ත්‍රාසය සහ සංගීතය සපිරි  මලයාලම් අන්දරය

 ඡායාරූපය:

ත්‍රාසය සහ සංගීතය සපිරි  මලයාලම් අන්දරය

සමහර සිනමාපට තිබෙනවා කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැති. මේ කියන්න යන්නෙත් ඒ වගේ එකක්. Charlie (2015) තමයි මේ සිනමාපටයේ නම. මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරන ලද මෙම සිනමා පටය විනාඩි 129ක් පුරා දිවෙනවා. 2015 වසරෙ තිරගත උනු මෙම මලයාලම් සිනමා සිත්තම ඉතාමත් ආදරණීය සිනමා නිර්මානයක් කිව්වාට නම් සැකයක් නැහැ. මොකද මේ සිනමාපටය බලන කොට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. මේ සඳහා පාදක වූ කතාවත් ඒ වගේම ලස්සනයි.

මෙම සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පියා වන්නේ මලයාලම් සිනමා නළුවකු වන දුල්කර් සල්මන්. මලයාලම් සිනමාවේ ‘මෙගාස්ටාර්’ මම්මුතිගේ පුතා කිව්වොත් නිවැරදියි. 2015 දී චාලි චිත‍්‍රපටියේත් රඟපාන ඔහු ඒ වර්ෂය අවසාන වෙද්දී දුල්කර් මලයාලම් තරුණියන්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පියා බවට පත්වෙනවා. එහෙත් ‘චාලි’ හා ‘බැංගලෝර් ඩේස්’ වැනි චිත්‍රපටියක දුල්කර රඟපාන චරිතය තමන් කරන දේ පිළිබඳ හොඳින්ම දන්නවා. දුල්කර්ගේ දෑස්වල පවා ඒ ඒ චරිතයේදී විවිධ චරිත ලක්ෂණ පෙන්වනවා. සියුම් ලෙස එකිනෙක චරිත ලක්ෂණ වෙනස් කිරීම, එහෙත් අධි රංගනයකට නොගොස් සැහැල්ලුවෙන් චරිතය ඉදිරිපත් කිරීම වැනි කාරණාවලදී දුල්කර් සල්මන්ගේ අතිවිශිෂ්ටයි. මේ වනවිට IMBD 8/10ක් තරම් අගයක් ලබා ගැනීමටත් ගූගල් සෙවුම් වාර අතුරින් සියයට 98කට ආසන්න ග්‍රාහක පිරිසක් ළඟා කර ගැනීමටත් මෙම සිනමා පටය සමත් වී තිබෙනවා.

මෙම සිනමා පටයේ කතාවත් හරි වෙනස් එකක්. කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි. ටෙසා කියන්නෙ චිත්‍ර අදින්න ආස ගැහැනු ළමයෙක්. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් කිව්වොත් නිවැරිදිය. ඉතිං ඇයගෙ ගෙදරින් ඇයට විවාහ යොජනා බොහොමයක් අරන් එනවා. ඇය ඒවාට කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ටෙසා කරන්නෙ ඇයගෙ යාලුවෙකුගෙ මාර්ගයෙන් ඈත ගම්මානයක කාමරයක් කුලියට ගෙන එහි ජිවත් වීම සඳහා යාම. ඉතිං ඇය ඒ කාමරයට ගිහාම එහි කලින් හිටපු කෙනාගෙ බඩු එහෙමම තියෙනවා. මේ සම්බන්ධයෙන් කාමරයේ අයිතිකරුගෙන් විමසුවාම ඔහු කියන්නේ කැමතිනම් ඒ බඩු පාවිච්චි කරන්න නැත්නම් අයින් කරන්න කියලා. ඒ වගේම අයිතිකාරයා කියනවා දවස් දෙක තුනකින් බඩු ටික අයින් කරලා දෙන්නම් කියලා. ඉතිං ඇය ඒක අහලා ගියත් දවස් දෙකක් නෙමෙ තුන හතරක් ගිහිල්ලක් කවුරුවත් එන පාටක් නම් නෑ. ඉතිං ඇයම පටන් ගන්නවා අස් කරන්න.

ඔහොම අස්කරගෙන යනකොට ඇයට හම්බෙනවා චිත්‍ර ඇදපු චිත්‍ර කතාවක් තිබෙන පොතක්. ඉතිං ඇය ඒක ආසාවෙන් කියනවා. හැබැයි ඒ කතාව කුතුහලයක් තියලා ඉවර වෙනවා. ඒ මොකද ඒ චිත්‍ර කතාවෙ බාගයක් අඩුයි. ඉතිං ඇය ඒක හොයන්න ගන්නවා. කවුද මෙක ඇන්දෙ මෙ කාමරෙ කලින් හිටියෙ කවුද වගෙ ඒවා හොයන්න ගන්නවා. මෙන්න මෙතනදී තමයි කතාවේ රසවත්ම ටික පටන් ගන්නේ. ඇය මේ කාරමයේ සිටි තරුණයා සොයා ගෙන යන සංචාරය තමයි මෙම කතාවට මූලික පදනම වුණේ. කොහොම හරි ටෙසාට මේ කොල්ලා ඒ කියන්නේ චාලි හමු වෙනවා.

කොමඩි, ආදර, ත්‍රසය සහ සංගීතය යන ෂානරයන්ට අයත් වන චාලි චිත්‍රපටියේ අධ්‍යයක්ෂණය Martin Prakkat ද නිෂ්පාදනය Shebin Becker සහ Joju George ද සිදුකරනු ලබනවා. මෙහි චරිත නිරූපනය කිරීම සඳහා Dulquer Salmaan, Parvathy (ටෙසා), Aparna Gopinath, Nedumudi Venu, Soubin Shahir කටයුතු කරනවා. 2015 දෙසැම්බර් මස 24 වැනිදා නිල වශයෙන් තිරගත වූ මෙම සිනමාපටය තුළ ගීත 8ක් පවතිනවා. තිරගත වූ පළමු දිනයේ කෙරළ ප්‍රාන්තයේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 2ක ආදායමක් ඉපයීමට මෙම සිනමා පටය සමත් වන අතර තිරගත වී දවස් 22 තුළ ඉන්දීය රුපියල් කෝටි 14.4ක් උපයාගෙන තිබෙනවා.

ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, රංගන ශිල්පිය, රංගය ශිල්පිනිය, පිටපත, කැමරාකරණය, කලා අධ්‍යයක්ෂණය, ශබ්ධ සංයෝජනය, වර්ණ සංයෝජනය ආදී සම්මාන රැසක් විවිධ සිනමා සම්මාන උළෙලවල් හිදී හිමිකර ගැනීමට මෙම සිනමා පටය සමත් වෙනවා.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා