දශක තුනක් නැණස පෑදූ පොත් එක්ක ජීවත්වෙන ගුරුතුමා

 ඡායාරූපය:

දශක තුනක් නැණස පෑදූ පොත් එක්ක ජීවත්වෙන ගුරුතුමා

ලෝකයක් ආලෝකවත් කළ හැකි චරිත අතර ගුරුවරයාට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එවැනි උතුම් වෘත්තියක නිතර වන අතර සුවහසක් නැණ පහන් දල්වන ගත්කතුවරයකු ලෙසද සමාජයට විසල් සේවයක් කළ ගුරුවරයකු අපට හමු විය. කවි පොත් 7ක්, ළමා කෘති 5ක් සහ ගීත පොත් 2ක් ජනගත කොට ඇති ඔහු නමින් ආරියපාල රත්නායකය. බදුල්ලේ උපන් ආරියපාල රත්නායක මහතා මේ වන විට පදිංචිව සිටින්නේ පේරාදෙණියේය. වසර 32ක ගුරු වෘත්තියෙන් ඉසිඹු ලබා මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහුගේ

දිවිමඟ පියසටහන් මෙසේ පෙළගස්වමු.

ගුරු වෘත්තියට පිවිසීමට කුඩා අවධියේ සිට හීනයක් තිබුණාද?

පුංචි කාලේ ඉඳන් මට ගුරුවරයෙක් වෙන්න ඕනේ කියලා අදහසක් නම් තිබුණේ නැහැ. නමුත් මම උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ අපිට උගන්වපු සිංහල ගුරුවරයා නිසාම මට නිතැතින්ම ආසාවක් ඇති වුණා උසස් පෙළ හොඳින් සමත් වෙලා සිංහල ගුරුවරයෙක් වෙනවාමයි කියලා. ඉතින් මම අද ඒ ඉලක්කය සපුරාගෙන තියෙනවා. ඒ පිළිබඳව ඇත්තටම සතුටුයි.

ඔබ ගුරු වෘත්තියට පිවිසෙන්නේ කුමන කාලයේදීද?

මට මුල්ම ගුරු පත්වීම ලැබුණේ 1985 දෙසැම්බර් 18 වැනිදා. පත්වීම ලැබුණේ සිංහල විෂය උගන්වන ගුරුවරයෙක් විදිහටයි. නමුත් මම මගේ රාජකාරි කටයුතු ආරම්භ කළේ 1986 ජනවාරි 23 වැනිදා. පත්වීම ලැබුණට පස්සේ අපිට සඳලංකාවේ සති දෙකක ගුරු පුහුණුවක් තිබුණා. ඒ ගුරු පුහුණුවෙන් පස්සේ මම කෙළින්ම මහියංගණයේ දුෂ්කර සේවයට ගියා. මං පත්වීම ලබලා මුලින්ම ගියේ මහියංගණය මැදයාය කනිෂ්ඨ විද්‍යාලයට. ඒ පාසල ඉතාමත් දුෂ්කර පාසලක් කිව්වොත් නිවැරදියි.

පළමු පත්වීමත් සමඟ මුහුණ දුන් අත්දැකීම් කුමනාකාරද?

මැදයාය කනිෂ්ඨ විද්‍යාලය ඉතාම දුෂ්කර පාසලක්. කොටින්ම කිව්වොත් එහේ භාෂාව පවා හරිම වෙනස්. අනෙක් දරුවන්ට සාපේක්ෂව එහේ දරුවන් සමාජය සමඟ ගැටිලා පුරුද්දක් නැහැ. මුල් සති කිහිපයේ මට ඒ වගේ ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසාම මම ඉතා ඉක්මනින්ම එහේ භාෂාව ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ භාෂාවෙන්ම එහේ මිනිස්සු පිළිබඳ ජනකතා පොත් දෙකක් රචනා කිරීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම මගේ ලොකු අයියා පදිංචි වෙලා හිටියේ මහියංගණයේ. ඉතින් මාත් අයියාගේ නිවසේ ඉඳන් තමයි පාසලට ගියේ. ඒ මුල්ම පාසල මගේ ගුරු ජීවිතයේ ස්වර්ණමය යුගය කියලා මට හිතෙනවා. සති දෙකක ගුරු පුහුණුවෙන් පස්සේ මම ඒ පාසලට යද්දි ජ්‍යේෂ්ඨ ගුරුවරු හතරදෙනකුම ඒ පාසලේ සේවයේ නියැළුණා. මාත් එක්ක තව ගුරුවරු කිහිපදෙනෙක්ම ඒ පාසලට පත්වීම් ලබා තිබුණා. ඒ ගුරුවරුන්ගෙන් තමයි මමත් ගුරුවරයෙක් විදිහට හිතන්න, ජීවත් වෙන්න සහ ගුරු භූමිකාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ.

පත්වීම ලබලා ගිය මුල්ම පාසලේ ඉඳන්ම මම දරුවන් වෙනුවෙන් සාහිත්‍ය වැඩසටහන් පාසලේ පැවැත්වුවා. ඒ වගේම සාහිත්‍ය තරගවලට දරුවන්ව යොමු කළා. පාසලේ බිත්ති පුවත්පතක් නිර්මාණය කරලා දරුවන්ගේ විවිධ නිර්මාණ එහි එළිදැක්වුවා. කුඩා දරුවන් වෙනුවෙන් චිත්‍ර තරග පවත්වලා මගේ පෞද්ගලික ධනයෙන් ඒ දරුවන්ගේ සතුට උදෙසා තෑගි බෝග ලබා දුන්නා.

විභාගය ඉලක්ක කර ගත් වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා ඔබ සතු යෝජනා මොනවාද?

අද වෙද්දි නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල ගැටලුවක් තිබෙනවා. අපේ රටේ පවතින්නේ බටහිරින් උකහාගත් අධ්‍යාපන ක්‍රමයක්. ඒ ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නැහැ. මම හිතන විදිහට නම් සංස්කෘතිය අනෙකාට පවරා දීම තමයි අධ්‍යාපනය කියන්නේ. වැඩ ලෝකයට ගැළපෙන ශිෂ්ට පුරවැසියෙක් සමාජයට දායාද කිරීම සඳහා මුල්ම අඩිතාලම දමන්නේ පාසලෙන්. අනුරාධපුරය, පොළොන්නරුව රාජ්‍ය කාලවලදී අපේ රටේ ශ්‍රී විභූතිය කියා පෑවේ මම කලින් කියපු සංස්කෘතිය මතයි. අපේ රට වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානනීය රටක්. අපේ රටේ ඉතිහාසය ගැනම අපිට ඉගෙන ගැනීමට කොයිතරම් දේවල් තිබෙනවාද? ඉතින් අපි මිනිසුන් ලෙස මේ සංස්කෘතිය තුළින් උපරිම ඵල නෙළාගත යුතුයි. නමුත් මේ පවතින අධ්‍යාපන රටාව තුළින් නම් නිර්මාණශීලී දරුවෙක් බිහි කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා දැනට අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය මීට වඩා සරල කළ යුතුයි කියා මම හිතනවා.

ඒ වගේම ළමයා, ගුරුවරයා, මවුපියන් අතර සබඳතාව මේ වෙද්දි බොහෝ දුරට පිරිහිලා තියෙනවා. සමහර දරුවන්ට තමාගේ අම්මා, තාත්තා එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. ඉතින් දරුවන් නිතැතින්ම යන්ත්‍ර බවට පත්වෙනවා. දරුවන් පැහැදිලි මාර්ගයකට යොමු කරවන්න නම් යහපත් හෙවනැල්ලක් යටතේ දරුවා ඇතිදැඩි කළ යුතුමයි. පාසල තුළදී කරන විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් දරුවාගේ පෞර්ෂය වර්ධනය වෙනවා. ඒ වගේම එයින් දරුවා තුළ යහපත් ආකල්ප ඇති වෙනවා.

අමතර පන්ති මඟින් දරුවන් සහ මවුපියන් යන දෙපාර්ශ්වයම පීඩාවට පත් වෙනවා. ඔවුන් එයින් මුදා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?

මම මේ දක්වා කවදාවත් දරුවන්ට අමතර පන්ති කරලා නැහැ. නමුත් අද වෙද්දි අමතර පන්ති සමාජයේ රැල්ලක් බවට පත්වෙලා ඉවරයි. අමතර පන්ති ගියේ නැත්නම් නිකන් ගණන් ගන්නේ නැති ගතියක් තමයි අද සමාජයේ පවතින්නේ. උදේම නැඟිටලා පාසල් යන දරුවා අමතර පන්තිවලට සහභාගී වෙලා නැවත ගෙදර එන්නේ රෑ වෙලා. එයින් බරපතළම හානිය සිදු වෙන්නේ කුඩා දරුවන්ගේ මනසට. කුඩා දරුවන්ට අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවත් අවශ්‍යයි. නමුත් අද වෙද්දි අමතර පන්ති නිසා දරුවාගේ ළමා කාලය නිදහසේ විඳීමට දරුවාට අවකාශයක් නැහැ. අමතර පන්ති යන දරුවන් වැඩිපුර වේලාව ගත කරන්නේ මහ පාරේ. ඉතින් දරුවා ඉක්මනටම වැරදි දේවල් කිරීමට පෙලඹෙනවා. ඒ නිසාම මවුපියන් නිතරම දරුවා දිහා සැකෙන් බලන්න පුරුදු වෙලා. දරුවා නරක දෙයකට පෙළඹෙයිද, වෙලාවට පන්ති ගියාද, දරුවා කරදරයක් නැතුව ගෙදර එයිද කියලා හිත හිතා තමයි මවුවරුන් දවස ගෙවන්නේ. ඉතින් ඒ නිසා දරුවන් වගේම මවුපියනුත් අමතර පන්ති නිසා මහත් පීඩාවකට පත් වෙලා තිබෙනවා. අධ්‍යාපනය හැදෑරීමට සුදුසු මානසිකත්වයක් සහ වටපිටාවක් ගොඩාක් නිවෙස් තුළ අද වෙද්දි නැහැ. සමහර ගුරුවරු ඉන්නවා තමාගේ ටියුෂන් පන්තියට එන්නේ නැති දරුවන්ට පාසලේදී නොයෙක් අඩන්තේට්ටම් කරනවා. එහෙම නොවෙන්න මවුපියන් වගේම විදුහල්පතිවරුනුත් වගබලා ගත යුතුයි. පාසල් වේලාවෙන් පසුව පැයක් දෙකක් පමණ පාසලේදීම උගන්නලා, එක් එක් විෂයයන් සඳහා විවිධ වැඩමුළු කිරීමෙන් දරුවාව එම පීඩාවන්ගෙන් මුදා ගත හැකියි කියා මම හිතනවා.

දරුවාගේ මනසට හිතකර ආකාරයට පවතින අධ්‍යාපන ක්‍රමය සංස්කරණය විය යුත්තේ කෙසේද?

ප්‍රධානම කාරණය තමයි පවතින විෂය නිර්දේශය ශිෂ්‍යත්ව පන්තියේ සිටම අඩු විය යුතුයි. ඒ කියන්නේ විෂය නිර්දේශය සරල විය යුතුයි. ගැඹුර අඩු කළ යුතුයි. නැත්නම් එය දරුවාගේ මනසට ඔරොත්තු දෙන්නේ නැහැ.

ලංකාවේ දරු පරපුරට දෙන්න තිබෙන පණිවුඩය කුමක්ද?

පළමුව තමාගේ රටට ආදරය කරන්න පුරුදු වෙන්න. අපේ සංස්කෘතියට ගැළපෙන ආකාරයට ජීවත් වෙන්න කුඩා කාලේ සිටම වෙහෙසෙන්න. තමාගේ වැරදි නිවැරදි කරගෙන අනාගතය ජය ගන්නේ කොහොමද කියලා නිතරම සිතන්න. ඒ වගේම තමාගේ අනාගතය පිළිබඳව එක් ඉලක්කයක් තබා ගන්න. ඉන්පසු ඒ පසුපස හඹා යන්න.

වසර 32ක වෘත්තීයමය ජීවිතය පිළිබඳ ඔබ සෑහීමට පත්වනවාද?

මගේ වෘත්තීයමය ජීවිතය පිළිබඳව මම අඩක් සෑහීමකට පත් වෙනවා. මම එහෙම කියන්නේ අපේ කාලේ ඉගෙන ගත්ත හැම කෙනාම ටියුෂන් පන්ති ගියේ නැහැ. නමුත් ඔවුන් පාසලේදී ඉගෙන ගන්න දෙයින් උපරිම ඵල නෙළාගෙන අද වෙද්දි උසස් තැන්වල වැජඹෙනවා. අද වෙද්දි ටියුෂන් යන්නේ නැති දරුවෙක් හොයා ගන්න නැති තරම්. නමුත් ඒ දරුවෝ ටියුෂන් ගියාට ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසාම අද වෙද්දි ගොඩක් දරුවෝ ඉස්සර වගේ උසස් තැන්වලට යන්නේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය කියලා තමයි මම හිතන්නේ.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා