ප්ලාස්ටික් හා පොලිතින් මාරයා අබියස

 ඡායාරූපය:

ප්ලාස්ටික් හා පොලිතින් මාරයා අබියස

ගතවූ වසරේ අපගේ ලෝක පරිසර දින තේමාව වූයේ ‘ප්ලාස්ටික්- පොලිතින් අවභාවිතය පිටුදකිමු’ යන්නයි. නමුත් වසරක් ගතවීද එකී තේමාවේ අරමුණු නම් පැහැදිලිව සාක්ෂාත් කරගැනීමට අපට හැකිවූවා දැයි යන්න සිතීම බොහෝදුරට උගහටය. එලෙස අපට තවදුරටත් එම සැකය තහවුරු වීමට හේතු වනුයේ අප රට තුළ වසරකට ජනනය කරන පොලිතින් සහ ප්ලාස්ටික් කන්දරාව දෙස බලන විටය. මධ්‍යම පරිසර අධිකාරියේ හා පරිසර විද්‍යාඥයන්ගේ සමීක්ෂණ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට වසරකට භාවිත වන ප්ලාස්ටික් හා පොලිතින් සංයුතියේ පරිමාව එක්ලක්ෂ හතළිස් හය දහසකැයි වාර්තා වී තිබේ.

දිවයින තුළ ප්ලාස්ටික් භාවිතය පිළිබඳ මෑතකදී සිදුකරන ලද එම මධ්‍යම පරිසර අධිකාරියේ සමීක්ෂණ මූලාශ්‍රවලට අනුව එක් වසරකට අප රටේ එක්රැස්වල ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය පමණක් ලක්ෂ දහඅට දහස් දෙසීයකි. පොලිතින් (සිලි සිලි බෑග්) ප්‍රමාණය ලක්ෂ 72,000කි. කෑම ඔතන කොළ(ලන්ච් ෂීට්) ප්‍රමාණය ලක්ෂ 64,750ක් යැයි කිවහොත් ඔබ මවිත වනු නිසැකය.

මේ පිළිබඳව සුවිශේෂී අධ්‍යයනයක් සිදුකර ඇති කැලණිය සරසවියේ භූගෝලීය විද්‍යා අංශයේ ජ්‍යේෂ්ට කථිකාචාර්ය ආචාර්ය ඒ. ජී. අමරසිංහ මහතා පවසන පරිදි අප රටේ එක් පුද්ගලයකු විසින් වසරකට භාවිත කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණය ග්‍රෑම් එක්ලක්ෂ අසූදෙදහස් පන්සීයක් පමණ වන බවයි. එය දිනකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 500කි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වසරකට පොලිතින් හා ප්ලාස්ටික් කිලෝ හැත්තෑ තුන් ලක්ෂයක් පමණ විවෘත ඉඩකඩම් තුළ එකතු වන බව පර්යේෂණ අනුව අනාවරණය වී තිබේ. ඉන් සියයට 10ක්ම නොදිරන ගණයේ ඒවා වන අතර ඒවා විවෘත පරිසරයට මුදාහැර ඇති බවද හෙළිවේ.

පොලිතින් හා ප්ලාස්ටික් අපේ ජන ජීවිතය පහසු හා ලෙහෙසි කරවීමට තරම් සුදුසු ලාභදායක භාණ්ඩයක් වුවත් එය අවභාවිතය හා ඉවක්බවක් නැතිව බාහිර පරිසරයට මුදාහැරීම නිසා අද විශාල පාරිසරික හා සෞඛ්‍යමය ගැටලුවක් වී ඇත.

නවතම විද්‍යාත්මක පර්යේෂණවලට අනුව පොලිතින් භාවිතය මුළුමනින්ම මාරාන්තික තත්ත්වයකි. තවද දිවයින තුළ ප්ලාස්ටික් ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක නොවීම එම ගැටලුව උත්සන්න වීමට හේතුවකි. විවිධ දේශපාලනමය හා ආර්ථික හේතූන් මත ඒවා ඇනහිට තිබේ.

මේ නිසා ලෝකයේ අනිකුත් ප්‍රධාන රටවල් වන ඉන්දියාව, චීනය, එංගලන්තය, ඇමෙරිකාව හා යුරෝපීය රටවල් මෙන් නුදුරු අනාගතයේදී අප රටත් පොලිතීන් මාරයාගේ ව්‍යසනයට ගොදුරු වේදැයි සැක සිතේ.

තවද ශ්‍රී ලංකාවේ මුහුද සහ වෙරළ ලෝකයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයෙන් 5 වැනි ස්ථානයට පත්ව ඇති බව ඇමෙරිකාවේ ඉන්ටර්නැෂනල් සයන්ස් සඟරාව ප්‍රකාශ කරයි.

ඇමෙරිකාවේ ප්‍රකට පරිසර විශේෂඥවරියක් පවසන පරිදි අපේ රට වටා ඇති වෙරළ මඟින් වසරකට ප්ලාස්ටික් කිලෝ පන් ලක්ෂයක් සමුද්‍රයට එක්වේ. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරන්නේ මෙරට ප්‍රධාන ගංගාවලින් හා සංචාරක කලාපවලින් ධීවර වරායවලින් බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මුහුද දැඩිව පරිසර දූෂණයට ලක්වන බවයි.

වෙසෙසින්ම ප්‍රධාන නගරවලට වර්ෂාව වැඩිපුර වැටුණු විට කානුවල තිබෙන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලය ගලා බසින ජල මාර්ගවල සිරවීම හේතුවෙන් පිටාර ජලය වර්ධනය වී ගංවතුර තත්ත්වයට පත්වේ.

ගංවතුර සම්බන්ධයෙන් පරිසරවේදීන් මෑතකදී කරන ලද සමීක්ෂණවලට අදාළව කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල වැනි ප්‍රදේශවල පිටාර ගැලීම්වලට ප්‍රධානතම හේතුවක් වී තිබුණේ ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය මඟින් කානු, ප්‍රධාන ජල මාර්ග අවහිර වීමයි.

අලුත්ම පර්යේෂණවලට අනුව පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනයේ සිටම පරිසරයට අහිතකර දේ එක්වන අතර පොලිතින් සිලි සිලි බෑග් 50,000ත් නිෂ්පාදනය කරන විට සල්ෆර් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 17ක් වායු ගෝලයට එක්වේ.

ප්ලාස්ටික් ජලයට එක්වීම නිසා හිරු එළියේ පාරජම්බුල කිරණවලට ඒවා පතිත වෙයි. ඒ ප්ලාස්ටික්වල ඇතිවන පී.සී.බී නම් රසායනිකය නිසා ජලයේ උග්‍ර විෂ සහිත වීම් බහුලව ඇතිවන බව විද්‍යාඥයෝ පවසති. මෙය පසුව එම විෂ ජලය ශාක හා ගහකොළ මඟින් උරාගනී. ඒ දෑ ආස්වාස ක්‍රියාවලිය ඔස්සේ අපේ සිරුරුවලටද ඇතුළු වේ. සත්ත්වයන්ටද ප්ලාස්ටික් මාරකයකි. සතුන් පොලිතින් ආහාරයට ගැනීම නිසා බඩවැල්වල සිරවී මිය යන අවස්ථාද වාර්තා වේ. හිටපු වනජීවී අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා මේ බව තහවුරු කර තිබේ.

වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ ජලාදාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ඩී.පී මුරවීර මහතා පවසන්නේ මෙරට සිරිපා සමයේදී පොලිතින් මෙට්‍රික් ටොන් පහක් එකතු වන බවයි. ප්ලාස්ටික් හා පොලිතින්වල යමක් දැමූ විට සුළු වේලාවක් ගතවන විට එහි ගැමා නම් කිරණ උපදින බවයි. එම ගැමා කිරණ නිසා පොලිතින් රත්වී එහි තිබෙන ද්‍රව්‍ය පිළිකාජනන බවට නිරායාසයෙන්ම පත්වන බව ඔහු පවසයි. තවද ගැමා කිරණ නිසා සයනයිඩ් විෂ හා තවත් විෂ වර්ග ගණනාවක් ඇතිවේ. ප්ලාස්ටික් බෝතල් හා බඳුන්වල උණු වතුර, ලුණු දෙහි, තේ කහට, ඇඹුල් රසැති බීම වර්ග හා පොල්තෙල්, එළවළු තෙල් ආදිය දමා ආහාරයට ගැනීම පිළිකාකාරක ඇතුළු වසවිස රැසක් ශරීරගත වන බවද පෙන්වා දෙයි. තවද කායික රෝග විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් ගුණතිලක මහතා පෙන්වා දෙනු ලබන්නේ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් රට පුරා බහුලව පවතින බැවින් ප්ලාස්ටික් බඳුන්වල උණුසුම් පාන වර්ග දැමීමේ අනිටු ප්‍රතිඵලය වන්නේ සොයාගත නොහැකි ලෙඩරෝග රැසක් වැලඳීමේ ප්‍රවණතාව වැඩිවන බවයි. මළදරු උපත්, අඩු බර දරු උපත්, හදවත් රෝග, ආඝාතය, පෙණහළු පිළිකා, ඇදුම, පියයුරු පිළිකා සහ මුඛ පිළිකාද ඒ නිසා වැලඳිය හැකිය.

නිවෙස්, ගෙවතු ඉඩකඩම් හා කර්මාන්තශාලාවලින් නිදැන්ලේ පුලුස්සා හරින ප්ලාස්ටික් හා පොලිතින්වලින් නිකුත්වන විෂ ධුමාරයෙන් පිළිකාකාරක විසබීජ කිලෝමීටර් ගණනාවක් දුරට විසිර යෑමේ අනිටු විපාකය වන්නේ ඒවා ආඝ්‍රාණය වීමෙන් ස්නායු ආබාධ බහුල වන බවයි. ඒ වගේම ප්‍රජනන පද්ධතියේ හා කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය අවම වීමටද එය හේතුවේ.

මේ සා විශාල බැරෑරුම් ගැටලු රැසකට රට මුහුණ පා ඇතත් මෙරට තුළ ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය, පොලිතින් බෑග් මුද්‍රණය, පාවිච්චිය හා විකිණීම තහනම් කිරීමට කටයුතු කරන බවට මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය පියවර ගන්නා බව ප්‍රකාශයට පත්කර බොහෝකලක් ගතවී ඇතත් ඒවා මෙතෙක් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණකි.

මීට පිළියමක් වශයෙන් වනජීවී සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළ රාජ්‍ය මූල්‍ය ආධාර හා උපදෙස් මත කාර්යක්ෂමව ක්‍රියාවට නැංවිය යුතු බවයි. එසේ නොවුණහොත් අපේ රට පොලිතින් රකුසාට බිලිවන දිනය වැඩි ඈතක නොවේ. මේ වන විට ජෛව විවිධත්ව හා ජල මූලාශ්‍රවලට විවිධ බලපෑම් ඇතිකරවන ප්ලාස්ටික් හා පොලිතින් උවදුරුවලට නිසි විසඳුම් ලබාදී මෙම අහිතකර ද්‍රව්‍ය මෙරටින් බැහැර කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමකි.

[ගාමිණී රූපානන්ද ](කොළඹ දකුණ සමූහ)

මාතෘකා