ශ්‍රී ලංකාවට විධායක කමිටු සාමාජිකත්වය ලබා දුන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ද්විවාර්ෂික සමුළුව

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවට විධායක කමිටු සාමාජිකත්වය ලබා දුන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ද්විවාර්ෂික සමුළුව

ලොව නිවාස හා ජනාවාසකරණය පිළිබඳ පසුගිය දශක හතරකට අධික කාල පරිච්ඡේදයක් තුළ සිය ජාත්‍යන්තර දායකත්වය ලබාදුන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ද්විවාර්ෂික සමුළුව පසුගිය මැයි මස 27 වැනි දින සිට 31 වැනි දින දක්වා අප්‍රිකානු මහද්වීපයේ කෙන්යානු සමූහාණ්ඩුවේ නයිරෝබි නුවරදී පැවැත්විණි.

1976 වසරේ කැනඩාවේ වැන්කුවර් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ එකතුවත් සමඟින් ඇරඹි මෙම සංවිධානය පුරා වසර 40කට අධික කාලපරිච්ඡේදයක් ජාත්‍යන්තර නිවාසකරණය මෙන්ම කලාපීය රටවල නිවාස හා ජනාවාස වැඩසටහන සඳහා අවශ්‍ය පහසුකම් සපයන ජගත් සංවිධානය ලෙසින් කටයුතු කරනු ලැබීය.

කෙන්යානු සමූහාණ්ඩුවේ ජනාධිපති නුහුරු කෙන්යාටා මැතිතුමන් විසින් මෙහි සමාරම්භක සැසිවාරය ආරම්භ කිරීම සිදුකළ අතර ශ්‍රී ලංකාව සමඟින් රටවල් 113ක් විෂයානුබද්ධිත අමාත්‍යවරුන් 44 දෙනකු හා නගරාධිපතිවරුන් 60 දෙනකු සමඟින් විදේශීය නියෝජිතයන් 2250ක් සහ දේශීය නියෝජිතයන් 2000කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුව සඳහා සහභාගි විය. කෙන්යානු ජනාධිපති නුහුරු කෙන්යාටා සමඟින් දකුණු සුඩානයේ ජනාධිපති සෙල්වා කීරි, ෆීජී රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ෆ්රෑන්ක් බිනි මාර්මා සහ යේමන් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය මයින් අබ්දුල් මලික් සහීඩ් යන මහත්වරු ඇතුළු විශේෂිත ආරාධිතයන් රැසක් මෙම සමුළුවට සහභාගි විය.

ගතවූ දශක හතරක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ආරම්භක නියෝජිතයකු ලෙස දිගුකාලීන නායකත්වයක් ලබා දී ඇති අතර 1980 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආර් ප්‍රේමදාස මැතිතුමන් විසින් 1987 වසර ජාත්‍යන්තර නිවාස වසර ලෙසින් යෝජනා කිරීමේ කාර්යයදාමය සාර්ථක කරගැනීමටද එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විශේෂ දායකත්වයක් ලබාදෙනු ලැබීය. ඉන් අනතුරුව 1986 වසරේ සිට මෙම සංවිධානය විසින් ප්‍රකාශිත ඔක්තෝබර් මස ප්‍රථම සඳු දිනට යෙදුණු ලෝක ජනාවාස දිනය ප්‍රකාශිත කිරීම හා වාර්ෂිකව ක්‍රියාත්මක කිරීම සඳහාද ශ්‍රී ලංකාව පුරෝගාමීව කටයුතු කරනු ලැබීය.

මෙවර පැවති එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ හැබිටැට් සමුළුව ලෙසින් සංවිධානගත වූ අතර ඒ තුළින් මෙතෙක් පැවති මෙම සංවිධාන ව්‍යුහය හා සමුළු ක්‍රියාකාරිත්වයේ වෙනස්කමක් ඇතිවිය.

මෙම නව වැඩපිළිවෙළට අනුකූලව මෙතෙක් මෙම සංවිධානයේ පැවති පාලක මණ්ඩලය වෙනුවට නව විධායක කමිටුවක් පත්විය. මෙම විධායක කමිටුව ආසියා හා පැසිෆික් රටවල් අප්‍රිකානු රටවල් සහ යුරෝපීය රටවල් නියෝජනය වන ආකාරයෙන් රටවල් 36ක විශේෂිත නියෝජනයකින් සමන්විත වේ. මෙම විධායක කමිටුවේ ආසියා හා පැසිෆික් රටවල නියෝජනය රටවල් 09කට සීමා වූ අතර එකී විධායක කමිටු නියෝජනයෙන් ආසියානු පැසිෆික් කලාපීය නියෝජනය තුළ මුල්ම නියෝජිත රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගැනීම විශේෂිත සිදුවීමකි. ඒ අනුව ආසියා හා පැසිෆික් රටවල නියෝජනය සඳහා ශ්‍රී ලංකාව මුල්කොටගත් කොරියාව, චීනය, ජපානය, ඉන්දියාව, ඉරානය, ඉන්දුනීසියාව සහ පාකිස්ථානය නම් කරනු ලැබීය.

මෙවර සමුළුව සඳහා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන් නියෝජනය කරමින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලාංකේය නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සී. ඒ. විජයවීර, කෙන්යානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හා එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසමේ

ශ්‍රී ලාංකේය නේවාසික නිත්‍ය නියෝජිත සුනිල් ද සිල්වා සහ කෙන්යාවේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කොමසාරිස් අන්සර් ජාන් යන මහත්ම මහත්මීන්ය.

මෙම සමුළුවේ ආරම්භක සැසිවාරයේ සිය දෙසුම සිදුකළ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන හා කලාපීය රටවල නිවාස හා ජනාවාසකරණය පිළිබඳ විශේෂිත කරුණු දැක්වීමක් සිදුකරනු ලැබීය.

සිය දෙසුම ආරම්භයේදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා, ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය දායකත්වයෙන් නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවූ යුගයක ශ්‍රී ලංකාව සහභාගිත්ව සංවර්ධනය නිවාසකරණයට දායක කරගනිමින් ගතවූ දශක හතරක කාලපරිච්ඡේදය තුළ සාර්ථකව ක්‍රියාවට නංවමින් වර්තමානයේදී නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන්ගේ සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ දක්වා රැගෙන ආ බව පෙන්නුම් කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත නව නාගරික න්‍යායපත්‍රයට අනුකූලව නිවාස හා නාගරික ක්‍රියාදාමය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සංවර්ධන කාර්යයන් පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවෙන විවිධ වූ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමන්ගේ මඟපෙන්වීමෙන් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන්ගේ මඟපෙන්වීමෙන් මධ්‍ය ආදායම්ලාභීන් සඳහා නිවාස පහසුකම් සැපයීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී කරුණු දැක්වූ බර්නාඩ් වසන්ත මහතා මෙහිදී නිවාස ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාවේ අගනුවර ආශ්‍රිතව හා සෙසු නාගරික ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක කරන බව පෙන්වාදුනි.

මෙයට අමතරව නාගරික මහල් නිවාස ව්‍යාපෘති ආශ්‍රිත කළමනාකරණ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් සහාධිපත්‍ය කාර්යදාමය තුළින් ඉටුකරන කාර්යභාරය පිළිබඳ විශේෂයෙන් කරුණු දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා මේ සියලු කාර්යයන් තුළින් ශ්‍රී ලංකාව ජගත් සංවිධානය විසින් ප්‍රකාශිත නව නාගරික න්‍යායපත්‍රයට අනුකූලව සිදුකරන්නා වූ කාර්යයන් පිළිබඳ කරුණු පෙන්නුම් කරදෙනු ලැබීය.

මෙම අවස්ථාව වන විට ශ්‍රී ලංකාව තුළ ලිඛිත ජාතික නිවාස ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර ඇති බව පෙන්නුම් කළ බර්නාඩ් වසන්ත මහතා වත්මන් රජයේ මෙහෙයවීමෙන් සැකසුණු මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස්කරලීම උදෙසා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින් ලබාදුන් දායකත්වයට සිය ස්තූතිය පුදකරනු ලැබීය.

පුරා දින 05ක් පැවති මෙම සමුළුව එයට සහභාගි වූ සෙසු රටවලට මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකාවට වැදගත් වේ. ලෝකයේ සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය කරා යොමු වී ඇති රටවල් රැසක නියෝජිතයන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමඟින් විශේෂයෙන් සාකච්ඡා පවත්වමින් ඒ රටවල් අතර අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙම සමුළුවේදී සිදුවිය. එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ විධායක අධ්‍යක්ෂවරිය සහ එහි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ වික්ටර් කිෂෝප් මහතා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම විශේෂයෙන් හමුවූ අතර මෙම සාකච්ඡාවේදී

ශ්‍රී ලංකාවේ ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස්කරලීම උදෙසා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින් දැක්වූ දායකත්වය පිළිබඳ ශ්‍රී ලාංකේය නියෝජිත කණ්ඩායම සිය ප්‍රසාදය පිරිනමනු ලැබීය.

සකස්වු මෙම ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉදිරියේදී ක්‍රියාකාරි වැඩසටහනක් ලෙසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම උදෙසා විධිමත් ක්‍රියාත්මක සැලැස්මක් සකස්කෙරෙමින් පවත්නා බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාවාසකරණය පිළිබඳ නවතම දත්ත හා තොරතුරු පෙන්වාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, එකී කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඉල්ලුම් කරනු ලැබීය.

ආසියා හා පැසිෆික් රටවල නිවාස හා ජනාවාසකරණයේ නියුතු අමාත්‍යවරුන්ගේ සංවිධානයේ විශේෂ කමිටු රැස්වීමක්ද මෙම ජනාවාස සමුළුවට සමගාමීව මෙහිදී පැවැත්වූ අතර ආසියා හා පැසිෆික් රටවල නිවාස හා ජනාවාස වැඩසටහන් ආශ්‍රිතව පවත්නා ගැටලු හා ඉදිරියේදී ඉරාන සමූහාණ්ඩුවේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන මෙම අමාත්‍ය සංවිධානයේ ඊළඟ අමාත්‍ය සැසිවාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම ගත වූ 40 වසරක කාලපරිච්ඡේදය තුළ ලෝකයේ නිවාස හා ජනාවාසකරණය පිළිබඳ විශේෂිත අවධානයක් යොමුකරමින් සිය නොමඳ දායකත්වය ලබාදුන් සංවිධානයක් වන අතර ශ්‍රී ලංකාව නිරන්තරයෙන් මෙම සංවිධානය සමඟින් සමීප සබඳතා ගොඩනඟාගනු ලැබීය. මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාව එහි පාලක විධායක කමිටුවට පත්කර ගැනීමත් මෙරට ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස්කර ගැනීම හා එහි ක්‍රියාකාරිත්වය උදෙසා එම සංවිධානය ලබාදෙන දායකත්වය මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂ දායකත්වයක් විය. ඒ සියලු කාර්යයන් තුළ ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහභාගිත්ව සංවර්ධනය මුල්කොටගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සෙසු නිවාස හා ජනාවාස වැඩසටහන සාර්ථක කර ගැනීමට මෙම ජගත් සංවිධාන දායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

[ලක්විජය සාගර පලන්සූරිය]

මාතෘකා