ෆේස්බුක් තහනම් චීනයේ සමාජ මාධ්‍ය භාවිතය

 ඡායාරූපය:

ෆේස්බුක් තහනම් චීනයේ සමාජ මාධ්‍ය භාවිතය

21 වන සියවසේ මිනිසාගේ අවශ්‍යතාවන්වල දක්නට ලැබෙන්නේ අතිශය සංකීර්ණ ස්වභාවයකි. තාක්‍ෂණික අභිවෘද්ධියත් සමඟින් නව්‍යකරණයට ලක් නොවූ විෂය පථයක් නොමැති තරම්ය. සන්නිවේදන කලාවද මෙලෙස නව්‍යකරණය වූ එක් පැතිකඩකි. එදා සම්ප්‍රදායික මාධ්‍ය පසුකාලීනව නූතන මාධ්‍ය ලෙස සංහතික මාධ්‍යන්ද අද වන විට නව මාධ්‍යයන්ද සමස්ත සමාජයම වෙළාගෙන තිබේ. මෙම නව මාධ්‍ය අතර සමාජ මාධ්‍ය යනු ලොව සියලු රටවල වැඩි වශයෙන් සන්නිවේදනයට උපයෝගී කරගන්නා මාධ්‍යයක් බවට තහවුරු වී තිබේ. තාක්‍ෂණික දියුණුවත් සමඟින් මිනිසුන් සම්ප්‍රදායික හා සංහතික මාධ්‍යයන්ගෙන් දුරස්වෙමින් සිටින කාලයක සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීමට ඇබ්බැහි වීමක් දක්නට ඇත.

නූතන මිනිසා සිටින්නේ තොරතුරු ලබාගැනීමේ පිපාසයෙනි. මෙම පිපාසය නිසාවෙන්ම ක්ෂණිකව, වේගවත්ව තොරතුරු ගලා ඒමේ ක්‍රමවේදයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙයි. මෙකී අවශ්‍යතාව ඉතා හොඳින් අවබෝධ කරගැනීම හේතුවෙන් සමාජ මාධ්‍ය යන්නට සුවිශාල ඉඩක් හිමි වේ.

මෙම සමාජ මාධ්‍ය අතර ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් ලබා ගන්නේ ප්‍රමුඛ ස්ථානයකි. “ගොසිප්” යන රසකථා දැනගැනීමේ අවශ්‍යතාවෙන් පෙළෙන මිනිසා නමැති සමාජ සත්ත්වයාට සමාජ මාධ්‍යයෙන් තොර දිවියක් ගත කිරීමටද අපහසුතාවක් පවතින බවට පැහැදිලි වී තිබේ. ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන්නේ “ෆෙස්බුක්” වන අතර එය මිලියන 600ද ඉක්මවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් ලෝකයේ වැඩිම ජනගහනයක් වාසය කරන්නා වූ චීන සමූහාණ්ඩුව තුළ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් මෙන්ම ගූගල්ද භාවිතා කිරීම තහනම්ය. කෝටි 136 කට අධික ජනගහනයක් සිටින රටේ මෙකී මාධ්‍යයන් වාරණය වී ඇත්තේ ජාතික ආරක්‍ෂාව යන්න නිසාවෙන් වුවත් චීනය තුළ ලොව අනෙක් රටවල් භාවිතා නොකරන කාර්යයන් බොහොමයක් එකවර කළ හැකි සමාජ මාධ්‍යයන් භාවිතා වේ. එනම් වී චැට් (Wechat) අලිපේ (Alipay) හා කියු කියු ඉන්ටනැෂනල් (Q Q international) යන්නයි. චීනයේ මෑතකාලීන සමීක්‍ෂණ වාර්තාවන්ට අනුව පැහැදිලි වන්නේ සියලුම චීන ජාතිකයන් මින් එකක් හෝ සමාජ මාධ්‍යයක් තම දෛනික ජීවිතයේදී භාවිතා කරන බවයි. එමෙන්ම බොහෝ වේලාවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරන චීන ජාතිකයන් ජංගම දුරකථන හරහා සමාජ මාධ්‍යයන් භාවිතා කිරීමට පෙළඹී තිබීම ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයක් ගනී.

වී චැට්, අලිපේ (Wechat/ Alipay) යනු කුමක්ද? චීනයේ ඉතා සුලබව දක්නට ලැබෙන සමාජ මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හැකි අතරම මෙම මාධ්‍යයන් දෛනික කාර්යයන් බොහොමයක් පහසුකර ගැනීම සඳහා යොදා ගන්නේ ලොව අනෙක් සමාජ මාධ්‍යන්ට වඩා සුවිශේෂී වෙමිනි.

වී චැට්, අලිපේ යන්නෙහිද අනෙකුත් සමාජ මාධ්‍යයන් මෙන්ම මිතුරන් ඇතිකර ගැනීමටත් ඔවුන් හා තොරතුරු හුවමාරු කරගැනීමටත් හැකිය. මෙහිදී ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් මෙන්ම ඡායාරූප වීඩියෝපට ඇතුළත් කළ හැකි අතර තම ගිණුමේ සිටින මිතුරන්ටද ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක්ද තිබේ.

එසේ නම් මෙහි තිබෙන විශේෂත්වය කුමක් විය හැකිද? මෙහි සුවිශේෂතම කාරණය වන්නේ සමාජ මාධ්‍යයන්හි “Wallet” එසේත් නැත්නම් මුදල් පසුම්බියක් තිබීමයි. ඉ-වාණිජ්‍යය “e-commerce” යන්න දියුණු වීමත් සමඟ චීනය තුළ බොහෝ කටයුතු තාක්‍ෂණය යොදවාගෙන තිබේ. (Wechat/ Alipay) සමාජ මාධ්‍යයන්හි මුදල් පසුම්බියක (Cash wallet) අයිතිකරුගේ බැංකු ගිණුම හා සම්බන්ධ කරලීමට හැකියාවක් තිබේ. මෙහිදී බැංකු ගිණුමේ මුදල් හර කිරීමටත්, බැර කිරීමටත් හැකි වන අතර තම මිතුරන්ට මුදල් යැවීමටත්, ලබා ගැනීමටත්, දෛනික ජීවිතයේ භාණ්ඩ මිලදී ගැනීමේදීත් ඉතා සුලබව යොදා ගැනෙනුයේ මෙම සමාජ මාධ්‍යයන්ය.

චීනයේ මුදල් නෝට්ටු සහ කාසි භාවිතය අවම වන අතර මෙය ඉතා සුරක්‍ෂිත ආකාරයෙන් ගනුදෙනු කළ හැකි අන්දමට නිර්මාණය කර තිබීම වැදගත් වේ. මෙහිදී ඕනෑම ගනුදෙනුවකට විශේෂිත වූ “QR code” එකක් හිමි වන අතර එය “QR code” කිරීම හරහා මිතුරන් වීමටත් ගනුදෙනු කිරීමටත් හැකිය. ඕනෑම වෙළෙඳ සැලක් ඉදිරිපිට මෙම “QR code” ප්‍රදර්ශනය වන අතර තත්පර කිහිපයක් ඇතුළත ගනුදෙනු කර ගත හැකි වේ. මෙහිදී වෙළෙඳසැල් පමණක්ම නොව පොදු ප්‍රවාහන, ආපන ශාලාවලදීද මෙලෙස ගනුදෙනු කිරීමට හැකියාව පවතී. එමෙන්ම අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමට, ටැක්සි වෙන් කරවා ගැනීමට, චිත්‍රපට ටිකට්පත් ලබා ගැනීමට, අන්තර්ජාලය හරහා ආහාර පාන මිලදී ගැනීම යන සියලුම කාර්යයන් මෙම සමාජ මාධ්‍ය හරහා කරගත හැකි වේ. එමෙන්ම දුම්රිය හා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමටද හැකියාවක් තිබේ.

එපමණක් නොව මෙහි තවත් ඇති විශේෂතාවක් නම් විශ්වාසනීයව පුවත් දැනගැනීමේ හැකියාව තිබීමයි. එමෙන්ම ඇතැම් තරග අවස්ථාවන්වලදී මනාප ලබා ගැනීමටද මෙම සමාජ මාධ්‍ය භාවිත වෙයි. ලංකාව වැනි රටවල ඊමේල් හරහා කාර්යාලීය ගනුදෙනු සිදුවන නමුත් චීනයේ මෙම තොරතුරු හුවමාරු වනුයේ Wechat හෝ Alipay සමාජ මාධ්‍යයන් හරහාය. මේ අතර තොරතුරු ගනුදෙනු සඳහා Wechat ඉතා සුලබව භාවිත වන අතර Alipay සුලබව යොදා ගනුයේ අන්තර්ජාල භාණ්ඩ මිලදී ගැනීම සඳහායි. මෙහිදී Wechat හරහා දිනකට රු. 26,000ක පමණ (යුවාන් 1000) ගනුදෙනු කළ හැකි අතර Alipay හරහා රු. 10,000,000 (යුවාන් 50000) පමණ ගනුදෙනු කළ හැකි වීම විශේෂත්වයකි.

මෙවැනි දෛනික ජීවිතයේ සියලු කටයුතු පහසු කරන සමාජ මාධ්‍යයක් ශ්‍රී ලංකාවේද හඳුන්වාදීමේ අවශ්‍යතාව ඉතාම ඉහළය. ලංකාවෙහි ජනගහනය හා අන්තර්ජාලය භාවිතා කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවාලීමත් සමඟ මෙවැනි සමාජ මාධ්‍ය හඳුන්වා දීමෙන් දෛනික කටයුතු පහසු කර ගැනීමට හැකි වේ.

චීන ජාතිකයන් බොහෝ විට උත්සුක වනුයේ සියලු කාර්යයන් නිවැරදිව ඉතා කාර්යක්‍ෂමව සිදු කිරීමටයි. ඔවුන් එය එසේ කිරීමට අවශ්‍ය වන ආකාරයේ ලොව අනෙක් රටවල් භාවිතා නොකරන සමාජ මාධ්‍යයන් නිර්මාණයට දක්ෂ බවට නිසැකය. මෙහිදී ඔවුන් සමාජ මාධ්‍ය හුදෙක් අප සමාජය භාවිතා කරන “ගොසිප්” නොහොත් රසකථා දැනගැනීමේ අටියෙන්ම භාවිත නොකරන බව පැහැදිලි වන අතර ඉන් තම සියලු කාර්යයන් පහසු කර ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා කිසිසේත්ම අසත්‍ය වූ තොරතුරු ප්‍රචාරයට චීනයේ ඉඩක් නොලැබෙන අතර සමාජ මාධ්‍ය භාවිතය වයස් භේදයකින් තොරව සිදු වෙයි.

චීනයේ මුදල් නෝට්ටු භාවිතය කෙතරම් අවම ඇත්ද යත් චීනයේ සිටින ඇතැම් යාචකයන් සිඟා කෑමට යොදා ගන්නේ මෙම සමාජ මාධ්‍යය වීම සුවිශේෂ කරුණකි.

මෙම Wechat නමැති සමාජ මාධ්‍යය දකුණු අප්‍රිකාවේද භාවිත වන නමුත් “මුදල් පසුම්බියක්” එහි නොමැත. එය හිමි වනුයේ චීනයේ දුරකථන අංකයක් භාවිත කර චීනයේ සිටම ගිණුම නිර්මාණය කිරීමෙනි.

මෙම සමාජ මාධ්‍ය තවත් වැදගත් කාර්යයක් සඳහාද උපයෝගී කරගනී. එනම් තම මිතුරාගේ හෝ මිතුරියගේ උපන් දිනය හෝ සුවිශේෂී අවස්ථාවන් සඳහා තෑගි මුදල් ලබා දීමටයි. එය “Red packet”ලෙසට හඳුන්වන අතර චීනයේ අවුරුදු සමයේදී මෙමඟින් බොහෝ විට නෑදෑ හිතමිත්‍රාදීන්ට තෑගි මුදල් ලබා දීම සිදු කරයි.

ඕපාදූප, රස කථා වැනි දේ දැනගැනීමට සුලබව යොදාගන්නා සමාජ මාධ්‍ය චීනය වැනි ඉතා ශීඝ්‍රයෙන් දියුණුවන රටක් යොදා ගන්නේ කාලය කා දැමීමට නොව කාලය ඉතුරු කිරීමටයි. චීනයේ අන්තර්ජාල පහසුකම් නොමිලේ සෑම ස්ථානයකම පාහේ හිමි වන නිසාවෙන් මෙම සමාජ මාධ්‍ය භාවිතයේ ගැටළුවක් නොමැත.

රු. 49/99 වැනි කුඩා මුදලකට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි රටක් වන ශ්‍රී ලංකාව වැනි රටවලද මෙවැනි සමාජ මාධ්‍ය හඳුන්වා දීමෙන් තම දෛනික කටයුතුද ඉතා පහසු කර ගැනීමට හැකි වනු ඇත. එය එසේ වීමෙන් සමාජ මාධ්‍ය හරහා ලබා ගත හැකි ඉහළ ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වන බව නිසැකය.

[දසුනි ජයරත්න]

මාතෘකා