සුදු කබර රෝගය සුව කරන්න බැරිද?

 ඡායාරූපය:

සුදු කබර රෝගය සුව කරන්න බැරිද?

සෑම වසරකම ජුනි 25 දින 'ලෝක විටිලයිගෝ දිනයයි' නිදන්ගත චර්ම රෝගයක් වන සුදු කබර' රෝගයේදී සිදුවන්නේ සිරුරේ විවිධ කොටස්වල වර්ණක වෙනස් වීමයි. කුඩාවට හට ගන්නා මෙම සුදු පැහැති පැල්ලම් සිරුරේ විවිධ ප්‍රදේශවල ඇතිවී රෝගයේ ව්‍යාප්තිය සමඟ ඇතැම් විට මුළු සිරුරම වර්ණකවලින් තොර විය හැකිය. මෙම සුදු කබර රෝගය කෙනකුගෙන් තව අයකුට බෝ නොවන අතර ජීවිතයට තර්ජනයක් වන රෝගයක්ද නොවේ. නමුත් මෙම රෝගය නිසා දැඩි මානසික ආතතියකට ලක්විය හැකි අතර බොහෝවිට එම රෝගීන් දුර්වල පෞරුෂයක් සහිත සාංකාවෙන් සහ මානසික පීඩාවෙන් පෙළන්නන් බවට පත්විය හැකිය.

සමේ වර්ණක නිපදවන වර්ණක සෛල හෙවත් මෙලනොසයිට විනාශ වී යෑම හෝ එහි ක්‍රියාකාරීත්වය ක්‍රමිකව නැතිවී යෑම මෙම රෝගයට මූලික හේතුව වන අතර එසේ වීම සඳහා නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැත. බොහෝ පර්යේෂකයන් මෙම රෝගය සඳහා හේතු ලෙස ජානමය, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිත සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත සාධකයන්ගේ එකතුවක් ලෙස දක්වා ඇත. ඊට අමතරව ඇමෙරිකානු පර්යේෂකයන්ගේ නවතම මතය වන්නේ ඔක්සිකාරක ආතතිය හෙවත් පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස සෛලවල එකතුවන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙම රෝගය සඳහා ප්‍රබල හේතුවක් විය හැකි බවයි. එමෙන්ම ඇතැම් ප්‍රෝටීන ඌනතාද මෙම රෝගය ඇතිකිරීමටත් එය පැතිරවීමටත් හේතුවන බවද සොයාගෙන තිබේ.

මෙම රෝගය සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයෙහි මූලික සිද්ධාන්තය වන්නේ වර්ණක සෛල විනාශය වළක්වා සිදුවී ඇති හානිය නැවත ප්‍රතිසංවිධානය කිරීමයි. ප්‍රතිකාර ආරම්භ කිරීමට පළමුව රෝග ලක්ෂණ අනුව රෝගය නිර්ණය කිරීම සිදුවේ. සමහර අවස්ථාවලදී රෝගය තහවුරු කිරීම සඳහා චර්ම කොටස් ලබාගැනීම සහ රුධිර පරීක්ෂාවන් සිදුවේ. සිරුරේ රෝගය පිහිටි කොටස්, එය පැතිර පවත්නා සීමාව සහ රෝගය ඇතිවූ කාල සීමාව මත ප්‍රතිකාර කිරීම සිදුවේ. රෝගියාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත සංකූලතාවන් ඖෂධ නිර්ණය කිරීමේදී සැලකිල්ලට ගන්නා සෙසු සාධකය.

විටිලයිගෝ රෝගය නිට්ටාවටම සුව කිරීමට ලොව නිශ්චිත වූ ඖෂධයන් සොයාගෙන නැති නමුත් රෝගය පාලනය කිරීමට පෝෂ්‍යදායී ආහාර වේලකින් ලැබෙන පිටිවහල වැදගත් වේ.

'විටිලයිගෝ ආහාරවේලක්' ලෙස හඳුන්වන්නේ සංයෝජනයන් නොමැති යහපත් චර්මීය සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍ය වන සමබල ආහාර වේලකි. ශාකමය ආහාර වන නිවිති, බීට්රූට්, අර්තාපල්, ගෝවා, රාබු, ගෝවා මල් වර්ග, කොළ පැහැ බෝංචි, කැරට් මෙම රෝගීන්ට හිතකර වේ. රතු පැහැති මස් වර්ග සහ ඌරු මස් රෝගය පැතිර යෑමට හේතුවන අතර මේදය අඩු කළුකුම් මස්, මාළු සහ ගම් කුකුළු බිත්තර හිතකර වේ. ආහාර පිළියෙල කිරීමේදී තෙල් අවම ලෙස භාවිත කරන ක්‍රම භාවිත කළ යුතුය. කැල්සියම් අධික පලතුරු මෙම රෝගීන්ට නුසුදුසු වන්නේ අධික කැල්සියම් වර්ණක නිපදවීමේ ක්‍රියාවලිය නවතා දමන බැවිනි. ඇෆ්රිකොට් සහ ඉදුණු අඹ මෙන්ම කාබනික බිත්තර, වකුගඩු හැඩැති බෝංචි, කඩල, හතු සහ සලාද කොළ, නිවුඩු සහිත ධාන්‍ය වර්ග, නිවුඩු සහල්, රෝස්මරි, තයිම්, බැසිල් සහ කොත්තමල්ලි යන ඖෂධ , කරාබුනැටි, කළු ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, කරදමුංගු යන කුළුබඩු වර්ගද කුඩා ප්‍රමාණවලින් ආහාරයට එක්කර ගැනීම හිතකර වේ. මෙම රෝගීන්ට පලතුරු යුෂ සහ පොල් වතුර හිතකර වන අතර පැඟිරි කුලයේ දෙහි, දොඩම් වැනි පාන භාවිතයට සුදුසු නොවේ. දිනපතා කැරට් යුෂ පානය කිරීම විටිලයිගෝ රෝගයට ඉතා හිතකරය. ඇතැම් රෝගීන්ට විටමින් බී-12, ප්‍රෝටීන්, කැල්සියම්, සින්ක් සහ ඔමේගා මේද අම්ල ඌනතා පවතින බැවින් වෛද්‍ය නිර්දේශ මත පමණක් එම ආහාර අතිරේකයන් ලබාගැනීම සුදුසුය.

වෛද්‍ය [අජිත් කන්නන්ගර]

මාතෘකා