Knowing is not enough, we must apply !

 ඡායාරූපය:

 Knowing is not enough, we must apply !

විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

සලිත්ගේ දෑස මත අනවසරයෙන් මතු වූ හැඩයක් නැති කඳුළු කැට දෙකක් ඔහුගේ කටහඬ තරම් ම වෙවුලුව ද ඒවා කඩා වැටෙන්නට තරම් මුරණ්ඩු වූයේ නැත. අනන්තය සොයන බැල්මක්, ඒ කඳුළුවලට උන්හිටි තැන් සොයා ආපසු යන්නට දුන් පොදු සමා කාලයක් වූයේය. කඳුළු කැට දෙපළ වහා සැඟව ගති.

සුලෝචනා සලිත් කී සියල්ල හොඳින් ධාරණය කරගත් බව ඇගේ දෑසේ ලියැවිණි. එසේ ලියැවෙන බව සලිත් දුටුවේය. ටික වේලාවකට පෙර ඔරලෝසුව පැලඳගත් ඔහු, දැන් මේ වන විට යට ඇඳුම් දෙකකින් සිරුර වසාගෙන සිටියි. ඊළඟට සලිත් කළේ අසල පුටුවක තිබූ ඩෙනිම් කලිසම තමා වෙතට ඇද ගැනීමය. ඇදගත් ඩෙනිම ඇඳ ගන්නා ගමන් ඔහු සුලෝචනා දෙස බැලුවේය.

`` කෝ මගේ ඩබල් පොකට් ෂර්ට් එක..? අර කාකි පාට එක..?``

සුලෝචනා බොඳව ගිය දෑසින් යුතුව, ඒ කමිසය එල්ලා ඇති තැන, නිකට ඔසවා හිසෙන් පෙන්වූවාය. මහ වැස්ස පොඳ වැස්සක් බවට පෙරැළී ඇති බව එළිමහනට සවන් යොමන්නකුට තේරුම් ගත හැකිය. එහෙත් වැහිබිඳු තවරාගත් අඳුර මතට හිරු රැස් කෙඳි වැටෙන්නට තව සෑහෙන වේලාවක් තිබේ.

``අපිව මර්දනය කරන්න එන උන්ගෙ නිල ඇඳුම්වල පාටටම අපිත් ආස කරන්නෙ ඇයි කියල මාත් දන්නෙ නෑ රත්තරන්..`` සලිත් තනිවම සිනාසෙමින්, එතැනට යමින් සිටියි. ``ඒවා හොයන්න ඕන මනෝ විශ්ලේෂණය කරන කට්ටිය.. හැබැයි ඉතින් උන්ගෙ මනස විශ්ලේෂණය කරන්න ඕන වෙනම කට්ටියක්..`` සලිත් කමිසය ඇඟ ලා ගනිමින් සිටියි. ``ගරිල්ලා සටනක් පේන තෙක් මානෙක නැතත් හදවතින් අපි සියෙරා මයෙස්ත්‍රාවේ අරගල බිමේ කොම්රේඩ් තනිකළේ නැත කිසි දිනේ..`` සලිත් බොත්තම් පියවමින් සිටියි. ``උඩ බොත්තම් දෙක අරින්න මම ආසයි.. ඉස්කෝලෙ යන කාලෙ අක්ක කෙනෙක් කිව්ව කලං වගේ කියල.. ඔව් එහෙම තමයි අපි පුංචි කාලෙ අක්කලා ලස්සනට පේනව.. අපි වයසට යනකොට නංගිලා ලස්සනට පේනව..`` සලිත් මඳක් හඬ නඟා සිනාසුණේය. ``ඒ අතීත සිද්ධි ඉතින්.. වෙලවකට මාරයි.. ආදරේ කරන කෙනෙක්ගෙන් ඇගයුම් ලැබිච්ච තැන් කවදාවත් අමතක වෙන්නැත්තෙ ඇයි කියල මං දන්නෑ.. කොච්චර මමංකාරය ප්‍රහීණ කරන්න හැදුවත් එව්ව නං හිතේ තැන්පත් වෙලා තියෙනව මාළු ටැංකියට වැටිච්ච පහේ කාසි වගේ..`` සලිත් ඩෙනිම් සාක්කු දෙකෙහි දෑතේ මහපට ඇඟිලි දෙපසෙහි රන්දමින්, සුලෝචනා දෙස නිරූපණශීලී බැල්මක් හෙළුවේය. ``ඔව්.. එක්තරා විදිහකට ඒකත් එක පැවිද්දක්.. මමය මාගේය වෙනුවට අපය අපගේය කියල හිතන එක.. එහෙම හිතන ලෝකයක් වෙනුවෙන් වැඩ කරන එක..`` යළිත් සලිත්ගේ දෑස බැරෑරුම් විය. ``ඒත් අපය අපගේය යටින් මමය මාගේය වැඩ කරනව කියල තේරුනාම අප්පිරියාවක් දැනෙනව.. ඒත් එහෙම හිතල බෑ.. ඒක අදේශපාලනික අප්පිරියාවක්.. ඒ නිසාම තමයි දේවල් අත්නොහැරිය යුත්තේ..`` ඊළඟට, සලිත්ගේ දෑසට ආදරය පිරිණි. ``මගෙ පණ.. මගේ පුදුම රෝස මල.. මම ඔයාට ආදරෙයි.. මේ මනස්ගාත සේරම ඔයා ලියනව නේද? ඔයාට තේරෙන නොතේරෙන රෙද්දවල් සේරම ඔයා ලියනව නේද ? මට තව මොනවහරි අමතක වුණාද ඔයාට කියන්න.. යන්න කලින් ඔයාට කියන්න ඕන පුළුවන් තරම් දේවල්..`` සලිත් කෑ ගැසුවේය.

``පොඩ්ඩක් ඉන්න.. දැන් ඔයා කිව්ව විදිහට.. බ්ලැක් මොලී ආයෙත් එන්නෙ ඔයාව අරං යන්න නං, එහෙමත් නැත්තං ඔයාව අරං යන්න බ්ලැක් මොලී ආයෙත් එනවනං.. ඇයි ඔයා හදිස්සි වෙන්නෙ? හදිස්සි වෙලා කොහෙද ඔය යන්න ලෑස්ති වෙන්නෙ? ඔයා ගෙස් කරන්නෙ බ්ලැක් මොලී එයි කියල වුණාට මම ගෙස් කරන්නෙ බ්ලැක් මොලී කියන්නෙ ඔයාගෙ හිතේ ඇඳිච්ච මායාවක් කියලයි.. එහෙම කෙනෙක් හෙට එළිවෙනකන්වත් මෙතනට එයි කියල මම හිතන්නෑ.. ඉතින් එහෙම එකේ.. ඇයි අපි දෙන්නගෙ අනුමාන දෙකෙන් හරියන්නෙ කෝකද කියල ඔප්පු වෙන්න ඉඩ අරින්නැත්තේ..? අනික ඔයා පොරොන්දු වුණා.. බ්ලැක් මොලී ආවෙ නැතොත් විධිමත්ව බෙහෙත් ටිකක් ගන්න මාත්තෙක්ක එනව කියල.. ඔයාට මතක නැද්ද? මට කියන්න කොහෙද ඔයා මේ ඉර එළිය වැටෙන්න කලින් පිටත් වෙන්න හදන්නෙ? ``

සුලෝචනා එසේ ඇසුවේ නැත. එහෙත් සලිත් ඊට පිළිතුරු දුන්නේය.

``මම දන්නව.. මම දන්නව ඔයා හිතන දේවල්.. මම ලිව්ව කිව්ව හැමදෙයක්ම ඔයාට මතකයි වගේ, ඔයා හිතන දේවල්.. මේ දැන් හිතන දේවල්.. ඔයා ඊළඟට හිතන දේවල්.. ඊටත් පස්සෙ හිතන දේවල්.. ඊටත් පස්සෙ ඊටත් පස්සේ.. ඊටත් පස්සෙ හිතන දේවල්.. කොටින් ම මාව සනසවන්න කියල හිතාගෙන, මගේ කලබල හිත රිදෙයි කියල හිතාගෙන, ඔයා මට කියන පුංචි පුංචි අහිංසක සම්‍යක් බොරු පවා මම දන්නව රත්තරන්.. ඒ විතරක් නෙමෙයි.. තමන්ගෙ පෙම්වතාටවත් නොකියන කෙල්ලෙක්ගෙ හිතේ ඉපදෙන රහස් ලාලසාවන්.. ඒවා ඔයාටත් තියෙන බව.. ඔව්.. මම දන්නව.. ඒ ඔක්කොම මම දන්නවා.. මම ඔයාව මගේ හිත ඇතුළෙ සතපවල තියෙන්නෙ මැණික.. ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරිකම මිස ඔබෙ සිහින ලොවේ..ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුළ ඉඩ නැතුව නොවේ.. අම්මෝ ඒ කාලෙ ක්ලාස් රූම් හෙල්ලෙන්න අපි සිංදු කිව්වෙ.. මිල්ටන් මල්ලවාරච්චි මතු බුදුවෙන්න ඕන.. අපටත් කියන්න පුළුවන් රේන්ජ් එකේ සින්දු ටිකක් දීල ගියාට.. මම වැඩියෙන්ම ආස සැණකෙළිය එකේ රැයක් උපද්දා සිංදුවට.. ගාමිණී මාලනී විජේ ඉන්නේ.. ඔයා දන්නවද? ගාමිණියි විජේයි ඇත්තටම ගහගත්තලු ෆයිට් එකක් ෂූට් කරනකොට.. ගාමිණී විජේට තොල පුපුරන්න ගහල.. එදා මාලනී ගාමිණී එක්ක තරහ වෙලා.. විජේ මාලනී ලව් එක තියෙන කාලෙ.. ඒවත් මාරයි නේද මැණික.. ප්‍රසිද්ධ ප්‍රේම වෘත්තාන්ත ගැන අදටත් කතාකරනව මාර මිහිරියාවකින්.. අප්‍රසිද්ධ ඒවා ගර්හාවට ලක්වෙනව.. මොනිකයි බ්‍රිටෝයි අපි යනවෝ කියල දුවගෙන ගිහිං ලෝකාන්තයෙන් පැන්න නිසා සදාතනික පෙම්වතුන්.. ජීවත්වෙලා හිටියනං වේසියො වේසාවො කියල මරං කන්න හදයි..

හරි හරි මං දන්නව.. මං දන්නව.. ඔයා හිතන්නෙ ඇයි මම යන්න හදන්නෙ කියලනේ.. මගේ ගෙස් එක හරියන්න නියමිතයි නං මම උන් එක්ක ෆයිට් කරන්නෙ මේ කාමරෙන් එළියේ.. මොනම හේතුවක් නිසාවත් ඔයාට අනතුරක් වෙන්න දෙන්න බැහැ.. ෆයිට් කරන්න මං ළඟ ආයුධ නෑ.. අතින් පයින් තමයි.. බලමු.. අපි ඉපදෙන්න කලින් මැරිච්ච ඒත් තාමත් ජීවත් වෙන මිනිහෙක් කිව්ව Knowing is not enough, we must apply.. Willing is not enough, we must do කියල.. එයා ලස්සන කොල්ලෙක්.. ෆිල්ම්ස් කීයෙද රඟපෑවේ.. ඒත් බෘෘස් ලී කියන නම කිව්වත් කැඩපත් කැඩෙනව සට සට ගාලා.. ඉතින් අපි ට්‍රයි කරමු.. ඇප්ලයි කරල බලමු.. ඉස්කෝලෙ යන කාලෙ කරපු පොඩි පොඩි වැඩවලින් එකක් දෙකක් ඇප්ලයි කරල බලමු.. ඒ මගේ ගෙස් එක හරි ගියොත්නෙ.. ඔයාගෙ ගෙස් එක හරි ගියොත්.. ඊයෙ උදේ මම මේ කාමරේට ආව වෙලාවටම මම අද උදේට එනව.. දොළහ පහුවෙලා දැන් ගොඩක් වෙලානෙ.. ඔව්.. හෙට නෙමෙයි අද උදේ.. එතකොට අපිට පුළුවන් බෙහෙත් ගන්න යන්න.. හැබැයි බැරිවෙලාවත්.. උන් ඇවිත් මට උන්ව පරද්දන්න පුළුවන් වුණොත් අපි එක මොහොතක්වත් මේ කාමරේ ඉන්නෑ.. අපි යං කොහෙහරි යං.. ඔයා බයවෙන්නෙපා.. අපි කෙළින්ම යමු මීගමුවට.. මීගමු වැල්ලට ගියා කියන්නෙ ලෝක සිතියමේ ඕනම තැනකට ගියා වගේ තමා.. ලෝකෙ ඕන වරායකට මීගමු වැල්ලෙන් ඕපන් වීසා..

ඉතින් මං මොකද්ද කියාගෙන ආව සින්දුව.. රැයක් උපද්දා.. හිරු ඈත්ව යන්නා.. අලුත් හැඟුම් දී හෙට ආයෙත් නැඟෙන්නා.. එදා..සෝමෙ අයිය ගිය වෙලාවෙ ඉඳන්.. මම මුළු දවසෙම කල්පනා කර කර හිටිය.. රැයක් උපද්දා හිරු ඈත්ව යනකොට මට කන්ඩ බොන්ඩත් අමතක වුණා.. එදා මුළු රෑම මම ඇහැරිලා හිටියෙ.. මට නින්ද ගියේ නෑ.. පාන්දර වෙනකොට මට ගිනිකබල වගේ උණ ගත්ත.. ගිනිකබල වගේ.. ඒක අපේ ආච්චිගෙන් ඉගෙනගත්ත වචනයක්.. පුංචි කාලෙ උණ ගැනුනම ආච්චි අපි ළඟට ඇවිත් කියනව සෙබස්තියන් උන්නාන්සෙගෙ පිහිටෙන් අතුරු ආන්තරාවක් වෙන්නෙ නෑ කියල.. ඉතින් සෙබස්තියන් උන්නාන්සෙට පුළුවන්නෙ කොප්පරා හන්දියෙ ඩිස්පැන්සරියක් දාගන්න කියල මං පොඩිකාලෙ දවසක් ඇහුව.. අපේ තාත්ත මගේ කන මිරිකුවා.. ඉතින් එදා.. සෝමෙ අයිය ගිය දවසෙ රෑ සැරින් සැරේ නැඟිටල මම වමනෙ දැම්ම.. සෝමෙ අයිය කියල ගිය වචන මගේ වටේ කැරකෙන්න පටන් ගත්ත.. මාව ගැහෙන්න පටන් ගත්ත.. මට මගේ පපුව කඩාගෙන මැරෙන්න ඕන වුණා.. ඒත් මට ඒකට ගට තිබ්බෙ නෑ...

සුලෝචනා.. සු.. ඇයි ඔයා කතා නැත්තෙ? මම මෙච්චර දේවල් කියනකොට ඇයි ඔයා එක වචනයක්වත් නොකියන්නෙ? හරියට අර විද්‍යා ප්‍රබන්ධවල ඉන්න රොබෝ කෙල්ලො ෂට් ඩවුන් වෙන්න කලින් සයිලන්ට් වෙනව වගේ.. ඔයා ඇයි එක පාරට කතාව නැවැත්තුවේ.. ප්ලීස් මගෙ පණ.. ඇයි ඔයා කතා නැත්තෙ? තව ටිකකින් බ්ලැක් මොලී එනව.. ඔයා මොනවද කල්පනා කරන්නෙ සු.. මට හිතාගන්න බෑ.. මට තේරෙන්නේ නෑ.. ඔව්.. ඔන්න මට ඔයාව තේරුම් ගන්න බැරුව යාගෙන එනව.. ඔන්න මට ඔයාව රීඩ් කරන්න බැරුව යාගෙන එනව.. ඔයාගේ සිතිවිලිවල දශමයක් දශමයක් ගානෙ කරක් ගහන මට..කොහොමද එහෙම වුණේ? මේ එකපාරටම කොහොමද එහෙම වුණේ? ඇයි මං දිහා ඔය විදිහට අවතාරයක් වගේ බලාගෙන ඉන්නෙ..? ``

 

(මතු සම්බන්ධයි)

 

මාතෘකා