නිදහසේ හුස්ම ගන්නට ඉඩ දෙන්න

 ඡායාරූපය:

නිදහසේ හුස්ම ගන්නට ඉඩ දෙන්න

සමාජයක් වශයෙන් අප නොදැනුවත්ව හෝ නොසැලකිල්ල නිසා අප අතින් පරිසරයට හානිකර බොහෝ දෑ සිදු වේ. අප තනිවම වාහනයක රාජකාරියට යාමම අප කරන පරිසර හානියකි. දිනකට කොළඹ නගරයට පමණක් වාහන ලක්‍ෂ පහක් පමණ ඇතුළු වන අතර එයින් සෑහෙන ප්‍රතිශතයක් තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු රැගෙන ඇතුළු වන වාහන වේ. එසේම යතුරුපැදිද සෑහෙන ප්‍රමාණයක් ඇතුළු වන අතර මේ සියලුම වාහන පරිසරයට දුම සහ ක්‍ෂුද්‍ර අංශූන් නිරන්තරයෙන් එක් කරයි. නිරතුරු ඇති වන මාර්ග තදබදය නිසා කොළඹ නගරයේ වාහන ධාවන වේගය පැයට කිලෝමීටර 8ක් දක්වා පහළ යාම හේතුවෙන් මේ වාහන බොහොමයක් අධික ලෙස දුම සහ ක්‍ෂුද්‍ර අංශූන් පරිසරයට මුදාහරී.

 

ඔබ බෙහෙවින්ම කාර්යබහුලය. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරුම ඔබ නිරන්තර අරගලයක යෙදේ. ඔබට ජීවන අරගලය කෙතරම් දැනේද කියතොත් ඔබට ඔබ ගැනවත් බැලීමට වෙලාවක් නැත. දේශපාලනිකවද සමාජයීයවද ආර්ථිකමයවද ඔබට නිනව්වක් නැත. ඒ සියලු තැන් එකසේ කලබලකාරීය. ඔබගේ ආහාර වේල කෙතරම් පිරිසුදු දැයි ඔබට හැඟීමක් නැත. ඔබ පානය කරන ජලය කෙතරම් පිරිසුදු දැයි ඔබට දැනුමක් නැත. ඒ සියල්ල පිරිසිදුව ඇති බවට ඔබ විශ්වාස කරයි. මේ සියල්ල ඔබ තරමක් හෝ සවිඥානිකව සිදු කරන නිසා එක් අතකින් ඔබට ඔබ ආහාරයට ගන්නා විවිධ ආහාර, ඔබ පානය කරන ජලය අවශ්‍ය පරිදි තෝරා බේරාගෙන පරිභෝජනය කර ගත හැකිය. නමුත් ඔබ ආඝ්‍රාණය කරන වාතය? එහි පිරිසිදු අපිරිසුදුභාවය තෝරා බේරාගෙන ආඝ්‍රාණය කළ හැක්කේ කෙසේද?

ලොව පුරා ඊයේ (ජුනි 05 වන දින) සැමරූ ජගත් පරිසර දිනයේ තේමාව වූයේ ‘වායු දූෂණය පරාජය කරමු’ (Beat Air Pollution) යන්නයි. ලොව පුරා මිලියන හතකට අධික පිරිසක් මිනිසුන් අකාලයේ වායු දූෂණයේ ඍජු ආචරණ නිසා මිය යති. එයිනුත් මිලියන හතරක් පමණ ආසියා - පැසිෆික් කලාපයේ ජනතාව වීමම එහි බරපතළ බව කියාපායි. ලෝකයේ ශීඝ්‍රවම දියුණු වන කලාපය ලෙසින් අධික කාර්මීකරණය, ඉහළ ජනගහන ගණත්වය, නිසි ලෙස නියාමනය නොවූ ප්‍රවාහන ක්ෂේත්‍රයන්, කර්මාන්ත සහ ප්‍රවාහනය පරිපාලනයට අවශ්‍ය නීති නිසි ලෙස සම්පාදනය නොවීම, නොදැනුවත්කම සහ නොසැලකිල්ල ආදී සියලු කාරණා නිසා ආසියා - පැසිෆික් කලාපයේ රටවල වායු දූෂණය ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම චීනයේ සහ ඉන්දියාවේ අධික ජනගහන ගණත්වයට සමගාමීව සිදු වන නාගරීකරණය නිසා මේ වසරේ මුල භාගයේ බෙයිජිං නුවර සහ මුම්බායි නුවරවල වායු තත්ත්වයන්ගේ අහිතකර බව හැඟවෙන නිරන්තර සිදු වන අනතුරු ඇඟවීම් ආදිය ඔබට මතක ඇති.

ඒ නිසාම ක්‍රිකට් තරගයක් පවා නතර කිරීමට සිදු වූවා. ඒ නිසාම මෙවර ජගත් පරිසර දිනයේ ප්‍රධානතම අභිප්‍රාය වන්නේ ලොව පුරා රටවලට, කර්මාන්තවලට, මිනිසුන්ට සහ සෑම දෙනාටම පරිසරය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය වන, පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්ති ප්‍රබව සහ හරිත තාක්‍ෂණය භාවිතා කිරීමට බල කිරීම, වායුගෝලීය තත්ත්වයන්ගේ වැඩිදියුණුවක් ඇති කිරීම ආදී දීර්ඝකාලීන පාරිසරික යහපැවැතුම් වර්ධනය කිරීමයි. වායු දූෂණය නිසා ඍජුවම මියයන ප්‍රමාණය ලෝක ජනගහනය හා සසඳන කළ අඩු ප්‍රතිශතයක් වුවත් ලෝක ජනගහනයෙන් සියයට 92ක් ප්‍රශස්ත ලෙස පිරිසුදු යැයි ගණන් ගැනෙන වාතය ආඝ්‍රාණය කරන අය නොවෙති.

මේ නිසාම ලෝක ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන පහක පිරිවැයක් වායු දූෂණය නිසා රෝගී වන අයගේ සහ වැළැක්වීමේ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කෙරේ. එය බොහෝ රටවල දළ ජාතික නිෂ්පාදනයට වඩා බෙහෙවින්ම වැඩි අගයකි. එසේම මේ නිසාම සතුන්ට සිදුවන බලපෑමට අමතරව කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බලපෑමක් ඇති කරයි. වසර 2030 වන විට බිම් මට්ටමේ වායු දූෂණය නිසා ලෝකයේ භෝග අස්වැන්න 26%කින් අඩු විය හැකි බව ගණන් බලා ඇත.

1886දී කාල් බෙන්ස් ලොව පළමු මෝටර් රථය නිපදවූ දා සිට ලොව ධාවනයේ පවතින මෝටර් රථ සංඛ්‍යාව ගණන් බැලූ විට එය 2016 වසර වන විට බිලියනයකුත් මිලියන 400ක් ඉක්මවූ බව වාර්තා වී තිබේ. ලංකාවේ 2016 වන විට වාහන මිලියන 6.6ක් වාර්තා වී ඇති අතර ඉන් මිලියන 3.5ක්ම යතුරුපැදි වීම විශේෂත්වයකි. මේ වාහන සියල්ලෙන්ම සහ අතරින් පතර ඇති විවිධාකාර කර්මාන්ත ශාලාවලින් නිකුත් වන දුමාරයෙන් සහ ඒ දුමාරයන්හි ඇති ක්‍ෂුද්‍ර අංශුවලින් දූෂණය වන අපේ වාතය මිලියන 21ක් වූ අප විසින්ම ආඝ්‍රාණය කරනු ලබයි. ලංකාවේ සිදු වන වායු දූෂණයෙන් සියයට 61ක්ම දායකත්වය දරන්නේ වාහන මඟින් පිටවන දුම සහ දූවිලි අංශු වේ. ශ්‍රී ලංකාව සමුද්‍රයෙන් වට වූ දූපතක් නිසාත් නිරන්තරයෙන්ම හමන සුළඟින් වායුගෝලය පුනර්ජීවයක් ලබන නිසාත් සමුද්‍රාසන්න නගරවල වූ වාතය යම් තරමක පිරිසුදු බවක් ඉසිලුවත් දැන් දැන් කොළඹ නගරයේ නිසි වායු පරිවහනයකට ඉඩ සලසා නැති ලෙස ඉදි වී ඇති සුවිසල් තට්ටු ගොඩනැගිලි නිසා කොළඹ නගරයේද වායු දූෂණය ඉහළ ගොස් ඇත.

සාමාන්‍යයෙන් නගරයක හෝ ප්‍රදේශයක වායුගෝලීය තත්ත්වය නිර්ණය කරන්නේ Air Quality Index - AQI නම් මිම්මකිනි. එහිදී වායුගෝලයේ වූ කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඕසෝන්, ඊයම් අංශු, සහ PM2.5, PM10.0යන ප්‍රමාණවලින් හැඳින්වෙන කුඩා අංශුවල වූ දෛනික, මාසික සහ වාර්ෂික ප්‍රමාණයන් ගණන් බැලීමෙන් AQI නිර්ණය කරයි. මෙහිදී PM2.5 ලෙස හැඳින්වෙන ඉතා කුඩා අංශූන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා ජනතාවට දැඩි ශ්වසන අපහසුතා ඇතිවන්නට පුළුවනි. මේවා ශ්වසන මාර්ගය ඔස්සේ පෙණහලුවලට ඇතුළු වී, තැන්පත් වී විශේෂයෙන්ම මහලු අයට සහ කුඩා ළමුන්ට ඇදුම සහ හුස්ම ගැනීමට දීර්ඝකාලීන බලපෑම් ඇති කිරීමට මේ අංශූ සමත් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධාන තත්ත්වවලට අනුව කිසියම් ප්‍රදේශයක වාතය පැය විසි හතරක් තුළ ගණනය කිරීමකදී ඝන මීටරයක් තුළ මයික්‍රෝ මීටර 2.5ට වඩා කුඩා (PM 2.5) අංශූන් මයික්‍රෝ ග්‍රෑම් 25කට වඩා හෝ වාර්ෂික ගණනය කිරීමකදී ඝන මීටරයක් තුළ මයික්‍රෝ මීටර 2.5ට වඩා කුඩා අංශූන් මයික්‍රෝ ග්‍රෑම් 10කට වඩා වැඩි නම් මෙන්ම (PM 10) ඝන මීටරයක් තුළ මයික්‍රෝ මීටර 10.0ට වඩා කුඩා අංශූන් මයික්‍රෝ ග්‍රෑම් 50කට වඩා හෝ වාර්ෂික ගණනය කිරීමකදී ඝන මීටරයක් තුළ මයික්‍රෝ මීටර 10.0ට වඩා කුඩා අංශූන් මයික්‍රෝ ග්‍රෑම් 20කට වඩා වැඩි නම් සහ ඒ ප්‍රදේශයේ වායු තත්ත්වය අහිතකර බව නිර්ණය කර තිබේ. ශ්‍රී ලංකාවේ මෙම වාතයේ තත්ත්වය නිර්ණය කිරීමට කොළඹ කොටුව දුම්රියපොළ අසල මාපක සකසා තිබූ නමුත් එය දැන් අක්‍රීයව පවතී. කෙසේ වුවත් දැනට ලංකාවේ වාතයේ තත්ත්වය නිර්ණය කරනු ලබන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සකසා ඇති මාපකයන් මඟිනි. ඒ අනුව කොළඹ නගරයේ AQI අගය සමහර අවස්ථාවල 150ටත් වඩා ඉහළ යන බව ගණන් බලා තිබේ. මෙය සාමාන්‍යයෙන් 50 - 100 අතර අගයක පැවතිය යුතුය. කෙසේ නමුත් වර්ෂා දිනවල සහ අධිකව සුළං හමන දිනවල මේ අගය සැලකිය යුතු මට්ටමක පහළ අගයක පවතී. උදාහරණයක් ලෙස ජුනි 05 වන දින එම අගය වූයේ 53කි. මෙම අගය https://aqicn.org/map/srilanka/වෙබ් අඩවිය ඔස්සේ සජීවීව බලාගත හැකිය. කෙසේ වුවත් කොළඹ නගරයේ වායු තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් මහනුවර නගරයේ දක්නට ලැබේ. මහනුවර භූගෝලීය වශයෙන් උස් තැනක පිහිටා තිබීම සහ නගරය කඳු වළල්ලකින් වට වී බේසමක පතුලේ ඇති ස්වභාවයක් ගැනීම නිසා නගරයට දෛනිකව ඇතුළු වන ලක්‍ෂයක පමණ වාහන සංඛ්‍යාවකින් පිට වන දුමින් අපවිත්‍රව පවතී. මේ බව හොඳින්ම දැක ගත හැක්කේ හන්තාන වැනි කන්දක සිට නගරය දෙස බැලීමෙනි. නගරයේ අහස වසාගෙන අඳුරු පැහැති වලාකුළක් උදෑසන සිටම පවතින බව හොඳින් නිරීක්‍ෂණය කරන කෙනෙකුට පෙනී යයි. ඒ වාහන දුමින් සහ අංශූන්ගෙන් පිරි මහනුවර අහසයි. මේ නිසාම මහනුවර නගරයට පැමිණෙන සහ වෙසෙන දරුවන් වැඩි වැඩියෙන් පෙනහලු ආබාධවලට ලක් වීම, ඇදුම වැනි රෝග ලක්‍ෂණ බහුල වීම නිරීක්‍ෂණය වී ඇත.

සමාජයක් වශයෙන් අප නොදැනුවත්ව හෝ නොසැලකිල්ල නිසා අප අතින් පරිසරයට හානිකර බොහෝ දෑ සිදු වේ. අප තනිවම වාහනයක රාජකාරියට යෑමම අප කරන පරිසර හානියකි. දිනකට කොළඹ නගරයට පමණක් වාහන ලක්‍ෂ පහක් පමණ ඇතුළු වන අතර මෙයින් සෑහෙන ප්‍රතිශතයක් තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු රැගෙන ඇතුළු වන වාහන වේ. එසේම යතුරුපැදිද සෑහෙන ප්‍රමාණයක් ඇතුළු වන අතර මේ සියලුම වාහන පරිසරයට දුම සහ ක්‍ෂුද්‍ර අංශූන් නිරන්තරයෙන් එක් කරයි. නිරතුරු ඇති වන මාර්ග තදබදය නිසා කොළඹ නගරයේ වාහන ධාවන වේගය පැයට කිලෝමීටර 8ක් දක්වා පහළ යාම හේතුවෙන් මේ වාහන බොහොමයක් අධික ලෙස දුම සහ ක්‍ෂුද්‍ර අංශූන් පරිසරයට මුදා හරී.

ගෘහස්ථවද වායු දූෂණයට ඇති ඉඩකඩ වැඩිය. සමහර විට අප නිවසේ සිදු කරන දුම් ඇල්ලීම්, හඳුන්කූරු දැල්වීම්, මදුරු නාශක දඟර පවා පරිසරයට එක් කරන්නේ බහු ඇරෝමැටික හයිඩ්‍රොකාබන විය හැකිය. මේ ප්‍රමාණය කුඩා වුවත් සංවෘත පරිසරය තුළ එය අපහසුතා ඇති කිරීමට පුළුවන. එසේම අප ගෘහණියන් දර ලිප දැල්වීමට ප්ලාස්ටික් බෑග්, ප්ලාස්ටික් කැබලි ආදිය පාවිච්චි කරයි. දැන් දැන් ගෑස් උදුන් පාවිච්චි කරන නිසා මෙම තත්ත්වය පහව ගොස් ඇතත් ගම්වල මේ සිදුවීම බහුලව දැකිය හැක. එසේම අප වත්තේ එකතු වන කුණු, ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනි තැබීම නිසා මෙයින් පිටවන විෂ වායූන් පරිසරයට නොදැනුවත්වම එක් වේ. ප්ලාස්ටික් ගිනි තැබීම හේතුවෙන් පරිසරයට ඩයොක්සීන් නම් අධික විෂ සහිත සංයෝගය එකතු වේ. මෙය ඍජුවම මානව නිසරුභාවයට දායක වී ඇත. මේ නිසා සංවෘත හෝ විවෘත පරිසරයක ප්ලාස්ටික් බෑග්, ජල බෝතල්, වෙනත් ප්ලාස්ටික් ඇසුරුම් සියල්ලම ගිනි තබා විනාශ කිරීම නොකළ යුතුය.

පරිසරය සහ වාතය ආරක්‍ෂා කිරීමට නම් වැඩි වැඩියෙන් විෂ වායූන් උරා ගන්නා ගස් සිටුවීම, වාහන ධාවනය අවම කර - පොදු ප්‍රවාහන සේවාවන්ට වැඩි ඉඩකඩ ලබා දීම සහ පාවිච්චිය, පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් ඈත් වීම, විදුලිය පවා අරපිරිමැස්මෙන් භාවිතය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් බලශක්තිය උපදවීම වැනි මහා පරිමාණ රජයක වගකීම ඉෂ්ඨ කළ යුතුය. ඒකක පුද්ගලයන් වශයෙන් අප නිතර නිතර ප්‍රතිචක්‍රීකරණය, ප්ලාස්ටික් සහ පොලිතීන් හැකි සෑම විටම භාවිතය ප්‍රතික්‍ෂේප කිරීම වැනි දෑ මෙන්ම අපගේ බාල පරම්පරාවේ දරුවන්ට නිසි අවබෝධය ලබා දී ඔවුන්ට සිය සිරුර ඇතුළෙන්ම පරිසරය ආරක්‍ෂා කළ යුතුය යන හැඟීම ලබා දිය යුතුමය.

එසේ නැතහොත් අපට වන්නේ හුස්ම ගන්නා වාතය පවා අහිමි කළ ඔබේම අතීතය ඔබට සුද්ද සිංහලෙන් බැණ වැදීම පමණි. ඒත් ඔබ පරක්කු වූවා වැඩි විය හැකිය. අපේ අනාගත පරම්පරාවට හුස්ම ගැනීමේ අයිතිය අහිමි නොකරමු.

ආචාර්ය [පියල් ආරියනන්ද]

මාතෘකා