වනගත නටබුන් සොයා තන්තිරිමලයට ගිය ගමන

 ඡායාරූපය:

වනගත නටබුන් සොයා තන්තිරිමලයට ගිය ගමන

මෙරට ඓතිහාසික පුරාවෘත්තවලට අනුව අනුරාධපුර බටහිර මායිමේ පිහිටි තන්තිරිමලය ප්‍රදේශය ජනමූලාශ්‍රගත වටිනාකම් රැසක තෝතැන්නකි. පොසොන් පොහොය දිනය ළඟා වෙත්ම අනුරාධපුර ඈත වන මායිමේ පිහිටි තන්තිරිමලය පුදබිම පිළිබද කතාබහද අලුත් වේ. මෙබිමෙහි රළු, කඨෝර ජන ජීවිත මත තන්තිරිමලය විහාර කර්මාන්තය පිළිබඳව කතාබහට ලක්වේ.

මෙම විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම පිරික්සීමේදී එය පූර්ව හා ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්වා ඈත අවධියකට දිවයන්නක් බව විද්වත් විශ්ලේෂණය වී තිබේ. බුදු දහම පැමිණීමට පෙර පවා මෙහි උසස් හැදියාවක් පැවැති බවට සාධක ඇති වග විද්වත් අදහසයි. තන්තිරිමලේ දක්නට ඇති ඓතිහාසික නටබුන් අතර ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් දියර විශේෂයක් උපයෝගී කොටගෙන ගුහාවල ඇඳි සිතුවම් ප්‍රධාන වේ. ඔවුහු එදිනෙදා ජන ජීවිතයේදී දුටු දේවල් වන කොටියා, මොනරා, ගවයා වැනි දෑ සිතුවමට නඟා ඇත. මිනිස් රූප, පක්ෂීන්, දුන්න අනිත් ගත් මානව රූපද එහි නිරූපිතය. අක්කර පනහක් පුරා වන ලැහැබ තුළ විහිද පැතිර ඇති ගල් තලාවද මේ පුණ්‍ය භූමියේ සුවිශේෂී බව සනාථ කරවන්නකි.

වසරේ වැඩි කලක් වියළි දේශගුණයෙන් බැටකන ගම්මාන රාශියක් විහාරය වටා පැතිර පවතී. දෙමටමල්ගම, නෙලුම්විල, සඳමල්එළිය, තුප්පිටියාව, නවෝදාගම, මහඇහැටුවැව, ඔයාමඩුව යන ග්‍රාමසේවක වසම් විහාරය පිරිවරා පිහිටා තිබේ. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 36ක් දුරින් පුදබිම පිහිටා ඇත. අනුරාධපුරය - මහවිලච්චිය මාර්ගයේ කි.මී. 18ක් ගමන් කළ විට හමු වන තන්තිරිමලය හන්දියෙන් හැරී ශ්‍රී විමලඥාන මාවතේ තවත් කි.මී. 18ක් ගමන් කළ පසු පුදබිම දැකගැනීමට හැකිවේ. 1960 දශකයේදී වනාන්තරගතව තිබී ඇති මෙම පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ නැවත ජනාවාස ඇති කොට විනාශ වී ගිය වැව් 81ක් පිළිසකර කරවීමට මූලික වී ඇත්තේ මෙම පුදබිමේ විහාරාධිපතිව වැඩවිසූ කෝන්ගස්කඩ විමලඥාන හිමියන්ය.

මෙසේ ජනතාව පදිංචි කරවූ මේ සෑම ගමක්ම තන්තිරිමලේ විහාරයේ දායක ගම්ය. වනගත පුරාවිද්‍යා උරුමයක් වූ තන්තිරිමලේ එළිපෙහෙළි කරවා වර්තමාන දියුණුවට මඟ සැලසුවේ උන්වහන්සේ බව පැවසෙයි. එවක අඩි පාරක්ව පැවැත ඇති පුදබිමේ ප්‍රවේශ මාර්ගය අද මනා සේ කාපට් අතුරා සංවර්ධනය කොට ඇත. මෙම පුදබිම වන්දනාමානය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් හේතුවෙන් මෙහි ඈත ගම්මැදිවල සමහරකුට එළවළු, පලතුරු, නෙලුම් මල් ආදිය විකුණා කීයක් හෝ උපයා සපයා ගැනීමට ඉඩකඩ හැදී ඇත. එය ඔවුනගේ ජීවනෝපායට යම් හයියක්ව පවතී.

එහෙත් තවමත් විවිධ සමාජ, ආර්ථික ගැටලු ගණනාවකින් හෙම්බත් වන්නට මෙපුර වැසියන්ට සිදුව ඇත. වන මායිම් ගම්මැදිවල සිට වැඩිහිටියන් සේම දරු පැටවුන්ද කාපට් ඇතිරූ මහමඟට එනුයේ කීයක් හෝ උපයා ගනු අටියෙනි. මේ පැමිණීම නීති දමා වැළකිය නොහැකි වනුයේ බඩගින්න ඒ හැම අභිභවා මතුවන බැවිනි. ගුරු පාර කාපට් වූ නමුදු ජන ජීවිත සුවපත් නොවූ වගට එය හොඳ සලකුණකි. මේ බිම් තීරය එක්තරා අන්දමක උප සංස්කෘතික භාවිතාවන් සහිත ගමිමැදිවලින් හෙබි ප්‍රදේශයක් ලෙසද අවධානයට ලක්ව තිබේ.

දෙවනපෑතිස් රජ දවස දඹදිව සිට සඟමිත් තෙරණිය වැඩමවා පැමිණි ජයසිරිමා බෝධි අංකුරය දඹකොළපටුනින් පිළිගෙන මහා පෙරහැරකින් අති පූජනීය අනුරපුරයට වැඩමවාගෙන ගොස් ඇත. ඒ මඟ මහවිලච්චිය හරහා වැටී තිබූ බවත් එසේ නැවතී විඩා නිවා ගත් ග්‍රාමය තිවක්ක බමුණාගේ නායකත්වය යටතේ පැවැති ‘තිවක්ක බමුණුගම’ යනුවෙන් ප්‍රකටව තිබූ ග්‍රාමය බවත් විශ්වාස කෙරේ. වර්තමානයේ තන්තිරිමලය වී ඇත්තේ මේ තිවක්ක බමුණුගම ග්‍රාමයම බව ඓතිහාසික මූලාශ්‍ර තහවුරු කරයි.

ජය ශ්‍රී මහ බෝධි අංකුරය පිහිටුවීමේ පූජනීය අවස්ථාවට තිවක්ක බමුණන් හටද විශේෂීය ආරාධනාවක් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. අභිනවයෙන් රෝපිත බෝධියෙන් අංකුර අටක් පහළ වූ බවත් ඉන් එක් අංකුරයක් රජු විසින් තන්තිරිමලේ ප්‍රදේශයේ පිහිටුවන ලදුව විහාරයක් කරවූ බවත් කියැවේ. එතැන් සිට අද දක්වා මහවිලච්චියේ පිහිටි තන්තිරිමලය පුදබිම බොදු ජනයාගේ පුද පූජාවන්ට ලක්වන විශේෂිත පූජනීය ස්ථානයක් ලෙස පවතී. තන්තිරිමලේ නම ව්‍යවහාරයට පැමිණීම පිළිබඳව ජනප්‍රවාදයේ විවිධ කතා පුවත් ඇත.

පුජනීය පිරිස නවාතැන් ගත් ස්ථානය යන අරුතින් දමිළ භාෂාවෙන් ‘තංගේ තිරුමලේ’ යන වචනයට අනුව තන්තිරිමලේ යන වචනය නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම සාලිය - අශෝකමාලා කතා පුවතට අනුව රතු තම්පලා මාලුවක් උයා සිත් පහදනු සඳහා අශෝකමාලාවන් විසින් දුටුගැමුණු රජු වෙත යවනු ලැබූ බවත් ඒ කෙරෙහි පැහැදුණු රජු ඇයට තන්තිරියකුගේ (බත්කූරා) රුවට සමාන රන් මාලයක් තිළිණ කොට යැවූ බවත් ජන මූලාශ්‍රගතව පවතී. මෙසේ යැවූ එම රන් මාලය මෙම විහාර බිම සීමාවේ නිදන් කරන්නට ඇතැයි ගැමි විශ්වාසයට පාත්‍රව පවතී. ජනප්‍රවාදවලට අනුව විජය කුමරු සමඟ පැමිණි පිරිසේ සිටි උපතිස්ස කුමරු පදිංචි වූ උපතිස්සග්‍රාමය තන්තිරිමලේ බවටද විශ්වාසයක් පවතී.

තන්තිරිමලය ප්‍රදේශය ප්‍රකට වීමට මෙම ප්‍රදේශයේ සැඟවී දිවි ගෙවූ බව කියැවෙන සාලිය - අශෝකමාලා යුවළද පාදකව ඇත. ජනප්‍රවාදයට අනුව ප්‍රේමය වෙනුවෙන් සිහසුන අත්හල දුටුගැමුණු රජ පුත් සාලිය කුමරු සහ ඔහුගේ සිත් ගත් රූබර ගැමි යුවතිය අශෝකමාලා පිළිබඳව විවිධ කතා පුවත් මේ බිම හා ඈඳී පවතී. විහාර ගම්මානයක්ව පවතින ‘සාලිය අශෝමාලාගම’ ගම්මානය එවැනි එක මතකයකි. විසල් මහවිලච්චිය වැව සාලිය කුමරුන් විසින් ක්‍රි.ව. 140දී පමණ කරවන ලද බව වැව් බැම්ම පසෙක පිහිටි පුවරුවක දක්වා ඇත. එහෙත් මෙරට වාපී ඉතිහාසයේ සමහර තැනෙක කියැවෙන්නේ මහවිලච්චිය වැව ඉදිකිරීමට වසභ රජු මුල් වූ බවය.

මෙම භුමිය පොළොන්නරු සමය වන විට ඉතාමත් කීර්තිමත් ස්ථානයක් වී තිබූ බව විද්වත් මතයයි. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරන ලද ගල් විහාරයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන හිඳි පිළිමයක් සහ සැතපෙන පිළිමයක් මෙහි දක්නට ඇත. හිඳි පිළිමය අඩි අටක් පමණ වන අතර මකර තොරණක්ද දක්නට ඇත. මෙම තොරණ පොළොන්නරු යුගයේ මකර තොරණට වඩා වෙනසක් දක්නට ලැබෙන බව සමහරකුගේ මතය වී ඇත. එහෙත් ‘එච්.සී.පී. බෙල්’ මහතා පවසන්නේ මෙම ස්ථාන දෙකෙහි මකර තොරණ එකිනෙකට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

අඩි 40ක් පමණ දිගැති ශෛලමය පිළිමයද ඉතා වැදගත් වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඉස්මතු වන ආකාරයට මෙය නිමවා ඇත. දැනට විශ්වාස කරන අන්දමට මෙම පිළිම නිසියාකාරව නිමවා නොමැත. විශේෂයෙන් ක්‍රි.ව 1017දී අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් සමඟ මෙහි වැඩකටයුතු අවසාන කිරීමට නොහැකි වී ඇතැයි සඳහන් වේ. එබැවින් පොළොන්නරුවට ගිය සිංහල කලාකරුවන් පොළොන්නරුවේ ගල් විහාරය තුළ මෙවැනි ප්‍රතිමා නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම ස්ථානයේ ක්‍රි.පූ. යුගයට අයත් ශිලා ලිපි මෙන්ම පළමුවැනි, අටවැනි සහ නවවැනි සියවස්වලට අයත් ලේඛනයන්ද දක්නට ඇති බව සඳහන් වේ. මෑතකදී ප්‍රතිසංස්කරණය කොට ඇති මෙහි ස්තුපය

ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් වන බව පැවසේ. මෙහි ඇති විශාල පොකුණට යාබද ගල මත පිහිටි පොත්ගුල යැයි හඳුන්වන ගෘහයද පෞරාණික ස්ථානයක් ලෙස විශ්වාස කෙරේ. තන්තිරිමලේ පුරාවිද්‍යා රක්ෂිතය අක්කර 121ක වපසරියකින් යුක්තය. එය වනාන්තර හා ගල් පර්වත ගිරි ගුහා ආශ්‍රිතව පැතිරි සොඳුරු ප්‍රදේශයකි. අනුරාධපුරයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැඟෙනහිරින් මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙන්ද දකුණින් මහවිලච්චිය ගොවි ජනපදයට දිවෙන මාර්ගයෙන්ද සීමා වී තිබේ. එදා විමලඥාන හිමි විසින් පිහිටුවන ලද ගම්මානවල ජනතාව මේ වන විට පරම්පරා තුනක් පමණ පසුකර සිටිති. ඒ අතර පසුගිය ත්‍රස්ත කලබල පැවැති අවධියේ ජීවිතය රැක ගැනීමට විශාල අවදානමක් දැරීමටද ඔවුනට සිදුව ඇත. ඒ අවදානම හමුවේ වුව ගම් බිම් අතැර නොගිය ගැමියන් අදද මේ බිමෙහි කඨෝර බව විඳිමින් ජීවිත සටනේ යෙදී සිටියි.

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා