එදා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අද ජීවිත

 ඡායාරූපය:

එදා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අද ජීවිත

එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබදව උතුරෙන් යළිත් විවිධ කතා ඇසෙන්නට පටන්ගෙන තිබේ. මේ අතරින් කියවෙන ප්‍රධානතම කාරණය වන්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පිළිබඳවයි.

එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් යුද්ධ කළේ යුද හමුදාව සමඟ වුවත් මේ පිරිස පුනරුත්ථාපනය කිරීමේ මූලික වගකීම හා ඔවුන්ගේ ආරක්ෂාව බාර ගන්නා ලද්දේද යුද හමුදාව විසිනි. මේ පිරිස මේ වන විට පුනරුත්ථාපනය වී වසර හතක පමණ කාලයක් ගත වී ඇති අතර මේ රටේ විවිධ පළාත්වල පිහිටුවන ලද පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී මොවුන් කිසියම් වෘත්තීය පුහුණුවක් ලැබ තිබේ. මේ අන්දමට පුනරුත්ථාපනය වී සිටින

එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව දොළොස් දහස් අටසිය හැත්තෑ හතරක් වුවත් තවමත් වරින් වර පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී පුනරුත්ථාපනය වන සාමාජිකයන් එක්කෙනා දෙදෙනා බැඟින් දැකිය හැකිය.

මේ වන විට ප්‍රශ්නය වී ඇත්තේ මොවුන් පුනරුත්ථාපනය වීම පිළිබඳව නොව, පුනරුත්ථාපනය වීමෙන් පසුව ඔවුන් විසින් කරනු ලබන රැකියා පිළිබඳවයි. සමහරු රාජ්‍ය අංශයේ රැකියාද තවත් සමහරු පෞද්ගලික අංශයේ රැකියාද කරන අතරතුර බොහෝ දෙනකු නිරතව සිටින්නේ ස්ව‍යං රැකියාවලයි. මේ අන්දමට බොහෝ දෙනකු රැකියාවල නිරත වුවද කිසිම රැකියාවක් නොමැතිකම නිසා ජීවත් වීමට නොහැකිව අසරණ වී සිටින පිරිසක්ද වෙති.

මේ පිරිසගෙන් ඉතාම අසරණ වී සිටින්නේ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට අත පය සහ ඇස් අහිමිව ආබාධිත වී සිටින පිරිසයි. මෙවැනි අය උතුරු පළාතේ පමණක් 1,200ක් පමණ සිටින බව ප්‍රකාශ කළේ පසුගියදා ඔවුන්ට සහන ඉල්ලමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා හමුවීමට පැමිණි පිරිස අතර සිටි.කේ. නගුලේන්ද්‍රන් නමැත්තායි.

“මේ ඉන්න 1,200ක් වගේ පිරිසට කිසිම රස්සාවක් නෑ. වෘත්තීය වශයෙන් විවිධ පුහුණු පාඨමාලා හැදෑරුවා. ඇවිදින්න අමාරු නිසා එක තැන ඉඳන් කරන්න පුළුවන් දේවල් තමයි පුරුදු වුණේ ඒත් ඒවට ලැබෙන රැකියාවල් සහ ගනුදෙනුකරුවන් අඩුයි. ගොඩක් අය අපි එල්.ටී.ටී.ඊ. කියලා අපිට රස්සා දෙන්නේ නැහැ. තවත් අය අපි ආබාධිතයි කියලා සමාජයෙන් කොන් කරනවා. අවසානේ අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ.”

මේ දිනවල තමන්ට ජීවත් වීමට ක්‍රමයක් සලසා දෙන ලෙස ඉල්ලමින් ඔවුහු බොහෝ තැන්වල ඇවිදිමින් සිටිති.

මේ අතරවාරයේ පුනරුත්ථාපනය වූ පිරිසෙන් විශාල පිරිසක් රාජ්‍ය සේවයට එක් වී සිටිති. වැඩි දෙනකු එකතු වී සිටින්නේ ආරක්ෂක අංශවල රැකියා සඳහාය. යුද හමුදාවට සහ සිවිල් ආරක්ෂක බළකායට එකතු වූ පිරිස තුන්දහසක් පමණ වෙති. පොලිසියට එක්ව සීමිත පිරිසක් සිටින අතර ගුරු වෘත්තියේද රාජ්‍ය කළමනාකරණ සේවයේද නිරත පිරිස් වෙති. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බැහැර වූ පසුව පුනරුත්ථාපන කඳවුරුවලදී අධ්‍යාපනය හදාරා උපාධි සහතිකය හිමිකර ගත් පිරිසක්ද මේ අතර වෙති.

