කෑම කද්දි වතුර බොන්න හොඳම විදිහ

 ඡායාරූපය:

කෑම කද්දි වතුර බොන්න හොඳම විදිහ

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රමාණවත් තරමට ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බව බොහෝ දෙනකු දන්නා කරුණකි. එහෙත් බොහෝ දෙනකු වතුර පානය කරන්නේ සෞඛ්‍ය සම්පන්න ආකාරයටද යන්න ගැටලුවකි. විශේෂයෙන් ආහාර ගැනීමේ දී ජලය පානය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ විවිධ මත තිබේ.

ආහාර ගැනීමට පෙර ජලය ස්වල්පයක් පානය කිරීම ආහාර පිළිගැන්වීම සඳහා ශරීරය සූදානම් කිරීමක් හා සමාන වේ. එහෙත් එසේ පානය කළ යුත්තේ ජලය ඉතා ස්වල්පයක් පමණි. වැඩි ජලය ප්‍ර‍්‍රමාණයක් පානය කිරීමෙන් කුස පිරීම සිදුවන අතර එම නිසා ආහාර ගැනීමට හැකිවන්නේ ස්වල්ප ප්‍රමාණයකි. නමුත් අධික තරබාරු සිරුරක් ඇති අය ආහාර ගැනීමට පැය භාගයකට පමණ පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ගත හැකිය. එය තරබාරුව මට්ටු කිරීමට රුකුලකි.

එහෙත් ආහාර වේලක් ගැනීමෙන් පසු ජලය පානය කළ යුත්තේ ඉතා ස්වල්පයකි. එයට හේතුව ආහාර වේලකට පසුව ජලය විශාල ප්‍රමාණයක් පානය කළහොත් එම ජලය නිසා ආහාර ජීර්ණ එන්සයිම තනුක විය හැකි බැවිනි. එවිට ආහාර ජීර්ණය කිරීම සඳහා ආහාර ජීර්ණ පද්ධතියට විශාල වෙහෙසක් දැරීමට සිදුවන අතර එය දරුණු ආම්ලිකතාවක් ඇති කිරීමට සහ හෘදස්පන්ධනයට අහිතකර තත්ත්වයක් ඇතිකරන බව පෝෂණවේදීන්ගේ අදහසයි. එයට හේතුව ආහාර ජීර්ණය කිරීමේ කාර්ය සඳහා ආහාර ජීර්ණ පද්ධතියට විශාල ශක්තියක් අවශ්‍ය වීමයි. ඒ අතරට ජලයද විශාල ප්‍රමාණයක් ඇතුළත් වූ විට ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යභාරය තවත් වැඩි වීමෙන් ජීරණය නොකළ ආහාරවල අඩංගු ග්ලූකෝස් ප්‍රමාණය මේදය බවට පත්වී ඉන්සියුලින් ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවිය හැකිය. එයින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමක් සිදුවන අතර එය තරබාරුකම සහ දියවැඩියාව ඇතිවීමේ ප්‍රමුඛතාව වැඩිකළ හැකි හේතුවක් බවට පත්වේ. එම නිසා ආහාර ගත් වහාම විශාල ජලය ප්‍රමාණයක් පානය කිරීම සුදුසු නොවන අතර ආහාර ගෙන විනාඩි 10-15ක් ගතවූ පසු ජලය පානය කිරීම වඩා සුදුසුය.

කෙසේවෙතත් පෝෂණවේදීන් සහ වෛද්‍යවරුන් දරන මැදහත් අදහසක් වන්නේ ජලය පානය කිරීමේ අවශ්‍යතාවකින් පෙළෙන විට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් වැළකී සිටීමද සුදුසු නොවන බවයි. ආහාර ගැනීමේ දී ජලය පානය කිරීමට අත්‍යවශ්‍ය නම් ජලය ඉතා ස්වල්පයක් පමණක් පානය කිරීම සුදුසු වුවත් එහි දී පානය කළ යුත්තේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ඇති ජලය වන අතර ශීත කළ ජලය පානය කිරීම සුදුසු නොවේ.

උදෑසන අවදි වූ වහාම හිස්බඩ පිරිසුදු වතුර වීදුරුවක් පානය කිරීම නිරෝගී සෞඛ්‍යයකට ඉවහල් වන අතර ඔබ කොලෙස්ටරෝල් හෝ අධික තරබාරුකමින් පෙළෙන්නේ නම් මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම වඩා හිතකරය.

අන්තර්ජාලය ඇසුරිනි.

 

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා