යුද්ධයක් ඇති කරන්න උත්සාහ කරන අයට හසු නොවීම මහජනතාවගේ වගකීමක්

 ඡායාරූපය:

යුද්ධයක් ඇති කරන්න උත්සාහ කරන අයට හසු නොවීම මහජනතාවගේ වගකීමක්

වන්නි ආරක්ෂක සේනා ආඥාපති

මේජර් ‍ෙජනරාල් කුමුදු පෙරේරා

දශක තුනක් පුරා මෙරට උතුරේ, දකුණේ ජන හදවත් පෑරූ යුද්ධයකින් අනතුරුව ඇති වූ තුවාල කැළැල් මැකී යන්නට මත්තෙන් නැවතත් රටක් ලෙස ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයෙන් බලන කාලයකට අපි මුහුණ දෙමින් සිටිමු. බිහිසුණු යුද සමයක අමිහිරි අත්දැකීම්වලට සෘජුව මුහුණ දුන් වන්නි ප්‍රදේශය අද වන විට දේශපාලන සිරිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ලෝක මට්ටමේ ආදර්ශයක් බවට පත්ව ඇත. එමෙන්ම යුද සමයකින් අනතුරුව සමාජ ප්‍රගමනය උදෙසා ආරක්ෂක හමුදා කෙලෙස දායකත්වය දැක්විය යුතුදැයි පෙන්වන උදාහරණය බවටද එම ප්‍රදේශය පත්ව තිබේ.

ආරක්ෂක තත්ත්වය ගැනත් වන්නි ප්‍රදේශයේ ආර්ථික, සාමාජයීය සහ පරිසර සංවර්ධනය කෙරෙහි යුද හමුදාවේ සහභාගීත්ව දායකත්වය ගැනත් 'රැස' සමඟ පිළිසඳරට එක් වූයේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතායි.

 දීර්ඝ යුද සමයක අවසන දශකයකට පසුව ආරක්ෂක තත්ත්වය ගැන නැවත ඇතිව ඇති සාකච්ඡාව කෙබඳුද?

ත්‍රිවිධ හමුදාවම ලොකු කැප කිරීමක් සිදු කරලා රටේ ආරක්ෂක තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. සාමාන්‍ය ජන ජීවිතය ගෙනියන්න, දරුවන්ට පාසල් යන්න, වැඩිහිටියන්ට තමන්ගේ රැකියා කටයුතුවල නිරතවෙන්න ඒ හරහා අවස්ථාව උදා කරලා තියෙනවා. නමුත් දැන් ඇතිව තියන ත්‍රස්තවාදී උවදුර මීට පෙර අපි යුද්ධය කරපු ත්‍රස්තවාදීන් සමඟ සසඳන්න බැහැ. ඊට හේතුව නව තර්ජනය එල්ල වෙලා තියෙන්නේ මූලධර්මවාදය පදනම් කරගත්ත ත්‍රස්තවාදී සංවිධානයකින්. නමුත් ආරක්ෂක අංශ විදිහට ත්‍රිවිධ හමුදාව ගත හැකි සියලු ආරක්ෂක පියවර අරගෙන තියෙනවා. ඒ වගේ අපේ බුද්ධි අංශ ඉතා බලවත් ලෙස ප්‍රතිස්ථාපනය කර තියෙනවා.

 මේ නව ත්‍රස්ත අභියෝගයට රටක් විදිහට අපි කොහොමද මුහුණ දිය යුත්තේ?

මේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා හේතු වී තියෙන්නේ ආගමික පසුබිමක් සහිතව විකෘති කරන ලද අදහස්වලින්. එවැනි ත්‍රස්ත සංවිධානයක් නැති කරන්න ත්‍රිවිධ හමුදාවලට පමණක් බැහැ. ආගමික නායකයන්, රටේ අනෙකුත් නායකයන් සියලු දෙනා එකතු වෙලා විකෘති ආගමික අදහස් ඔවුන්ගෙන් ඈත් කරවීමට කටයුතු කිරීම අවශ්‍යයි.

 කලබලකාරී වාතාවරණයෙන් අනතුරුව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙළක් වන්නි ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා. ඒ සඳහා ආරක්ෂක අංශවල දායකත්වය කුමක්ද?

යුද්ධයෙන් අනතුරුව කාල පරිච්ඡේදය පුරා සිවිල් ජනතාව සමඟ ඉතාම සමීප සම්බන්ධතාවක් ගොඩනැඟීමට ත්‍රිවිධ හමුදාවම කටයුතු කළා. ඒ ගොඩනැඟුණු සම්බන්ධතාව නිසා ත්‍රිවිධ හමුදාව ජනතාව ලබා දෙන ආරක්ෂක සහතිකය මත ඔවුන්ගේ භීතිය තුරන් කිරීමට හැකි වුණා. ඒ වගේම ඒ ලබා දුන් සහතිකය මත අපි ක්‍රියාත්මක කළ ආරක්ෂක ක්‍රියාන්විතයට සහාය ලබා දෙන්න වගේම ඒ සඳහා තොරතුරු සැපයීමටත් සිවිල් ජනතාව කටයුතු කළා. විශ්වාසය තමා මෙහිදී ප්‍රමුඛත්වය ගත්තේ.

 ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතා වැදගත්. තවමත් වන්නි ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රය තියෙන්නේ සාපේක්ෂව පහළ ප්‍රගතියක. ජන ජීවිතයට බලපාන පිරිසක් ලෙස යුද හමුදාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් දායකත්වය කොහොමද?

අපි 2015 වර්ෂයේදී හමුදාව විදිහට මුලින්ම මේ ප්‍රදේශයේ පාසල් ඉදිකිරීමට පටන් ගත්තා. ඒ ගැන කතා කරද්දී අපට මඟ හැරිය නොහැකි නමක් තියනවා. ඒ අපේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහත්මයා. ඔහුගේ පෞද්ගලික අරමුදලින් තමයි මුලින්ම පාසලක් හදන්න කටයුතු කළේ. විශාල මුදලක් වියදම් කරලා වෙහෙරතැන්න ප්‍රදේශයේ මුලින්ම පෙරපාසලක් ඉදි කළේ ඔහුයි. ඊට පස්සේ 5 ශ්‍රේණිය දක්වා උගන්වන ප්‍රාථමික විද්‍යාලයක් ඔහුගේ පෞද්ගලික මුදලින් ඉදිකරලා දුන්නා. ඊට පස්සේ හේමාස් ආයතනයේ 'පියවර' ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඔවුන් ලබා දුන් ප්‍රතිපාදනවලින් පෙරපාසල් 8ක් මේ වෙනකොට හදලා තියනවා.

ඊට අමතරව අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් නොයකුත් වැඩසටහන් අපි ක්‍රියාත්මක කළා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ ජීවත්වන පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් මූලික කරගෙන වැඩසටහන් පැවැත්වූවා. ඒ වගේම සාමාන්‍ය පෙළ දරුවන් සහ උසස් පෙළ දරුවන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළා. මව්පියන්ගේ ආකල්ප වර්ධනය කිරීම උදෙසාත් යුද හමුදාවේ මූලිකත්වයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වූවා.

 දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන මේ ප්‍රදේශයේ දරුවන් පාසලට ගෙන්වා ගැනීමම දුෂ්කර කාර්යයක්. එවැනි වාතාවරණයක මේ වගේ වැඩසටහන්වලින් ප්‍රගතියක් තියෙනවාද?

ඔබ හරි. මේ ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී ප්‍රධාන ප්‍රශ්න දෙකක් මතු වෙනවා. එකක් ප්‍රවාහනය සම්බන්ධයෙන්. අනෙක ආහාර සම්බන්ධයෙන්. ඉතාම දුෂ්කර තත්ත්වයක සිට අධ්‍යාපනය වෙනුවෙන් පැමිණෙන දරුවන්ගේ ප්‍රවාහන ගැටලුවට විසඳුමක් විදිහට බයිසිකල් 300කට අධික සංඛ්‍යාවක් අපි මේ වෙනකොට ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම දිළිඳු පවුල්වලට අපි නොයකුත් අවස්ථාවලදී වියළි සලාක ලබා දෙමින් ළමුන් පාසලට යැවීමට පවුල්වලට දිරි ගැන්වීමක් කරනවා.

 පසුගිය යුද සමයේ නොවැළැක්විය හැකි දැවැන්ත පරිසර හානියකට මේ ප්‍රදේශය මුහුණ දුන්නා. පරිසරයට සිදු වූ හානිය පූර්ණය කිරීමට ඔබේ නායකත්වයෙන් ගත් ක්‍රියාමාර්ග ගැනත් සඳහන් කළොත්....?

ඕනෑම රටක යුද්ධයක අතුරු ඵලයක් විදිහට සිදුවන විනාශකාරී දේවල්වලින් එකක් තමා 'වන හානිය'. නමුත් වන විනාශයේ භයානක තත්ත්වය තමයි යුද්ධය නොමැති වාතාවරණයක වෙනත් පුද්ගලයන්, වෙනත් ස්ථානවල ඔවුන්ගේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් කරන වන විනාශය. පහුගිය අවුරුද්දේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ නායකත්වයෙන් 'තුරුළිය වෙනුවෙන් අපි' යන නමින් රුක් රෝපණ වැඩසටහනක් පටන් ගත්තා. ලංකාවේ ප්‍රදේශ ගණනක ඒ ව්‍යාපෘතිය යටතේ ගස් සිටුවීම සිදු කළා. ඒ ව්‍යාපෘතියට සමගාමීව මේ ප්‍රදේශයේත් මේ වෙනකොට ගස් ලක්ෂයක් පමණ සිටුවා තියෙනවා. මැයි මාසේ 10 වැනිදාත් අපි එකම දවසේ එකම වෙලාවේ පැළ 45,000ක් සිටෙව්වා.

 ජනවාර්ගික විවිධත්වය සහ සංස්කෘතික අනන්‍යතාව ගැන කතා කරද්දී වන්නිය සුවිශේෂ භූමියක්. වෙනස් සංස්කෘතීන් අතර සබැඳියාව ප්‍රවර්ධනයට ආරක්ෂක අංශවල දායකත්වය කෙලෙසද?

මේ රටේ අදහන සෑම ආගමකම, සෑම ජාතියකම ප්‍රධාන උත්සව සැමරීම යුද හමුදාවේ සහභාගීත්වයෙන් සිදු වෙනවා. ඒ වගේම ලෝක ළමා දින සැමරුමත් නාච්චිදූවේ සහ සම්පත්නුවර සිදු කළා. මේ කටයුතු සංවිධානය කරද්දි අපි නිරීක්ෂණය කළ ප්‍රධානම කාරණය තමා දරුවන්ට ජාති භේදයක් නැහැ කියන දේ. ඒ වගේම මේ උත්සවවලදී පන්සලේ ආකෘතිය හදන්න වැඩියම උදවු කළේ මුස්ලිම් සහ දෙමළ ළමයි. හින්දු කෝවිලේ ආකෘතිය හැදුවේ සියලුම ජාතීන් එකතු වෙලා. සංහිඳියාව කියන දේ ළමයින්ට අලුතෙන් උගන්වන්න අවශ්‍ය දෙයක් නෙමේ. සංහිඳියාව උගන්වන්න සිද්ධ වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට.

බක්මහ උලෙළට වැඩිම අනුග්‍රාහකත්වයක් දුන්නේ මුස්ලිම් අය. වෙසක් කලාපයේ මුස්ලිම් සහ දෙමළ කුඩා දැරියන් භක්ති ගීත ගායනා කළේ සිංහලෙන්. ඉෆ්තාර් උත්සවය, දීපවාලී, මහ සිව රාත්‍රී ආදී සියලු උත්සව යුද හමුදාව සංවිධානය කරද්දී සියලුම ජාතීන්ට අපි ආරාධනා කරනවා. ඒ අය ස්වකැමැත්තෙන් සංවිධාන කටයුතුවලට වගේම උත්සවයටත් සහභාගි වුණා.

අප්‍රේල් 21 වැනිදායින් පස්සෙත් මේ ප්‍රදේශයේ සියලුම ජාතීන් එකිනෙකාව බලාගන්න තත්ත්වයකට පත් වුණා. ඔවුන් සියලු දෙනාම මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගන්න ඉදිරිපත් වුණා.

 ආරක්ෂාව තහවුරු කිරීමේ මුවාවෙන් රට මිලිටරීකරණය කිරීමේ උත්සාහයක් ඇති බවට චෝදනාවක් නැඟෙනවා....?

හැම දෙයක් දිහාම සෘණාත්මකව බලන කොට්ඨාසයක් ඉන්නවා. ඒ වගේම නොයකුත් සංවිධානවලින් යැපෙමින් ඒ සංවිධානවල පටු වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඔවුන්ට උත්තර දෙන්න කාලය වෙන් කිරීමේ පලක් නැහැ. නමුත් විශේෂයෙන් මතක් කරන්න ඕන, ත්‍රිවිධ හමුදාව වගේම පොලිසිය සහ සිවිල් ආරක්ෂක අංශය පාරට බැහැලා කටයුතු කරන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නොවන බව. ඒ වගේම ඒ කාර්යයේදී ත්‍රිවිධ හමුදාවේ කිසිවෙක් ඔවුන්ගේ ජාතිය ආගම මොකක්ද කියලා බලන්නේ නැහැ.

ආරක්ෂාව වෙනුවෙන් පමණක් නෙමේ, රටේ සෞඛ්‍ය අංශයේ ඉදිකිරීම්වලදී, ප්‍රවාහන අංශයේ වර්ජන කාල සීමාවන්වලදී, අධ්‍යාපන අංශයේ ගොඩනැඟිලි ඉදිකිරීම්, වැඩමුළු පැවැත්වීම් ඇතුළු බොහෝ කටයුතුවලදී ආරක්ෂක අංශවල දායකත්වය ඉතා ඉහළයි. මේ දිහාත් දේශපාලනික පටු කොණවලින් බලන, සෘණාත්මකව බලන අයත් ඉන්නවා. නමුත් චීනය වැනි අපේ කලාපයේ බලවත් රටවල් දිහා බැලුවහම ඒ රටවල් සංවර්ධනයට ආරක්ෂක අංශ දැක්වූ දායකත්වය විශාලයි. භෞතික සම්පත් අඩු බොහෝ රටවල් මානව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නවා. ඒක හමුදාකරණයක් ලෙස දැකීම වැරදියි.

 ඔබ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යේෂ්ඨතම නිළධාරියෙක්. මේ රටේ නැවත් යුද්ධයක් දිශාවට තල්ලු නොකිරීමට මහජනතාව සතු වගකීම ගැන ඔබේ අදහස කුමක්ද?

ලෝකේ කිසිම රටක හමුදාවකට අවශ්‍යතාවක් නැහැ යුද්ධයක් ඇති කරන්න. යුද්ධයක් ආරම්භ කරන්නේ හමුදාවක් විසින් නෙමෙයි. හමුදාවක් මැදිහත් වෙන්නේ යුද්ධය අවසාන කිරීමට පමණයි. යුද්ධයක් ඇති වෙන්නේ දේශපාලන හේතු මත හෝ මහජනතාවගේ අවශ්‍යතාව මත.

අනෙක් රටවලට සාපේක්ෂව ලංකාව අවුරුදු දහස් ගණනක් ඉඳලා ජාතීන් අතර සහයෝගය තිබ්බ රටක්. රටේ ඉතිහාසයට අනුව විදෙස් ආක්‍රමණවලදී ජාතීන් තුනම එක් වෙලා තමයි සටන් කරලා තියෙන්නේ. දැනටත් මේක ජාතීන් අතර ප්‍රශ්නයක් නෙමේ.

යුද්ධයක් ඇති කරන්න සමහර සංවිධානවලට අවශ්‍යතාව තියෙනවා. නමුත් යුද්ධය නැති කරන්න පුළුවන් ජාතීන් අතර සහයෝගයෙන් විතරයි. යුද්ධයක් ඇති වුණොත් පීඩාවට පත් වෙන්නේ මහජනතාව මිසක් වෙන කවුරුත් නෙමේ. ඒ නිසා යුද්ධය ඇති කරන්න උත්සාහ කරන අයගෙන් බේරී සිටීම මහජනතාවගේ වගකීමක්.

සාකච්ඡා කළේ [මංජුල සමරසේකර] ඡායාරූප [ චේනක වික්‍රමාරච්චි]

මාතෘකා