අතීත යටගියාවන් ගොන්නක් සැඟවුණු මිනිපේ අපේ උරුමය

 ඡායාරූපය:

අතීත යටගියාවන් ගොන්නක් සැඟවුණු මිනිපේ අපේ උරුමය

සිංහල රජ සමය තෙක් දිවෙන අතීත උරුමයන් රැසක් සැඟවගත් ගම්බිම් රැසක් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇතත් ඒ කෙරෙහි සංස්කෘතික දෙපාර්තමේන්තුවේත් රජයේත් ඇති අවධානය අල්ප වීම නිසා එම උරුමයන් මතු පරපුරට අහිමිව යෑමේ අවදානමක් මතුව ඇතැයි එම ප්‍රදේශයන්හි ජනතාව පවසති.

නකල්ස් කඳුකරයේ මහ වනය මැද පිහිටි උඩගල දෙබොක්ක ගම්මානය මෙන්ම දුටුගැමුණු රජුගේ සෙන්පතියකුගෙන් රන් දුන්නක් පරිත්‍යාග ලෙස ලැබීමෙන් ආරම්භ විනැයි සැලකෙන රන්දුනු මුදියන්සේලාගේ පරපුරෙන් පැවත එන ගලමුදුන ගම්මානය එවැනි වූ අතීත උරුමයන් රැසකට නෑකම් කියන්නාවූ ගම්මාන දෙකකි.

සිංහල ගති සිරිත්, පාරම්පරික ජීවන රටාවන් මෙන්ම ෙසාබාදහමේ අසිරිය අඩුවක් නැතිව විඳගත හැකි උඩගල දෙබොක්ක ගම්මානය මෙන්ම ගලමුදුණ ගම්මානය අදටත් ලෝකයා වෙත නිරාවරණය වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

සොබාදහමේ අපූරු ආස්වාදයන් ඉහළින්ම භුක්ති විඳිය හැකිවූ මෙම අපූරු ගම්මානවලට යෑම සඳහා තවමත් හරිහැටි පාරක් තොටක් පවා නොමැති අතර මෙම ගම්මාන වෙත යෑමට ඇත්තේ වන අලි, දිවියන්, වලසුන්, විසකුරු සර්පයින් ගැවසෙන මහ වන මැද ගස් ගල් මතින් දිවෙන අඩි පාරකි. දිය කදුරු, දොළ පාරවල් හරහා පාලම් නැති කිලෝමීටර් 6-7ක් තරම් දිගුවූ මෙම මාර්ගය බෙහෙවින්ම අනාරක්ෂිත මෙන්ම දුෂ්කර වීම නිසා මෙම ගම්මානවලට පිටස්තරයන් පැමිණෙන්නේ නම් ඒ බොහෝ කලාතුරකිනි. ඒ නිසාම මෙම ගම්මාන සම්බන්ධයෙන් මෙන්ම ගමේ යටගියාව හෝ උරුමයන් සම්බන්ධයෙන්ද අදටත් නිසි අවධානයක් යොමුවී නැත්තේය.

මෙම ගම්මාන හැරුණු විට ජනවහරේ එන රාවණා රජු සීතා දේවිය සඟවා තැබුවා යැයි කියන ගුරුළුපොත, සීතා කොටුවල අශෝක වනය, රාවණා රජුගේ දඬුමොනරය නවතා තැබූ බවට සැලකෙන යහන්ගල, වේවරේ ප්‍රදේශයේ සිටි ප්‍රාන්ත රජ කෙනකු විසින් රත්න වර්ග නවයක් සඟවා තැබූ බව කියන අඩි 300ක් උසින් හා අඩි 100ක් පමණ පළලින් යුතු ලංකාවේ පස්වෙනි තැන ගන්නා නකල්ස් වන මැද පිහිටි රත්නැල්ල දිය ඇල්ල මෙම කොට්ඨාසය තුළ පිහිටි අතීත උරුමයන් රැසකට නෑකම් කියන්නාවූ ස්ථාන කීපයකි.

ප්‍රදේශයේ බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් සුමන සමන් දෙවිඳුන්ගේ වැඩිමහල් සෙහොයුරියක වන මහ ලොකු වන් හෙවත් මහලොකු දේව මෑණියෝ වැඩසිටි බව ජනවහරේ සඳහන් වෙන ගුරුළුපොත කඳන්හේන බෝමළුවල දුටුගැමුණු රජ සමයේ සොරබොර වැව ඉදිකළ බුලතා නමැති යෝධයාගේ බිරිඳ වන එතනා විසින් මොරයාය ගමේ සිට උඩුවාහින්න ගම දක්වා නකල්ස් කඳුකරයේ මහ වනය මැදින් ඉදිකරනු ලැබූ ගල් පඩි 1,200කින් පමණ සමන්විත ගල් පඩිපෙළ හා ගමන් මාර්ගයද තවමත් හරිහැටි අවධානයට යොමු නොවූ ඓතිහාසික ස්ථානයන්ය.

මහවැලි ගංගා ජලය පළමු වරට උතුරට හැරවීම පිණිස පළමුවන අග්බෝ රජ සමයේ ඉදිවූවේ යැයි සැලකෙන මිනිපේ අමුණ, සිරිසඟබෝ රජුගේ මලණුවන් කෙනකු වන සේලාභය කුමරු ශිල්ප හැදෑරූ බව කියන මාළිගාපතන ගම, බුදුන් වහන්සේ මහියංගණයට වැඩමවූ යුගයේ නාග ගෝත්‍රිකයින් ජිවත්වූ බව කියන හඳගනාව ගමද මෙම කොට්ඨාසය තුළ පිහිටි ඓතිහාසික පුරාවෘත්ත රාශියක් සැඟව ඇති ප්‍රදේශයන්ය.

මීට අමතරව ඌවේ, මධ්‍යම කඳුකරයේ මෙන්ම සබරගමුවේ ජනතාව අදටත් භය පක්ෂපාතීව අදහන වැදි පරම්පරාවෙන් පැවත එන කලුබණ්ඩාර දෙවියන්ගේ උපත සිදුව ඇත්තේද මිනිපේ මහ වන මැද හසලක ඔයේ පිහිටි කලුවා වැටුණු ඇල්ල මුළුකරගනිමින් බව ප්‍රදේශයේ ජනතාව අදටත් විශ්වාස කරති.

මේ අයුරින් බලන කල කාලයේ වැලි තලාවන්ගෙන් වැසී ගිය ස්ථාන ගණනාවක්ම මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා තිබෙන බව අතිශයෝක්තියකින් තොරව පැවැසිය හැකිය.

එසේ වුවද එම ස්ථානයන් ජනතාව වෙත නිරාවරණය කිරීමට, එහි යටගියාව මතුකර ගැනීමට හෝ මතු පරපුර උදෙසා එම ස්ථාන සංරක්ෂණය කිරීමට තවමත් කිසිදු ආයතනයක හෝ මැදිහත්වීමක් සිදුවී නොමැත.

මේ හේතූන් නිසාම මෙම ඇතැම් ස්ථානයන් නිදන් හොරුන්ගේ මෙන්ම විවිධ ජාවාරම්කරුවන්ගේ පහසු ඉලක්කයන් බවට පත්වීමේ අවදානමක් මතුව ඇතැයිද මෙම උරුමයන්ට ආදරය කරන පිරිස් පවසති.

එසේ හෙයින් මෙම ස්ථාන සංරක්ෂණය කර ජනතා අවධානයට යොමු කරන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයට විශාල උත්තේජනයක් මෙන්ම ඉතා දිළිඳු හා නිසි ආදායම් මාර්ගයන් නැති මෙම ප්‍රදේශයන්හි ජනතාවගේ දෛනික ආදායම් මාර්ග ඉහළ දැමීමටද මනා පිටිවහලක් වන බව එම ජනතාව මෙන්ම ප්‍රදේශවල සේවය සඳහා පිටස්තර ප්‍රදේශවලින් පැමිණ සිටින රජයේ නිලධාරීහුද අවධාරණය කරති.

මීගහකිවුල සමූහ [එන්. කුමාර]

 

මාතෘකා