(මෙම ලිපිය සංවාදයට විවෘතය) : ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක කෘති සමීක්ෂණය වෙනුවෙන් ලංකා ලේඛක සංවිධානයේ නව යෝජනාවලිය

 ඡායාරූපය:

(මෙම ලිපිය සංවාදයට විවෘතය) : ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක කෘති සමීක්ෂණය වෙනුවෙන් ලංකා ලේඛක සංවිධානයේ නව යෝජනාවලිය

ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන සමීක්ෂණය වෙනුවෙන් ලංකා ලේඛක සංවිධානය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවලිය අප ඉදිරිපත් කරන්නේ එම යෝජනාවලිය පිළිබඳ සාධනීය හෝ නිශේධනීය භාවය පාඨකයාට අවබෝධ කරගැනීම පිණිසය. තවද ඊට පාඨකයන් වශයෙන් ප්‍රතිචාරද දැක්විය හැකිය.

සමීක්ෂකයෝ

01. සමීක්ෂණය සඳහා සාහිත්‍යය ප්‍රමුඛ කලා මාධ්‍යයන් පිළිබඳ පරිචයක් ඇති බව තහවුරු කරගත් මණ්ඩලයක් නම් කිරීම. මෙහිදී ඔවුන්ගේ කලා භාවිතාව ගැන දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් ය. සිංහල සාහිත්‍යයට අදාළව නවකතා, කාව්‍ය, කෙටිකතා සහ යොවුන් නවකතා යන ශානරයන් සම්බන්ධ විචාර හෝ ලිපි සම්පාදනය කර ඇති හෝ අධ්‍යාපනික වශයෙන් උසස් අධ්‍යාපනයෙහි විෂයයක් ලෙස සිංහල භාෂාව හදාරා තිබීම හෝ සුදුසුකමක් සේ ගැනීම.

02. සාහිත්‍ය කලා විෂයයන්ට නොගැනෙන වෘත්තිකයින් තෝරා ගැනීමේදී ඔවුන්ගේ කලා පරිචය පිළිබඳ විශ්වාසයක් තහවුරු කරගැනීම. පුරුද්දක් ලෙස පොත් කියවන්නන් යැයි තහවුරුකර ගැනීම.

සමීක්ෂණ කටයුතු සඳහා නුසුදුසු අය

01. සමීක්ෂණ කාර්යය පවරන අයට අදාළ වර්ෂයට නියමිත ග්‍රන්ථ හෝ ඒවායේ කතුවරුන් සමග කවරාකාරයෙන් හෝ සම්බන්ධයක් ඇත්දැයි තහවුරු කරගැනීම සහ එවැනි අයට අදාළ වගකීම නොපැවරවීම.

02. සමීක්ෂණ කටයුතු සඳහා තෝරාගන්නා අයකුගේ කෘතියක් අදාළ වර්ෂයේ රජත පුස්තක සම්මානයට යොමු කර ඇත්නම් හෝ ස්වර්ණ පුස්තකයට ඉදිරිපත් කර ඇත්නම් හෝ අනෙක් ක්ෂේත්‍රයේ සමීක්ෂකයකු ලෙස පත් නොකිරීම. (උදා: 2017 රජත පුස්තකයට කෙටිකතා කෘතියක් ඉදිරිපත් කළ සුනිල් ගුණවර්ධන ස්වර්ණ පුස්තකයේ පාදක මණ්ඩලයේ කටයුතු කිරීම.)

03. සමීක්ෂකයින්ගේ සමීපතම ඥාතීන්ගේ කෘති ඉදිරිපත් කර ඇත්දැයි සමීක්ෂකයන් තෝරාගැනීමට ප්‍රථම තහවුරු කරගැනීම.

04. ආගමික නියෝජිතයින් (උදා: භික්ෂුන් වහන්සේලා/ පූජකවරුන්) සහභාගි කර නොගැනීම. සාහිත්‍ය කලා ආදි විෂයයන් පිළිබඳ ඔවුන්ගේ රුචිකත්වය බෙහෝ විට ආගමික මතවාද තුළ සැඟව යන නිසා ඔවුන්ගේ තීන්දු ආගමික පසුතලයකින් අවිචාරාත්මක විචාරයකට හසුවීමට ඉඩ ඇති බැවිනි. (උදා: භික්ෂුන් වහන්සේලාගේ විරෝධය හේතුවෙන් අභිනව උසස් පෙළ කෙටිකතා සංග්‍රහයෙන් අජිත් තිලකසේනගේ ‘වතුර’ කෙටිකතාව ඉවත් කිරීමට අධ්‍යාපන බලධාරීන් විසින් ගනු ලැබූ තීරණය.)

05. ප්‍රකාශක ආයතනවල වැටුප් ලබන හෝ උපදේශක තත්ත්වයේ හෝ සේවයක් සපයන අයද ඇතුළුව අදාළ වසරේ පළ කර ඇති කෘතියකට කවරාකාරයෙන් හෝ සම්බන්ධයක් ඇති අයත් සමීක්ෂණ කාර්යයන්ට එක් කර නොගැනීම.

06. පසුගිය වසරවලදී තීන්දු වෙනුවෙන් සක්‍රීයව දායක නොවූයේ යයි හෝ සමීක්ෂණ කටයුතුවලදී සාර්ථකත්වයක් පෙන්නුම් නොකළේ යැයි හෝ හැඟෙන සමීක්ෂකයන් නැවත පත් කර නොගැනීම.

සමීක්ෂණ ක්‍රියාවලිය

01. පාදක මණ්ඩලයේ සමීක්ෂකයින් සියලු දෙනා විසින්ම තමන් කියවූ සියලුම ග්‍රන්ථ පිළිබඳව තනි තනි සමීක්ෂණ සටහන් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම. මේ කාලය තුළ දී සමීක්ෂකයින්ගේ සාමූහික හමුවීම් නොපැවැත්වීම.

02. සමීක්ෂණයේදී ලකුණු ලබා දීමේ ක්‍රියාවලියක් සකස් කිරීම. එහිදී අදාළ සාහිත්‍ය කෘතියෙහි ප්‍රස්තුත වස්තු විෂයෙහි ප්‍රබලතාව සහ සමාජයීය/ ඓතිහාසික හෝ මානවීය වැදගත්කම, ආඛ්‍යානයෙහි නැවුම් බව සහ කියවීමේ රුචිය ඉස්මතු කිරීමෙහි සමත් බව, නූතන නිර්මාණ සාහිත්‍යයේ ජයග්‍රහණයන්ට සමපාතව කිසියම් අපූර්වත්වයකින් යුතු වීම හා කෘතියෙන් ප්‍රකට කෙරෙන ජීවන දෘෂ්ටිය ආදී කරුණු ඇතුළුව එහි සමුදයාර්ථය (සමස්ත අරුත) සැලකිල්ලට ගනිමින් ලකුණු 70% ක් ද

11. භාෂා භාවිතයෙහිදී ගත්වහර උපයෝගී කරගන්නේ නම් එහි නිරවද්‍යතාව, අක්ෂර වින්‍යාසය සම්මත වියරණයෙහි පිහිටීම සහ කටවහරෙහි පිහිටන්නේ නම් කටවහරේ වියරණය රැකීම සහ අක්ෂර වින්‍යාසයේ නිරවද්‍යතාව පිළිබඳව සැලකිලිමත් වීම සහ ප්‍රබන්ධාත්මක ගුණයෙන් යුතු බසක් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් ලකුණු 30% ක්ද වශයෙන් ලකුණු ලබා දීම සහ එහි එකතුව දැක්වීම.

03. සෑම සමීක්ෂකයක්ම වෙන් වෙන් වශයෙන් තමන්ගේ කියවීමට අදාළව වැඩිම ලකුණු ලැබූ කෘති 20 ක් නම් කිරීම. එම කෘති විස්සේ ලැයිස්තු ගළපමින් වැඩිම ලකුණු සාමාන්‍යය ලැබූ කෘති 12 හෝ 10 නම් කර එය මධ්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීම.

04. සමීක්ෂකයින් සියලුම කෘති වෙනුවෙන් තමන්ගේ සටහන් සහ ලකුණු ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම. එසේ නොවුණහොත් ඔවුන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම.

05. මධ්‍ය මණ්ඩලය විසින් තමන් වෙත යොමු කරන ලද කෘති සම්බන්ධයෙන් පාදක මණ්ඩලයට පැනවූ කොන්දේසිවලට අනුව කෘති පහක් වෙනුවෙන් ලකුණු ලබා ගැනීම. එම ලකුණුවලට අනුව අවසන් කෘති පහ නම් කිරීම. මෙම අවස්ථාවේදී කෘති 12 හෝ 10 පිළිබඳවම මධ්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන සමීක්ෂක සටහන් ලබා ගැනීමටත් එම සටහන් සම්මාන උත්සවයේ දී මුද්‍රණය කර පොත් පිංචක් සේ සමාජගත කිරීමටත් යෝජනා කරමු.

06. අවසන් සම්මාන ප්‍රදානෝත්සවයේදී උත්තරීතර මණ්ඩලය විසින් තමන් කියවූ පොත් පහ පිළිබඳව වැදගත් සමීක්ෂණ සටහනක් ඉදිරිපත් කිරීම. එය හරවත් සහ ගම්භීර විචාරයක් සරි විය යුතුය. අවසානයේ එම පොත් අතරින් සම්මානය සඳහා යෝජනා කරන කෘතිය අන් කෘති හතර අතරින් විශේෂ වන්නේ ඇයි දැයි ප්‍රකාශයට පත්කිරීම වැදගත්ය.

2. රජත පුස්තක සම්මාන

01. මෙහිදී ද සමීක්ෂකයන්, සමීක්ෂණ ක්‍රමවේදය, සමීක්ෂණ සටහන් සහ අවසන් විනිශ්චයට අදාළ ප්‍රකාශ ආදිය ස්වර්ණ පුස්තක සමීක්ෂණ ක්‍රියාවලියට සමාන තත්ත්වයකින් පවත්වා ගැනීම සුදුසු ය.

02. රජත පුස්තක සම්මාන උත්සවයේදී ද සමීක්ෂණ සටහන් පොත් පිංචක් නිකුත් කිරීම මැනවි.

විශේෂ යෝජනා

1.ස්වර්ණ පුස්තක සම්මාන සමීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව යෝජනා මාලාවක් අප විසින් මීට ප්‍රථමද ඔබ සංගමයට ඉදිරිපත් කරනු ලැබ තිබේ. (එය ඉදිරිපත් කෙරුණේ නාලන් මෙන්ඩිස්, කුලරත්න ආරියවංශ, එච්. ඩී. එස්. මල්කාන්ති, කුලශ්‍රී කාරියවසම්, ඉන්ද්‍රානි පල්ලියගුරු, ශ්‍රීමතී චන්ද්‍රලතා මුණසිංහ හා රෝහිත වනිගසේකර යන සමීක්ෂකයන්ගේද සහභාගිත්වයෙන් 2015 වසරේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට සමගාමීව සාහිත්‍ය සංකථන මණ්ඩපයේදී පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කෙරුණු අදහස් පදනම් කරගෙන බවද කරුණාවෙන් සලකන්න.)

රජත පුස්තක සමීක්ෂණයට අදාළවද ක්‍රියාත්මක කිරීම සුදුසු යයි අප යෝජනා කරන එම ක්‍රියාවලිය නැවතත් මෙසේ ඉදිරිපත් කරමු.

_පාදක මණ්ඩලය මගින් ඉදිරියට යා යුතු කෘති නම් කිරීමෙන් පසු පාදක මණ්ඩලය නියෝජනය කරමින් එහි සමීක්ෂකයන් දෙදෙනෙක් මධ්‍ය මණ්ඩලයට ඇතුළත් කළ යුතුය. වෙනත් විදිහකින් පවසතොත් මධ්‍ය මණ්ඩලය සමන්විත විය යුත්තේ පාදක මණ්ඩලයේ සමීක්ෂකයන් දෙදෙනකුගේද නියෝජනයෙනි. එවිට අදාළ වසරේ කෘති සියල්ලම කියවා ඇති එම නියෝජිතයන්ට එම වසරේ කැපී පෙනෙන කෘති පිළිබඳ විග්‍රහයක් මධ්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකි වනු ඇත.

_ඉහත ක්‍රමවේදය ඉදිරියට ගෙන යමින් මධ්‍ය මණ්ඩලය මගින් අවසන් වටයේ කෘති 5 නම් කළ පසු මධ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් එහි නියෝජිතයන් දෙදෙනකුද උත්තරීතර මණ්ඩලයට ඇුතුළත් කිරීමටත්, එසේ ඇතුළත් කෙරෙන නියෝජිතයන් දෙදෙනා අතරින් එක් අයකු අනිවාර්යෙන්ම පාදක මණ්ඩලයෙන් මධ්‍ය මණ්ඩලයට එක් වූ දෙදෙනාගෙන් කෙනකු විය යුතු බවටත් මෙහිදී අවධාරණය කෙරිණ. මෙමගින් වසරේ කෘති බහුතරයක් කියවීමෙන් ලැබුණු අවබෝධය මත පිහිටා පාදක හා මධ්‍යම මණ්ඩල දෙකේදීම සමීක්ෂකයන්ගේ වැඩි ප්‍රසාදයක් දිනාගත් කෘති සම්බන්ධයෙන් උත්තරීතර මණ්ඩලයට අවබෙෘ්ධයක් ලබා දීමට මෙම නියෝජිතයන්ට අවස්ථාව උදා වනු ඇත.

_ඉහත විස්තර කර ඇති සංයුතියෙන් යුත් සමබර සමීක්ෂණ මණ්ඩලයක් මගින් ආරම්භයේ සිටම වැඩි සමීක්ෂණ අවධානයට ලක් වූ කෘතියක් එක් එක් අදියරයන්හිදී ගිලිහී යාමට ඇති අවස්ථා මගහැරෙනු ඇත. එසේම සාධාරණ වූත්, විනිවිදභාවයකින් යුතු වූත් මෙවන් සමීක්ෂණ ක්‍රියාවලියක් හරහා ස්වර්ණ පුස්තකය හා රජත පුස්තක සම්මාන ප්‍රදානය අරබයා වඩාත් සාධනීය චිත්‍රයක් ලේඛක, විචාරක හා පාඨක ප්‍රජාව හමුවේ නිරූපණය වනු ඇතැයිද අපි විශ්වාස කරමු.

2. පාදක, මධ්‍යම හා උත්තරීතර යන මණ්ඩල තුන වසරින් වසර නවීකරණය කරන ලෙස හා ඒවාට සමීක්ෂකයන් තේරීමේ පහසුව පිණිස සමීක්ෂක සංචිතයක් පිහිටුවන ලෙසත් ඒ සඳහා පහත දැක්වෙන ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් යෝජනා කරමු.

_වසරක් පාසා නවක විචාරක තරගයක් පවත්වා එම තරගවලින් කැපී පෙනෙන විචාරකයන් හඳුනාගැනීම.

_විශ්ව විද්‍යාල, ගුරු අභ්‍යාස විදුහල් වැනි උසස් අධ්‍යාපන ආයතනයන්හි සිංහල හා වෙනත් භාෂා අධ්‍යනාංශවල අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත පොත්පත් කියවීමට රුචියක් දක්වන හා විචාර කලාවෙහි සමත් කථිකාචාර්යවරුන් හා සිසු සිසුවියන් හඳුනාගැනීම.

_සමීක්ෂණ කටයුතු සඳහා සුදුසු විචාරකයන් නම් කරන ලෙස රටේ පිළිගත් ලේඛක සංවිධානවලට ඇරියුම් කිරීම

_පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයක් මගින් සුදුස්සන් හඳුනාගැනීම.

3. සමීක්ෂණ මණ්ඩලයක සාමාජිකයකු වශයෙන් ක්‍රියා කරන කාලය තුළ අදාළ වසරේ පොත් පිළිබඳව ඕනෑම මාධ්‍යයක් මගින් විචාර හෝ අදහස් දැක්වීමෙන් සේම තමන් සමීක්ෂක මණ්ඩලයක සාමාජිකයකු බව ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසට සියලුම සමීක්ෂකයන්ට තරයේ උපදෙස් දිය යුතුය. යම් හෙයකින් එම කොන්දේසි කඩ කළ බව තහවුරු වුවහොත් ඒ සමීක්ෂකයා තරාතිරම නොබලා ඉවත් කිරීමටද වගබලා ගත යුතුය.

4. සම්මාන උත්සව රාත්‍රීන්හිදී රජත පුස්තක/ ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් කෘති ඉදිරිපත් කළ ලේඛකයින් ඇතුළුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සාහිත්‍යකරණයේ නිරත සක්‍රීය ලේඛක ලේඛිකාවන් සැමටම පාහේ ආරාධනා කිරීමටද යෝජනා කරමු. (අවශ්‍ය වන්නේ නම් ලිපිනයන් ලබා දිය හැකිය.)

5. රජත/ ස්වර්ණ පුස්තක සම්මාන වෙනුවෙන් සහ අවසන් නිර්දේශය වෙනුවෙන් ලබාදෙන මුදල් ත්‍යාගය එසේ තිබිය දී අවසන් කෘති 12 / 10 න් ඉදිරියට නොආ ඉතිරි කෘති (5 හෝ 7) සඳහා මුදල් ත්‍යාගයක් සහ සම්මාන සහතිකයක් උත්සව වේදිකාවේදීම ලබා දීම උචිත බවද අප අදහසයි. ඒ වන විට පොත් පහක් ඉදිරියට පැමිණ ඇති නිසා එම පොත් පහට සම්මාන ඵලක දීමට ප්‍රථම එම කෘති අගැයීමේ මොහොත උදාකර ගැනීමද වැදගත්ය.

6. ස්වර්ණ පුස්තකයට අමතරව රජත පුස්තක ප්‍රදානය ඇරඔූ ලෙසින්ම වසරේ විශිෂ්ටම දේශීය දෙමළ හා ඉංග්‍රීසි කෘති සඳහාද සම්මාන දීමේ වැඩපිළිවෙළක් අරඹන ලෙසත් යෝජනා කරමු. එමගින් ඔබ සංගමය ලාංකික සාහිත්‍යයේ ප්‍රබෝධය පිණිස ඉටු කරමින් තිබෙන මෙහෙවර තවත් ඔපවත් වනු ඇතැයිද අපි විශ්වාස කරමු.

ඉහත කී යෝජනා කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඔබ සංගමය වෙත අප ලේඛක සංවිධානය වෙතින් කිසියම් සහායක් අවශ්‍ය නම් ඊටද අපගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට කැමැත්තෙන් සිටින බවත් දන්වා සිටිමු.

[කමල් පෙරේරා]

ලේකම්, ලංකා ලේඛක සංවිධානය

මාතෘකා