නිවසේ භාවිත වන රසායනිකයන්ගෙන් ඔබ ආරක්‍ෂාකාරීද?

 ඡායාරූපය:

නිවසේ භාවිත වන රසායනිකයන්ගෙන් ඔබ ආරක්‍ෂාකාරීද?

ඔබ විමසිලිමත්ව අවට බැලුවහොත් ඔබ අවට බොහෝදෑ ඇති බව පෙනේවි. ඔබ දැන් සිටින්නේ කාර්යාල කාමරයක නම් ඔබ අවට ඇති පුටුමේස, බිමට දැමූ කාපට්, ටයිල්, සිමෙන්ති, බිත්ති, තීන්ත, ඔබේ මේසය මත ඇති නොයෙක් දෑ ආදී වශයෙන් අනන්තවූ ලැයිස්තුවක් ඔබට දකින්නට ලැබේවි. ඔබ දන්නවා මේ කිසිවක් ස්වභාවික ද්‍රව්‍යවලින් සැකසී නැති බව. මේ සියල්ලම සැකසී ඇති මූලික තැනුම් ඒකක වන්නේ රසායන ද්‍රව්‍ය - සහ විවිධාකාර සංයෝග. එසේම අපේ ශරීරය පවා සැකසී ඇති අවයව, පටක, ඒ සියල්ලේම මූලික තැනුම් ඒකක වන්නේද මේ විවිධාකාර රසායන ද්‍රව්‍යයි. එනම් අප සියල්ලන්ගේම මූලික තැනුම් ඒකකය වන සෛලවල සිට ලොව විශාලතම යමක් වේද, ඒ සියල්ලම සැකසී ඇත්තේ කිසියම් හෝ රසායන ද්‍රව්‍ය රාශියක එකතුවෙන්.

රසායන ද්‍රව්‍ය අනන්ත ප්‍රමාණයක් අප අවට ඇතත් ඒවායේ භාවිතය සහ භාවිත කරන ප්‍රමාණය අනුව එහි ගුණ, අගුණ තීරණය වනවා. ජලය නොමැතිව දින කිහිපයක් ජීවත් විය නොහැකි වුවත් ජලය ලීටර හයකට අධික ප්‍රමාණයක් එකවර පානය කළ හොත් වැඩුනු මිනිසකු පවා මිය යා හැකියි. මේ නිසා කිනම් හොඳ දෙයක් වුවත් නියමිත මාත්‍රාවට වඩා ගැනීම අහිතකරයි. නමුත් මේ අප අවට ඇති විවිධාකාර රසායන ද්‍රව්‍ය ඇත්තෙන්ම ශරීරයට හිතකරද? අහිතකරද? එසේ හිතකර/අහිතකර වන්නේ කිනම් ප්‍රමාණවලින්ද යන්න ඔබ හරියටම දන්නවාද?

අපේ නිවෙස් ගතහොත් අප අවටම විවිධාකාර රසායනිකයන් සහ රසායනික වර්ග තිබෙනවා. භූමිතෙල්, පෙට්‍රල්, එනිජින් ඔයිල්, තිනර්, ටර්පන්ටයින් වැනි ඛනිජ තෙල් වර්ග - වෙළෙඳනාම සහිත හෝ රහිත විවිධාකාර සේදුම්කාරක ද්‍රව්‍ය, මුඛ මාර්ගයෙන් ලබා ගන්නා විවිධ ඖෂධ, ආලේපන ඖෂධ, සුවඳ විලවුන් වර්ග, මත්පැන් වර්ග, සුවඳ කුඩු, හඳුන්කූරු, මදුරු දඟර වැනි දෑ, තීන්ත වර්ග, සිමෙන්ති, හුනු, ආහාර රසකාරක සහ වර්ණක, සබන්, ෂැම්පු, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, පොහොර වර්ග, කෘමිනාශක සහ වල්නාශක ආදී මෙකි නොකී සියල්ලම අප අවට ඇති විවිධාකාර රසායනිකයන් වනවා. මේවා බොහොමයක් එදිනෙදා ජීවිතයේදී අප විවිධාකාර අන්දමින් භාවිතයට ගන්නා අතර තවත් සමහරක් සුවිශේෂී අවස්ථාවලදී ඒ ඒ මාත්‍රාවලින් භාවිතයට ගන්නවා. කෙසේ නමුත් මේවායේ ගුණ අගුණ, ගත යුතු ප්‍රමාණයන් මෙන්ම අහිතකර විය හැකි ප්‍රමාණයන් පිළිබඳ කිසිදු අදහසක් අප සතුව නොවන්නට පුළුවන්.

අප බොහෝවිට මේ රසායනිකයන් ගබඩා කර තබන්නේ අපට පහසුවෙන්ම ගත හැකි ස්ථානයක. උදාහරණයක් වශයෙන් ගතහොත් භූමිතෙල් ගබඩා කර තබන්නේ ළිපට ආසන්නයේ ළිප් බොක්කේ හෝ අසල වූ ස්ථානයක. වස විස පමණක් නිවසට ඈතකින් ගබඩා කර තැබුවත් ඕනෑම කෙනකුට එය පහසුවෙන් භාවිත කිරීම කළ හැකියි. සියලුම බෙහෙත් වර්ග නිදන කාමරයේ හෝ වෙනත් ස්ථානයක සියල්ලම එක භාජනයක හෝ පෙට්ටියක දමා ගබඩා කර තබනවා. එසේම සියලුම පිරිසුදු කරන ද්‍රව්‍ය එක්කෝ කුස්සියේ හෝ නානකාමරයක ගබඩා කර තබනවා. සමහරවිට මේ ද්‍රව්‍ය එකිනෙක පෑහෙන්නේ නැති වන්නට පුළුවනි. එසේම මේ කිසිවක් හරිහැටි ලේබල් කිරීමක් ද කර නැති වන්නට පුළුවනි. තවත් සමහර විටෙක පාවිච්චි කර ඉතිරි වූ මේ ද්‍රාවණ සිසිල් බීම බෝතලවල ගබඩා කර තබන්නට පුළුවන. එවිට ඒ කිසිවක් කුමක්දැයි පවා හඳුනාගත නොහැකි අන්දමට වෙනස් වී තිබෙන්නට හෝ මුලින් ලිබූ ලේබල් මැකී හෝ ගැලවී යන්නට පුළුවන්.. මේ අන්දමට විවිධාකාර හේතු නිසා මේ රසායන ද්‍රව්‍ය අනිසි පරිහරණයට මඟ පෑදෙන්නට ඇති ඉඩකඩ ඉතාම ඉහළයි.

විවිධ රසායනික ද්‍රව්‍ය එහි වූ අනතුරුදායක බව සලකා ප්‍රධාන වශයෙන් කාණ්ඩ නවයකට බෙදා වෙන් කර තිබෙනවා.

 

 

Explosive - පුපුරනසුලු

Flammable - ගිනිගන්නාසුලු

Oxidizing - ඔක්සිකරණය වන ද්‍රව්‍ය

Compressed Gas - සම්පීඩිත වායුව

Corrosive - විඛාදක ද්‍රව්‍ය

Toxic - විෂ සහිත ද්‍රව්‍ය

Harmful - අනතුරුදායක ද්‍රව්‍ය

Health Hazard - සෞඛ්‍යයට හානිදායක ද්‍රව්‍ය

Environmental Hazard - පරිසරයට හානිදායක ද්‍රව්‍ය

මීට අමතරව ජෛව අනතුරුදායක (Biohazard) සහ විකිරණශීලී ( Radioactive) ලෙසද ඒ ඒ අනතුරුදායක තත්ත්වයන්ට සුවිශේෂී රසායනික ද්‍රව්‍ය වර්ගීකරණය කර තිබෙනවා. මෙවැනි රසායනික ද්‍රව්‍ය සලකුණු දක්වා ඇති සෑම රසායනික ද්‍රව්‍යයක්ම ඒ ඒ අදාළ අනතුර වළක්වාලීම සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් භාවිතයට ගත යුතුයි. නැතහොත් සුළු අතපසුවීමකින් පවා සිදු විය හැකි අනතුරු ඉතා දරුණු විය හැකියි.

විශේෂයෙන්ම මේ රසායනික ද්‍රව්‍යවලින් අනතුරුවලට පත් වන්නේ කුඩා දරුවන් වීම කනගාටුදායක කරුණක්. කුඩා දරුවන් ස්වභාවයෙන්ම කුතුහලය ඇති කොට්ඨාසයක්, ඔවුන් නිරන්තරයෙන්ම අහුමුළු අස්සේ යනවා පමණක් නොවෙයි, ඒවායේ ඇති යම් යම් දෑ කිනම් හෝ අයුරකින් භාවිතයට ගන්නට උත්සාහ දරනවා. එසේම ඔවුන්ට වස විස යනු කුමක්ද? එසේත් නැතිනම් හිතකර කුමක්ද යන්න පැහැදිලිව හඳුනාගැනීමට නොහැකියි. මේ නිසා සිසිල් බීම බෝතලයක දමා ඇති වසක් හෝ වෙනත් යමක් පහසුවෙන්ම ඔවුන් බීමට ඇති හැකියාව ඉතා ඉහළයි. එය ඔවුන්ගේ ජීවිතය අවසන් කරන සිදුවීමක් විය හැකියි. මේ නිසා විශේෂයෙන්ම කෘමිනාශක, වල්නාශක වැනි උග්‍ර වස විස, දරුවන්ගේ අතපොවන මායිමෙන් ඈතක තැබිය යුතුයි. එසේම එය අඩංගු බෝතලයේම තැබිය යුතුයි. අවශ්‍ය ප්‍රමාණයට පමණක් මිලදී ගැනීමෙන් අනවශ්‍ය ලෙස ඉතිරි වීම මඟහැර ගන්න පුළුවන්.

 

ඉතිරියක් වේ නම් එය වසා අගුළු ලා වැසිය හැකි තැනක දමා යතුර පවා සඟවා තැබිය යුතුයි. ලංකාවේ සියදිවි නසාගැනීම් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ වස ශරීරගත වීමෙන්. මිනිසුන් හැඟීම්බර වනවිට පිළිතුරක් නොපෙනෙන ප්‍රශ්නයක් ඇතිවිට ප්‍රථම උත්සාහය වන්නේ එයින් පලා යෑම වන අතර එයට පහසුම මඟක් සොයා ගන්නවා. අත පොවන මානයේ වසක් විසක් ඇති විට ඒ වෙත යොමු වීම ස්වභාවිකයි. නමුත් එය අගුළු ලා තැබුවහොත් යතුරු සොයාගන්නට වෙහෙස වනවිට ක්‍ෂණික ආවේගයන් පහ වී පියවි සිහියට පැමිණිය හැකිවාක් පමණක් නොවෙයි, එම හැඟීම්වලින් මිදී තිබිය හැකියි. මේ නිසා උග්‍ර වස විස නිරන්තරයෙන්ම අගුළු ලා හැකි තැනක තැබීම කාටත් සුබදායකයි.

එසේම විවිධ සම්පීඩිත වායු සහිත තීන්ත විසුරනයන්, කෘමි නාශක ඉසිනයන් වැනි සම්පීඩිත සිලින්ඩර දරුවන් නොදැනුවත්වම මුහුණ දෙසට හරවා ක්‍රියාක්මක කරනු දැකිය හැකියි. තවද විවිධ ක්‍ෂණිකව ඇලවෙන මැලියම් වර්ග වැනි දෑ දරුවන්ගේ ඇස්වලට, මුඛයට වැනි ස්ථානවල තැවරීම විශාල අනතුරු ගෙන දෙන්නක් විය හැකියි. මේ නිසා මෙවැනි ද්‍රව්‍ය, කැපෙන මුවහත් ඇති උපකරණ සියල්ලම දරුවන් අත පොවන මානයෙන් ඉවත් කර තැබීම සුබදායකයි.

ලංකාවේ බොහෝවිට ඖෂධ පිළිබඳ නීති ඇතත් බොහෝ දෙනා උපරිම වශයෙන් ගොඩ වෙදකම් දන්නා අය. මේ නිසා කිසියම් රෝගයකට වෛද්‍යවරයා නියමිත ඖෂධ මාත්‍රාව ලබා දුන් පසු රෝගය තරමක් සුව වූ විට ඉතිරි වූ ඖෂධ ගබඩා කර තබන්නේ පසු කලෙක භාවිතයට ගැනීම සඳහා. එසේම බොහෝ විට නිවසේ නිතර පාවිච්චි වන ඖෂධ මේසයක් මත හෝ වෙනත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක තබා තිබෙනවා. එසේම මේ ඖෂධ ගබඩා කර ඇත්තේද ඉතා පහසුවෙන් විවෘත කළ හැකි බෝතල් තුළයි. මේ අවස්ථාවලදී ද කුඩා දරුවන් බොහෝවිට ඉතා පහසුවෙන් මේ ඖෂධ කරා ඇදී අනතුරු සිදු කර ගන්නවා. සමහර ඖෂධ තිත්ත රස වුවත් පැණිරස ඖෂධ සහ විවිධ සිරප් වර්ග දරුවන්ට රස අහරක් වනවා. සමහර ඖෂධ වැඩි මාත්‍රාවක් ගැනීම නිසා දරුවන් මිය යෑමට හෝ සදාකාලික ආබාධිත භාවයට පත් විය හැකියි. මේ නිසා නිතරම නිවසේ ඖෂධ ගබඩා කිරීමට නිසි ස්ථානයක්, දරුවන්ට පහසුවෙන් ළඟා විය නොහැකි ස්ථානයක සහ හොඳින් වැසිය හැකි භාජනයක මේ ඖෂධ ගබඩා කර තැබිය යුතුයි. විශේෂයෙන්ම මේවාද වසා අගුළු ලා හැකි ස්ථානයක පිළිවෙළින් නම් කර ගබඩා කර තැබිය හැකි නම් අනතුරු අවම කළ හැකි අතර භාවිත කර අවසන් වූ ඖෂධ නිසි ආකාරයට ඉවත් කිරීමද කළ යුතුයි. සුළු ලාභයක් පතා ඒවා ගබඩා කර තැබීම සමහරවිට විශාල අනතුරකින් කෙළවර වන්නට පුළුවනි.

නිවසේ භාවිත වන රසායනික ද්‍රව්‍ය බොහොමයක් සුවිසල් අනතුරු රැගෙන දෙන ද්‍රව්‍ය නොවුණත් ඒවා නිරාවරණය වන කාලය සහ නිරාවරණය වන මාත්‍රාව අනුව භයානක වන්නට පුළුවන්. මේ නිරාවරණය වීම දෙආකාරයකින් සිදු වීමට හැකියි. අධික රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් කෙටි කාලයකදී නිරාවරණය වීම සහ කුඩා ප්‍රමාණවලින් රසායන ද්‍රව්‍ය දිගු කාලයක් නිරාවරණය වීම වශයෙන්. උදාහරණයක් ලෙස කාබන්මොනොක්සයිඩ් වැනි අධික විෂ සහිත වායුවක්, සුළු වේලාවක් ආඝ්‍රාණය කිරීම පවා මරණය ගෙන දෙන්නක් විය හැකියි (Acute Toxicity). එසේම ආසනික්, රසදිය වැනි ද්‍රව්‍යයක් දිගු කාලයක් නිරාවරණය වීම දීර්ඝ කාලයකට පසුව රෝග ලක්‍ෂණ පහළ විය හැකියි (Chronic Toxicity). මේ නිසා විශේෂයෙන්ම කර්මාන්තශාලාවල සේවය කරන පුද්ගලයන් නිරන්තරයෙන් මෙවැනි දීර්ඝ කාලීන නිරාවරණයවීම් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු අතර අවම වශයෙන් වසරකට වරක්වත් ඒ සඳහා අවශ්‍ය පරීක්‍ෂණ සිදු කර එවැනි නිරාවරණය වීමකින් අහිතකර ආචරණයක් සිදුවී නැති බවට සහතික කරගත යුතුයි. මෙය විශේෂයෙන්ම විකිරණශීලී තත්ත්‍ව යටතේ සේවය කරන රෝහල් සේවකයන් වැනි අධික අනතුරුදායක සේවා සිදු කරන අය විමසිලිමත් විය යුතු කරුණක්.

සමහරවිට අප නොදැනුවත් නිවසේදී මිශ්‍ර කරන යම් යම් ද්‍රාවණ නිසා සෑදෙන අහිතකර සංයෝග පවා අපට ඉමහත් අනතුරු සිදු කළ හැකියි. කිසි විටෙක බ්ලීච් සහ ඇමෝනියා එකට මිශ්‍ර නොකළ යුතුයි. එයින් අධික විෂ සහිත ක්ලෝරොඇමීන් වායුව නිපදවේ. බ්ලීච් සහ සර්ජිකල් ස්ප්‍රීට් වැනි ඇල්කොහොල් වර්ග මිශ්‍රවීම නිසා ක්ල්රොෆෝම්, ක්ලොරොඇසිටෝන් සහ ඩයික්ලෝරො ඇසිටෝන් වැනි වායූන් නිෂ්පාදනයවේ. එසේම බ්ලීච් සහ විනාකිරි ක්‍රියාකිරීම නිසා ක්ලෝරීන් වායුව නිපදවිය හැක. එය ආඝ්‍රාණය වුවහොත් පෙණහලුවල සංකූලතා ඇති වී මරණය පවා සිදු විය හැක. මෙවැනි නිවසේ ඇති විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍රකිරීම නිසා සිදු වන විනාශයන් වළක්වාලීමට නිරන්තරයෙන්ම ඒ ඒ රසායන ද්‍රව්‍ය සමග නිකුත් කෙරෙන ලේබල් කියවා නිසි ලෙස ක්‍රියාත්මක වීම මගින් සුවදායී ජීවිතයකට උරුමකම් කිව හැකියි. රසායන ද්‍රව්‍ය යනු බියට පත් වී භාවිතයෙන් ඉවත් කළයුතු දෙයක් නොවේ. ඒවා අපට නැතිවම බැරි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන අතර නිසි භාවිතයෙන් අප ඒවා අපේ යහපතට යොදාගත යුතුය.

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා