‘උස’ මිනිසුන් නොදන්න ‘මිටි’ මිනිසුන්ගේ ඇත්ත කතාව

 ඡායාරූපය:

‘උස’ මිනිසුන් නොදන්න ‘මිටි’ මිනිසුන්ගේ ඇත්ත කතාව

මිනිස් අයිතිවාසිකම් කාටත් එක හා සමාන බව මානව අයිතිවාසිකම් පිළිබඳ ලෝක ප්‍රඥප්තිය තුළින් අවධාරණය කොට තිබෙනවා. එපමණක් නොවෙයි රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ සමාජ සම්ප්‍රදායන්, සිරිත්විරිත් ආදී හැම එකක්ම තිබෙන්නේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි. නමුත් කායික වෙනස්කමක් නිසා තමන්ට හිමිවිය යුතු මිනිස් අයිතිවාසිකම් පවා අහිමි වූ මිනිසුන් වෙතින්ම සරදමට, අවමානයට, ගැරහුමට ලක්වන මිනිසුන් පිරිසක් අප සමාජයේම ජීවත් වනවා. ඒ වයසට සරිලන උසින් අඩු මිනිසුන් එහෙමත් නැත්නම් කාටත් හුරු භාෂාවෙන් කියනවා නම් 'මිටි' මිනිසුන්.

එවැනි කාන්තාවක, පිරිමියකු හෝ දරුවකු දුටු විට ඔබත් ඒ දෙස විමතියෙන්, උපහාසයෙන්, අපහාසයෙන් බැලූ අයෙක් නම් ඔවුන්ට උසුළු විසුළු කළ අයෙක් නම් මේ කතාව ඔබ කියවිය යුතුමයි. කෙටියෙන් කියනවා නම් සිරුරින් උස නැති වුවත් ඇතැම් විට එවැනි පුද්ගලයකු සතු මානුෂික බව, ආකල්ප, කුසලතා, දක්ෂතාවන් මෙන්ම ආත්ම ශක්තිය ඔබේ උසට වඩා උස් ස්ථානයක තිබෙනවා. මේ ඔවුන්ගේ හදවතේ කතාවයි. ඔවුන් මේ හඬගා කියන්නේ බොහෝ 'උස්' මිනිසුන්ට ඇතැම් විට අමතක වන මිනිසත්කමේ සැබෑ ගුණ සුවඳ කුමක්ද යන්නයි.

මේ දක්වා ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට කැපවූ ආයතනයක් හෝ සංවිධානයක් තිබුණේ නැහැ. ඒ අඩුව පිරිමසමින් පසුගියදා ඔවුන් වෙනුවෙන් 'Little People Sri lanka' නමින් පුංචි සංවිධානයක් උපත ලැබුවා. ඒ ලංකාව පුරා සිටින විවිධ තරාතිරම්වල පසුවන උසින් අඩු ගැහැනු, පිරිමි සහ ළමුන්ගේ සමාජිකත්වයෙන් යුතුවයි. එහි සභාපතිත්වය දරන්නේ දර්ශනී නානායක්කාර මහත්මියයි. උසින් අඩු වුවත් ඇය ජීවිතය උස් තැනකට ගෙන ආ දිරිය කාන්තාවක්. මේ වන විට ඇය 'Aqua Perl Lake Resort' සංචාරක හෝටලයේ හිමිකාරිනිය වන අතර

'හිරු ෆැෂන්' ඇඟලුම් ආයතනයේද හිමිකාරිත්වය දරනවා. තමා මෙන්ම උසින් අඩු පුද්ගලයන්ට සමාජය හමුවේ විඳින්නට සිදුව ඇති අවමන්, සරදම් සහ වෙනස්කොට සැලකීම ගැන කටුක අත්දැකීම් රැසක් දර්ශනී සතුව තිබෙනවා.

දර්ශනීට මිටි බව උරුමව ඇත්තේ පරම්පරා උරුමයක් ලෙසින් නොවෙයි. ඇගේ මවුපියෝ සේම සොයුරු සොයුරියන්ද සාමාන්‍ය පුද්ගලයන්. එහෙත් දර්ශනී මිටි දරුවකු වීම ඇයගේ පවුලේ කිසිවකුට ප්‍රශ්නයක් නොවූ අතර ඇය ඉතා සතුටින් සැහැල්ලුවෙන් කුඩාකල ගෙවා තිබෙනවා. නමුත් පාසලට ඇතුළු වීමේදී ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් වී තිබෙනවා.

