“මල් වාරය”

 ඡායාරූපය:

“මල් වාරය”

ඉර මේ දවස්වල කේන්තියෙන් අහස හරහා යන නිසා උණුසුම දවස පුරාම පරිසරය පුරාම එතිලා. ඒ උණුසුම මැද්දෙන් යටිනුවර විදියේ කෙළවරක ඉඳන් මල් පාවඩ එලලා. සිල්වෙස්තර විදු මෑණියන් සෙවණට එන්නැයි කියන ආරාධනය ඇගේ දරුවන්ට කරන්නාක් වගේ පාසල තෙක්ම ඒ මල් පාවඩය ඇතිරිලා. ඇත්තටම ඒ මල් පෙති උඩින් පියවර තියන්න හිතන්නත් අපහසුයි.

සිකුරාදා දවස නිසා පළමු කාලච්ඡේදය විද්‍යාව විෂයට වෙන් වෙලා. පන්තිභාර ගුරුතුමියම විද්‍යාව උගන්වන නිසා එතුමිය විෂය කරුණු ගැන වගේම අනෙක් බොහෝ දේවල් ගැන අදහස් විමසනවා. මේ අතරතුරේ පංති කාමරයේ දොරකඩින් හුරු හඬක් ඇහෙනවා. “සමාවෙන්න මැඩම් බාධා කළාට, මට චමත්ක මල්ලිට පණිවිඩයක් කියන්න පුළුවන්ද?”

“පුතේ, මෙන්න ඔයාට පණිවිඩයක් කියන්න මේ පුතා ඇවිත්.” මගේ ඇස් දොර දිහාවට. පාසල් මාධ්‍ය ඒකකයේ සභාපති, තනූජ අයියා පණිවිඩයක් අරන් ඇවිත්.

“මල්ලී, ඔයාගේ ලිපියකට ජයග්‍රහණයක් ලැබිලා. ලබන සඳුදා ඇන්තනීස් මීඩියා ඩේ එකට යන්න වෙනවා සහතිකය ගන්න. මම එදාට එන්නම් ඔයාව එක්කන් යන්න.”

“ගොඩාක් ස්තුතියි අයියා.”

තනූජ අයියා කොරිඩෝව දිගේ ගිහින් නොපෙනී යද්දී මගේ හිත ඒ කොරිඩෝව දිගේ සතුටින් එහා මෙහා දුවනවා. පාසල ඉස්සරහා පිපිලා තිබුණු රොබරෝසියා මල් ගොන්නම මගේ වටේ පිපිලා කියලා දැනෙන තරම් සතුටක්. මොකද ඇත්තටම සිල්වෙස්තර විද්‍යාලයට මම ඇතුළත් වෙලා මාස හයක විතර කාලයක් ගෙවෙද්දී පාසලට මට හැකි අයුරින් ජයග්‍රහණයක් දිනා දෙන්න හැකිවීම මට හැම දෙයකටම වැඩියෙන් වටින නිසා.

“අපිට සතුටුයි පුතා, ඔයා නිසා පාසලටත් ආඩම්බරයි.” ගුරුතුමියගේ හඬ ඒ අතරින් හිතේ හිඩැස් හොයනවා.

ඒත් එක්කම මගේ මතකය පහුගිය කාලයට ඇදෙනවා. සමහර සිදුවීම් අමතක කරන්න වුවමනා වුණත් ඒ අතීතය මතකයන් විදිහට වරින්වර එළියට එනවා. මගේ පළමු පාසලේ මාධ්‍ය කවයට එකතු වෙන්න තිබුණු අපහසුතාව නිසා බොහෝ තරග මගෙන් ඈතට ඇදුණා. මාධ්‍ය අංශයෙන් ජයග්‍රහණයක් දිනා ගන්නවාටත් වඩා උවමනාවත්, ආසාවත් වුණේ මොනයම් ඉසව්වකට හෝ සහභාගි වෙන එකයි. ඒත් ඒ අවස්ථාවල් සිහිනයකට සීමා වෙද්දී කැමැත්ත, ආශාව මටත් හොරෙන් මාව තනි කළා. ඒත් මේ අලුත් මල් වාරේ රොබරෝසියා මල් පිපුණු වසන්තය මාව හොයාගෙන ඇවිත්.

සඳුදා උදෑසනින්ම තනූජ අයියාත් තවත් අයියලා කිහිප දෙනකුත් එක්ක උත්සව ශාලාවට ඇතුළු වෙද්දීත් ආසන බොහොමයකම මම හඳුනන යහළුවන් වාඩි වෙලා. තවත් මොහොතක් ගතවෙද්දී උත්සවය ආරම්භ වුණා. නොයෙක් මාධ්‍ය ඉසව් එකින් එක වේදිකාව පුරවද්දී අවසානයේ ජයග්‍රාහකයන්ට සහතිකපත් පිරිනමන්න වෙන් වෙලා. අපේ පාසලේ මාධ්‍ය ඒකකය අනික් පාසල් අතරින් ඉදිරියෙන් රැඳුණු නිසා ඒ සම්මානය පාසලට හිමි වුණා. මහනුවර පාසල් රැසක සහෝදර සහෝදරියන් ඒ අතරින් තමන්ට හිමි සහතික පත් ලබා ගනිද්දී මගේ වාරයත් ආවා.

“පුවත්පත් වාර්තා සංස්කරණ අංශයේ ප්‍රථම ස්ථානය, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ චමත්ක කවීන්...”

ඒ පූර්විකාවත් එක්ක තවත් දේ නිවේදනය වුවත් මට ඒ දේවල් ඇහුණේම නැති තරම්. තවත් මොහොතකින් තනූජ අයියා මගේ ගාවට ළං වෙලා, “මල්ලී, අපට සතුටුයි. හොඳින් වැඩ කරගෙන යන්න. උවමනා දෙයක් තිබුණොත් කියන්න.”

ඒ ශක්තිය මට තවත් නිර්මාණ කරන්න මොනතරම් උත්තතේජනයක්ද? අනෙක් පාසල්වල සහෝදර සහෝදරියන්ගේ සුබ පැතුම් ඒ වගේම උණුසුම්. කාලයකට පස්සේ හිමිවුණු මේ සහතිකය දෙමාපියන්ගේ අත්වල රැඳෙද්දී ඒ මුහුණුවල ඇඳෙන සතුටු සිනහව දකින්න හිත නොඉවසිල්ලෙන්.

පාසල් ශිෂ්‍යයෙක්ට තමන්ගේ හැකියාවන් තවත් ඔපමට්ටම් කර ගන්න ඒ පාසලෙන් ලැබෙන උපකාරය අමිලයි. ඒ හැකියාව කලා ඉසව්වකින්, ක්‍රීඩා ඉසව්වකින් හෝ වෙනත් මොනයම් ඉසව්වකින් වුණත් අපේ අනාගතයට එක්කාසු කරන වටිනාකම මොනතරම්ද?

ආපහු ගෙදර යද්දී මල් ගස් යටින් යන්න ඕනේමයි. ඒ මල් පෙති කිහිපයක් පෑගුණත් මල් අමනාපයක් නොවේවි. උදේ පාසලෙන් එද්දී ඒ ගස් “ඇයි මේ කලින් පාසලෙන් යන්නේ...?” කියා ඇසූ බොහෝ වාරයන් ඇති. ඒ හැමෝමත් එක්කම මගේ සතුට බෙදා ගන්න, මල් පාවඩය උඩින් ඇවිදගෙන යන්න එන්න ඕනේ. වසන්තය, ගිම්හානයටත් මේ පණිවිඩය කියාවි. “මම ආපසු එනකම් ඔහුත් එක්කම රැඳිලා ඉන්න...”

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා