ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ පළමු ගිනිසිළුව අයිතීන් ඉල්ලා සටනට බසියි

 ඡායාරූපය:

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ පළමු ගිනිසිළුව අයිතීන් ඉල්ලා සටනට බසියි

සෞන්දර්ය විශ්වවිද්‍යාලය එකල හේවුඩ් ආයතනය ලෙසද හැඳින්විණි. හේවුඩ් නමැති අයට අයත්ව තිබූ හෝර්ටන් පෙදෙසේ නිවසක චිත්‍ර අංශය පවත්වාගෙන ගිය බැවින් ඊට එම නම පටබැඳී තිබිණි. මෙම රජයේ කලායතනයේ නර්තන පන්ති ආරම්භ වූයේ සවස 2.00ටය.

ඇය අධ්‍යාපනය හදාරන කන්‍යාරාමය අවසන් වන්නේ සවස 2.30ටය. ඇය මේ ප්‍රශ්නය විදුහල්පතිතුමිය වන අයර්ලන්ත ජාතික මවුතුමිය හමුවේ තැබුවාය. ඇගේ වදන් හා දැක්වූ සහාය ඉතා කාරුණික විය. එතුමිය ඇයව දිරිගැන්වූවාය. “ඔබ ඉපදිලා ඉන්නේ නටන්නම තමයි. ඔබට ගැළපෙන්නේ ඔබේ දක්ෂතාව තියෙන පැත්තෙන් ඉදිරියට ගියොත් පමණයි.” විවිධ ප්‍රසංගවලදී ඇය නර්තනයේ කුඩා කොටස් හිමි වූවකු වුවද මවුතුමිය ඇගේ නර්තනයේ දක්ෂතා අන් සියලු ළමුන් අභිභවා දැකීමට තරම් තීක්ෂණ බුද්ධියක් ඇති තැනැත්තියක් වූවාය. ආයාසයෙන් ශරීරය නැටවීමත් ස්වභාවයෙන් ශරීරය චලනය වන චමත්කාරයත් අතර වෙනස ඇය හොඳින් මෙම ශිෂ්‍යාව තුළින් දැක තිබුණි. මවුතුමියට දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මනා අවබෝධයක් තිබුණි. මවුතුමිය නීති රෙගුලාසිවලට වඩා දරුවන්ගේ දක්ෂතාවය

නඟා සිටුවීමට ප්‍රමුඛත්වයක් දී තිබුණි. ඇය පන්තියේ පළමුවැනියාය. ඉගෙනීමේ දක්ෂතාවයට හැකියාවේ දක්ෂතාවය ඉදිරියට ගැනීමට මවුතුමිය විසින් ඇයට ලකුණු සියය ඇති විෂයයන් අවසන් කාල පරිච්ඡේදවලට දමා පාසලින් පස්වරු 1.30ට පිටව යෑමට අවසර ලබා දී තිබිණි.

ඇයට කාලය හා දරුණු යුද්ධයක් කිරීමට සිදු විය. තම මෑණියන්ගේ නියමය වූයේ කිසිම විටෙක පන්තියේ ප්‍රථම හා දෙවන ස්ථානවලින් පහතට නොයා යුතු බවය. පාසලේ සිට දුම්රියපොළට ඇත්තේ ඇවිදගෙන එන දුරකි. එයටත් ඇය දුවයන්නීය. හරියටම දහවල් 1.50ට දුම්රිය පිටත් වේ. දුම්රියපොළ ආසන්නයේම ඇගේ යෙහෙළියකගේ නිවසක් තිබුණි. මව ආහාරය රැගෙන එම නිවසට පැමිණේ. නර්තනයට අකමැති වූවත් දියණිය කුසගින්නේ තැබීමට මව අකමැති වූවාය. රජයේ කලායතනයේදී ඇයගේ සුළු පමාවට සමාවක් ලැබුණේ ඇය පාසල් යන බැවිනි. ඉතා වෙහෙසකර අලුත් දිවියට ඇය හුරු විය. හැන්දෑවට නැවත ඇයව රැගෙන ඒම පියාගේ රාජකාරියට එකතු විය.

ඉගෙනීමේ කටයුතුවලට අමතර පාසලේ රාජකාරි කිහිපයක් ඇයට පැවරී තිබුණි. පාසලේ පුස්තකාලයට පොත් තෝරා දීමේ කටයුත්ත පැවරී තිබුණේද ඇය වෙතය. ඇය පුස්තකාලයට රැගෙන එන සියලු පොත් කියවා බලා ඒවා ගැළපෙන ශ්‍රේණිවලට යොමු කළ යුතුය. චිත්‍ර ඇඳීමේ හැකියාවද ඇය සතු වූ බැවින් ප්‍රජාචාරය, ඉතිහාසය, භූගෝලය වැනි විෂයයන් සඳහා අදාළ රූප සටහන් ඇඳීමට පැවරෙන්නේද ඇය වෙතය. ඇයගේ රාත්‍රියේ නින්ද පැය හතරකට සීමා විය. ඉතිරිය ඇගේ දුම්රිය ගමනට බාර දුන්නාය. මේ අතර විද්‍යාලයට අනුබද්ධ පිරිමි පාසලෙන් චිත්‍ර කලාව හදාළාය.

පාසල් අධ්‍යාපනය ලබන කාලයේම අමතර අධ්‍යාපනයක් ලෙස ඇයට කොළඹ රජයේ ලලිත කලායතනයේ නර්තනය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබීමේදී එස්. පණීභාරත, අල්ගම කිරිගනිත, රංගම ගුණමාල, ගල්පොත්තාවෙල සුරබා ගුරුන්නාන්සේ, ලමින්දුවා ගුරුන්නාන්සේ, ලවින්දුවා ගුරුන්නාන්සේ සහ මංගලසිරි යන ඇදුරු මඩුල්ල යටතේ ඉගෙනීමට ලැබුණි. ආරම්භයේදී රජයේ කලායතනය පාලනය වූයේ කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයේ පාලනය යටතේය. අධ්‍යාපනයට පිළිපන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සියලුම නීති රීති හා අධ්‍යාපනයේ පරිපාලන කටයුතු මෙහෙයවන ලද්දේ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂ විසිනි. මේ වන විට එහි පරිපාලනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්ව තිබිණි. නර්තන අංශයේ අධිපති ලෙස කටයුතු කළේ එස්. පණීභාරත මහතාය. එහිදී ලබා ගත් විධිමත් අධ්‍යාපනය තුළින් ඇය පිරිපුන් නර්තන ශිල්පිණියක් වීමට මඟ පාදා ගත්තාය. එහෙත් භරත නර්තනය රජයේ කලායතනයෙන් ඉගැන්වීමක් සිදු නොකිරිණි.

1956දී භරත නාට්‍යම් ඉගෙනීමේ සිහිනය ඇය යථාර්ථයක් කර ගත්තාය. ඒ ශේෂා පලිහක්කාර ඇදුරුතුමාගෙනි. ඇගේ භරත නාට්‍යම් මුල් ගුරුවරයා ඔහුය. එය වසර හතරක සති අන්ත පාඨමාලාවකි. මේ අතර කතකලි නර්තනය හා මණිපූර් හැදෑරීමේ ආශාවක්ද ඇයට ඇති විය. ඒ සඳහා පන්ති පැවැත්වෙන්නේ සවස හයේ සිට අට දක්වාය. එය අපූරු පන්තියකි. ඉගෙනුම ලබන්නේ අට දෙනෙකි. ඇයද සමඟ ඉන් තිදෙනකුම ශිෂ්‍යයාවන්ය. ඇදුරුතුමා ගංගනාත් ධර්මදාසය. නිර්මාණකරණයේ ඉතා සියුම් තැන් ගොඩනඟන අයුරු උගත්තේ ඔහුගෙනි. උගන්වද්දි කිසිවකුගේ මුහුණ බැලීම ඔහු නොකරයි. දැඩි ගුරුවරයෙකි. නිර්මාණාත්මක චින්තනයට ඔහුගෙන් ලද පිටුබලය අතිමහත්ය. එම පන්තියෙන් කතකලි හදාරද්දී ඇයට එක් දෙයක් පසක් විය. එනම් පණීභාරත ඇදුරුතුමන් තම නර්තනයට කතකලි කොටස් ඉතා සංයමයකින් යුක්තව එක් කරමින් මටසිලිටු නැවුම් භාවයක් ඔහුගේ නිර්මාණාත්මක භාවයට එක්කර ඇති බවය.

1956 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නර්තන සංදර්ශනයකට රජයේ කලායතනයෙන් ඇය ඇතුළු කණ්ඩායමක් ගියේය. පීරිස් ශාලාව අසලදී ඔවුන්ට අත්විඳින්නට සිදු වූයේ නොසිතූ අත්දැකීමකටය. මෙම කණ්ඩායමට ඔවුන් හූ කියා විරුද්ධත්වයක් පෙන්වා තිබිණි. ඇය කෑගොස්සන් දෙන, හූ කියන සංස්කෘතිය අත්වින්දේ එදිනය. ඇයට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස ඉගෙනුමට යෑමට නොසිතීම දක්වාම එය ප්‍රබල විය. ඇයට එසේ සිතෙන්නට කන්‍යාරාමයක හැදී වැඩීම හේතු වන්නට ඇත.

මේ වන විට අධ්‍යාපන කටයුතුවලට අමතරව රජයේ කලායතනයේ නර්තන කොන්ත්‍රාත් සඳහාද සිසුන් සහභාගී විය යුතුව තිබිණි. එනම් රජයේ උත්සව සඳහා සහභාගීත්වයයි. අරලියගහ මන්දිරය වැනි ස්ථානවල විදේශීය ආරාධිත අමුත්තන් වෙනුවෙන් නර්තන නිර්මාණය නිතර පැවරෙන්නේ රජයේ කලායතනය වෙතය.

1959 වසරේදී චීන සමූහාණ්ඩුවේ අගමැති චෞව් එන් ලායි පැමිණි මොහොතේදීත් ඔවුන්ට නර්තන ප්‍රසංග ඉදිරිපත් කරන්නට සිදු විය. එහිදී චීන අගමැතිතුමාගෙන් රිදියෙන් නිම කළ ත්‍යාගයක්ද ඇයට ලැබුණි. මේ සියල්ල අතරේ 1957දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඇය ‍ෙජ්‍යෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය විශිෂ්ට ලෙස සමත් වූවාය.

ඇය සිංහල මාධ්‍යයෙන් නැවතත් ජ්‍යෙෂ්ඨ විභාගය ලිව්වාය. එහිදීද ඇය විශිෂ්ට ලෙස සමත් වූවාය. එහෙත් ජ්‍යෙෂ්ඨය හැදෑරීමට යෑමට ඇය මැළි වූවාය. අධ්‍යාපනය හදාරන රජයේ කලායතනයෙන් ලැබෙන ඩිප්ලෝමා සහතිකය විශ්වවිද්‍යාල උපාධියට සමාන ලෙසද නර්තනයෙන් තවත් ඉහළ අධ්‍යාපනයක් ලැබීමට එය සුදුසුකමක් ලෙසෙද ඇය සිතුවාය. සංගීතය, චිත්‍ර, නැටුම් වැනි සෞන්දර්ය විෂයයන් වෙනුවෙන් වෙනමම විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවද මේ වන විට රජයට දැනී තිබිණි. රජයේ කලායතනය එම මට්ටමට උසස් විය යුතු යැයි ඇය සිතුවාය. ඉගෙනීමට අමතරව රාජ්‍ය උත්සව, විදේශ තානාපතිවරුන් පිළිගන්නා උත්සව සඳහා විද්‍යාර්ථින් සහභාගී කරවීය. එවැනි නර්තන හා සංස්කෘතිකාංග තුළින් ප්‍රායෝගික අධ්‍යාපනයක්ද ලැබුණි.

එමෙන්ම උත්සව සඳහා සහභාගී වන විද්‍යාර්ථීන්ට සිදුවන ගැටලුද තිබිණි. සමහර උත්සව අවසන් වන්නේ මැදියම් රැයේය. තරමක් රෑ බෝ වී අවසන් වුවත් ඔවුනට නිවෙස් බලා යෑමට ගමනාගමන දුෂ්කරතා බොහෝය. රාත්‍රී වන තෙක් ළමුන් තබා ගැනීමේදී නොයෙක් අක්‍රමිකතා පවා සමහරකුට සිදුවන්නට පටන්ගෙන තිබුණි. මේ වන විට නර්තනයට සහභාගී වීම හේතුවෙන් ඇය නෑදෑයන්ගෙන්ද කොන් කරන තත්ත්වයට පත්ව තිබුණි. වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ ඇගේ ඥාතියකු කොළඹ හැව්ලොක් ටවුන් හි සිටි අතර ඇය රෑ බෝ වූ සෑම දිනකම නතර වන්නේ ඇය ළඟය. ඇය නමින් සුධර්මා ගුණවර්ධනය. ආනන්ද සමරකෝන් සමඟ සහාය ගායිකාවක් ලෙස ගීත ගයා ඇති ඇය ගුවන් විදුලියේ සරල ගී ගායිකාවකි. සුදර්මාටද ඇයට අත් වූ ඉරණමම ඥාතීන් අතර අත්ව තිබුණි.

රජයේ කලායතනයේ ප්‍රධානීන් වෙත ඔවුන් සහභාගී වන නර්තනාංග සඳහා විශාල මුදලක් ලැබෙතැයි විද්‍යාර්ථිහු අනුමාන කළෝය. එයින් ශිල්පීන්ට ගෙවන්නේ නොවටිනා ගණනකි. රජයේ කලායතනයේ මේ ප්‍රසංග සඳහා සහභාගීකරවා ගන්නේ නර්තන විෂය ඉගෙන ගන්නා විද්‍යාර්ථීන් ලෙසය. එහෙයින් ඔවුනට පාරිතෝෂික දීමනාවක් ලෙස ප්‍රධානීන් දෙන සොච්චම් මුදල ගැන කතා කිරීමට නොහැක. ඔවුන්ට සිදුවන වෙනත් අඩන්තේට්ටම් හා අසාධාරණකම් කතා කළ නොහැක. මේ සිදුවීම් දැක දැක හේමලතාට කට පියාගෙන සිටිය නොහැකි තත්ත්වයට වැටී තිබුණි. ඇය සිය ගණනක් පමණ සිසු සිසුවියන් අතර ප්‍රථම ගිනිදැල්ල දැල්වූවාය. ඇය ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම ගිනිසිළුව වූයේ මේ අයුරිනි.

ප්‍රධානීන්ට අසාධාරණය පිළිබඳව දැනුවත් කළද සාධාරණ පිළිතුරක් නොලැබුණි. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගෙන්ම සත පහ ගානේ එකතු කර ප්‍රථමයෙන් රජයේ කලායතනයේ සිදු වන කරදර හා ශ්‍රම සූරාකෑම් පිළිබඳව සියලු විස්තර සාක්ෂි සහිතව පොතක් මුද්‍රණය කොට බෙදා හැරිණි. දෙවනුව පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කෙරුණි. ශිෂ්‍ය සටනේ කාන්තා බළකාය වෙනුවෙන් සිටියේ සුනන්දා සිල්වාත් සීතා අල්විස් සමඟ ඇයත් පමණි. පොස්ටර් තුළ දියව්, ගනිව් වචන නොතිබුණි. මේ සඳහා රජයේ කලායතන ඩිප්ලෝමා විද්‍යාර්ථීන් සියල්ලගේ සහයෝගය ඇය ලබා ගත්තාය. චිත්‍ර, සංගීත හා නර්තන අංශ ත්‍රිත්වයේම සටනක් බවට මේ සටන පත් කළේ ඔවුන්ටද බලපාන පොදු කරුණක් ඉල්ලීම් තුළ ඇති නිසාවෙනි.

“ගැහැනු ළමයි විකිණීම නවතනු.” “ගැහැනු ළමයි බිලි දීම සංස්කෘතික අපරාධයකි.” මෙවැනි වැකි සමඟ යක්ෂ මුහුණු පෝස්ටර්වල ඇඳ තිබුණි. ඒවා කොළඹ බිත්ති පුරා ඇලවිණි. සෝමපාල බෝගොඩ, ජයන්ත ප්‍රේමචන්ද්‍ර, හේමන්ත කුමාර, පියදාස ගමගේ, පී.සී. පෙරේරා වැනි තරුණ ශිෂ්‍යයෝ ඒ සඳහා ප්‍රධාන තැනක් ගත්හ. සීතා අල්විස් යනු ධර්මසිරි ගමගේ සමඟ විවාහ වූ කාන්තාවය. සුනන්ද සිල්වා යනු ප්‍රසිද්ධ පහතරට නර්තන ශිල්පී සව්දිරිස් සිල්වාගේ දියණියයි. මේ සිසු සටනට කිසිඳු අයුරකින් දේශපාලන මුහුණුවරක් නොගැනීමට සියල්ලෝ කටයුතු කළහ. එහෙයින් මේ සටන සමසමාජ පක්ෂයේ දේශපාලන පොස්ටර්වලට වඩා වෙනස් අහිංසක උද්ඝෝෂණයක හැඩයක් ගෙන තිබුණි. 1956 සමඟි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රථම සංස්කෘතික ඇමතිවරයා ජයවීර කුරුප්පුය. ඔහු ඇයට නෑකමට මාමාය. එහෙත් ඔහු ඇයව හඳුනන්නේ නැත. මේ වන විට ඇය තෝරා ගත් ගමන් මගේ යෑම හේතුවෙන් ඇය පවුල් සම්බන්ධතාවයන්ගෙන් ඉවත් කර තිබුණි. අධ්‍යාපන ඇමතිවරයා ඩබ්ලිව්. දහනායකය. කලායතන ප්‍රශ්න, ළමයින් දර්ශනවලට රැගෙන යෑම යනාදිය වැළක්වීම එවැනි අවස්ථාවලදී විඳින්නට සිදු වන ගැටලු, රාත්‍රී ආහාර නොලැබීම, රාත්‍රියේ මහමඟ දමා යෑම හා ඉදිරි වෘත්තීමය කටයුතුවලදී රජය පිළිගත් සහතිකයක් බවට රජයේ කලායතන ඩිප්ලෝමාව පිළිගැන්වීමත් මේ සටනේ සටන් පාඨයි. ඔවුන්ට අවශ්‍ය වූයේ සියල්ල සොයා බලා කටයුතු කිරීමට පූර්ණ බලතල ඇති කොමිසමක් පත් කර ගැනීමටය. ඇයගේ ප්‍රධානත්වයෙන් සියයක පමණ සිසු පිරිසක් ගාලුමුවදොර අසල පිහිටි පාර්ලිමේන්තුව වෙත අදාළ අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍ය පෙළපාළියේගමන් කළෝය.

මතු සම්බන්ධයි.

 

මාතෘකා