සාගරයත් සරදම් කරද්දී ජීවිතයට රුවල් දාන ධීවරයෝ

 ඡායාරූපය:

සාගරයත් සරදම් කරද්දී ජීවිතයට රුවල් දාන ධීවරයෝ

තෙරක් නොපෙනෙන මහ සයුරේ නිමක් නැති ඝෝෂාව ඔවුන්ට කරච්චලයක් නම් නොවේ. එය ඔවුන්ට ජීවන ගීතය තරමටම සමීපය; ළෙන්ගතුය. උපන් දා සිට ඇසෙන සයුරේ රළ බිඳෙන හඬ අතරින් නැඟෙන බිඳෙන මහා දළ රළ පෙළ අතරින් බෝට්ටුවක හෝ ට්‍රෝලර් යාත්‍රාවක නැඟී ඔවුහු ජීවිතය සොයා යති. ඒ අහස උසට සිටු මැදුරු තනන්නට නොව සිය අඹුදරුවන්ගේ කුස පුරවමින් ඔවුන්ගේ ජීවිත සරිකරන්නටය. ඔවුන්ගේ පැතුම මුහුදේ රන් අස්වැන්න වන මත්ස්‍ය සම්පතයි. බෝට්ටුව පිරෙන්නට මාළු රැගෙන නිදුකින් යළි මෙගොඩ එන්නට පතනවා හැර ජීවිතය පිළිබඳ අහස උසට ප්‍රාර්ථනා ඒ සිත්වල නැත. එය ධීවර රස්සාවේ හැටිය. සරලකමත් ඊට නොදෙවැනි මහා බරපතළකමකුත් ගැබ්වී ඇති මෙරට ධීවරයාගේ ජීවන වෘත්තාන්තය ඇතැම් විට එහෙම පිටින්ම ශෝකාන්තයකි.

අනාදිමත් කාලයක සිට දිවයින වටා විශාල පිරිසක් ධීවර කර්මාන්තයේ යෙදී සිටිති. එය හුදෙක් ඔවුන්ට ජීවන වෘත්තියක් පමණක්ම නොවේ. ධීවරයා සිය දුෂ්කර මුහුදු ගමන නවතා වෙනත් කර්මාන්ත සඳහා යොමුවුවහොත් මෙරට ජනතාවගේ බත්පත රස කරන මාළු කෑල්ලද පිටරටින් ගෙන ඒමට සිදුවේ.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපනයනය කිරීමද සිදුවන නිසා ධීවරයා යනු මෙරට ආර්ථිකය නඟා සිටුවීමටද දායක වන වැදගත් පිරිසකි. එහෙත් ඔවුන්ගේ ජීවිතය මුහුද තරම් සොඳුරු නැත. ඒ ජීවිතවල දුක, කඳුළ සහ කටුක ඉසව් සොයා අපි ධීවරයන් වැඩි පිරිසක් ජීවත්වන මීගමු පුරවරයට ගියෙමු.

ජීවිතය ජීවත් කරවීමට කිසියම් ජීවිකාවක් කළ යුතුමය. ඒ ජීවිකාව සැපට වඩා ගෙනදෙන්නේ දුකක් නම් එය සැබැවින්ම ජීවිකාවකට එහා ගිය දෙයකි. ධීවර රස්සාවද එවැන්නකි. මේ මහ පොළොව මත දෙපයින් නැඟී සිටින්නට වෙරදරන ඔවුන් ඒ සඳහා ගැටෙන්නේ මහ මුහුද සමඟය. ධීවරයෙක් යනු මසුන් සොයා මහ මුහුදට දැලක් එළන්නෙක් පමණක්ද? මේ ඔවුන්ගේ කතාවයි.

"මාළු අල්ලන්න අපි ලංකාවෙන් සැතපුම් දාහක් විතර ඈත දියඹට යනවා. මාසයක් විතර රස්සාව කරගෙන මාළු ටිකක් අල්ලගෙන ගොඩට එන එක තමයි අපේ බලාපොරොත්තුව"

ධීවර බෝට්ටුවකට නායකත්වය දෙන නාලක අප සමඟ කතාබහට එක්වෙමින් එසේ කීවේය.

"එහෙම මහ මුහුදට යන අපි උදේ 6යේ ඉදන් හවස හය විතර වෙනකම් දැල දාගෙන ඉන්නවා. ගොඩාක් වෙලාවට රෑ 10-11 වෙනකම්ම අපි එක වේලයි කාලා තියෙන්නේ. පන්න කරන්න ගත්තාම පන්නෙ අල්ලනකම් නිදියගන්න වෙලාවකුත් නැහැ. එක පන්නයක් ඉවර කළාට පස්සේ නැවත පන්නෙ ගහන්න ඕන නිදිමරාගෙන. කෑමක් නෑ. නින්දක් නෑ. තේ කහට ටික තමයි හුඟක් වෙලාවට අපේ බඩගින්න, වෙහෙස මහන්සිය නිවන්නේ. එහෙම ජීවිතයක් තමයි මහ මුහුදෙදි අපි ගෙවන්නේ. අපි මුහුදු යන්නේ ඉක්මනට මාළු ටිකක් අහුවෙලා අපිට ඉක්මනට ගොඩට එන්න ලැබෙන්න කියලා දෙවියන්ට කියලයි. හැම ප්‍රශ්නයක්ම දරාගෙන දෙවියනේ කියලා රස්සාව කරගෙන ආපහු ගොඩට එන එක තමයි අපි කාගෙත් බලාපොරොත්තුව.”

ගිනි අව්ව, මහ වැසි මේ කිසිවක් නිසා ඔවුන් මහ මුහුද සමඟ කරන සටන අත්හැරිය හැක්කක් නොවන බවද නාලක කීවේය. එපමණක් නොව ඒ සියල්ලටම එකාසේ මුහුණ දීමට කණ්ඩායමම සැදී පැහැදී සිටිති. සාමාන්‍යයෙන් මුහුදු යන යාත්‍රාවක හත්අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සිටිති. ඔවුන්ගේ කණ්ඩායමේ මඟපෙන්වන්නා ස්කීපර්ය. නාලක ස්කීපර් ගැන ඔහුගේ කණ්ඩායමට හොඳ විශ්වාසයක් තිබේ. ඒ ගැන මෙහෙම කීවේ අසංකය.

"ස්කීපර් කියපු විදිහට මාසයකින් ගෙදර එන්න බලාගෙන තමයි අපිත් මුහුදු යන්නේ. දෙවියන්ගේ අතේ තමයි ඉතින් හැමදේම තියෙන්නේ. "

දෙවියන්ට සියල්ල බාර දී ගිය පමණින්ම මුහුදු රස්සාව සාර්ථක වන්නේ නැත. ඒ සඳහා පුදුමාකාර වෙහෙසක් දැරිය යුතුය. ධීවරයකුගේ දින චර්යාව ගෙවෙන්නේ අමුතුම ආකාරයකටය. ඒ ගැන ස්කීපර් නාලක තවත් විස්තර කීවේය.

"ඇත්තටම අපේ දවස ගෙවෙන්නේ හිතාගන්න බැරි විදිහට කිව්වොත් හරි. පන්න අල්ලලා කරලා ගන්නකොට පැය ගාණක් ගතවෙනවා දැනෙන්නෙවත් නෑ. අල්ලගත්ත මාළු ටික ඉක්මනට ගන්න බැරිවුණොත් මුහුදේ ඉන්න මාළුවෙක් ඒ සේරම මාළු ටික කනවා. අපිට ඔළු ටික විතරයි උඩට එන්නේ. ඒ නිසා කට්ටියව උනන්දු කරවලා මාළු ටික ඉක්මනට ගන්න ඕන. ඒ වගේම නැවත පන්නෙ ගැහුවොත් තමයි අපිට ඉක්මනට ගොඩට එන්න පුළුවන්. ඒ නිසා කවුරුකවුරුත් කෑමක් ගැනවත් හිතන්නෙ නැතුව වැඩ ටික කරගන්න තමයි මහන්සි වෙන්නේ. එක දවසක් හරි අපි මුහුදේ නිකන් ඉන්නවා කියන්නේ ලොකු පාඩුවක්. මාළු මඟඇරුණොත් අපිට ආයේ අල්ලගන්න බැහැ. අනිත් එක අද මාළු කූරු 20-25ක් අහුවුණා කියන්නකෝ. හෙට එකෙක්වත් නැතිවෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපිට හරිම පාඩුවක් වෙන්නේ. එහෙම වුණාම අපිට ගැන් එක පුරවගෙන එන්න පරක්කු වෙනවා. එහෙම වුණාම තව දවස් තුනහතරක්වත් පන්න කරන්න ඕන ඒක පුරවගන්න. ඉතින් රෑ දවල් නිදි මරාගෙන පන්න කරනවා. අපි එක බෝට්ටුවක හත්අට දෙනෙක් යනවනේ. එයාලගේ ජීවිතවල වගකීම තියෙන්නේ මගේ අතේ. ඉතින් එක මොහොතක්වත් අපතේ නොයවා පන්න කරන්න තමයි මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ."

ඒ වගකීම ඉටුකිරීම කියනා තරම් පහසු කාර්යයක්ද නොවේ. විටෙක ඔවුන් පන්න කරමින් සිටින ස්ථානය ඉලක්ක කරගනිමින් තවත් ධීවර බෝට්ටුවක් පැමිණෙන්නට ඉඩ තිබේ. එවැනි විටෙක වහා ක්‍රියාත්මක නොවුණහොත් ඇතැම් විට නෙළාගන්නට අත මානේ තිබූ මාළු අස්වැන්නම අනුන් සතුවිය හැකිය.

"එහෙම වෙන බෝට්ටුවක් අපේ ලයින් එකේ එනවා දැක්කොත් ඉක්මනට කතාකරලා පණිවිඩේ දෙනවා, ‘මගේ බෝයාව තියෙනවා ඔයා එන පොයින්ට් එකේ. ඒ නිසා වෙන තැනක ගහන්න’ කියලා. එතකොට ඒ ගොල්ල අපේ බෝය දැකලා වෙන එකකට මාරු කරගෙන යනවා. එහෙම සහයෝගෙන් වැඩ කළේ නැත්තම් අපි කාටවත් පැවැත්මක් නැහැ"

නාලක පවසන්නේ මේ අපූරු ජීවන කර්මාන්තයත් සමඟ බැඳී තිබෙන අපූර්වතම උප සංස්කෘතියේ අරුමයද මවපාමිනි. ධීවර කර්මාන්තයටම අවේණික වූ වචනද මෙම කර්මාන්තයට ගෙනදෙන්නේ අපූර්වත්වයකැයි අපට සිතේ. මුහුදු යන බෝට්ටුවේ හත්අටදෙනාට පැවරී ඇති එක් එක් විශේෂ කාර්යයන්ද වේ. නාලකගේ බෝට්ටුවේ නම් කෑමබීම සරිකරන්නේ කුමාරය.

"මම තමයි අපේ බෝට්ටුවේ අයට කෑම උයන්නේ. උයන්න පුළුවන් වෙලාවට උයනවා. හැබැයි පන්න කරන වෙලාවට හැමෝම ඒ වැඩේට තමයි මහන්සි වෙන්නේ. එහෙම වෙලාවට ඉතින් බිස්කට් එකක් කාලා තේ ටිකක් බීලා තමයි දවස ගතකරන්නේ. ගොඩක් වෙලාවට එක වේලයි දවසට කැවෙන්නේ අපිට. උයලා කාලා පන්නේ අල්ලන්න ගන්නවා."

සාමාන්‍යයෙන් එක් මුහුදු ගමනකට දින 30ක් ගතවේ. මහ මුහුද යනු නිතරම එකලෙස පවතින්නක් නොවේ. කුණාටු, සැඩසුළං සහ වැස්ස අතර ඈත දියඹට යන ගමන කිසිසේත් සොඳුරු චාරිකාවක් නම් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ ගැන නාලකගේ කණ්ඩායමේ දිල්ෂාන් මෙසේ කීවේය.

''යාත්‍රාවේ මුහුදු රස්සාවට යන ගමන බොහොම පරිස්සමින් කල්පනාවෙන් යන්න ඕන. විශේෂයෙන් වීල් එකේ යන කෙනා උපරිම කල්පනාවෙන් යන්න ඕන. එයාට ටිකක් හරි නින්ද ගියොත් අපි හත්අට දෙනාගේම ජීවිත අනතුරේ. ඒ නිසා බොහොම කල්පනාවෙන් තමයි ඒ ගමන යන්නේ."

ස්වාභාවික අතුරුඅාන්ත්‍රා මෙන්ම ධීවරයන්ගේ ජීවිතවලට වින කරන වෙනත් උපද්‍රවද නැතුවා නොවේ. මුහුදු රස්සාව තුළදී තමා මුහුණ දුන් අමතක නොවන එවැනි සිදුවීම් ගැන නාලක සිහිපත් කළේ මෙසේය.

"අපිට එකපාරක් මුහුදු රස්සාවට යන්න ලක්ෂ 25ක් විතර වියදම් වෙනවා. ලක්ෂ 70-80ක මාළු අල්ලගෙන ආවොත් තමයි අපිට ලක්ෂයක් හමාරක් ගන්න පුළුවන්. නමුත් අපේ ලංකාවේ මුහුදේ මාළු අඩුයි. එකපාරක් මම ඒ.අයි.එස්. නැතිව මුහුදු ගිහින් ඇමෙරිකන් මුහුදෙදි අත්අඩංගුවට පත්වුණා. මාව එහෙන් ලංකාවට එවුවා. නමුත් මෙහෙට එද්දි මාව මෙහෙන් අත්අඩංගුවට අරගත්තා. කොළඹ ගිහින් නඩු දාලා අපේ මාළුත් අත්අඩංගුවට ගත්තා."

ඔවුන්ගේ ජීවිත ඛේදවාචකයක් කරන්නට එවැනි සිදුවීම්වලට හැකිය. අඹුදරුවන්ගේ ජීවිත රකින්නට මුහුදු යන ධීවරයකුට එවැනි විපතක් සිදුවුවහොත් ඒ දරුපවුලට ඉතින් දෙවියන්ගේම පිහිටය. ධීවර ජීවිතවල කටුක බව සැබැවින්ම හඳුනාගත්තෝද අල්පය. බහුදින ධීවර යාත්‍රා කිහිපයක හිමිකරුවකු වන සුපුන් ඒ බව වදන්වලට පෙරළුවේ මෙසේය.

"ඇත්තටම ධීවරයන් ගතකරන්නේ දුක්බර ජීවිත. තමන්ගේ දරුපවුල් රැකගන්න තමයි ඔවුන් මහ මුහුද එක්ක හැප්පෙන්නේ. මුහුදු රස්සාව කියන්නේ ඉතා කටුක අත්දැකීමක්. ඒ වගේම බය හිතෙන අත්දැකීමක්. ඒක කෙනකුට තේරුම් කරන්න අමාරු අත්දැකීමක්. ඒත් ඔවුන් ගැන ආඩම්බරයක් අභිමානයක් දැනෙනවා. මොකද ඔවුන් මහ මුහුද එක්ක ඒ කටුක රස්සාව කළේ නැතිනම් අපිට මාළු කෑල්ලක්වත් කන්න ලැබෙන්නේ නැහැ.

“ධීවර යාත්‍රාවක් මුහුදු රස්සාවට පිටත් කරන්න ලොකු වියදම දරන්න වෙනවා. යාත්‍රාව හදන්න, නඩත්තු කරන්න වගේම මුහුදු යන වාරයක් ගාණේ විශාල වියදමක් දරන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යාත්‍රාවක් මුහුදු යන්නේ මාසයකට වගේ කාලයකට. ඒ එක්ක හත්අට දෙනෙක් යනවා. යාත්‍රාවේ ගෙනියන මූලික අවශ්‍යතාවලට ලොකු වියදමක් දරන්න වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 18ක වගේ මුදලක් ඒ සඳහා වැය වෙනවා. ඒක බෝට්ටු හිමිකරුවන් විදිහට අපිටත් ධීවරයන්ටත් ලොකු අභියෝගයක්. මුලින්ම ඒ වියදම් කරන මුදල කවර් කරගන්න ලැබෙන්නේ නැහැ. හොඳ මාළු අස්වැන්නක් ලැබුණේ නැත්තම් අර ලක්ෂ 18ම අපතේ යනවා. නමුත් දෙවියන්ගේ පිහිටෙන් ධීවරයන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා හුඟක් වෙලාවට; රැකියාව හොඳින් කරගෙන කරදරයක් නැතිව ගොඩට එන්න. ඒ වාතාවරණය දෙවියන් විසින් උදාකර දෙනවා කියන විශ්වාසය ධීවරයන් තුළ තිබෙනවා."

සුපුන් මහතා පවසන ලෙස මාසයක පමණ කාලයක් මුහුදේ ගත කිරීමේ අපේක්ෂාවෙන් ඈත දියඹට යන යාත්‍රාවකට ඉන්ධන සඳහා ලක්ෂ 10ක් පමණ වැය කිරීමට සිදුවේ. මසුන් ඇල්ලීමට භාවිත කරන ඇම මෙරට නොමැති නිසා පිටරටින් ගෙන්වන ඒවායින් එකක් රුපියල් තුන්සීයක් පමණ මිලකි. එවැනි කිලෝ 2000ක් පමණ අවශ්‍ය වන අතර ඒ සඳහා ලක්ෂ 6ක් පමණ වැයවේ. එමෙන්ම මාසයකට සරිලන අයිස් හොන්ඩර 500-550ක් පමණ මිලදී ගැනීමට තවත් විශාල මුදලක් වැයවේ. පානීය ජලය තවත් විශේෂ අවශ්‍යතාවකි. ඊට අමතරව මාසයක මුහුදු ගමනක් ගියද එම කාලය මාසයක් දෙකක් දක්වා දීර්ඝ විය හැකි අවස්ථාද නැතිවා නොවේ. එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අමතර ආහාරපාන ආදියද රැගෙන යෑම අවශ්‍ය වේ. මේ සියල්ල සඳහා විශාල බරපැනක් දැරිය යුතුය.

"ඒ වගේම තමයි බෝට්ටුවේ ගෙනියන සමහර බඩු; එක පන්න වාරෙකින් පස්සේ අයින් කරන්න වෙනවා. සමහර ඒවා අලුතින් ගන්න වෙනවා. එහෙම වුණාම වියදම තවත් වැඩි වෙනවා. ඒ සේරමටත් වැඩිය මේ ධීවරයන්ගේ ජීවිත මිල කරන්න බැහැ. ඔවුන් ජීවිත අවදානමකුත් එක්කයි මේ වෘත්තියේ නියැළෙන්නේ"

විටෙක මහ මුහුද ඔවුන්ට දැඩිව ළෙන්ගතුය. පන්න කළ සැණින් බෝට්ටුව පිරෙන්නට මාළු අස්වැන්න ලැබෙන්නේ එවිටය. නමුත් ඇතැම් දිනවලට කුණාටු, සුළි සුළං අතරේ පන්න කරනවා තබා බයක් සැකක් නැතිව බෝට්ටුව යාත්‍රා කරන්නට පවා නොහැකි තරමට මහමුහුද වියරුය.

“එහෙම අනතුරු ගැන කලින් අපිව දැනුවත් කරනවා. මහ මුහුදෙදි එහෙම දේකට මුහුණ දෙන්න වුණොත් අපි බෝට්ටු එකිනෙකට ළංකරගෙන තමයි ඉන්නේ. ඒ වගේම මුහුද මැදදි යාත්‍රාවකට කෑමෙන් බීමෙන් හරි වෙනත් දෙයකින් අඩුපාඩුවක් වුණොත් අනිත් යාත්‍රා පුළුවන් විදිහකට උදවු කරනවා. එහෙම සමගියක්, බැඳීමක් මේ රස්සාව ඇතුළේ තියෙනවා. මේක අමාරු රස්සාවක් තමයි. ඒත් අපි හැමෝම හැමදෙයක්ම දරාගෙන රස්සාව කරනවා. මම හිතන්නේ ජීවිතේ කියන්නේ ඒකට තමයි"

ඒ ඔවුන්ගේ ජීවන ගීතයේ සංක්ෂිප්ත අරුත නොවේද? සයුරේ නිම්නැති රළ හඬ පරයමින් හෙටත් ඒ ගීය ගැයෙනු ඇත.

විශේෂ ස්තුතිය - ලේක්හවුස් ඩිජිටල් මාධ්‍ය අංශයට

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා