'නිහඬ තරුණයන්ට' දිරි දෙන කුරුණෑගල 'සුහද' වැඩබිම

 ඡායාරූපය:

'නිහඬ තරුණයන්ට' දිරි දෙන කුරුණෑගල 'සුහද' වැඩබිම

"තරුණ ළමයි හොඳට ඉගෙනගෙන, මංමාවත්වල, ඔරලෝසු කණු ළඟ, රැකියාවක් ඉල්ලමින් බෝඩ් උස්සගෙන කෑ ගහනවා කිසිම ශාරීරික ආබාධයක් නැතිව. කෑ ගහන්න තියා, කතා කරන්නටවත් බැරි අපේ තරුණයෝ රුපියල් පනස්දාහේ සිට ලක්ෂය දක්වා මාසික ආදායම් ලබනවා."

විවේචනයක්ද සමග මුසු වුණු ඒ අපූරු ආරංචිය ඔස්සේ ගිය අපි නතර වුණේ, කුරුණෑගල වැහැර වාහන අලුත්වැඩියා කරන වැඩ බිමක.

වාහනවල ලයිට් වර්ග, කන්නාඩි වර්ග වැනි අමතර කොටස්, ෆයිබර්ග්ලාස් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන කොටස් යනාදිය, අලුත්වැඩියා කිරීම සහ අලුතින්ම නිර්මාණය කිරීම මෙම ආයතනය තුළ සිදු කෙරෙනවා. රිය අනතුරුවලින් වාහනවලට සිදුවන හානි නැවත යථා තත්ත්වයට පත් කිරීම් මෙම ආයතනය තුළ ඉතාමත් සාර්ථකව සිදුවන බව ප්‍රකටයි.

මිනිස් කටහඬින් තොර, මිනිස් ක්‍රියාකාරකම් පමණක් ඇසෙන වැඩපෙළහි තරුණයන් කීප දෙනෙකු වැඩ කරමින් සිටියා. අප එහි ගොස් සිටි බවක් ඔවුන් නොදුටු ගාණයි. ඔවුන්ගේ වැඩ දෙස බලා සිටි කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ ප්‍රසන්න කුමාරසිරි මහතා අප සමඟ කතාබහ කළා.

සුහද සේවය

"මගේ වාහනයේ ඊයේ හවස ආබාධයක් ඇති වුණා. වේලාව හවස හතරට, පහට විතර ඇති. තැන් කීපෙකටම ගියා 'දැන් වැඩ කරන්න වෙලාවක් නෑ. හෙට ගේන්න' කියලයි හැමෝම කීවේ. නමුත් අහම්බෙන් මම මේ ආයතනයට වාහනය අරගෙන ආවා. වැඩ ඇරෙන වෙලාව පහුවෙලා තිබුණත් ඒ අය මගේ වාහනය පරීක්ෂා කර බැලුවා. වාහනය තාවකාලිකව අලුත්වැඩියා කරල දීලා හෙට ඉතිරි වැඩ කරල දෙන්න පොරොන්දු වුණා. මම මෙතනට එනතුරු දැනගෙන හිටියෙ නෑ මෙතන වැඩ කරන්ෙන කතා කරන්න බැරි සේවකයින් බව. මට කළ උදව්ව නිසා ඒ අය ගැනත් ආයතනය ගැනත් මට ලොකු පැහැදීමක් ඇති වුණා." කුමාරසිරි මහතා අප සමඟ පැවසුවා.

අද උදේම යළිත් මෙහි පැමිණි කුමාරසිරි මහතා ආයතනය ගැන බොහෝ දේ නිරීක්ෂණය කර තිබුණා.

"මට ඊයේ හවස ලොකු විශ්වාසයක් ඇති වුණා. ආයතනයේ කළමනාකාර මහත්මයාගෙ කාරුණික බව ආයතනයක පැවැත්මට, කාර්ය මණ්ඩලයේ ක්‍රියා පිළිවෙතට හේතු වෙනවා. මම ඒ තත්ත්වය මෙහිදී දැක්කා. මෙවැනි තරුණයන්ට අත දීමම, මේ ආයතනය දියුණු වන්නට හේතු වෙනවා. ලෝකයේ වෙනත් රටවල්වල ආයතනයකට සේවකයන් බඳවාගැනීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සියයට විස්සක අවස්ථාවක් දෙනවා. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැහැ. මේ ආයතනය රටට ආදර්ශයක්."

කුරුණෑගල වෙලන්ගොල්ල වත්ත පදිංචි ව්‍යාපාරිකයෙකු වන එස්. එම්. ඩී. ටී. සමරවීර මහතා තම මෝටර් රථය අලුත්වැඩියා කර ගැනීම සඳහා මෙම ආයතනයට පැමිණ සිටි තවත් ගනුදෙනුකරුවෙකි. ඔහුට මේ ආයතනය ගැන තිබුණේ දිගුකාලීන අත්දැකීමක්.

"මීට වසර ගණනාවකට පෙර මම මෙම ආයතනයෙන් වැඩ කරගෙන තියෙනවා. කථන ආබාධ සහිත තරුණයෝ වාහන සේවා කටයුතු කරන ආකාරය ඇත්තටම අගය කළ යුතුයි. එදා මම මේ ආයතනයට එද්දි මේ තරම් ලොකු ආයතනයක් නෙවෙයි. නමුත් අද තියෙන තත්ත්වය දැක්කාම මට ඉතාමත් සතුටුයි. අද මේ ආයතනය ගොඩක් දියුණු තත්ත්වයට පත්වෙලා. එයට මේ තරුණයෝ වගේම මේ ආයතනයේ හිමිකරුවාත් හේතුවක් වන්නට ඇති. මෙවැනි ආයතන ඇත්තටම ඇගයීමට ලක් විය යුතුයි."

නිහඬ කතාබහ

අලව්ව, කෑගල්ල, දෙහියත්තකන්ඩිය, හිරිවඩුන, යන ප්‍රදේශවල කථන ආබාධ සහිත තරුණයෝ මෙම ආයතනයේ වැඩ කරනවා. අමිල චින්තක එයින් එක් සේවකයෙක්. ඔවුන්ගේ බස නොදන්නා අපට, ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට මෙම ආයතනයේ මීළඟ හිමිකාරිත්වය දරන රුචිර සුබසිංහ මහතා සහාය වුණා.

"මට තාම වයස විසි අටයි. මගේ තාත්තා ජීවතුන් අතර නෑ. මට නංගියෙක් ඉන්නවා. මම තමයි අම්මයි නංගියි බලාගන්නෙ, පවුලට ආදායම් උපයන්නෙ. මම සාමාන්‍ය පෙළ සමත්. මේ ආයතනයට ඇවිත් වසර අටක් වෙනවා. ලොකු මහත්තයා තමයි වැඩවලට යොමු කළේ. වැඩ කරන විදිය බලාගෙන තමයි වැඩ පුරුදු වුණේ. දැන් හොඳ පුරුද්දක් තියෙනවා. මම රස්සාව කරන්නෙ හරිම කැමැත්තෙන්. මේ ආයතනයේ හිමිකරු අපිට හොඳින් සලකනවා. පඩි හොඳයි. වෙනත් තැනක වැඩට යන්න අදහසක් නෑ."

සම්පත් ධර්මසිරි එහි සේවය කරන තවත් තරුණයෙක්. ඔහු මෙසේ පැවසුවා.

"මම මේ ආයතනයේ වසර ගණනාවක් තිස්සේ සේවය කරනවා. ඉතාමත් පහසුවෙන් මේ වැඩ කටයුතු අවබෝධ කරගෙන වැඩ කරන්න කියලා දුන්නෙ මේ ආයතනය අයිති මහත්තයා. විශේෂ පුහුණුවක් ලැබුවේ නැහැ. දවසින් දවස වැඩ ඉගෙන ගත්තා. ඒ දවස්වල ඉඳලම පඩි දුන්නා. දැන් ලොකු පඩියක් ගෙවනවා . මම සාමාන්‍ය පෙළ දක්වා විතරයි ඉගෙන ගත්තේ. මගේ ලොකු බලාපොරොත්තු නෑ. හොඳින් රස්සාව කරගෙන සතුටින් ජීවත් වෙන්නයි ඕන. ආයතනයට එන පාරිභෝගිකයන්ගේ සිත් සතුටු කරන්න මම උත්සාහ කරනවා." ඔහුගේද පියා මියගොස් ඇති අතර ඔහු දිවි ගෙවන්නේ මව සමගයි.

මේ ආයතනයේ විශේෂ අවශ්‍යතා සහිත සේවකයන් මෙන්ම එසේ නොවන අයද සේවය කරනවා. ඔවුන් කියා සිටියේ කිසිදු වෙනසක් නැතිව සියලු දෙනාම උරෙනුර ගැටී වැඩ කරන බවයි. වැඩකටයුතුවලදී එකිනෙකා හා අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය තරමට ඔවුන්ටත් සංඥා භාෂාව දැන් හුරු පුරුදුයි..

සඳගලින් ආ තරුණයෝ

වසර 20ක පමණ කාලයක් තුළදී කුරුණෑගල නගරයෙහි ක්‍රමයෙන් ගොඩනැඟුණු 'සුහද ෆයිබර්' ආයතනය ලලිත් සහ වසන්ත යන සොහොයුරන් දෙපළගේ උත්සාහයෙන් ගොඩනැඟුණු ආයතනයකි. විශේෂ අවශ්‍යතා සහිත තරුණයන් සිය කාර්යමණ්ඩලයට ඇතුළත් වීමේ අපූරු ඉතිහාසය, වසන්ත බමුණු ආරච්චි මහතා මෙසේ විස්තර කළා.

"මමයි, අයියයි එකතු වෙලා ඉතාමත් පුංචියට මේ ආයතනය පටන් ගත්තෙ. මුල් කාලයේදී සේවකයන් බඳවා ගත්තාම ඔවුන් වැඩ කළේ වැඩ පුරුදු වෙනකල් විතරයි. ඊට පස්සේ ඔවුන් ඉවත්වෙලා වෙනත් තැන්වලට යනවා. ඔය අතරෙදි තමයි අපේ අයියා සඳගල ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා දානයක් රැගෙන යන්නේ. ඒ අවස්ථාවේදී ළමා නිවාසයෙන් පිටව යන තරුණයන්ට රැකියාවක් ලබාදීමට අයියා කැමැත්ත පළ කරනවා. ඒ අනුව තමයි වසර දොළහක (12) පමණ කාලයක් තිස්සේ අපේ ආයතනයේ කථන ආබාධ සහිත තරුණයෝ වැඩ කරන්නේ. මේ වෙනකොට ඒ වගේ අය පහළොවක්, විස්සක් විතර වැඩකරලා තියෙනවා. ඒ අය මෙතනින් වැඩ ඉගෙන ගෙන දැන් වෙනත් වෙනත් තැන්වල වැඩ කරනවා. ගොඩක් අය දැන් විවාහ වෙලා. අවුරුද්දකට සැරයක් විතර ඒ අය ඇවිත් යනවා."

මේ අයගේ හොඳ ගැන බොහෝ අගය කරන අතරම මෑතක සිට තරුණ පරපුරට පොදුවේ එල්ල වන චෝදනාවක් ඔවුන්ටත් අදාළ වන බව වසන්ත මහතා පැවසුවේ සිනහමුසුවයි.

මේ අය කරන වැඩේට පූර්ණ අවධානය යොමු කරන නිසා වෙනත් අයට වඩා වැඩ කරනවා. ඒත් මෑත කාලයේ ස්මාර්ට් ෆෝන් පාවිච්චිය වැඩි වීමත් එක්ක අනිත් අයට වෙච්ච දේ මේ අයටත් අදාළයි. මුල් කාලයේදී මේ අය දුරකථනය භාවිත නොකළ නිසා උපරිමයෙන් වැඩ කළා. නමුත් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්න ගත්තට පස්සේ වැඩවලට බාධා සිද්ධ වෙනවා. නමුත් අපි මේ අයගේ හිමිකම් අහුරලා නෑ."

සමාජ සත්කාරයක්

සුහද හිමිකරු වන ලලිත් සුබසිංහ මහතා ඔවුන් ගැන මෙහෙම කිව්වා.

"මම සඳගල ළමා නිවාසයට දානය රැගෙන ගියාට පසුවයි මෙවැනි අදහසක් පහළ වුණේ. ඊට පස්සේ තමයි මගේ ආයතනයට මේ තරුණයෝ එන්නෙ. මම මේ අය ආයතනයට බඳවා ගන්නට පෙර මගේ නෝනා එක්ක කතා කළා. වැටුපට අමතරව මේ සේවකයන් සඳහා දිවා ආහාරය ලබාදීමට අපි තීරණය කළා. ගෙවුණු වසර 12දීම අපි ඒ පිළිවෙත පවත්වාගෙන ගියා. ඒ වගේම ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ලබාදෙනවා. සාමාන්‍යයෙන් එය අනිකුත් ආයතනවලට වඩා ඉහළයි. ඒ ඇරුණාම, ඇතැම් පාරිභෝගිකයන් මේ අයගේ හැකියාවන් ගැන සතුටට පත් වෙලා ඔවුන්ට මුදල් පරිත්‍යාග කරන අවස්ථා තියෙනවා.

මේ වෙද්දි අපි ළඟ තරුණයෝ දහඅටක්, විස්සක් විතර වැඩ කරලා තියෙනවා. මේ ආයතනයේ අංශ කිහිපයක් තියෙනවා. ෆයිබර් අංශයේ තමයි කථන ආබාධ සහිත තරුණයෝ වැඩ කරන්නේ. මම අද ගොඩක් සතුටු වෙනවා මගේ ආයතනය දියුණු වනවාට වඩා සමාජ සත්කාරයකට දායක වුණා කියලා." ලලිත් සුබසිංහ මහතා එසේ පැවසුවේ නිහතමානී ආඩම්බරයකිනි.

"ඔබ කෙනෙකුට මාළුවෙක් දුන්නොත් ඔහුගේ එක වේලක කුසගින්න නිවිය හැකිය. එහෙත් මාළු ඇල්ලීමට කියා දුනහොත් සදාකාලිකවම කුසගිනි නිවිය හැකිය" යි ප්‍රකට කියමනක් තිබේ. දානය පිරිණැමීම උතුම් සංකල්පයකි. එහෙත් කෙනෙකුට ජීවන මාර්ගයක් සලසා දීම මගින් ඔහුද දන් පින් කළ හැකි ස්වාධීන මිනිසකු බවට පත් කිරීම ඊටත් වඩා උතුම් ක්‍රියාවක් නොවේද?-

[චාන්දනී දිසානායක]

මාතෘකා