“අරවින්ද... බතීට තවමත් ආදරෙයිද?”

 ඡායාරූපය:

“අරවින්ද... බතීට තවමත් ආදරෙයිද?”

මාර්ටින් වික්‍රමසිංහයන්ට කුතුහලයක් තිබිණි. එනම් පානදුරේ තම ඥාති නිවස අසළ පිහිටි නිවසෙහි හුන් තනිකඩයා සම්බන්ධවය. මේ තනිකඩයා සම්බන්ධයෙන් වික්‍රමසිංහයන් දැන ගත්තේද තම ඥාතියාගෙනි.

තොරතුරුවලට අනුව හුදකලාවේ උන් මෙකී පුද්ගලයා ආණ්ඩුවේ කන්තෝරුවක සේවය කරන බවත් හව්හරණට කිසිවකු නැති බවත් සැලවිය. ඔහු සම්බන්ධයෙන් වැඩිමනක් විස්තර දැන ගන්නට වික්‍රමසිංහයන්ට දැඩි ලෙසින් අණ කර සිටියේ ඔහුගේ සිත පුරා උපන් කුතුහලයයි.

එකී නිවසේ හුන් පුද්ගලයා සම්බන්ධ තොරතුරු සෙවීමේදී, ඔහු පැරණි පොතපත ආදිය එක්රැස් කරනා යම් දැනුමක් ඇති අයකු බවත් පවුලේ ඥාතීන් ඔහුව හැරදමා ගොස් ඇති බවත් දැනගන්නට විය. මේ සියලු සාධක එක්රැස් කර ගැනීමෙන් අනතුරුව ඔහුව හමුවීමට සමත්වීමත් සමඟින් මේ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තිබූ බොහෝ දෑ උකහා ගන්නට මාර්ටින් වික්‍රමසිංහයෝ සමත් වූහ .

ඔහු යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම්, ගුරුකම් සහ තවත් බොහෝ දෑ සමඟින් මනස තුළ අමුතුම ආකාරයක දෙයක් මවා පාගෙන සිටිනවා යැයි වික්‍රමසිංහයන්ට අවබෝධ විය. එතැන් සිට ක්‍රමිකව වික්‍රමසිංහ තුළ පැළපදියම් වූ මේ හුදෙකලා පුද්ගලයා අවසානයේ ඔහුගේ පෑන් තුඩින් යළි උපන්නේ ‘විරාගයේ’ අරවින්ද ජයසේන නමිනි. ඒ අයුරින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව ලියැවිණි. විරාගය නවකතාවක් වීමෙන් අනතුරුව පැමිණියේ විරාගයේ දෙවැනි කාල වකවානුවයි. එනම් විරාගය සිනමා පටයක් ලෙස ඇරඹීමේ මෙහෙයුමයි.

විරාගය නවකතාව සිනමාවට නැඟිය නොහැකිය යන විවිධ මතවාද මැද තිස්ස අබේසේකර විසින් විරාගයට තිර පිටපත ලියන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබීමට ලක ලෑස්ති වූ විරාගය සිනමා පටය සඳහාය. ඔහුගේ අරවින්ද වූයේ ටෝනිය. නමුත් සිනමා පටය ආරම්භයක් නම් නොවීය. එය එක තැන ලොප් විය. කෙසේ හෝ කලකට පසුව යළිත් සිනමා පටයේ ආරම්භයේ ඡායාවක් මතුවිය. චිත්‍රපටය ආරම්භ කිරීමට අතගැසුවේ තිස්ස අබේසේකරය. චිත්‍රපට පිටපතද ඔහුගේය. ලෙස්ටර්ගේ අරවින්ද, ටෝනි වුවත් තිස්සගේ අරවින්ද වූයේ සනත්ය. දෙවෙනි කැළැඹීම ඇති වූයේ එතැනදීය.

"සනත් ගුණතිලක වගේ කෙනෙක්ට පුළුවන්ද අර වගේ ප්‍රබල චරිතයකට පණ දෙන්න "

එය කෙනකු ඇසූ කතාවයි. තවත් කෙනකු නොකියා සිටි සහ සිතෙහි තබාගෙන හුන් කතාවයි. තවත් අය තැන් තැන්වල කතා කළ මාතෘකාවයි. කෙසේ වුවද කවුරු කවරාකාරයෙන් නිගමනවලට පැමිණියද විරාගයේ අරවින්ද වන්නට සනත් ගුණතිලක සමත් විය. මේසා කාලයක නැටුම්, ෆයිට් ගීත අතරේ දියවුණු සනත්ට පැවරුණේ බැරෑරුම් කාර්යයකි. එතැන් සිට ‘අරවින්ද ජයසේන’ මෙසේ විය.

අරවින්දගේ පෙම්වතිය සරෝජිනී විය. මේ ප්‍රේම කතාව ගලා යන අතරේ සරෝජනී ඔහුට යෝජනා කරන්නේ තමන් දෙදෙනා එක්විය යුතු බවයි. නමුත් හෙළ සිරිතට ගරු කරන අරවින්ද ජයසේන එයට කැමැත්තක් නොදක්වයි. එහි අහිතකර ප්‍රතිඵලය වන්නේ සරෝජනී අන් අයකු හා විවාහ වීමයි. එතැන් සිට අරවින්ද ක්‍රමිකව බතීට යම් කුළුපගුකමක් දක්වයි. එය කවර ලෙසකින්ද කිවහොත් බතීගේ යම් සම්බන්ධතාවක් සැලවීමෙන් ඔහු කිපීමටට පවා පත්වෙයි. අරවින්ද බතීට ඇලුම් කළද අවසානයේ බතීව විවාහ කර දෙන්නේද අරවින්දමය.

ඒ අරවින්දය. සනත් ගුණතිලක මේ සමය වන විට වාණිජ චිත්‍රපට අතර ඉතා ජනප්‍රිය තලයේ හුන් නළුවෙකි. චිත්‍රපටයක පෙම්වතාට වටින්නේ තම රූ සපුවයි. කඩවසම් බවයි. නමුත් ඔහු ඒ සියල්ල අතහැර විරාගය හා සම්බන්ධ වූයේ සියල්ලම අනිත්‍ය බව පසක් කරනා අරවින්ද ජයසේන මෙනි.

විරාගය සම්බන්ධයෙන් කතා කරනා ඕනෑම අයකුට කතා කළ හැකි ප්‍රබලම චරිතය වන්නේ අරවින්දය. එමෙන්ම එහි ප්‍රකටම කරුණ වන්නේ චිත්‍රපටයේ අවසානය තෙක්ම සනත් කළ කැපවීමය. චිත්‍රපටය අවසාන වන විට සනත් කෘෂ ශරීරයක් ඇත්තකු ලෙස දිස්වූ බවද සඳහන්ය. සනත් ඒ ආකාරයේ චරිතයක් කරනාතුරු එතෙක් මෙතෙක් ලාංකේය සිනමාවේ එවැනි අවදානමක් සහිතව ශරීරයට පීඩාවක් ගෙන දෙමින් චරිතයක් කළ ඇත්තකු වේදැයි සැක සහිතය.

අබේසේකරගේ තිර පිටපතට සාධාරණයක් කිරීමට අරවින්ද ජයසේනගේ භූමිකාවට සමවැදුණු සනත් ගුණතිලකට හැකිවූවා යැයි එවකට සිනමා විචාරකයන් කිහිප දෙනෙක්ම කියා තිබිණි. අරවින්ද ජයසේන සියලු දේ අනිත්‍ය බව පසක් කරමින් තම ජීවන යාත්‍රාව පදවමින් දිවි ගෙවුවා යයි හැඟේ. සරෝජා තමා අතහැර ගිය පසු බතීට ඇලුම්කම් දැක්වූ ඔහු අවසානයේදී බතීවද විවාහ කර දුන්නේය. නමුත් අපට මේ මොහොතේ අසන්නට ඇත්තේ එකම එක පැනයකි එනම්,

"අරවින්ද බතීට තවමත් ආදරෙයිද?"

[රජිත බස්නායක]

මාතෘකා