ළඟම පාසල හොඳම පාසල සමඟ ගමට S.T.E.M.

 ඡායාරූපය:

ළඟම පාසල හොඳම පාසල සමඟ ගමට S.T.E.M.

බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය දරන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති දැරියක වන නිෂි ඇමැන්ඩා උලගල්ල දියණිය සිය දක්‍ෂතා නැවතත් ප්‍රදර්ශnnනය කරමින් බ්‍රිතාන්‍යයේ බුද්ධිමත්ම ළමයා ලෙස කිරුළු පැලැන්දේ MENSA නම් ලෝකප්‍රකට බුද්ධි පරීක්‍ෂණයෙන් ලොව විශිෂ්ටතම ප්‍රාඥයන් වන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි ඵලයන් (Intelligent Quotient) වන 160ටත් වඩා ඉහළ අගයක් (162) ලබාගනිමිනි. වසර 13ක් වැනි කුඩා වයසකදී මෙවැනි හපන්කමක් කිරීමට ඇයට හැකි වූයේ ඇය, සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවලින් බැහැරව, සිය දක්‍ෂතා ඔප්නැංවීමේ අධ්‍යාපන ක්‍රමයකට අනුගත වූ නිසා බව ඇගේ දෙමාපියන් මෙන්ම පාසල් ගුරුවරුන්ද පවසා තිබිණි. ඈ වෙනුවෙන්ම සුවිශේෂී දක්‍ෂතා සහිත ගුරුවරියක් බඳවාගැනීමට පවා ඇගේ පාසල කටයුතු කර තිබුණේ ඇගේ නිසඟ දක්‍ෂතාවයන් මැනවින් හඳුනාගෙන තිබූ නිසා. එමෙන්ම ඇය කුඩා කල සිටම දැක්වූ හපන්කම් නිසා ඇය නියම වයසට සිටිය යුතු පන්තියට වඩා පන්ති දෙකක් ඉදිරියට යැවීමටද පාසැල කටයුතු කර තිබුණේ සම වයසේ දරුවන් හා තැබීමෙන් ඇගේ දැනුම සහ දක්‍ෂතා මොට වන බව අවබෝධ වී තිබූ නිසා. මුහුණුපොත පුරාවට පසුගිය සතියේ ඈ වෙනුවෙන් විවිධාකාර විස්තර ලියැවී තිබුණා. ඉන් සමහරක කියැවුණේ ඈ ලංකාවේ සිටියා නම් මේ තත්ත්වය කවදාවත්ම නොලැබෙන බවයි. එය සත්‍යයක් බව ලංකාවේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය දෙස බලන කෙනෙකුට සහ ඊයේ පැවැති ගුරුවරුන්ගේ වැඩ වර්ජනය දෙස විමසා බැලීමෙන් ඕනෑම කෙනෙකුට පසක් වෙනවා.

ඇත්තෙන්ම රටක් වශයෙන් අපට වැරදුනේ කොතැනද?

අප තවමත් සිටින්නේ වැඩවසම්, යටත්විජිත මානසිකත්වයක බව මෑතකදී රට තුළ සිදු වූ සිදුවීම් කිහිපයකින්ම අවබෝධ කරගත හැක. දරුවන් ශාරීරික දණ්ඩනයන්ට ලක් කර විනයානුකූල කිරීම හෝ යහමඟට ගැනීම නව ලොවට ගැළපෙන දෙයක් නොවේ.

දැන් පාසල් යන වයසේ දරුවන් අයත් වන්නේ Z පරම්පරාවටයි. එනම් 2005 සිට 2015 දක්වා ඉපදුණු දරුවන් වේ. මේ දරුවන් ඉපදී හැදී වැඩෙන්නේ අන්තර්ජාල යුගය තුළයි. එනම් ඔවුන් ඉපදෙන විටම දකින්නේ අන්තර්ජාලය හා සබැඳි උපාංගයි. සහශ්‍රයේ දරුවන් (Millennium Generation) සෙල්ලම් කරත්ත, සෙල්ලම් කාර්, දුරස්ථ පාලකවලින් පාලනය වන උපකරණ ආදියෙන් ක්‍රීඩා කළ අතර මේ දරුවන් භාවිත කරන්නේ ස්මාට් ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් වැනි නවීන තාක්‍ෂණයෙන් අනූන ඉලෙක්ට්‍රොක උපකරණයි. එසේම ඔවුන් ඒවාට අනුගතවීම අනෙකුත් පරම්පරාවන්ට වඩා ඉතා ඉක්මනින් සිදු වෙනවා. එසේම ඔවුන් පෙර පරම්පරාවන් මෙන් කියවා දැනුම ලබා ගන්නවා වෙනුවට පින්තූර, චලන රූප වැනි දෘෂ්‍ය මාධ්‍ය ඇසුරින් දැනුම ලබා ගැනීම වැඩියි. එය ඉතා ඉක්මනින් ඔවුන්ගේ දැනුමට එකතු වනවා. මේ නිසා ඔවුන්ගේ දැනුම දෙගුණ වීම අනෙකුත් පරම්පරාවන්ට වඩා ඉක්මන්. මේ දරුවන් දැනුමින් සන්නද්ධ කරවීම සිදු කළ යුත්තේ සාම්ප්‍රදායික ක්‍රමවලින් පමණක්ම නොවෙයි. ඔවුන් කියවීමට රුචි කරවීම මගින් දැනුමින් සන්නද්ධ කළ හැකි වුනත්, නවීනතම ඉගැන්වීම් ක්‍රම සහ වැඩිමනත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමෝධානිත කිරීමෙන් ඔවුන්ගේ පරිකල්පනය, නිර්මාණශීලීත්වය වැඩිදියුණු කළ හැකි අවස්ථා වැඩි වනවා.

