කුණු ඇද්දට අපේ හිත් අහලකවත් කුණු නෑ

 ඡායාරූපය:

කුණු ඇද්දට අපේ හිත් අහලකවත් කුණු නෑ

මේ දවස්වල හිටිහැටියේ කඩා වැටෙන වැස්සට කොළොම්පුරයේ ඇතැම් පටු මාවත් වතුරින් යටවේ. මහපාරේ තැන්තැන්වල දමා ගොස් ඇති කැළි කසළ වැස්සට තෙතබරිත වූ විට එතැන මැවෙන්නේ කුමන දසුනක්දැයි කිසිවකුට අමුතුවෙන් කිව යුතු නොවේ. නාස්පුඬු හැකිලෙන දුගඳ සමඟ ඒ කසළ ගොඩේ වටිනාම දෙයක් වැටී තිබුණද ඔබට එය ඇහිඳගැනීමට නොසිතෙනු ඇත. කැළි කසළ කියන්නේ කවුරුත් එපමණටම අප්‍රිය කරන දෙයක් කිවහොත් නිවැරදිය.

මහ පාරේ තැන්තැන්වල හිතු මනාපෙට දමා යන කැළි කසළ ඒ ආකාරයටම දවසක් දෙකක් එකතැන තිබෙන්නට හැරියොත් කුමක්වේදැයි ඔබට සිතාගත හැකිද? කැළි කසළවලට අරක්ගත් මැස්සෝ, නිල මැස්සෝ, පණුවෝ එකතු වී මිහිපිට අපායක් මවනු නිසැකය. ඒ කසළ දුගඳින් මුළු නගරයේම වාතයත් අපිරිසුදු වේවි. එවැනි අප්‍රසන්න තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදී මංමාවත් පිරිසුදුව ලස්සනට තිබෙන්නේ එක්තරා පිරිසකගෙන් ඉටුවන සේවයක් නිසයි. අනුන්ගේ කුණු තමන්ගේ කරගෙන ඒ කුණු කසළ නියමිත පිළිවෙළකට නියමිත ස්ථානවලට බැහැර කරවන ඔවුන් හඳුන්වන්නේ කුණු එකතු කරන කම්කරුවන් ලෙස වුවත් ඔවුන්ගෙන් සමාජයට සිදුවන සේවාව නම් ඉතා විශිෂ්ටය.

අව්ව වැස්ස කියා ඔවුන් තම දෛනික රාජකාරිය අතහරින්නේ නැත. කොළඹ වීදිවල කුණු එකතු කරන කම්කරුවන් අතර සිටින වැඩිදෙනා වියපත් ගැහැනු සහ පිරිමින්ය. ගැහැනු වැඩිදෙනකු කොළඹ නගරයේ පාරවල් අතුපතු ගා පිරිසුදු කිරීමේ නිරතව සිටිති. ඔවුන් විවේකීව සිටින මොහොතක් දැකගත හැක්කේ ඉඳහිටය. බුලත්විටක් කෑමට හෝ තේ කහට කෝප්පයක් බීමට විනාඩි කිහිපයක් මිඩංගු කරන ඔවුහු අනිත් හැමවෙලාවකම යුහුසුලුව තමන්ගේ කාර්යයේ යෙදෙති. ඔවුන් අතර නගර සභාවේ සේවය කරන කම්කරුවන් මෙන්ම පෞද්ගලික පවිත්‍රතා සමාගම්වලට සේවය කරන්නෝද වෙති. උදෑසන සිට සවස් වනතුරු කොළඹ නගර සභාවේ කුණු එකතු කරන කම්කරුවන් අතර රාත්‍රී කාලයේදී කොටුව පිටකොටුව පිරිසුදු කරන කම්කරුවෝද වෙති.

උදේ සිට රාත්‍රිය දක්වා අතිශයින් ජනාකීර්ණ වන කොළඹ නගරය රාත්‍රියේදී ගිම් නිවන්නට පටන් ගනී. එහෙත් මේ කම්කරුවන්ට එසේ නිදන්නට නොහැකිය. රැකී රක්ෂා

සහ වෙනත් අවශ්‍යතා සඳහා කොළඹට පැමිණි මිනිසුන් හවස්වරුවේ කොළඹින් නික්ම යන්නේ කුණු ගොඩවල් පමණක් ඉතිරි කරමිනි. නමුත් පසුදා නැවත ඔවුන් පැමිණෙන විට කොළඹ නගරය කසළින් තොරව පිරිසුදුව තැබිය යුතුය. ඒ රාජකාරිය ඉටුකරන්නේ මේ කුණු අදින කම්කරුවන්ය. හවස හය පමණ වන විට කොළඹ අතුරුපාරවල් කුණු ගොඩවල් සුද්ද කිරීමේ මෙහෙයුම අරඹන ඔවුහු කැළි කසළ ඇහිද කුණු ලොරියට පටවති. ඇතැම් විට මේ මෙහෙයුම පසුදා අලුයම තෙක් පවතී.

"ඒ විදියට නගරය පිරිසුදු කළාම අපිට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම තරහත් යනවා. ඇයි මිනිස්සු මේ තරම් කුණු දාලා නගරය අපිරිසුදු කරන්නේ කියලා. ඒත් අපේ රාජකාරිය අපි අකුරටම ඉෂ්ට කරනවා."

ඔවුන් තම රාජකාරිය ගැන කියන්නේ එසේය. අව්වට වැස්සට මුහුණ දෙමින් තමන්ගේ රාජකාරිය ඉටුකරන මේ අපූරු මිනිසුන්ගේ ජීවිත කතාන්දර කොතෙක් දුක්බර වුවද ඔවුන්ගේ සිත් කසළවලින් තොර බව වැටහෙන්නේ ඔවුන් සමඟ කතාබහ කරද්දීය.

කොළඹ පදිංචිව සිටින ෂර්මිලා එවැන්නියකි. නිතරම සිනහවකින් මුහුණ සරසාගෙන සිටින ඇය කැළි කසළ එකතු කිරීමේ යෙදෙන්නේ ගීයක්ද මුමුණමිනි. දමිළ කාන්තාවක වුවද ඇගේ මුවෙන් ගිලිහෙන්නේ සිංහල ගී පදවැල්ය. සතුටින් සිය රාජකාරියේ යෙදෙන ඇය අප සමඟ කතාබහට එක්වූයේද සතුටිනි.

"මේක හරි නිදහස් රස්සාව. දවල් දවසේ රස්සාව කරලා හවස ගෙදර ගිහින් දරුවෝ එක්ක පාඩුවේ නිදහසේ සතුටින් ජීවත් වෙනවා."

එසේ කියන ෂර්මිලා දෙදරු මවකි. වයස අවුරුදු 13ක සහ 7ක දරුවන් දෙදෙනා පෝෂණය කරන්නට ඇයට උදවු වන්නේ මේ කුණු කසළ අදින රස්සාවයි. එහෙත් ඒ ගැන ඇගේ සිතේ නම් කහටක් නැති ගාණය.

"අපේ වැඩ බලන මහත්තුරු හරිම හොඳයි. අපිට ළමයින්ට වගේ හොඳින් ආදරෙන් සලකනවා. ඒ නිසා අපිත් අපේ උපරිම සහයෝගය දීලා අපේ රස්සාව කරනවා. ඒ වගේම මේ රස්සාව කරනවා කියලා මගේ හිතේ නම් කිසිම පසුතැවීමක් නැහැ. බඳින්න කලින් ගෙදර ඉන්න කාලේ නම් මම අම්මගේ තාත්තගේ හුරතල් ළමයා. හරිම සතුටින් සැහැල්ලුවෙන් තමයි ජීවත් වුණේ. ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු තිබුණෙත් නැහැ. කොහොමහරි දැන් ඉතින් මේ රස්සාවට වැටුණා. එහෙම වුණා කියලා දුකක් පසුතැවීමක් නැහැ. ගෙදර අය වගේම දරුවොත් මම මේ රස්සාව කරන්නේ කියලා දන්නවා. එයාලත් අකමැත්තක් නැහැ ඒ ගැන. එයාලා ආසාවෙන් ඉන්නේ පඩි දවස වෙනකම්. එදාට ඉතින් මම එයාලා ආස කෑම ජාති සේරම ගෙනියනවනේ. දරුවෝ දෙන්නා ගැන තමයි දැන් ජීවිතේ සේරම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ."

ෂර්මිලාගේ වදන් අව්‍යාජය. කැළි කසළ එකතු කිරීම, වෙන්කිරීම වැනි අප්‍රසන්න රාජකාරියක් මේ තරම් ප්‍රසන්න ලෙස කළ හැකිදැයි කෙනකුට ප්‍රශ්නයක් විය හැකිය. විශේෂයෙන් මේ රැකියාව ඇගේ ශරීර සෞඛ්‍යයට බලපෑමක් නොකරනවා විය නොහැකිය.

"මේ රස්සාව කරද්දි අපේ ඇඟට විසබීජ යනවා කියලා බයක් දැනෙන්නේ නැහැ. අපි සතුටින් ඕනෑම දෙයක් කරනවා නම් ඒකෙන් නරකක් වෙන්නේ නැහැ. වැරදි දෙයක් කරනවා නම් තමයි බයවෙන්න ඕන. මේ වැඩේ ටිකක් අප්‍රසන්නයි තමයි. නමුත් මම සතුටින් වැඩ කරන නිසා ලොකු අමාරුවක් නැහැ."

ෂර්මිලාගේ සරල වදන් තුළ ගැඹුරු අරුතක් වෙතැයි සිතේ. එය ඇතැම් විට දැනඋගත්කමින් වැඩි උදවියට පවා තේරුම් ගත නොහැකි සරල ජීවන දර්ශනයකට සමානය. බොහෝදෙනකු ජීවිතයේ සතුට සොයා වෙහෙසෙන විට ෂර්මිලා වැනි සරල ගැහැනියක ජීවිතයේ සතුට විඳින ආකාරය අපූරුය. ඇය සිය රාජකාරියෙන් වැටුපක් ලැබුවද ඇය කරන්නේ සමාජයටම සේවයක් සලසන රැකියාවකි. බොහෝදෙනකු ඒ රැකියාවේ අගයක් අපූර්වත්වයක් නොදුටුවද ඇය වැනි කසළ එකතු කරන්නන් නැතිනම් අප කාටත් ජීවත් වන්නට සිදුවන්නේ කසළ ගොඩකය.

ෂර්මිලාගෙන් පසුව අපට හමුවූයේ සද්දානන්ද නමැති 70 හැවිරිදි කම්කරුවෙකි. ඔහුගේ පදිංචිය මෝදර ප්‍රදේශයේය. තරුණ වියේ සිට රැකියා කිහිපයක් කර ඇති ඔහු අවසානයේදී තෝරාගන්නේ මේ කසළ එකතු කරන රස්සාවයි.

"තරුණ කාලේ මම ටිකක් දඩබ්බරයා. හැබැයි මම කවදාවත් හොරකම් කරලා නම් නැහැ. ඒ කාලේ මම එක එක රස්සා කළා. දැන් මේ රස්සාව කරනවා. කුණු එකතු කරනවා කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. අපේ ගෙදර අයටත් මගේ දරුවන්ටත් මගේ රස්සාව ප්‍රශ්නයක් වෙලා නැහැ. අපි කරන්නේ රස්සාවක්. අපේ මහත්තුරු කියන පිළිවෙළට අපි රස්සාව කරගෙන ඉන්නවා. එච්චරයි"

ඔහු කියන්නේ පැහැදිලි ස්වරයෙනි. ඉහළ නිලයන් දරන ඇතැම් උදවිය පවා තම රාජකාරී වගකීම් පැහැර හරිද්දී මෙවැනි පුද්ගලයන් තම රැකියාවට දක්වන ගරුත්වය පිළිබඳ අගය කළ යුතුමය.

"කුණු අදින රස්සාව කළා කියලා මගේ අමනාපයක් නැහැ කා එක්කවත්. ඒ වගේම කුණු අතපත ගාන නිසා ලෙඩක්දුකක් හැදෙයි කියලා බයකුත් නැහැ. මම හිතන්නේ හිත බයවුණොත් කිසිම වැඩක් කරන්න බැහැ. පිරිසුදුකම අපිටත් අදාළයි තමයි. ඒත් ඈලිමෑලි කම්මැළිකමට හිටියොත් තමයි ඇඟට ලෙඩ එන්නේ. මම හැමදාම උදේම රස්සාවට එනවා. හයහමාර විතර වෙද්දි වැඩ පටන් ගන්නවා. අව්ව, වැස්ස අපිට බලපාන්නේ නැහැ. ඒ සේරටම ලෑස්තිවෙලා තමයි අපි වැඩට එන්නේ. ඒ වගේම අපිට ඒවා ඔරොත්තු දෙනවා. වැඩ හරියට කරන නිසා අපේ මහත්වරුත් හරි ආදරෙයි. ඉතින් සතුටින් රස්සාව කරගෙන ඉන්නවා. "

ඔහු කියන තරම් මේ රැකියාව සොඳුරු නැත. තැන තැන එකතු වී ඇති කසළ අහුලා ඒවා කඩදාසි, පොලිතින්, ප්ලාස්ටික් සහ වීදුරු ලෙස වෙන්කිරීම ඔවුන්ට පැවරී ඇති කාර්යයකි.

"අපි තෝරලා සේරම වෙන් කරනවා. කාඩ්බෝඩ් කාට හරි දෙනවා විකුණලා කීයක් හරි හොයාගන්න කියලා. මම ඒවා විකුණන්නේ නැහැ. "

ඔහු පවසන්නේ තවත් කිසිවකුට හයියක් වීමේ සතුටද හිතේ තබාගෙනය. එමෙන්ම මේ රස්සාවේදී ඔහුට විවිධ ජාතීන්ට, ආගම්වලට අයත් මිනිසුන් හමුවේ. ඒ ගැනද ඔහුගේ හිතේ කහටත් නැත.

"කොයි ජාතියේ ආගමේ අයත් මට නම් එකයි. වෙනසක් නැහැ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. එයාලා බැඳලා දැන් වෙනම ඉන්නේ. මමයි මගේ නෝනයි මේ රස්සාවෙන් ජීවත් වෙනවා. මෙහෙම රස්සාවක් කරනවා කියලා හිතේ කිසිම පසුතැවීමක් නැහැ. මට දැන් වයස 70යි. තාමත් මගේ හිතෙයි ගතෙයි හයිය තියෙනවා. ඒ හින්දා කාටවත් අතපාන්නේ නැතුව මේ රස්සාව කරගෙන ජීවත් වෙන්න මට පුළුවන්. මේක තමයි ඉතින් ජීවිතේ."

අනුන්ගේ කසළ එකතු කළද හිත්වල කසළ නැති ඔවුන් සැබෑවටම සොඳුරු මිනිසුන්ය.

විශේෂ ස්තුතිය- ලේක්හවුස් ඩිජිටල් මාධ්‍ය අංශයට

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා