකුළාගේ කරමලේ සුදට පෙනෙන්නා සේ බලධාරීන්ට මාටින් අයියාගේ වටිනාකම නොපෙනීම රටේ අවාසනාවක් බව මට සිතුණි.

සිංහරාජයේ පැළ සිටුවීම (වන වගාව ),පැළ තවාන් කිරීම, පර්යේෂණ මධ්‍යස්ථානය බලාකියා ගැනීම, පර්යේෂණ සඳහා සහාය වීම, විද්‍යාර්ථීන්ට ආහාරපාන සකස්කර දීම ආදී රාජකාරිවලට අමතරව ඔහු මඟපෙන්වන්නන් පුහුණු කිරීමද සිදු කර ඇත. තමන් වෙත පැවරුණු රාජකාරියවත් හරිහැටි ඉටුනොකරන රාජ්‍ය සේවකයන්ට මාටින් අයියාගෙන් ගත හැකි පාඩම් බොහෝය.

මේ ඔක්කොම රාජකාරිය කරන්න මාටින් අයියාට වේලාව තිබුණා දැයි මම ඇසූ ප්‍රශ්නයට ඔහුගෙන් ලැබුණේ කදිම පිළිතුරකි.

“ ඔය කිව්වේ මම කොරපුවායෙන් දහයෙන් එකක් විතරයි. මම දෙපාර්තමේන්තුව වෙනුවෙන් තිස් වතා‍ෙක් විතර උසාවි ගිහිල්ලා තියෙනවා. සිංහරාජයේ නීති විරෝධී වැඩ කරපු අය අරගෙන, වේවැල් කපපු අය බඩුත් එක්කම පොලිසියට ඉදිරිපත් කළා. ”

මගේ මීළඟ පිවිසුමට මාටින් අයියාගේ පිළිතුරෙන් කදිම උත්තේජයක් ලැබිණි. සිංහරාජ වනයට ආවේණික වේවැල් වර්ග මොනවාදැයි මා ඇසූ පැනයට මාටින් අයියා ගේ පිළිතුර වඩාත් විස්තරාත්මක විය.

“ ලෝකයේ හොඳම වේවැල් වර්ග ඔක්කොම සිංහරාජයේ තියෙනවා. මාවේවැල්, කුකුළු වැල්, තිබ්බොටු වැල්, අළු වේවැල්, නර වැල් ඒ අතර ප්‍රධානයි. මේවායින් කුකුළු වැල්වල විතරක් ප්‍රභේද තුනක් තියෙනවා. 1956දී සිංහරාජ වේවැල් කපන්න බද්දේගම පැත්තේ කෙනෙකුට බදු දුන්නා. එයින් විශාල වේවැල් ප්‍රමාණයක් සිංහරාජයට අහිමි වුණා.”

එක වේවැලක් කැපුවාම වේවැල් පඳුරම විනාශ වන බවට ඇති කතාව ගැන මාටින් අයියාගෙන් විමසුවෙමි.

“ වේවැලක් කැපුවාම ඒකෙන් දවස අටක් - දහයක් යනකල් දියරයක් ගලා යනවා. ඒ දියරය වේවැල් පඳුරේ ගෑවුණොත් වේවැල් පඳුරම මැරෙනවා. මේ බව අද විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා. මේක අපේ පැරැන්නන් දැනගෙන සිටියා. ඒ විද්‍යාත්මකව නොවෙයි. ප්‍රායෝගිකව. ඔවුන් වේවැල් කපනකොට පඳුරේ මුලින් අඩි හතරක් පහක් දුරින් වේවැල කපන පුරුද්දක් තිබුණා. ඊට පස්සේ ඒ කපපු වේවැලේ කෙළවර බිම ඇනලා තියෙනවා යැයි” ඔහු පැවසුවේ අපේ පැරැන්නන් තුළ තිබූ දැනුමට උදාහරණයක්ද සපයමිනි.

වේවැල් ශාකයේ තවත් විශේෂ ලක්ෂණයක් ගැන මෙහිදී අපට දැනගන්නට ලැබුණි. ගසක් මුදුනට ඇදුනු වේවැල ගසට වඩා උස යන විට ස්වභාවිකවම පහත්වෙමින් ගසේ උස මට්ටමේ හැමවිටම වේවැලේ අගිස්ස රඳවා ගැනීම සිදුකරයි. කිසිම ලෙසකින් ඉහළට යන්නට ආධාර කරගන්නා ගසට දරා සිටින්නට බැරි තරමට වේවැල ඉහළට නොයයි. එය සොබාදහමේ අපූරු රීතියකි.

අසූව දශකය වන විට අපේ රටේ වේවැල් ශාකය බීජයෙන් ව්‍යාප්ත කර ඇති ආකාරය ගැන කිසිවකුටත් අවබෝධයක් නොවූ අතර ඒ ගැන සෙවීමටද කිසිවකුගේ අවධානය යොමු වී නොතිබිණි. පර්යේෂණ මධ්‍යස්ථානයේ දහසකුත් කාර්යයන් අතර මාටින් අයියා ගේ සිත මේ කෙරෙහි යොමු විය. එහි ප්‍රතිඵලය වූයේ වේවැල් බීජය තුලින් වේවැල් පැළ කරගන්නා ආකාරය සොයා ගැනීමයි .

මෙතෙක් කලක් බීජ මඟින් වේවැල් පැළ කරගන්නා ආකාරය සොයා ගැනීමට නොහැකි වීම ගැන අපි මාටින් අයියාගෙන් විමසුවෙමු.

“වේවැල්වල හටගන්නා බීජ වැලේදීම වඳුරො, කුරුල්ලො කනවා. බිම වැටුණා ම ඌරො, ඉත්තෑවෝ, මුගටියෝ කනවා. මේ නිසා ස්වාභාවිකවම වේවැල් ව්‍යාප්ත වීම පාලනය වෙනවා.” යැයි ඔහු පැවසීය.

නව සොයා ගැනීම වෙනුවෙන් රාජකාරිමය පැත්තෙන් ඔහුට ලැබුණ දිරිගැන්වීම් ගැන විමසූ විට ඔහු පැවසූ පිළිතුරින් සමාජය කෙතරම් ආත්මාර්ථකාමීදැයි මට සිතුණි.

“ මම වේවැල් බීජ පිරිසුදු කරල අව්වේ වේළාගෙන වැලි පස් යොදා බඳුන් ගත කළා. ඒවා හොඳින් පැළ වුණා. මසකට වරක් පැළවල වර්ධනය සිදුවන ආකාරය ගැන වාර්තාවක් හැදුවා. පැළයේ කොළ ප්‍රමාණය, කඳේ දිග, වට ප්‍රමාණය ගැන. ඒ වාර්තා පෙන්වා කැලේ දෙපාර්තමේන්තුවේ මහත්තයෙක් රට ගියා කියලත් පස්සෙ කාලෙ ආරංචි වුණා.”

මෙවැනි සිදුවීම් වෙද්දී සිත රිදුණේ නැද්දැයි මම ඇසීමි.

එයට මාර්ටින් අයියාගේ පිළිතුරින් ඔහුගේ සිතිවිලි හා ඔහු සිතන පතන ආකාරය කෙතරම් උසස් දැයි මට සිතිණි.

කුඩා කල පටන් ඔහු තුළ තිබූ අධිෂ්ඨානශීලීත්වය කුමන ලෙසකින්වත් අඩු නොවීම මාටින් අයියාගේ චරිතය පුරා තිබූ ප්‍රධාන ලක්ෂණයයි. දෙපාර්තමේන්තුව විසින් කොතරම් නොසලකා හැරීම් කළද සේවයට කැපවීම බිඳක් හෝ අඩු නොකරන්නට ඔහු වගබලා ගත්තේය ඔහු තුළ තිබූ අලුත් දේ පිළිබඳ සොයා යෑමේ නොතිත් ආශාව මැඬලීමට ඒ කිසිදු දෙයක් සමත් නොවීය.

ඒ වන විට ඔහු සේවය කළ පර්යේෂණ මධ්‍යස්ථානයට විදුලිය නොතිබිණි. ලන්තෑරුම් එළියෙන් මාටින් අයියා රාත්‍රියේදී ස්වඅධ්‍යයන කටයුතුවල නිරත විය. දිවා කාලයේ අසන්නට, දකින්නට ලැබෙන අලුත් අලුත් දෑ පිළිබඳ සටහන් යෙදීමටත් දෛනිකව වර්ෂාපතනය, උෂ්ණත්වය වැනි කාලගුණික වෙනස් වීම පිළිබඳ දත්ත සටහන් කිරීමට ඔහු වගබලා ගත්තේය.

තමන් දැඩි සේ කැපවීමෙන් යුතුව උකහා ගත් දැනුම තමන් වෙත එන විද්‍යාර්ථීන්ට ලබාදීමට ඔහු නිර්ලෝභී විය. එදා මාටින් අයියාගේ ඇසුර ලබමින් සිංහරාජයේ පර්යේෂණවල නියැලුණු සරසවි සිසුන් බොහෝ දෙනෙක් අද විවිධ තානාන්තර දරති. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිහාල් දයාවංශ, වනසංරක්ෂණ කොමසාරිස් ධුරය දැරූ අනුර සතරසිංහ, අමාත්‍ය චම්පික රණවක, නීලා ද සොයිසා ආදීන්ගේ නම් අදත් මාටින් අයියාගේ මතකයේ හොඳින්ම රැඳී පවතී.

පෙර නුදුටු ශාක විශේෂයක්, පක්ෂියකු, උරගයෙකු හෝ යන්තමින් පියවි ඇසට පෙනෙන කෘමියකු තමන්ගේ නෙත ගැටුණු සැනින් ඒ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු සෙවීම මාටින් අයියාගේ සිරිත විය. ශාක විශේෂයක් නම් තමන්ගේ මට්ටමින් කරුණු සෙවීම නිමා කළ පසුව ජාතික ශාකාගාරයේ ආචාර්ය මැග්ඩන් ජයසූරිය මහතා වෙත යොමු කිරීම ද ඔහුගේ ක්‍රියා පිළිවෙතයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ සිදුකරන මැග්ඩන් ජයසූරිය මහතා එය මෙතෙක් සොයා නොගත් ශාක විශේෂයක් බව වැටහුණහොත් එය ඇමරිකාවේ ක්‍යු ගාර්ඩ්න් පර්යේෂණාගාරයට යවා එය වඩාත් තහවුරු කරගනියි. මෙම ක්‍රමවේදය තුළින් නව ගෝන අල විශේෂයක් ලෝකෙට හඳුන්වා දෙන්නට මාටින් විජේසිංහයන් සමත් වී ඇත.

“මගේ ‘දිසිතුරු’ නිවස අසල තිබී මෙතෙක් සොයා නොගත් ගෝන අල විශේෂයක් ලෝකයට හඳුන්වා දෙන්න මට හැකිවුණා. එහි වැඩිදුර පර්යේෂණ කටයුතු කළේ මැග්ඩන් ජයසූරිය මහත්තයා.ඉන්පසු ජයසූරිය මහත්තයාගේ හා මගේ නමින් Dyrocorya koyama jayasuriya and wijesingha ලෙස නම් කළා.” යැයි මාටින් අයියා පැවසුවේ අභිමානයෙනි.

සටහන [පබදු සපුතන්ත්‍රි]

ඡායා [චේනක වික්‍රමාරච්චි]

මාතෘකා