"මගේ අක්කා ඉගෙන ගත්තේ කොළඹ ජනප්‍රියම බාලිකා පාසලක. ඒ නිසා තාත්තට මාවත් ඒ පාසලටම දාන්න උවමනා වුණා. නමුත් ඒ පාසලේ විදුහල්පතිනිය තාත්තාට කිව්වා මාව බාරගන්න බෑ කියලා. එදා තමයි පළමු වතාවට මට දැනුණේ මම වෙනස් කෙනෙක්; මගේ අඩුවක් තියෙනවා කියලා. මට මතකයි මගේ තාත්තා ඒ විදුහල්පතිනියට අභියෝගයක් කළා "මාස 6ක් මට කල්දෙන්න. දුව එයාගේ දක්ෂතාවන් පෙන්නුවේ නැත්නම් මම එයාව ඉස්කෝලෙන් අස්කරගන්නම්" කියලා. ඒ නිසා විදුහල්පතිනිය මාව ඉස්කෝලෙට බාරගත්තා. ඒ වගේම මම මගේ දක්ෂතා පෙන්නුවා. ඒ නිසා ඇයට සිදුවුණා මාව දිගටම තියාගන්න. නමුත් මට ඉගෙන ගැනීම හැර වෙන කිසිම බාහිර ක්‍රියාකාරකමකට ඉදිරිපත් වෙන්න දුන්නේ නැහැ. මම පාසලේ බෞද්ධ සංගමයේ ලේකම් වුණත් මට අඩුම තරමේ භක්ති ගීත කියන්නවත් දුන්නේ නැහැ. සංගීත ගුරුතුමිය මට සිංදුවක් කියන්න වේදිකාවට නඟින්න දුන්නේ නැහැ. වේදිකාව පල්ලෙහා බිම ඉඳගෙන තාලම්පට ගහන්න කියලයි ඇය මට කිව්වේ. එහෙම අතීතයක් මට තිබුණේ. ඒත් මම හිතින් වැටුණේ නැහැ. මවුපියෝ සහෝදර සහෝදරියෝ මට ලොකු ශක්තියක්, ධෛර්යයක් ආදරයක් දුන්නා."

ඒ ආදරය, ශක්තිය විඳින අතර ජීවිත සහකරු හමුවූ ආකාරයත් දර්ශනී වදන්වලට පෙරළුවා.

"මගේ මහත්තයා මට හමුවුණේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය තුළදීමයි. ඔහු උස කෙනෙක්. නමුත් ඔහුට මගේ මිටි බව ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි ආදරය කරලයි විවාහ වුණේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමහල් පුතා මම වගේ මිටි වුණා. දැන් ඔහුට අවුරුදු 15ක්. නමුත් ඒ වයසෙදි මම හිටිය මට්ටමට වඩා හැම අතින්ම ඉදිරියෙන් ඔහු ඉන්නවා. මගේ බාල පුතාට කිසිම ආබාධයක් නැහැ. මම දන්නේ නැහැ මේ මිටි බව ඇතිවෙන්නේ ඇයි කියලා. අපේ පවුලේ වගේම අම්මා තාත්තගේ පරම්පරාවේ කිසිම කෙනෙක් මේ විදිහට නැහැ. ACHONDROPLASIA කියන රෝගී තත්ත්වය නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ කියලා වෛද්‍යවරුන් පවසනවා. නමුත් යුරෝපීය රටවල නම් මේ වගේ තත්ත්වයක ඉන්න අයට කිසිම වෙනසක් කරන්නේ නැහැ. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවයේදී වගේම අනෙක් දේවල්වලදිත් ඔවුන්ට හැම පහසුකමක්ම සලසා දී තිබෙනවා. ඒ වගේම ඒ රටවල්වල මිටි අයට පවා වෛද්‍ය වෘත්තියත් ඇතුළුව ඕනෑම වෘත්තියකට යන්න පුළුවන්. වෛද්‍යවරියක් වෙන එක මගෙත් හීනයක් වෙලා තිබුණා. නමුත් ලංකාවේ තත්ත්වය නිසා මම හිතින් වැටුණා. ඒත් මම කියන්නේ දැන් එදාට වඩා ලෝකය දියුණුයි. උසින් අඩු අයටත් තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන කැමති ක්ෂේත්‍රයකින් ඉහළට යන්න පහසුකම් සලසා දෙන්න රජය වගේම පෞද්ගලික අංශයත් යොමුවෙනවා නම් ඒක ලොකු සේවාවක්. "

උසින් අඩු ජනතාවට හඬක් දීමේ අරමුණින් 'Little People Sri lanka' සංවිධානය බිහිකරන්නට දර්ශනී පියවර තබන්නේ ඒ අනුවයි.

"සමාජය අපි ගැන හිතන ආකල්ප වෙනස් කිරීම සහ උස නැති අපේ අයගේ ජීවිත ආර්ථික, සමාජීය වශයෙන් නඟාසිටුවීම තමයි මේ සංවිධානය බිහි කිරීම තුළින් මම බලාපොරොත්තු වුණේ. ඒ අනුව මම පුවත්පත් දැන්වීමක් මඟින් මෙම සංවිධානය පිහිටුවීම ගැන දැනුවත් කරලා ඔවුන්ට ආරාධනා කළා අපේ සංවිධානයට බැඳෙන්න එන්න කියලා. නමුත් කියන්න කනගාටුයි සමාජය තුළින් උස අඩු අයට විඳින්නට වෙන කරදර නිසාම ඔවුන් බොහෝ දෙනෙක් සමාජය ඉස්සරහට එන්න මැළිකමක් දක්වනවා. ඒ වගේම සමහරු මගෙන් ඇහුවේ ඔහොම සංවිධානයක් හදාගත්තා කියලා අපිට මොනවද ලැබෙන්නෙ කියලයි. නමුත් මේක එක දවසකට දෙයක් ලබාගන්න පිහිටුවාගත් සංවිධානයක් නෙවෙයි. අපි මේ කායික අඩුපාඩුව නිසා සමාජය ඉදිරියේ ගොඩාක් වෙනස්කම්වලට මුහුණ දුන්නා. නමුත් අපේ දරුවන්ට, ඊළඟ පරපුරට උස නැතිවීම ලෝකය දිනන්න බාධකයක් විය යුතු නැහැ. අපි ඔවුන්ට මාවතක් හදා දිය යුතුයි. ඒ වෙනුවෙන් මාර්තු මාසයේ අපි මේ සංවිධානය ආරම්භ කළා. මේ වන විට සාමාජිකයන් 50ක පමණ පිරිසක් එහි සාමාජිකත්වය දරනවා. ලංකාව පුරා උසින් අඩු අපි වගේ අය කොපමණ ඉන්නවාද කියන්න නිවැරදිම සංඛ්‍යාලේඛන නැහැ. නමුත් අපිට දැනෙන දේ තමයි අපි වගේ අයගෙන් සියයට 80ක් විතරම සමාජයේ සැඟවිලා ජීවත් වෙන්නේ සමාජයෙන් ඔවුන්ට එල්ල වෙන සරදම්වලට මුහුණ දෙන්න ශක්තියක් නැති නිසයි. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මම සමාජයෙන් ඉල්ලන ඉල්ලීම අපි හැමෝටම වෙනස්කම්වලින් තොරව ජීවිතය විඳින්න, ලෝකය දකින්න ඉඩ දෙන්න කියලයි. ඒ වගේම අපේ සංවිධානය එක්ක එකතුවෙන්න 0776440440 කියන අංකයට අමතන්න කියලා උසින් අඩු අයට ආරාධනා කරනවා."

දර්ශනී එසේ කියන්නේ උස අඩු ඔවුන්ගේ පරපුරේ කතා නෙතට කඳුළක් ගෙනෙන තරම් දුක්බර ඒවා නිසාය.

මේ, මෙම සංවිධානයේ සාමාජිකයකු වන මතුගම පදිංචි වෘත්තියෙන් ගුරුවරයකු වන නිමල්ගේ කතාවයි.

"අපිත් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් ‍වෙන්න ආසයි. ලෝකයේ වෙනත් රටවල මිටි මිනිස්සුන්ට නැති ප්‍රශ්න දියුණුවෙමින් පවතින අපේ රටේ තියෙනවා. අපිට සාමාන්‍ය මිනිස්සුන්ට වගේ නිදහසේ බස් එකක යන්න බැහැ. පන්සලකට යන්න බැහැ. උස නොයන බව දැනගත්තාම දැනුම් තේරුම් තියන වයසෙදි මට හිතුණා සසර කෙටිකර ගන්න මහණ වෙන්න ඕන කියලා. මම පන්සල් කිහිපයකටම ගිහින් ඇහුවා. ඒත් ඒ හැම හාමුදුරුවන්ම කිව්වේ මහණ කරගන්න බැහැ කියලයි. මම මිටි බව ප්‍රශ්නයක් කරනොගෙන මගේ ක්‍රමයට ජීවත් වෙනවා. නමුත් සමාජයට මගේ ජීවිතේ ප්‍රශ්නයක්. මට කායික ආබාධයක් තියෙන බව දකින සමාජය ඒ දේවල් විග්‍රහ කරන්නේ හරි අමුතු විදිහට. මම පන්සලකට ගියාම මාව දකින වැඩිහිටි උපාසිකා මාතාවෝ "ඔය ගිය ආත්මේ කරුම පලදීලා මේ ආත්මේ මෙහෙම ඉපදිලා තියෙන්නේ. උස පුවක් ගස් පූජා කරන්න, උස චෛත්‍යය හදන්න" කියලා කියනවා. නමුත් මම ඒ දේවල් අදාළ කරගන්නේ නැතුව මගේ ආගමික කටයුතු කරනවා. සමහර බස්වලට අපිට නඟින්න බැහැ. පුංචි කාලේ දණගහලා නැඟපු අවස්ථාත් තිබුණා. බස් එකක යද්දි අපි වගේ කෙනෙක් ඉන්න සීට් එකක ඉඳගන්න ගොඩාක් අය කැමති නැහැ. අපේ යටි හිත මිනිස්සුන්ට පේන්නේ නැහැ. නමුත් අඩුපාඩුවක් නැති මිනිස්සු ගෙවන්නේ කොයිතරම් රැවටිලිකාර ජීවිතද කියලා අපිට දුර ඉඳන් බලනකොට පේනවා. ඔය මොන දුෂ්කරතා තිබුණත් මම මගේ අධ්‍යාපන කටයුතු නොපිරිහෙළා ඉෂ්ට කරගත්තා. මට මතකයි ඒ දවස්වල සමහරු කියනවා, "ඇඳටවත් උස නැතුව වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද? ලෙඩ්ඩු බලන්නේ කොහොමද?" කියලා. ඒ වගේ කතාවලින් මානසික වශයෙන් පහළටම වැටුණ අවස්ථා ගොඩාක් තියෙනවා. මිනිස්සු දියුණු නම් කොහොමද තවත් මිනිහෙක්ගේ කායික අඩුපාඩුවකට හිනාවෙන්නේ? අපහාස කරන්නේ? කියන එකයි මට තියෙන ප්‍රශ්නය.

“මම මිටි වුණේ ඇයි කියන්න හේතුව මම දන්නේ නැහැ. මගේ මවුපියෝ ලේ ඥාතියෝ නෙවෙයි. මම පවුලේ තුන්වැනියා. මගේ අක්කලා, මල්ලි, අම්මා, තාත්තා මේ හැමෝම අඩි 5ට වඩා උසයි. මම කුඩා කාලේ අම්මා, තාත්තා මාව රිජ්වේ රෝහලට ගෙනැවිත් අවුරුදු ගාණක් ප්‍රතිකාර කළා. පරීක්ෂණ රාශියක් කළා. නමුත් මට උස යන්න බැරිවුණා. මට මතකයි මගේ තාත්තා කුඩා කාලේ මාව ගල්කිස්ස බීව් එකට එක්ක ඇවිත් තල තෙල් ගාලා මුහුදු වැල්ල වඳින්න කියලා තියෙනවා. ඒ වගේම කකුල්වල බකල ගතිය අරින්න ගස්වල පතුරු තියලා බඳිනවා. තරුණ කාලේ මම බාර් එක්සයිස් වගේ දේවලුත් කළා. ඒත් ඒ එකක්වත් හරි ගියේ නැහැ. නමුත් මම අද සාමාන්‍ය විදිහට සතුටින් ජීවත් වෙනවා. මගේ පවුලේ කාටවත් මගේ මිටි බව ප්‍රශ්නයක් වෙලා නැහැ."

වැලිමඩ පදිංචි රංජිත් දිසානායකගේ කතාවද ඊට දෙවැනි නැත.

"මිටි බව නිසා වෙලාවකට සමාජයෙන් එල්ල වෙන වෙනස්කම් නිසා දැනෙන වේදනාව අපමණයි. අපි කරපු කර්ම අනුව තමයි මෙහෙම ඉපදෙන්න ඇත්තේ. ඒ නිසා පවින් මිදිලා ජීවත් වෙන්න ගොඩාක් උත්සාහ කරනවා. නමුත් පෝය දවසට සිල් සමාදන් වෙන්න විදිහක් නැහැ. මොකද මම පන්සලට ගියාම සිල් අරගෙන ඉන්න අයත් එක එක්කෙනාට ඇඟිල්ල දික්කරලා මං ගැන කතාවෙනවා. හිනාවෙනවා. ඉතින් ඒ අයගෙත් සීලේ කැඩෙනවා මම නිසා. මට ඒ වෙලාවට හිතෙනවා මෙතැනට ඇවිත් මමත් ලොකු පවක් කරගත්තා කියලා. ඇයි මම ආවේ කියලා ලොකු දුකක් කලකිරීමක් මට මං ගැනම ඇතිවෙනවා. ඒ නිසා පෝය දවසට පන්සල් යන්න මම කැමති නැහැ. මම සමාජයෙන් ඉල්ලන්නේ අපි දිහා ඒ විදිහට බලන්න එපා කියලයි. මම පවුලේ බාලයා. මගේ අම්මා තාත්තා වගේම පවුලේ අනිත් අයත් උසයි. අපේ අම්මා තාත්තා ලේ ඥාතියොත් නෙවෙයි. මට විතරක් මෙහෙම වුණේ ඇයි කියන්න දන්නේ නැහැ. මම විවාහකයි. නමුත් මගේ හිතේ ලොකු බයක් තිබුණා දරුවෙක් හදන්න ඒ දරුවටත් මෙහෙම වෙයි කියලා. මොකද මගේ අක්කා බඳින්න ආව කෙනෙක් අක්කාව බැන්දේ නැහැ මාව දැකලා එයාලට ඉපදෙන දරුවොත් එහෙම වෙයි කියලා. ඒ නිසා බැන්දත් දරුවෙක් හදන්නෙ නෑ කියන අදහසෙයි මම හිටියේ. නමුත් මගේ බිරිඳ මට කිව්වේ ඔයා මොන විදිහක කෙනෙක් වුණත් මට ඔයාගෙන් දරුවෙක් ඕනමයි කියලා. එයාගේ ධෛර්යය සහ ආදරය නිසයි මම දරුවෙක් හැදුවේ. වාසනාවකට වගේ අපිට ලැබුණු දරුවෝ දෙන්නම උසයි. ඒ නිසා මගේ හිතේ දැන් ලොකු හයියක් තියෙනවා. ඒත් මුල් කාලේ මේ මිටි බව නිසා ජීවිතේ නැතිකරගන්න හිතුණු අවස්ථාත් තිබුණා. මුලින් කවුරුවත් රස්සාවක්වත් දුන්නේ නැහැ මට. මම මුලින්ම හෝටලේක බිල් දාන රස්සාවක් කළේ. නමුත් මම මැනේජර් කෙනෙක් වුණා. එක දවසක් මම කැෂියර් එකේ ඉන්නකොට මම වගේම මිටි කෙනෙක් ආවා රස්සාවක් හොයාගෙන. මම ඉඳගෙන ඉන්න නිසා එයාට මගේ මිටි බව පේන්නෙ නැහැ. එයා මට කිව්වා මම වැල්ලවත්තේ ඉඳන් එන්නේ. කවුරුවත් මට රස්සාවක් දුන්නේ නැහැ. අනේ අයියේ මට පිඟන් හෝදන්න හරි රස්සාවක් දෙන්න" කියලා. එදා මට දැනුණා එයාගේ කතාවත් මගේ කතාවමයි නේද කියලා. අපි මිටි බව ඇත්ත. ඒත් අපි හැමෝටම මොකක්හරි දක්ෂතාවක් එක්කයි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ. ඒ නිසා අපේ කායික දුර්වලකමට අපහාස නොකර අපේ දක්ෂතාවයෙන් වැඩක් ගන්න කියලා සමාජයෙන් ඉල්ලනවා.”

[සුරේඛා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා