අපිට යන්ඩ කිසිම දොරක් නැද්ද වෙන?

 ඡායාරූපය:

අපිට යන්ඩ කිසිම දොරක් නැද්ද වෙන?

``ජූඩගෙ නංගි ස්කූටිය හප්පගෙන. කෙල්ලට ටිකක් අමාරුයිලු.``

සාදය අතරමඟ නැවතිණි. ගිටාරය රෙදි ආවරණය තුළට ගියේය. ඉතිරිව තිබූ මධුවිත වීදුරු හදිසියේ හිස් කෙරිණි. ජංගම දුරකථනයක ඇප් එකක් ටැක්සි සේවයකට ඈඳෙන අතරේ හදිසි සමුගැනීමේ වැලඳගැනීම් සිදු වූයේය.

``අපි ආයෙ ඉක්මනට සෙට් වෙමු බං``

``අපිත් එන්න ඕනද?``

``එපා මචන්``

``සෙට් වෙමු සලියා``

``හරි බන් එල``

``අපි දෙන්නත් ගිහින් එමුද``

``එපා එපා උඹල ඉඳපල්ල.. අපි කෝල් කරන්නං``

``අනිවා කෝල් එකක් දීපල්ලා``

දොර වැසිණි. නිහඬතාවකි.

ඉන්දු සයුරේ මුතු ඇටය තුළ දිනකට බිඳී යන වින්ඩ්ස්ක්‍රීන් සංඛ්‍යාව කොපමණදැයි සලිත් සිතුවේය. එම සංඛ්‍යාවට, ඉදිරිපස වීදුරුවක් නැති යතුරුපැදි ද එක්වූ විට, එකිනෙක හැපෙන වාහනවලින් මියයන මිනිසුන් සංඛ්‍යාව, සන්නද්ධ අරගල තුනෙන් ම අහිමි වූ ජීවිත ගණනට වැඩිවිය නොහැකි ද? ගණක යන්ත්‍රයකින් විසඳිය නොහැකි ගණිත ගැටලුවක ඔහු ගමන් කරමින් සිටියේය. දෛනික අනතුරු සංඛ්‍යාව යනු මහා සමාජ ආතතිය මෝචනය වීමේ නිල ඡන්ද ප්‍රතිඵලය නොවේදැයි සලිත්ගේ සලිත සිතට නැඟුණු ප්‍රශ්නාර්ථයකි.

``අපි දැන් මොකද කරන්නෙ ?``

සුලෝචනාගේ කටහඬින් සිතිවිලි කීපයක් ඇක්සිඩන්ට් විය. සලිත් එළියට විසිවිණි.

පාර දිගේ චන්දරේ වෙත ආ ප්‍රශ්නය, හැමදාමත් තවමත් පොඩ්ඩක් එහෙ මෙහෙ වී පිරිමියා වෙත පැමිණෙන්නේ ගැහැනියගෙනි.

සලිත් කල්පනා කළේය. එහෙත් කල්පනා කළ යුත්තේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය. ඔහු ඈත කවුළුවෙන් මෑත අහස දෙස බැලීය. රෑ බෝ වෙමින් තිබේ. බෝ රෑ වෙන්නට පෙරාතුව, තීරණයක් ගත යුතුය. එහෙත් ඒ කුමක් පිණිස ද? පිළිතුර පැමිණියේය. තමාගේත් සුලෝචනාගේත් ආරක්ෂාව පිණිසය. විස්කි වීදුරු - ජෝතිගේ සිංදු අතරින් නොපෙනී ගියේ අනතුරේ සෙවණැල්ලය. දැන් එය මේ මහල් නිවස පාමුළ යළිත් හොල්මන් කරමින් සිටියි. තව සුළු මොහොතකින් මකරා මෙතැනට එන්නට පුළුවන. සුලෝචනාවත් රැගෙන වහා මෙතැනින් පිටව යා යුතුය.

``අරූ.. අර කළු ජැකට් කාරයා... ඌ ආපහු පල්ලෙහා කැරකෙනවා සු.``

මෙවර සුලෝචනා එය විහිළුවකට ගත්තේ නැත.

``තව පාරක් බලලා එන්න.`` ඈ කීවාය.

සලිත් සෙමෙන් අඩි තබමින් දොර වෙත ගියේය. සරුවත් කඩේ මහල්ලා දවසේ මෙහෙවර නිම කරමින් සිටියි. ත්‍රිරෝද අලුත්වැඩියා කරන ස්ථානය වේලාසන ම වසා දමා ඇත. සලිත් තවත් ටිකක් එබී, මහල් නිවාසයේ පාමුලට නෙත් යොමන විට දැක්කේ, කළු ජැකට් කාරයාත් කාකි නිල ඇඳුම් හැඳි තිදෙනකුත් පඩිපෙළ දෙසට රිංගන අයුරුය.

``සු... උන් එනවා``

සලිත් කාමරයට කඩා වැදුණේය. සෝපානයක් නැති මහල් නිවාසයේ පඩිපෙළ තරණය කර මෙතැනට එන්නට අඩුම තරමේ විනාඩි දෙක තුනක් ගතවෙයි.

``අපිට යන්ඩ කිසිම දොරක් නැද්ද වෙන?``

සලිත් කෑ ගසා ඇසුවේය.

``නෑ රත්තරන්..``

සලිත් සුලෝචනාගේ දෙවුර මත දෑත තැබුවේය. සුලෝචනා කතා කළාය.

``මම උන්ව දැක්කෙ නෑ. ඒත් ඔයා කියනවනං උන් එනවයි කියල, මම ඔයාව විශ්වාස කරනවා. උන් ඇත්තටම එනවනං මට උන්ව පෙනෙයිනේ..``

සුලෝචනා සලිත්ගේ දෑසේ ප්‍රතික්‍රියාව නොතකා දිගට ම කතා කළාය.

``අපි මෙහෙම කරමු.. අර අතන බාත් රූම් එක ගාව ජනේලෙන් එළියේ, යකඩ බටයක් පල්ලෙහාට යනවා. උන් එන්නෙ ඉස්සරහින් හින්දා උන්ට ඔයාව අහුවෙන්නෙ නෑ.``

``එහෙම කොහොමද ? එතකොට ඔයා ?``

``මම ගෑනියෙක් සලිත්. උන් හිතන්නෙවත් නැති බොරුවක් මම උන්ට කියන්නං.. ඔයා ඉක්මනට පැනගන්න``

සුලෝචනාගේ යෝජනාවට එකඟ වීම - ඇයට කීකරු වීම - ඇයව විශ්වාස කිරීම හැර වෙනත් විකල්පයක් අත පොවන මානයේ නැත. ඔහු ඈ කී කවුළුවෙන් යකඩ බටය වෙත පිවිසුණේය.

``සුබ උපන්දිනක් සලිත්. දැන් නං මේක මටත් සර්ප්‍රයිස් එකක්. පරිස්සමෙන් බැහැගන්න රත්තරන්. ෆෝන් එක ඔන් එකේ තියාගන්න.``

වෙනත් කිසිවක් කියන්නට හෝ අසන්නට පෙර ඈ කවුළුව වසා ඇතුළතින් අගුල දැම්මාය. සලිත් යකඩ බටය දිගේ පහළට රූටා ගියේය.

තෙතට බැඳුණු දිය සෙවල ද විවිධ පිළිල වර්ග ද කිසිදා සැදැහැවතුන්ගේ ඇස නොගැටුණු කාක බෝ පැළ ද මේ අහඹු චාරිකාවේදී ඔහුට හමුවිය. ඉවසා ගැනීමට අපහසු වූයේ ඒ එකක්වත් නොව, යකඩ බටය මහල් නිවාසයේ බිත්තියට යා කරනු පිණිස තැනින් තැන සවිකර තිබූ තහඩු තීරුය. සලිත්ගේ අත්ල දෙක,

ඒතහඩුවලට සීරී ලේ මතුවෙමින් තිබිණි. තව තවත් පහතට රූටන විට වේගය වැඩිවිණි. අවසාන මීටර කිහිපය තුළ දෑතේ වේදනාව දරාගන්නට බැරි තැන, සලිත් යකඩ බටය අතහැරියේය.

ඔහු වීසි වී පහතට වැටිණි.

වාසනාවකට එතැන තිබුණේ, අසල තිබූ නෙල්ලි ගසකින් කාලයක් තිස්සේ වැටී ගොඩගැසී තිබූ ඝනකම් නෙල්ලි කොළ තට්ටුවකි. අවාසනාව තිබුණේ, ඒ නෙල්ලි කොළ ගොඩ අතරය. වම් අතේ මැණික් කටුවත් වැලමිටත් අතර මස ඉරාගෙන බැස තිබුණේ තද කොළපාට වීදුරු කැබැල්ලකි. හාත්පස පැතිරෙන අන්ධකාරයේ පවා සලිත් ඒ වර්ණය හඳුනාගත්තේය. කුඩා කල එවැනි වීදුරු කැබලි ඇසට තබා පහසුවෙන් ඉර දෙස බැලූ හැටි, මේ වේදනාකාරී මොහොතේ පවා ඔහුගේ සිතට නැඟී ආයේය. ඔහු පරෙස්සමෙන් එය ඉවත් කළේය.

සලිත් වටපිට බැලීය. එය, මිනිස් වාසයක් නොමැති මහල් නිවාසයේ පිටුපසට මායිම් වූ කැලේ කොළේ වැවී ගිය බිම් කැබැල්ලකි. අත්ල සීරුමත් වමත කැපුමත් හැර වෙනත් විශාල ශාරීරික වේදනාවක් නැති බව තහවුරු කරගෙන, දකුණත බිම තබා නැඟිටින්නට සලිත් උත්සාහ කළේය. එය සාර්ථක විය. ඩෙනිම් කලිසම විසින් දෙපා ආරක්ෂා කර තිබිණි. ටී ෂර්ටයෙන් ආවේ කිලිටි ගඳකි. පාවහන් නැති නිරුවත් දෙපා තබා ඇවිදින විට අතරින් පතර තිබූ වැලි පොළොවේ, නෙරෙංචි කටුවක් වැනි යමක් ඇනෙනු ඔහුට දැනිණි. ඔහු එය ගණනකට නොගෙන, අත්ලේ මතු වූ ලේ, ඩෙනිමේ පිසදාගනිමින්, නෙල්ලි ගස යට අඳුරේ වහන් විය. දැන් ඉහළ සිට බලන්නකුට ඔහු නොපෙනෙයි.

``මේ පාර උන් ආවෙ මාව උස්සන්න. උන්ට ඕන මාව. උන් සුලෝචනාට අනතුරක් කරන එකක් නැහැ. එයා මොනවා කියනවද දන්නෙ නෑ. මගේ බඩුමුට්ටු ඇතුළේ තියෙනවනේ.. ඒත් ඉතින් පොඩි පොඩි දේවල්. වොච් එක බැඳගන්න බැරි වුණා. ඒක මේසෙ උඩ.``

සලිත්ට ජංගම දුරකථනය මතක් වූයේ මෙවිටය. ඔහු ඩෙනිම් සාක්කුවට අත යවා එය සොයන්නට වෑයම් කළේය. එහෙත් එය එහි නැත. ඇතැම්විට එය වැටුණු තැන වන්නට පුළුවන. එහෙත් දැන් ම එහි යෑම නුවණට හුරු නැත. ඔහු මුහුණට වැටුණු කෙස් රොදක් දකුණතින් සකස් කරගත්තේය. විසුරුණු විහිදුණු හිස කෙස් ඔහු සතු විය. පාසල් යන සමයේ, ``ඔයා කලං වගේ`` කියා වැඩිමහල් කෙල්ලක කී හැටි මෙවේලෙහි සලිත්ට මතක් වූයේ නැත. ඔහුට මේ හිසකෙස් පන්නය එදා සිට වදයකි.

මේ අයුරින් මිනිත්තු තිහක්වත් ගෙවෙන්නට ඇත. දැන්, හාත්පස සම්පූර්ණයෙන් ම අඳුරුය. සලිත් හුන් තැනින් නැඟිට්ටේය. ජීවිතාශාව විසින් අන්ධකාරය තුළ පවා මිනිසුන්ට පෙනීම ලැබෙයි. එය දිව්‍යමය මොහොතකි. ඈත විදුලි ලාම්පුවලින් එන ආලෝක මාත්‍ර සෙමෙන් සෙමෙන් දෑස වෙත පිවිසෙන්නට පටන් ගනියි. සලිත් මහල් නිවාසය සමීපයෙහි තාප්පය අසලටම ආවේය. තාප්පයට එපිටින් ජීප් රථයක් නවත්වා තිබේ. අඩි ශබ්දයක් ඇසෙයි. සලිත් අවතාරයක් සේ ගල්ගැසී නිශ්ශබ්ද වූයේ ඊළඟට සිදුවන දේ අසාගන්නටය. ටෝච් එළියක් හෝ වදීවිය යන ක්ෂණික සැකය නිසා ඔහු වහා බිම දිගා වූයේය. තාප්පයෙන් එපිට ශබ්ද දැන් හොඳින් ඇසෙයි.

``නිකං අපිව රස්තියාදු කරවන්නෙපා අයිසේ..``

යමකු කීවේය. දොරවල් ඇරෙන වැසෙන හඬින් පසු, මහ හඬින් ගෝරනාඩු කළ ජීප් රථය ඈතට ඇදී යනු සලිත්ට ඇසිණි. සලිත් වහා නැඟිට තාප්පය අසලටම පැමිණ හිස සෙමින් ඔසවා දෑස එපිටට යවන්නට තැත් කළේය.

තාප්පයට මීටර කිහිපයක් ඈතින් කළු ජැකට් කාරයා, කලිසම් සාක්කුවලට දෑත ඔබාගෙන සක්මන් කරනු සලිත් දුටුවේය. කලින් ඇසුණු, නිල දෝෂාරෝපණය, ස්ථිර ලෙස ම මේ නිල නොවන මකරා වෙත විය යුතුය. මකරා අසාර්ථක භාවය වෙත හෙළීම පිළිබඳ සතුටක් සලිත්ගේ සිත තුළ නළියන්නට පටන් ගත්තේය.

එහෙත් ඒ සතුට විඳගන්නට හැකි වූයේ තත්පර කීපයක් පමණි. තම ජංගම දුරකථනය නාද දෙන හඬ සලිත්ට ඇසෙන්නට පටන් ගත්තේය.

``විනාසයි !``

(මතු සම්බන්ධයි)

විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

 

මාතෘකා