ඒ කන්ද නැඟ යා යුතුමය

 ඡායාරූපය:

ඒ කන්ද නැඟ යා යුතුමය

නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ පොත් පත් මුද්‍රණය වීම වෙනදාට වඩා ප්‍රසාරණය විමයි. ඒ අතරින් ද කාව්‍ය සංග්‍රහ විශාල ප්‍රමාණයක් වසරකට මුද්‍රණය වේ. මෙය බැලූ බැල්මට සතුට දනවන කරුණක් වුවද, මේ ප්‍රමාණාත්මක ප්‍රසාරණය වීම ගුණාත්මක වර්ධනයක් නොවෙන බව මෙම කෘතීන් සියල්ල පරිශීලනය කරන්නෙකුට වැටහේ. කෙසේ වෙතත් එහිදී සම්මුඛ වන නවක නිර්මාණකරුවන් අතර අපූරු නිර්මාණාත්මක ශඛ්‍යතාවෙන් හෙබි කවි කිවිඳියෝ හමුවෙති. නමුත් බහුතර නවක කෘතීන් අඩුවයස් දරුවන්ගේ ජන්ම ලාභයන් බඳුය. තවත් ටිකක් ඉවසා හැදෑරීම් කළනම් බොහෝ කෘති ප්‍රශස්ත ගණයට වැටිය හැකිව තිබී අකාලයේ මිය ගිය ඒවාය.

මෙවැනි නව කවීන්ගේ ගොන්නෙන් මතු වන නවතම කිවිඳිය වන්නේ අමාලි ඇහැළියගොඩයි. ඇගේ පළමු කාව්‍ය එකතුව ‘ඒ කන්ද පාමුල’ නම් වේ. මෙම කෘතියේ සමස්ත නිර්මාණ අධ්‍යයනය කරන විට ඒවා කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එක් කොටසක් අයිති වන්නේ ඇගේ අතිශය පෞද්ගලික අත්දැකිම් ප්‍රකාශ කෙරෙන නිර්මාණ ගොනුවය. ඒ තුළ විස්තෘත පවුලක සරල අත්දැකීම් කැටි කොට ඇය ඉදිරිපත් කරයි. සුලබ අත්දැකීම් වන මේවා පැතැලිය. තුන්වන අරුතක් මතු කර ගැනීමට සමත් නොවේ. එයට හේතුව වන්නේ ඒවා පොදු බවට පත් කර ගැනීමට උත්සාහ නොගෙන හැඟීම්බර කියාපෑම් බවට පත් කිරීමයි. උදාහරණයක් ලෙස අම්මා පිළිබඳ ඇය ලියන කවිය සුලබ අත්දැකීමකින් ඔබ්බට නොයයි.

දියණියක පතිනියක කර තැනූ අම්මාය

මුණුපුරන් මැදින් ආදරේ ගඟ ගැලුවාය

මට නොහැකි දෙව්විමන් අරුවන්ට තැනුවාය

අත්තම්මා වූ නමුත් ඈ තාම අම්මාය

(අම්මා - පිටුව 17)

තාත්තී, මහැදුරුවත, දූ නෙතු වැනි සිය පෞද්ගලික ජීවිතය හා බැඳුන නිර්මාණවල පොදුවේ මේ අඩුව දකින්නට ලැබේ.

නමුත් ඇගේ නිර්මාණ එකතුවේ දැකිය හැකි අනෙත් සුවිශේෂ නිර්මාණ කොටස වන්නේ සමාජ දේශපාලන කාරණා පදනම් කර ඈ කරණ නිර්මාණයන්ය. ඒ නිර්මාණයන් තුළ අමාලි සුවිශේෂ වෙයි. අපූරු කාව්‍යාත්මක බවකින් හෙබි තුන්වන අරුතක් මතුවන ලෙස ව්‍යංගය සූක්ෂම ලෙස ගනිමින්, ත්‍රිමාණිකව ඇය එවැනි නිර්මාණයන් තුළ ඇගේ කවි කම හසුරුවයි. අමාලි විශේෂ වන්නේ මෙතැනදීය.

සර් මම බැඳලා නෑ - දරුවන්ගේ බරක් නැහැ

මාරුවක් ඉල්ලන්න මං තාම සුදුසු නැහැ

ඒත් මගෙ හිතේ බර තියන්නට තැනැක් නැහැ

ඔය ලියුමේ ඇති හයිය තවත් මගෙ හිතේ නැහැ

(ස්ථාන මාරුව - පිටුව 36)

මෙවැනි සමාජ අත්දැකීමක් කවි කරන විට අමාලි ගේ නිසර්ගසිද්ධ ප්‍රතිභාව වහා එළියට ඒ. නිර්මාණයට අපූරු ගැඹුරක් එක් වේ. කෘතිය නාමකරණය වන ‘ඒ කන්ද පාමුල’ නිර්මාණය ව්‍යංගය භාවිතයෙන් තුන් වන අරුතක් මතු කර අපූරු කවියකි.

බොහෝ උස්වූ කඳුමුදුන් ළඟ

එහේ පිපෙනා බොහෝ මල් ඇත

එහෙම පිපෙනා මලක් දවසක

පෙම් කළා උස් කන්ද මුදුනට

(ඒ කන්ද පාමුල - පිටුව 49)

මෙම කවිය තුළ ඇය ඉතාම හුරු බුහුටි ලෙස ව්‍යංගය භාවිතා කරයි. එයින් වෙනත් ජීවන දහමක්, සමාජ සත්‍යයක් විශද කරයි. අප පෙර සඳහන් කළ සුවිශේෂ අමාලි හමු වන්නේ මෙවැනි කවි අතරය.

අමාලි ඇහැළියගොඩගේ ‘ඒ කන්ද පාමුල’ කෘතියේ එන අපූරුම කවිය වන්නේ ‘කුවණ්ණාවරු’ කවියයි. පුරුෂ මූලික සමාජයක් තුළ ආසියාතික ගැහැනිය මුහුණ දෙන සමාජ ඛේදවාචකය ඇය අතීත කුවේණි පුවත හා සම්බන්ධ කර සූක්ෂම ආකාරයෙන් ඉදිරිපත් කරයි.

ඇත්තටම ආයෙමත් හිතුවම

ගෑනු කවුරුත් නුඹ වගෙයි

වසාගෙන සිටි සිතේ දොරගුළු

කඩා මුළු හද විවර කර දී

ඒත් මදි වී තවත් කුටිවල

ගැඟුම් පාවා දුන්න විජයට

ගැහැනු කවුරුත් නුඹ වගෙයි

(කුවණ්ණාවරු - පිටුව 52)

කුවේණිය ගේ සිට මේ දක්වාත්, මතුත් පුරුෂ රැවටීම්වලට හසුවන ගැහැනිය පිළිබඳ ඈ මේ නිර්මාණයෙන් අඳින වදන් සිතුවම අපූරුය.

අමාලි සතු අනෙක් සුවිශේෂ කුසලතාව වන්නේ විවිධ කාව්‍ය ආකෘති භාවිතා කරමින් නිර්මාණකරණයේ යෙදෙන්නට ඇති සමත් කමයි. නිදහස් ආර මෙන්ම සිව්පද ආරද ඇය එක ලෙස භාවිත කරයි.

උඩ පනිනා තරමට උඩ නොරැඳේය

බිම වැටෙනා දවසකි එය නුදුරේය

බිම සිටිනා කවදත් අපි බිම වේය

සකි සඳුනේ එදිනට අප හමුවේය

( උඩඟු සේවය - පිටුව 40)

අමාලි ගේ නිර්මාණවල දැකිය හැකි තවත් එක් අඩුපාඩුවක් වන්නේ කවියේ කූටප්‍රාප්ති අවස්ථාව ගැන ඇය දක්වන අඩු සැලකිල්ලයි. කවිය අවසන් විය යුත්තේ රසිකයාගේ බුද්ධි කලම්බනයට මග පාදන ස්ථානයක දීය. ඉන් ඔබ්බට කවිය තව දුරටත් රැගෙන ගියහොත් අත්දැකීම දියාරු වී යයි. එවිට පාඨකයා තුළ විශ්මය වහා හැඟීමක් ඇති නොවේ.

කෙසේ වෙතත්, අමාලි ඇහැළියගොඩ නම් වූ මේ නවක කිවිඳිය අපූරු නිර්මාණාත්මක කාව්‍ය කුසලතාවන්ගෙන් පිරිපුන් නිර්මාණකාරිනියක බව ‘ඒ කන්ද පාමුල’ නම් වූ ඇගේ ප්‍රථම නිර්මාණ එකතුවේ බොහෝ නිර්මාණ සාක්ෂි දරයි. අවශ්‍ය වන්නේ නිවැරදි සමාජ දේශපාලන දෘෂ්ටියක් ගොඩ නගා ගැනීමත්, අත්දැකීම් වැඩෙන්නට හැර කවි බවට පත් කිරීමේ ඉවසීම වර්ධනය කර ගැනීමත්ය. ඇයට හොඳ කවි බසක් තිබේ. ව්‍යංගය හුරුබුහුටි ලෙස භාවිතා කිරීමට ඇය සමත්කම් දක්වයි. අවශ්‍ය වන්නේ අත්දැකීම් පෙරා කවි කිරීමේ සූක්ෂමතාව වර්ධනය කර ගැනීමයි. එය කාලයත් සමග සිදු වනු ඇතැයි සිතේ.

එවිට ඇයට ‘මේ කන්ද’ පහසුවෙන් තරණය කළ හැකි වනු ඇති.

[කපිල එම්. ගමගේ]

මාතෘකා