මේ නව ආකල්ප සහ නව විධි ක්‍රම විදේශ රටවල යොදා ගැනීම නිසා ඔවුන් අධ්‍යාපන ක්‍රම අතින් වඩාත් ඉදිරියෙන් සිටිනවා. නව දැනුම සම්ප්‍රේෂණයට අවශ්‍ය තාක්‍ෂණය යොදා ගනිමින්, ස්මාර්ට් පන්ති කාමර, පන්තියටම ටැබ්, අති නවීන විද්‍යා පරීක්‍ෂණ, සහ ඒවා ඉදිරිපත් කිරීමේ නවීනතම තරග, විභාග කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීම, ඒ නිසාම ප්‍රතිඵල ක්‍ෂණයකින් ලබා ගැනීම, වැනි අනාගතයට වඩාත්ම උචිත විධික්‍රම භාවිත කර සිය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ සියල්ලම STEM අධ්‍යාපනය හරහා දරුවන්ට ලබා දීම, එසේම දරුවන්ගේ, දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්පමය විප්ලවයක් ඇති කිරීම මගින් STEM අධ්‍යාපනය කෙරෙහි දරුවන් වැඩි වැඩියෙන් නැඹුරු කරවීම යන කාරණා දැකිය හැකියි.

මේ අනුව යමින් ෆින්ලන්තය, ජපානය, කොරියාව වැනි රටවල් අධ්‍යාපනය සහ තාක්‍ෂණය අතින් ඉතා ඉදිරියෙන් සිටීම දැකිය හැකියි. අපද දැන් දැන් STEM අධ්‍යාපනය කෙමෙන් කෙමෙන් අධ්‍යාපන රටාවන්ට අනුගත කරනු නිරීක්‍ෂණය කළ හැකියි.

ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතිය, මහින්දෝදය විද්‍යාගාර සංකල්පය ආදී සංකල්පවලින් සිදු වන්නේ, නගරයට පමණක් සීමා වූ තාක්‍ෂණය සහ යටිතල පහසුකම් දියුණුව ගම කරා, තමන්ට ආසන්නතම පාසැල කරා කෙමෙන් කෙමෙන් ළඟා වීමයි. මේ නිසා දරුවනට සෑම විටම නගරයේ ඇති ජාතික පාසැල් කරා යාමට අත්‍යවශ්‍ය නොවනු ඇති. කෙනකු ඈත දුෂ්කර ගමක වූ එක ගොඩනැඟිල්ලක් පමණක් ඇති පාසැලක පහසුකම් මඳ යැයි මැසිවිලි නඟනු දුටුවත්, රෝමය ගොඩනැඟුනේ එක දවසකින් පමණක් නොවන බව සිතට ගත යුතුය.

සෑම පාසලකටම පහසුකම් සලසා STEM අධ්‍යාපනය ලබාදීම ඇරඹිය නොහැක. පහසුකම් ඇති ජාතික පාසල් තෝරාගෙන එය නියමු ව්‍යාපෘතියක් ලෙසින් සිදු කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් වී තිබේ. ඒ වාර්තාව අනුව දැන් දැන් විවිධ ව්‍යාපෘති පාසල්වල ස්ථාපිත කෙරෙනු දකින්නට හැක. එසේම සම්පත් බහුලව ඇති පාසල් දැන් දැන් SMART Classroom සංකල්පය අනුව දරුවන් අනාගත තාක්‍ෂණයට හුරු කරමින් පවතී. මෙසේ දරුවන් හුරුකරවීම මෙන්ම ඉතාම වැදගත්ම කාරණය වන්නේ ගුරුවරුන් සහ මවිපියන් STEM අධ්‍යාපනය වෙත නැඹුරු කරවීමයි.

STEM අධ්‍යාපනයේ මූලික අංගය වන්නේ STEM විෂයයන් සමෝධානිත කර, එය ව්‍යාපෘති සහ දැනුම - ශිෂ්‍ය මූලික අධ්‍යාපනයක් හරහා දරුවාට ලබා දීමයි. එහිදී ගුරුවරයා මඟපෙන්වන්නකු වන අතර වැඩිපුර දරුවාගේ කුතුහලය, නිර්මාණශීලීත්වය ආදිය ඔප් නැංවීමට මූලිකත්වය දෙනු ලැබේ. එය සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවලින් තරමක් බැහැරව සිදු වන නවමු ක්‍රියාදාමයක් විය යුතුය. සාම්ප්‍රදායික පන්ති රටාව දැනටමත් දරුවාට වදයක් වී ඇති අතර ඊයේ පැවැති ගුරු වර්ජනයේ ප්‍රධාන ඉල්ලීමක් වී තිබුණේ ගුරුවරුන් කොළ පිරවීමට යොදා නොගන්නා ලෙසයි. නවීන තාක්‍ෂණය භාවිත කර මේ කාරණා ඉවත් කළ හැකිවාක් මෙන්ම ගුරුවරු වඩ වඩාත් දරුවන් හා එක්ව ක්‍රියාකාරකම් භාවිතයෙන් සහ ප්‍රායෝගිකව කළ හැකි සමෝධානිත ව්‍යාපෘති භාවිතයෙන් දරුවාගේ මනසට කා වදින විනෝදාත්මක සහ ඵලදායී ඉගැන්වීම් ක්‍රමයකට යා හැක.

පසුගිය සතියේ අත්හදා බැලුණු පරිගණක තාක්‍ෂණය භාවිත කර සිදු කරන විභාග පැවැත්වීමේ රැඩිකල් තීරණය ඉතාමත් සුබදායක, ප්‍රගමනයක පෙර මඟ සලකුණු බවට නොකියාම බැරිය. එහිදී හඳුනා ගත් අඩුපාඩු මඟහරවා ගැනීමෙන් මෙය වැඩිදියුණු කළ යුතු අතර වෙනත් ව්‍යාපෘති මෙන් අඩුපාඩු දුටු සැණින් අතරමඟ නවතා දැමීම සිදු නොකළ යුතුය.

මෙහිදී පළමු අදියර ලෙස 2019 උසස් පෙළ විභාගයට පෙනි සිටීමට නියමිත දරුවන්ට අදාළ සාමාන්‍ය පරිගණක දැනුම පරීක්‍ෂණය සිදු කිරීම ක්‍රියාවට නැංවුණි.

මෙයට අදාළව තෙවන නියමු පිරික්සුම දිවයින පුරා මධ්‍යස්ථාන 650කට අධික සංඛ්‍යාවකින් අයදුම්කරුවන් 150, 000කට අධික පිරිසක් ආවරණය වෙමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

2019 මාර්තු මස 11 දින සිට 18 දින දක්වා ක්‍රියාත්මක වන මෙම නියමු වැඩසටහන විවිධ වූ දුෂ්කරතා මධ්‍යයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. මෙහිදී විදුලිය බිඳ වැටීම්, තාක්‍ෂණික ගැටලු වැනි දෑ අඩුපාඩු ලෙස දුටුවත්, මේ නව ප්‍රවණතාව ඉතා සාර්ථක අනාගතයකට අඩිතාලම දමාවි යන්න බොහෝ දෙනාගේ ප්‍රාර්ථනයයි. මේ නිසා විභාග පැවැත්වීම කඩිනම් වීම, දරුවන්ගේ අවශ්‍යතාව, නිදහස අනුව විභාගයට මුහුණ දීම, විභාග අක්‍රමිකතා අඩු වීම, ප්‍රතිඵල ඉක්මනින් නිකුත් කිරීමට හැකි වීම, ගුරුවරුන්ගේ ආතතිය අඩු කිරීම, උත්තර පත්‍ර බැලීමේදී සිදුවිය හැකි වැරදි අවම කිරීම, පද්ධති ස්වයංක්‍රිය කිරීම මගින් සුවිසල් මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවීම වැනි වාසි විශාල ප්‍රමාණයක් ලැබිය හැකියි. එසේම මෙය රජය මගින් සිදු කිරීම නිසා විභාගවල රහස්‍ය භාවය සහ මූල්‍යමය ලාභය ද රජයටම ලැබීම වඩාත් වැදගත් කරුණක්.

මේ නිසා ලංකාවේ අධ්‍යාපනයේ සුවිසල් වෙනසක් වන බව අපේ හැඟීමයි. මෙය STEM අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යොජනාවල මූලික යෝජනාවක්, මේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන්, ළ.පා. හො. පා. සමඟ STEM බද්ධ කිරීමෙන් අප අධ්‍යාපනයෙන් සොයන විමුක්තිය, දරුවන් ටියුෂන් බරින් නිදහස් කිරීම, ඔවුන් ආතතියෙන් නිදහස් කර වඩාත් නිර්මාණශීලී, විචක්‍ෂණශීලී, ව්‍යවසායකත්වයට බර වූ සහ තාක්‍ෂණයෙන් පිරිපුන් තරුණ පරපුරක් අනාගතයට නිර්මාණය කළ හැකියි. එසේම, අපේ රටේ වූ ප්‍රධානතම සම්පත වූ බුද්ධිමත් තරුණ පරපුර, දැනුම් ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමෙන් රටේ අභිවෘද්ධිය ලඟාකර ගැනීම ඉක්මන් කිරීමටත් මේ හරහා හැකි වනු ඇත.

 

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා