″ඔව්, ඒක හාදුවක්″ පමණක්ම නොවේ

 ඡායාරූපය:

″ඔව්, ඒක හාදුවක්″ පමණක්ම නොවේ

කවියෙක් කුමන අත්දැකීමක් තෝරාගත්තද එය ඉදිරිපත් කිරීමේදී නව්‍ය ස්වරූපයක් හෙවත් අපූර්වත්වයක් මෙන්ම අර්ථාන්විත බවක්ද තිබිය යුතුය. එසේම එම නව්‍යතාව හෙවත් අපූර්වත්වය ගොඩනැගෙන්නේ කවියා භාවිත කරන කාව්‍ය උපක්‍රම තුළිනි. කවියා විසින් තෝරාගනු ලබන භාෂාව, සංකල්ප රූප ගොඩනැගීම, විරිත හෝ රිද්මය මෙන්ම ලයද මෙහිදී වැදගත් වේ. කාව්‍යමය භාෂාවේදී එහි භාවික ගුණය රසිකයාගේ සිත තුළ රස උද්දීපනයට මනා කොට උපකාරී වේ. කවියේ ව්‍යාංගාර්ථය හෝ වක්‍රෝත්තියද කවියක රසය හා ගැඹුර වැඩිකරන කාරණයක් බව භාරතීය කාව්‍ය විචාරකයින් මෙන්ම බටහිර විචාරකයින්ද පිළිගන්නා කරුණකි. කවියක අත්දැකීම ප්‍රකාශ කිරීමේදී උපමා හෝ රූපක මගින් අත්දැකීම අන් ආකාරයකින් රසිකයාට පැවසිය හැකි වේ. බොහෝ විට ව්‍යංගය ප්‍රකාශ වෙන්නේ මේ ආකාරයෙනි. එය රසිකයාගේ හද මනස තුළ ගැඹුරින් අත්දැකීමක් වින්දනය කිරීමට හේතුවක් සදා දෙයි. නමුත් ව්‍යංගය හෝ වක්‍රෝත්තිය අනවශ්‍ය ලෙස යෙදීම කවිය ප්‍රහේලිකා ස්වරූපයට පත් කර රසිකයා ගේ විඳුම් පරාසය හකුළුවා දමයි. මේ නිසා මේ සියල්ල යොදා ගත යුත්තේ රසිකයාගේ රසවිඳීම පුළුල් කරන අටියෙනි.

නූතනම කවි පරපුර අතර අපූර්ව නිර්මාණාත්මක ශක්‍යතාවෙන් හෙබි කිවිඳියක ගේ නිර්මාණ එකතුවකි ″ඔව්, ඒක හාදුවක්″ කාව්‍ය සංග්‍රහය. මෙහි නිර්මානකාරිණිය වන්නේ රොෂෙල් ෆර්නැන්ඩු ය. රොෂෙල් ගේ මෙම නිර්මාණ එකතුව සමස්තයක් ලෙස ගත් කළ සතුටුවිය හැකි කාරණය වන්නේ ඈ තුළ ඇති කාව්‍ය අනුභූතීන් තෝරා ගැනීමේ හැකියාවත් ඒවා නිර්මාණාත්මක කවි බසකින් රසිකයා වෙත ඉදිරිපත් කිරීමට ඇය ගනු ලබන උත්සාහයත්ය. රොෂෙල් සිය අත්දැකීම් කවි කරන්නට ගන්නා උත්සාහයේදී ඇය ව්‍යංගය හා වක්‍රොත්තිය සුවිශේෂව භාවිත කරන බව දැකිය හැකි අනෙක් විශේෂ ලක්ෂණයයි. ඇය සිය නිර්මාණ එකතුවේ එකම කවියක් වත් ඍජු ප්‍රකාශන ලෙසින් ඉදිරිපත් කිරීමට කැමැත්තක් නොදක්වයි. සැම විටම ව්‍යංගාර්ථ බහුල බසක් භාවිතා කිරීමට වෙහෙසෛයි. මේ නිසාම නිර්මාණ එකතුව තුළ කිසියම් ඒකාකාරී බවක්ද දකින්න ලැබේ. එයට හේතුව වන්නේ සමාන උපමා රූපක අධික ලෙස භාවිතයට ගැනීමයි. ඉර, සඳ, අහස, රාත්‍රිය, හිමිදිරිය, මල් වැනි සංකේතාත්මක දේ බහුල ලෙස ඇය භාවිතයට ගනී.

ඇය නිර්මාණ එකතුව අරඹන ″දයාබර සුජාතා″ කවිය කිසියම් අපූර්වත්වයක් අප තුළ ඇති කරන අත්දැකීමකි. දරුවකු අහිමි කාන්තාවක් වෙනත් ක්‍රමයකින් සිය ස්වාමියාට දරුවකු ලබා දෙයි. නෑදෑයින් එය නොදත්තද ස්වාමියා එය දනී. නමුත් ඔහු ඇයට ගරු කරයි. රචිකාව හේතුව අපෙන් සඟවයි.

මෙහෙව් අභිමානයක් මට දෙන්න

උඹ වැන්ද දේවාල පසෙක ලා

හිතින් මගෙ සුජාතා

මම උඹට වැන්දා

ඉසේ සිට පොඩි පතුල්

මගෙ රුවට අයිති කර

පුරුදු ලෙස අනේ නුඹ

බිම බලන් හිටියා

(දයාබර සුජාතා - පිටුව 12)

රොෂෙල් ගේ කාව්‍ය සංග්‍රහය පුරාම දැකිය හැක්කේ මානව සන්තානයේ පැන නගින විවිධ සුඛ දුක්ඛ වේදනාවන් ඇය කවි කිරීමට දක්වන රුචිකත්වයයි. සමාජ දේශපාලන කාරණා කවි කිරීමට වඩා ඇය වඩාත් කැමැත්ත පළකරන්නේ මානව සම්බන්ධතාවල ඇති විවිධ හැඩතල මතු කර ලීමටයි. 'මග වැරදී ගියෙමි', 'උදෑසන කතාවක්', 'හීන තොටිල්ල', 'මගෙ ආදර අස්වැන්න', 'කුසුම්','වැහි වලාකුළු', 'මහලුව ගිය කලට, 'අමනාපය, 'සිඳුණු පසු තටු කණමැදිරි', 'සඳ සොයා ගිය දුවට' වැනි නිර්මාණ තුල ඇය මානව හැඟීම් කවි කරන්නට ගන්නා උත්සාහය තුළ කිසියම් අපූර්වත්වයක් ජනනය වේ. නමුත් සමාජ දේශපාලන කාරණා කවියට නගන තැන්වලදී ඇය එම සමත් කම නොදක්වයි. 'එන්න පාවෙල් වයමු අලුතින්', 'වීදියේ අයියා' වැනි නිර්මාණ ඊට උදාහරණ සපයයි.

මලක් පියකරු අතු අගම මිස

නෙලාගත්තම නොවේ

සඳක් රෑ කල එළිය දුන්නට

කැළුම් හිරු ගෙනි දුවේ

කඳුළු රසමයි මූද එනමුදු

දෑස් තෙමුණම කැවේ

අම්මේ ඔබ කිව් තේරවිලි දැන්

තොරද්දි හිත දැවේ

(මග වැරදී ගියෙමි - පිටුව 14)

දහදි කරගැට මලෙක පුසුඹ නැත නිම්මා

උණු බතට ලුණු, කඳුළු පිසදාලා දැම්මා

රළුම අත් සුමුදුමය හිස සිඹින පෙම්මා

ගල් කොරියේ ගල් කඩන මුදු මොළොක් අම්මා

(මුදු මොළොක් අම්මා - පිටුව 36)

මෙවැනි තැන්වලදී රොෂෙල් ගේ කවිකම මනාව කැපී පෙනෙයි. 'ගල් කොරියේ ගල් කඩන මුදු මොළොක් අම්මා' කියූ සැනින් සුලබ අත්දැකීම අපුර්වත්වයෙන් අප සිත තුලට කිඳා බසී. රොෂෙල් සැම විටම කවියේ විරිත හා රිද්මය ගැන විමසිලිමත් වේ. ඇගේ කවි විවිධ විරිත් භාවිතා කරමින් ලියූ ඒවාය. ඒ නිසා ඇයට කාව්‍ය විරිත් ගැන අවබෝධයක් ඇතිවා සේය. එහිදී උපදින රිද්මයානුකූල බව ඇගේ කවිය ආලෝකවත් කරයි.

නිවුණු තරු ඇසක් අගින්

ලෙහුණු කඳුළු බිංදුවක්

නුබ තලේ සුළං සුසුම් - දිගේ ඇවිත් ඇවිත්

වැටි වැටී සියුම් පත්‍ර

නහරයක් දිගේ ගලාන

සීතලයි මියෙන්න බෝම - ළඟ වගෙයි හුඟක්

(උදෑසන කතාවක් - පිටුව 20)

පද සංඝටනයෙද කවි බසක අපූර්වත්වය මතු කරන්නකි. රොෂෙල් ගේ ඇතැම් කවිවල ඒ ලක්ෂණයද දක්නට ලැබෙයි.

රොෂෙල් ෆර්නැන්ඩු නම් වූ මේ තරුණ කිවිඳිය සිය පළමු කෘතියෙන්ම වෙනස් කවි කමක් ප්‍රකට කරවයි. ඇය තෝරා ගන්නා අත්දැකීම්වල නැවුම් බවක් නැති වුවද සිය කවි බස මගින් ඇය ඒවා තුළ අපූර්වත්වයක් ගොඩ නගන්නට සමත් වෙයි. ඇතැම් තැනෙක ඇයගේ උපමා රූපකවල ඒකාකාරි බවක් දක්නට ලැබුණද අලුත් රූපකාර්ථවත් බසක් ගොඩනගා ගැනීම සේම වෙනස් නැවුම් අත්දැකීම් සොයා යන්නේ නම් ඇය සතු මේ කවිකම ඇයට ඉහළට නැගෙන්නට ඉනිමං තනා දෙනු ඇති බව නිසැකවම කිව හැකිය.

[කපිල එම්. ගමගේ]

මාතෘකා