මුලතිව් ධර්මපුරම් විද්‍යාලයේ දෙමළ විෂය උගන්වන එස්. ගෞරී එවැනි අයෙකි. ඇය විවාහ වී සිටින්නේද

එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු නොවූ උපාධිධාරී ගුරුවරයකු සමඟය.

“අපි උසස් පෙළ විභාගය ලිව්වෙත් හමුදාව එක්ක ඇවිල්ලයි. කොහොම හරි හමුදාවේ අය අපට කොළඹින්, යාපනයෙන් ගුරුවරු ගෙනැත් අමතර පන්ති කළා. රෑ දවල් දෙකේ මහන්සි වුණා. අපිත් එක්ක හිටිය තුන් දෙනාටම විභාගේ හොඳට පාස් වෙන්න පුළුවන් වුණා. එහෙම වෙනත් කඳවුරුවලත් අය හිටියා. උපාධිය දක්වා ඉගෙනගෙන මේ ගුරු පත්වීම ලබා ගන්න පුළුවන් වුණා. දැන් සතුටෙන් ඉන්නවා.” යැයි ඇය පැවසුවාය.

වසර ගණනාවක්ම යුද්ධය සමඟ

පොරබැදීම නිසා මේ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ කාලය ඉතා සීමිත වී තිබේ. ඔවුන් පවසන අන්දමට එල්.ටී.ටී.ඊ. සංවිධානය අවස්ථා කිහිපයක්ම උතුරේ පාසල්වලට පැන පාසල් සිසුන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එම සංවිධානයට බඳවාගෙන තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ට යුද පුහුණුව ලබාදී සොල්දාදුවන් බවට පත් කිරීමෙන් පසුව ඔවුන්ට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් නොවීය.

රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ කුමන හෝ වෘත්තීය පුහුණුවක් මේ පිරිසට ලබා දිය යුතු වුවත් ඔවුන් වර්ග කිරීමේදී යුද හමුදාවට ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම විශාල ප්‍රශ්නයක් විය. මේ නිසා බොහෝ පිරිමි අභ්‍යාසලාභීන්ට පෙදරේරු ශිල්පය, වඩු කර්මාන්තය, ගෘහස්ථ විදුලි රැහැන් ඇදීම වැනි පුහුණු පාඨමාලා පැවැත්වීමට සිදු වූ බව යුද හමුදාවේ පුනරුත්ථාපන නිලධාරීහු කියා සිටියහ. කාන්තා අභ්‍යාසලාභීන්ට මැහුම් පාඨමාලා, ඉටි මල් සැකසීම, රූපලාවණ්‍ය පාඨමාලා ආහාර හා රසකැවිලි නිෂ්පාදනය හුරු කිරීමටත් ඒ පිළිබඳව සහතිකයක් ලබා දීමටත් පුහුණු කටයුතු බාර යුද හමුදාවේ පුනරුත්ථාපන නිලධාරීන්ට සිදු විය.

“ඒ කාලේ අපි කොළඹ ඇඟලුම් කම්හල්වල පාලන අධිකාරියට තොරතුරු දන්වලා විශාල පිරිසක් ඒ ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු කළා. ඒ වගේම විවිධ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල උදවිය ස්වකැමැත්තෙන්ම මේ අයව පුහුණු කරන්න බාර ගත්තා. කළුතර නන්ද ස්වාමීන් වහන්සේ වගේ අය, මේ අයව අරගෙන ගිහින් විවිධ පුහුණු පාඨමාලාවලට යොමු කළේ ඒ දවස්වල රටේ ජාතික අවශ්‍යතාවකට ඔවුන් දායක විය යුතුයි කියන හැඟීමෙනුයි.

මේ නිසා රජයට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු වුණා. ඒ වගේම සමහර අයට ඔවුන්ට ජීවිතේටවත් හිතන්න බැරි විවිධ පුහුණු පාඨමාලාවලට යොමු වෙලා ඔවුන්ගෙන් කිහිපදෙනකුටම විදේශ රටවල රැකියාවලට යන්නත් අවස්ථාව හිමි වුණා.”

මේ රැකියාවන් නොමැති පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් කිහිපදෙනකුම විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට හවුල්කරුවන් වූ අවස්ථාද දක්නට ලැබෙයි. යාපනයේ ක්‍රියාත්මක වූ සහ තවමත් ක්‍රියාත්මක ‘ආවා කල්ලියට’ සම්බන්ධ වී කඩුවලින් මිනිසුන් කපා ඔවුන්ව බිය වද්දා කප්පම් ලබාගත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෑතකදී හමු විය. ඔවුන්ගෙන් විශාල පිරිසක් මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර යාපනය අධිකරණයේ ඔවුන්ට එරෙහිව නඩුද විභාග වෙමින් පවතී.

ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ හොඳම වෘත්තිය බවට පත්ව තිබෙන දේශපාලනයට පිවිසීමටද මේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සූදානම්ය. ඔවුන් මුලදී ස්වාධීන කණ්ඩායම් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවත් ජනතාවගෙන් ඔවුන්ට සහයක් නොලැබුණි. මේ නිසාම ඔවුන් දැන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය (CRUSADERS FOR DEMOCRACY PARTY) වශයෙන් පක්ෂයක් නිර්මාණය කරගෙන එය ස්ථාපිත කර ගනිමින් සිටියි. මේ පක්ෂය උතුරු - නැඟෙනහිර දෙපළාතේම ක්‍රියාත්මක බැවින් ඉදිරියේදී රැකියාව වශයෙන් දේශපාලනය කරන පිරිස්ද පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතරින් දැක ගත හැකිය'

විවිධ හේතු මත පුනරුත්ථාපනය වූ පිරිසට සමාජයට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවක් ඒ දෙස වුවමනාවෙන් බලන විට පෙනී යයි. පුනරුත්ථාපනය වූ කාල වකවානුවේදී විවිධ අංශවලින් දස්කම් දැක්වූ පිරිස් සිටි අයුරු අපට මතකය. ගායකයන් නර්තන ශිල්පීන් මෙන්ම විවිධ සංගීත භාණ්ඩ වාදනය කළ හැකි දක්ෂයෝද ඔවුන් අතර වූහ.

එපමණක් නොව, ‘සාමයේ මිතුරෝ’ (Friends of the peace) නමින් ප්‍රචලිත සංගීත කණ්ඩායමක් එවකට සේනපුර පුනරුත්ථාපන කඳවුර බාර කර්නල් ජයතිලක මහතා විසින් නිර්මාණය කරනු ලැබ තිබුණි. තවත් එවැනි සංගීත කණ්ඩායම්, නර්තන කණ්ඩායම් හා සංස්කෘතික කණ්ඩායම් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන්ගෙන් නිර්මාණය වී තිබුණද අද ඒ කිසිවකු සමාජය තුළ දක්නට නොමැත.

විවිධ නම්වලින් හඳුන්වන ලද සංගීත කණ්ඩායම් වූ අතර ජනප්‍රිය සිනමා නිළි අනෝජා වීරසිංහ මහත්මිය විසින් සකසා තිබූ ‘අභින’ නමැති සංස්කෘතික කණ්ඩායම තුළ බහුවිධ දක්ෂතාවන් තිබූ පිරිස් එදා සිටියහ. මේ කණ්ඩායම් අතර සිටි එස්.ගෝකුලන් නමැත්තා පමණක් යම් දුරකට සාර්ථක විය. ඊට හේතුව වූයේ ඔහුගේ පවුල හා පවුල් පසුබිම සාම්ප්‍රදායික හා ගතානුගතික සමාජයෙන් මිදී තිබීමයි.

අප මේ කියන්නට යන ගෝකුලන් නමැති තරුණයා එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වශයෙන් සිට අවසානයේදී ආරක්ෂක අංශවලට බාර වූ අයෙකි. ඔහුගේ පියා ශාන්තන් මාස්ටර්ය. ශාන්තන් මාස්ටර් මුලින්ම කෝවිල්වල භක්ති ගීත ගායනා කළ පුද්ගලයෙකි. දෙමළ ජන සමාජය තුළ ඔහුව සිංහල බොදු සමාජය තුළ මොහිදින් බෙග් තරමට ජනප්‍රිය වූ පුද්ගලයෙකි. පුංචි ගෝකුලන්ද සිය පියා සමඟ උතුරේ විවිධ කෝවිල්වලට ගොස් සිය පියා භක්ති ගීත කියන විට පන්තේරුව වයන අයකු විය. අවසානයේදී ප්‍රභාකරන් මේ ශාන්තන් මාස්ටර්ව ඔහුගේ ග්‍රාහණයට නතුකර ගත්තේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය උදාන ගී මෙන්ම ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කෙරෙන ගීත ගායනා කළේ මේ ශාන්තන් මාස්ටර්ය. අවසානයේදී එල්.ටී.ටී.ඊ. සංස්කෘතික කණ්ඩායම බාර වූයේද ඔහුටය. ඔහුගේ පුත් ගෝකුලන්ටද ඉතා හොඳින් ගීත ගායනා කළ හැකිය. මොහුගේ මේ හැකියාවන් නිසාම ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය සමඟ ‘සෙල්වම්’ නමැති චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව හිමි විය. එම චිත්‍රපටයද ජනප්‍රිය වුවත් කාලයත් සමඟම ගෝකුලන් පිළිබඳව වූ මතකයද මේ වන විට මැකී ගොස් තිබේ.

වවුනියාව, පූංතෝට්ටම් ප්‍රදේශයේ පිහිටි

එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව පුහුණු කරනු ලබන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන නිලධාරී කර්නල් බී.බී.එච්. ප්‍රනාන්දු මහතා පසුගිය දිනක පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් කිහිපදෙනකුද සමඟ වවුනියාව දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටියේය. ප්‍රධාන නිමිත්ත වූයේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පිරිසකට එළුවන් බෙදා දීම සඳහාය. ඒ ස්වයං රැකියාවක් වශයෙන් එළුවන් ඇති කිරීම සඳහාය.

මෙපමණක් නොව එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඕමන්ත ප්‍රධාන මුරපොළේ බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ පුද්ගලයා පුනරුත්ථාපනය වීමෙන් පසුව සිය වෘත්තිය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඔහු පුනරුත්ථාපනය වන කාලයේදී විවිධ කේෂ්ත්‍රවල පාඨමාලාවන් හදාරා ඇතත් ඔහු ගිනි අව්වේ කුඹුරු කොටයි. ඔහු කුඹුරු ගොවිතැන පිළිබඳව කතා කරන්නේ දැඩි සතුටකින් යුතුවය.

අප මේ කතා කළ පුද්ගලයාගේ නම නිත්‍යානන්දන්ය. ඔහුව හඳුන්වන්නේ නිත්ති යනුවෙනි. එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලෙස සිට පුනරුත්ථාපනය වූ නිත්තිගේ ඉරණම ගෝකුලන්ගේ ඉරණම මෙන් සොඳුරු නොවූවත් ඔහු ඉතා සතුටෙන් යුතුව ජීවත් වෙයි.

මේ චරිත හැරුණු විට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිස අතරින් තවත් විවිධ රැකියා තෝරා ගත් ලෝකප්‍රසිද්ධ චරිත කිහිපයක්ද වෙති. පිළිකා රෝගය වැලඳී මියගිය තමිලිනී ග්‍රන්ථකරණ තෝරා ගෙන තිබුණි.

එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ වේලායුදම් දයානිධි හෙවත් දයා මාස්ටර් යාපනයේ සිට ප්‍රතිවිකාශය වන ජාත්‍යන්තර රූපවාහිනී මධ්‍යස්ථානයක දේශීය ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරකවරයාය.

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පවත්වා ගෙන යන ලද රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත්වල සේවය කළ පිරිස පුනරුත්ථාපනය වීමෙන් පසුවද මාධ්‍ය අංශවල රැකියාව කරගෙන යයි.

මේ රටේ යුද්ධය පවත්වාගෙන යෑමට එදා තුවක්කු කර ගැසූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ අද ජීවන වෘත්තීන් විවිධාකාරය. විචිත්‍රය

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා