ඉන්දියානු සිනමාවේ පොක්කිෂම බාලු මහේන්ද්‍රා

 ඡායාරූපය:

ඉන්දියානු සිනමාවේ පොක්කිෂම බාලු මහේන්ද්‍රා

බාලනාදන් බෙන්ජමින් මහේන්ද්‍රන් කියල කිව්වොත් සමහරවිට කවුරුවත්ම දන්නෙ නැතුව ඇති. ඒත් බාලු මහේන්ද්‍රා.... සිනමාවට ආදරය කරන අයගෙන් මේ නම දන්නේ නැති අය ඉතා විරලයි. බාලු මහේන්ද්‍රා සර්... ගොඩක් අධ්‍යක්ෂවරු ඔහුට කතා කළේ එහෙම. ඔවුන් හරි අභිමානයෙන් කියනව ‘අපි බාලු මහේන්ද්‍රා සර්ගෙ ගෝලයෝ’ කියල. බාලු මහේන්ද්‍රා සර්ගේ නම රන් අකුරින් සිනමාවේ ලියවුණාද? නැද්ද? කියල කියන්න දන්නේ නැහැ. එහෙම රන්වලින් නම් ලියැවෙනවද කියල දන්නෙත් නැහැ. එත් ඇත්තටම මේ නම කියවන විට දැනෙන හැඟීම කොයිවගේද කියල, ලියන්න තේරෙන්නෙම නැහැ. ඒ හැඟීම හරියට ඔහුගේ නම මතක් වෙනකොට හිතන්න පොලඹවන අකුරු බොඳ වී යන හැඟීමක්. හරියටම කිව්වොත් ඒ ‘හැඟීම’ කියන්න අකුරු නැහැ කියලත් හිතුණු අවස්ථාත් ති‍ෙයනවා. ඒක ගෞරවයක්ද? ලව් එකක් ද?

ලංකාවේ අපි සිනමාව ගැන, අධ්‍යක්ෂණය ගැන, කැමරාකරණය ගැන නැතිනම් පිටපත ගැන කතා කරනවා. ඒ කතා කරන්නේ ඉරාන්, ප්‍රංශ සිනමාවේදීන්, තාක්ෂණවේදීන්, කලාවේදීන් උදාහරණයට අරගෙන. ඔව්, ඒක හරි. එහේ තියෙන්නේ මාරම සිනමා කලාවක්. ඒ වගේම ඔබ දන්නවද? ඉරාන, ප්‍රංශ සිනමාවේදීන් පවා විස්මිත වෙලා බලපු සිනමාවේදියෙක් දකුණු ඉන්දියානු සිනමාවේත් හිටියා. ඔහු තමයි බාලු මහේන්ද්‍රා සර්.

හරියටම කිව්වොත් දකුණු ඉන්දියානු සිනමාවට කලාත්මක ශෝනරය හඳුන්වා දුන්නේ ඔහු. ලංකාවේ අපිත් කටඅැරන් විස්මිත වෙලා බලපු ‘විසාරනෛ’, ‘ආඩුකලම්’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ වෙට්‍ර්මාරන් වැනි අයගේ ගුරුවරයා ඔහු. දකුණු ඉන්දියාවේ අද වන විට කලාත්මක සිනමාව තුළ කටයුතු කරන බොහෝ සිනමාවේදීන්ගෙ ගුරුවරයා බාලු මහේන්ද්‍රා සර්. ඒ සියලුම දෙනා ඔහුගේ සහාය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ අය. ඒ වගේම එදා රාජ්‍ය සම්මානලාභී අධ්‍යක්ෂවරුන් වන මහේන්ද්‍රන් වගේම මනිරත්නම් වැනි අයව සිනමාවට රැගෙන එන්නෙත් ඔහු. ඔහු නිර්මාණය කළ චිත්‍රපටවලට රාජ්‍ය සම්මාන කිහිපයක් ලැබුණා වගේම ඔහු අත අල්ලාගෙන එක්කරගෙන ආ අයත් ඔවුන්ගේ නිර්මාණවලට රාජ්‍ය සම්මානලාභීන් වෙනවා.

ඒ වගේම දැනට දකුණු ඉන්දියානු සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය, කැමරාකරණය, තිර රචනය වගේම සංස්කරණය(editing) තනි පුද්ගලයකුගේ අතින් නිමවෙලා ඒ චිත්‍රපටවලටත් රාජ්‍ය සම්මාන ලැබුණා නම්, ඒ බාලු මහේන්ද්‍රා සර්ගෙ චිත්‍රපටවලට පමණයි. ඒ රෙකෝඩ් එක කඩන්න තවම කිසිවකුට හැකියාවක් ලැබුණේ නැහැ.

බාලු මහේන්ද්‍රා සර්

මේ තරම් ලෝකය පුදුම වී බලන ඒ අසහාය සිනමා විද්‍යාවේදියා ලාංකිකයෙක් බව ඔබ දන්නවද? 1939 මැයි 20 මඩකලපුවේ ඉපදුණු ඔහු ලන්ඩනයේදී විද්‍යාවේදී උපාධිය හිමි කර ගන්නවා. පසුව ලංකා රජයේ මිනින්දෝරු දෙපාර්තම්න්තුවේ තාක්ෂණික අංශයේ කටයුතු කරනවා. ඒ වගේම Radio Ceylon එකේ Drama Artice කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. ඒ කාල වකවානුවේදී ඔහු කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ “සෙන්කෝට්ටෛ” කෙටි චිත්‍රපටය. මේ කෙටි චිත්‍රපටය කොළඹ සැවොයි ශාලාවේ ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරුන්ට පෙන්වනවා. ඒත් ඔහුගේ කලාව හඳුනාගන්න කොළඹ අධ්‍යක්ෂවරුන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඔහුගේ කැමරාකරණය ගනන් නොගැනුණු මොහොතක ඔහු 1966දී දකුණු ඉන්දියාවට යනවා. ඒ, සිනමාව කියන්නේ ඔහුගේ ෆැෂන් එක පමණක් නොවුණු නිසා. ඔහු අනාගත රැකියාව විදිහට තොර ගන්නෙත් සිනමාව. ඔහු ලෝකයේ ප්‍රසිද්ධ කැමරා ශිල්පීන්ගෙන් කෙනෙක් බවට පත් වෙනවා. සිනමාව පිළිබඳව දිගටම හදාරනවා. Motion Picture Photography ගැනත් ඉගෙන ගන්නවා.

පූනෛ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා අවසන් වනවාත් සමඟම ඔහුට අවස්ථාවක් ලැබෙනවා සිනමාවට පිවිසෙන්න. ඉතා ප්‍රසිද්ධ රාම්කරියාන් අධ්‍යක්ෂවරයා දිනක් ඔහුට කතා කරනවා ඔහුගේ චිත්‍රපටයක් සඳහා. ප්‍රථමවතාවට සමස්ත ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත් වී රන් පදක්කමක් දිනාගත් පළමු චිත්‍රපටය වූ “චින්මීන්” වෘත්තාන්තයට පසුව රාම්කරියාන් නිර්මාණය කරන චිත්‍රපටයේ Director of Photography සඳහා බාලු මහේන්ද්‍රා නමැති ශිෂ්‍යයාට ආරාධනාවක් ලැබෙනවා. ඔහුගේ සිනමා ලෝකය සැබෑවටම පටන් ගන්නෙ එතැනින්. ඉන් පසුව කැමරාකරණය සමඟ ඔහු ජීවිතය පටන් ගන්නේ මලයාලම් චිත්‍රපටයක් සමඟ. මේ චිත්‍රපටය විශාල ලෙස ජනතා ආකර්ෂණය දිනාගත් චිත්‍රපටයක්. 1971 සිට 1976 දක්වා කැමරාකරණය පමණක්ම සිදු කරමින් සිටි මේ සිනමාවේදියා චෙන්නායිවලට එනවා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. චිත්‍රපට

 

අධ්‍යක්ෂණය කියල කියන්නේ කැමරාකරණයටත් වඩා ඔහු කැමති අංශයක් බව ඔහු විවිධ සම්මුඛ සාකච්ඡාවලදී කියල තියෙනවා. චෙන්නායිවලට පැමිණ ඔහු ප්‍රථමයෙන් අධ්‍යක්ෂණය කරන්නෙ ‘කණ්ණඩ‘ චිත්‍රපටයක්. දෙමළ භාෂාව කතා කරන කණ්ණඩ කිසිවක් නොදැන කණ්ණඩ භාෂාවෙන් චිත්‍රපටයක් කරන්නෙ කොහොමද කියල ආරම්භයේ සිටම හැමෝම ඔහුගෙන් අහනවා. එතකොට මේ සිනමාවේදියා දෙන උත්තරය “Kannada is not my language, Cinema is my language”. මේ කණ්ණඩ චිත්‍රපටය තමයි “කෝකිලා” වෘත්තාන්තය. මෙය කණ්ණඩ චිත්‍රපටයක් වුණත් අනෙක් සෑම දෙනා වගේම දෙමළ බස කතා කරන අයත් විශාල ප්‍රමාණයෙන් මෙම චිත්‍රපටය වැලඳ ගන්නවා. දවස් 150කට අධික දින ප්‍රමාණයක් තියටර්ස්වල තිරගත වෙනවා. ඉතින් මේ සිනමාවේදියා හිතනවා දෙමළ භාෂා රසිකයා ගැන ඔහු තුළ වූ නිගමනය වැරදි බව. ඒ අනුව දෙමළ බසින් ඔහු අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරන ප්‍රථම චිත්‍රපටය “අලියාද කෝලංගළ්”.

එහෙත් බාලු මහේන්ද්‍රා සිනමාවේදියා කැමරා ශිල්පියකු ලෙස දායකවන පළමු දෙමළ භාෂා චිත්‍රපටය ‘මුල්ලුම් මලරුම්’ වෘත්තාන්තය. පසුව ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමවන පළමු චිත්‍රපටය ‘අලියාද කෝලංගළ්’. ඉන්පසුව ‘මූන්ද්‍රාම් පිරෛ’,‘ මූඩුපනි’ වැනි චිත්‍රපට ඇතුළත් චිත්‍රපට ගණනාවක්ම ඔහු අධ්‍යක්ෂණය කරනවා.

ලෝකප්‍රසිද්ධ මනිරත්නම් සිනමාවේදියාගේ පළමු චිත්‍රපටයත් කණ්ණඩ චිත්‍රපටයක්. ඒ “පල්ලවි අනු පල්ලවි” වෘත්තාන්තය. මේ චිත්‍රපටයේ කැමරාකරණය බාලු මහේන්ද්‍රා සර්.

කැමරාකරණය සහ බාලු මහේන්ද්‍රා

කැමරාකරණය තුළ කැමරාවෙන් එහා ගිය කලාත්මක රූපයක් ඔහු සෑම විටම සොයනවා. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු ඔහුම කැමරාකරණය කරන චිත්‍රපටවල ඔහු තෝරාගත්ත මුහුණු, දකුණු ඉන්දියානු අ‍ෙනකුත් සිනමා කෘති සමඟ බලද්දී ටිකක් වෙනස්. සරලව කිව්වොත් චිත්‍රපටයේ එන චරිතවලින් පවා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය/කැමරාකරණය බාලු මහේන්ද්‍රාගේ කියල වෙනමම හඳුනාගන්න පුළුවන්.

“100ක් ෆොටෝස් පෙන්නුවත් ඒවායිින් බාලු මහේන්ද්‍රා සර්ගේ pictures මොනවද කියල හඳුනා ගන්න පුළුවන්. මොකක්දෝ වෙනසක් ඒවායේ තිබුණා’’. එහෙම කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ එල්.කේ. සුරේෂ්.

මේකප් දාන්නේ නැති මුහුණු, කළු වර්ණය සහිත මුහුණු තමයි ඔහු, ඔහුගේ සිනමාවට භාවිත කළේ. බාලු මහේන්ද්‍රා සර් සිනමාවට එනකොටත් දකුණු ඉන්දියානු සිනමාව හැදිල ඉවරයි. මේකප්, actions, fightවලින් පිරුණු සිනමාවක් දෙමළ භාෂා රසිකයා වැලඳගෙන හිටියා. බාලු මහෙන්ද්‍රා සර්ගෙ සිනමාව පැමිණියාට පසුව කලාත්මක සිනමාව මිනිස්සු පිස්සුවෙන් වගේ බැලුවා. අද දක්වා script එකට වැදගත්කමක් නොදෙන සිනමාව පරදා කතාවට වැදගත්කමක්දී ඒ වගේම අපි දකින කලාත්මක සිනමාවේ තිබෙන බෝරින් ගතිය කුඩු කර දැමූ අතිශය දැවැන්ත කලාත්මක සහ වාණිජමය චිත්‍රපට සඳහා දකුණු ඉන්දියානු සිමාව හැරවුවේ බාලු මහේන්ද්‍රා සර්.

1970දී ඔහු මලයාලම් සිනමාවටත් සම්බන්ධ වෙනවා. 1974දී “chuvana sabdhyak” වෘත්තාන්තය, 1975දී “ප්‍රයානම්” වෘතාන්තය සහ 1985දී “යාත්‍රා” වෘත්තාන්තයට වැනි සිනමා කෘති සඳහා ඔහුට කේරළ රාජ්‍ය සම්මාන ලැබෙනවා. ඒ හොඳම කැමරාකරණය (best cinemotography) සඳහා. ඒ වගේම 1981දී “seethakoka chilaka” වෘතාන්තය සහ 1978දී “Mana voori” වෘත්තාන්ත සිනමා කෘති සඳහා Nandi සම්මාන ලැබෙනවා ඔහුගේ කැමරාකරණය (best cinemotography) වෙනුවෙන්.

ඒ වගේම දෙමළ භාෂා සිනමාවේදී 1988 “වීඩු” චිත්‍රපටය, 1990 “සන්ද්‍යා රාගම්” චිත්‍රපටය 1992 “වන්න වන්න පූක්කල්” චිත්‍රපට සඳහා හොඳම චිත්‍රපටයට හිමි ඉන්දියාවේ රාජ්‍ය සම්මාන ලැබෙනවා. ඒ වගේම 1983 “මූන්ද්‍රාම් පිරෛ” සහ 1978 “කෝකිලා” චිත්‍රපට සඳහා හොඳම කැමරාකරණය හිමි ඉන්දියානු රාජ්‍ය සම්මානය ලැබෙනවා.

1988දී “වීඩු”, 1983දී “මූන්ද්‍රාම් පිරෛ” සහ 1983දී “ඕලන්ගළ්” වෘතාන්ත සඳහා film fair සම්මානය හොඳම අධ්‍යක්ෂණය (best director) වෙනුවෙන් ලැබෙනවා. ඒ වගේම 2014දී බාලු මහේන්ද්‍රා සිනමාවේදියාට “Lifetime achivement” සම්මානය film fair සිනමා උෙලළේදී ලැබෙනවා.‍

2014 වර්ෂයේදී vijay TV සිනමා සම්මාන උලෙළේදී “contribution to Tamil Cinema” සම්මානය ලැබෙනවා වගේම, Nargis Bult සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය “තලෛමුරෛහළ්” වෘතාන්තයට ලැබෙනවා.

“තලෛමුරෛහළ්” වෘතාන්ත චිත්‍රපටය තමයි ඔහුට නිම කරන්න හැකි වන අවසාන චිත්‍රපටය. 2013දී දෙසැම්බර් 20 වැනිදා තමයි මේ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රථමවරට තිරගත වෙන්නෙ. මේ චිත්‍රපටයේ ඔහු අධ්‍යක්ෂවරයා සහ සංස්කරණ ශිල්පියා වශයෙන් කටයුතු කරනවා. මේ චිත්‍රපටයේ ඔහු කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන්නෙ නැහැ. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බාලු මහේන්ද්‍රා සර්. මහලු චරිතයකට ඔහු පන පෙවනවා. ඔහු චරිතයක් ලෙස රඟ පෑ පළමු සහ අවසන් චිත්‍රපටයත් “තලෛමුරෛහළ්”. ඒ වගේම ඔහු සිනමා කෘතිවල කැමරාකරණය සහ අධ්‍යක්ෂණය යන ද්විත්වයම ඇතුළත්ම කටයුතු කර තිබෙන 100 වන චිත්‍රපටයත් මෙය.

බාලු මහේන්ද්‍රා සිනමාවේදියා මේ අතර කාලයේ චෙන්නායිවල film school එකක් ආරම්භ කරනවා. හරියටම කිව්වොත් අද දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රසිද්ධ බොහෝ අධ්‍යක්ෂවරු මේ film school එකේ ඉගෙන ගත් අය.

බාලු මහේන්ද්‍රා සර් මෙහෙම කියනවා. “අවුරුදු 40ක් මම මේ ක්ෂේත්‍රයේ හිටියා. ඒත් මම හිතපු වගේ චිත්‍රපට තුනයි මට කරන්න පුළුවන් වුණේ. ඒ “වීඩු”, “සන්ද්‍ර්‍යා රාගම්” සහ “තලෛමුරෛහළ්”.

මේ වචනවලින් කියවෙන්නෙ අපි දකින කලාත්මක චිත්‍රපටවලිනුත් එහා ගිය දෙයක් ද කියල හිතන්න අපට බල කරනවා.

[සිවලිංගම් අනුෂා]

මාතෘකා