උන්මත්තකයෝ

 ඡායාරූපය:

උන්මත්තකයෝ

අවමඟුලදා බණ්ඩාරනායක දේහයට අවසන් ගෞරව පුද කරන්නට ආ ජෝන් මෙහෙම කීවේය.
“මම දැනගෙන හිටියා මෙහෙම වෙන බව. මම බැඳලා දැම්ම බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මා. උන් බණ්ඩව හපා කෑවා.”
ජෝන් එහෙම කීවේ ජාතිවාදීන්ටය. ජාතිවාදී කුලප්පුවකින් ඉතිරි වන්නේ විනාශයක් විතරක් බව ජෝන් තේරුම් අරන් හිටියේය. ඒ හින්දාම ඔහු ඕනවට වඩා ජාතිවාදී වුණේ නැත.

“දෙමළකුගේ හමෙන් කරපු සෙ‍ෙරප්පු කුට්ටමක් කකුලේ දාගන්නකල් තමන්ට නින්ද යන්නේ නැහැ.” කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අන්ත ජාතිවාදී දේශපාලනඥයෙක් මේ රටේ සිටියේය. නිදහසින් පසු ලංකා දේශපාලනයේ හමුවන අමුම අමු ජාතිවාදී ප්‍රකාශය කළේ ඔහුය.

ඔහු කේ.එම්.පී. රාජරත්නය.

“ජාතිවාදියා මානසික පිස්සෙකි.” යනුවෙන් ඊ.ඩබ්ලිව්. අදිකාරම් 1950දී පමණ කළ ප්‍රකාශය ඇතැම් විට රාජරත්න දැන සිටින්නට ඇත. ඇතැම් විට නොදැන සිටින්නට ඇත. දැන සිටියා හෝ නොදැන සිටියා කියා ඵලක් නැත. පිස්සකුට ඒවායින් වැඩක් නැත.

එවක බණ්ඩාරනායක ආණ්ඩුව ‘සිංහල පමණයි’ පනත ගෙන ආ විට ඊට එරෙහිව දෙමළ සත්‍යග්‍රහයක් පැවතියේය. උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ නාගනාදන් සහ නවරත්නම්ව උස්සා බේරේ වැවට විසි කිරීමට කටයුතු කළේ රාජරත්නගේ මැරයෝය. මෙවැනි කුලප්පු සහගත උන්මත්තකයන් කොයි පැත්තේත් සිටියේය.

දෙබිඩි මත සහ 56 රැල්ල

1920 කාලයේ බණ්ඩාරනායක ස්වකීය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ ෆෙඩරල් දේශපාලන ව්‍යුහය අනුදත් පුද්ගලයකු ලෙසටය. ඔහු දේශපාලනික නායකත්වය දුන් ප්‍රගතශීලී ජාතික පක්ෂය හඬ නැඟුවේ ෆෙඩරල්වාදයයි. 1927 වසරේදී උඩරැටියන් ගෙනා ‘ඒකක තුනේ පෙඩරල් රාජ්‍ය’ ක්‍රමය ඉක්මවා යන තරමේ පෙඩරල්වාදියකු ලෙස ඔහු මුල් යුගය නියෝජනය කළේය. හැබැයි නවසිය තිස් ගණන් වන විට ඔහු ඉන් පස්සට ගියේය. 36 – 47 කාලයේ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඔහු ‘පළාත් සභා ක්‍රමයක්’ ගැන කතා කළේය. 1940 වන විට ඔහු ‘සිංහල මහා සභාව’ ගොඩ නඟන්නේත් එහිම හිඳිමින්, ඊට කිසිසේත් අනුගත නොවන ‘ජාතික සංගමයේ’ හිඳින්නේත් කොහොමද කියන එක ප්‍රහේලිකාවකි.

බණ්ඩාරනායක 55 වෙනතුරු උද්ඝෝෂණය කළේ ඉංග්‍රීසියෙන් සිංහලට සහ දෙමළට මාරු විය යුතු යැයි කියාය. එහෙත් 1955 ඔහු සටන් පාඨය වෙනස් කළේ ‘සිංහල පමණයි’ කියාය. මේ සටන් පාඨය රැගත් ජාතිවාදීන් මුලින්ම ආවේ ඩඩ්ලි හමුවෙන්නටය. හැබැයි ඩඩ්ලි ඊට එකඟ වූයේ නැත.

එහෙත් බණ්ඩාරනායක ඊට එකඟ විය. 56 මැතිවරණයට රැල්ල හැදුණේ ‘සිංහල පමණයි’ මුල් කරගෙනය.

විල්මට් පෙරේරලා අවැසි මොහොත

සී.ඩබ්.ඩබ්. කන්නංගර යනු දේශපාලකයෙකි. නමුත් ඒ ශ්‍රී ලංකාව තුළ අදත් ගරු බුහුමන් මිස නින්දා නොලබන අතලොස්සකටත් මඳක් අඩු දේශපාලකයන්ගෙන් කෙනෙකි. කන්නංගර මහතා 1952දී තම ආසනය පරාද වූයේ රබර් රජ්ජුරුවන්ගේ පුතා හෙවත් විල්මට් ඒ පෙරේරාගේ ජයග්‍රහණය නිසාය. විල්මට් ඒ පෙරේරා යනු ප්‍රබල දේශපාලකයෙකි. සිංහල බෞද්ධ පදනම සහ බෞද්ධ සංස්කෘතික දායාද රැක ගැනීමෙහිලා පටු පරමාර්ථවලින් තොරව වැඩ කළ සිංහල බෞද්ධ නායකයෙකි. 1956දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පොරොන්දුවත් ඉස් මුදුනින් තබා මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යනු විල්මට් පෙරේරාගේ මිතුරෙකි. ශ්‍රීලනිප සගයෙකි. 1956දී අගලවත්ත ආසනය වෙනුවෙන් ඡන්දය ඉල්ලීමට විල්මට් ඒ. පෙරේරාට බණ්ඩාරනායක ආරාධනා කළේය. විල්මට් ඒ පෙරේරාගේ පිළිතුර මෙබඳු විය.

“මගේ හැම සතයක්ම වියදම් කළේ, කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට. ඒත් ඒකට මරු පහර එල්ල වෙන්නේ ඔබගේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියෙන්. මේකෙන් වෙන්නේ බෙදිලා ඉන්න දෙමළ ජනතාව සිංහලයාට විරුද්ධ වීම සඳහා ඒකරාශී වීමයි. අනාගතයේ වෙනම රටක් ඉල්ලා දෙමළ ජාතිකයන් සටන් කළොත් ඒ වන්දිය ගෙවන්න වෙන්නේ ඔබට. ඒ වගේම සිංහල ජාතියේ විනාශයට මේ පනත රුකුලක් වෙනවා. ඒ නිසා මට මේ මැතිවරණයට තරග කරන්න බෑ. ඔබ මගේ මිතුරා නිසා ඔබට විරුද්ධවත් තරග නොකර ඉන්නම්”

එහෙම තුන්කල් දුටු මිනිස්සුත් ඔය අතර සිටියහ.

ජෝන් ජාතිය පාවා දුන්නාද?

1953දී උතුරට ගිය එ.ජා.ප. අගමැති ජෝන් කොතලාවල සිංහල, දෙමළ දෙබසම රාජ්‍ය භාෂාවන් කරන බව කීවාම දකුණ කුලප්පු විය. ජෝන් ජාතිය පාවා දෙන්නෙක්ය කියා විපක්‍ෂය චෝදනා කළේය. භික්‍ෂුන් වහන්සේ ජෝන්ට එරෙහිව පෙරට ආව අතර බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධනලා එක්ක එකතුව නැඟෙන ගින්නට පිදුරු දැම්මේය.

“හාමුදුරුවෝ නොවේ කවුරු කීවත් මම මගේ මතය වෙනස් කර ගන්නේ නෑ.”

ජෝන් හිටියේ එහෙම මතයකය.

“අපි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා.”

56 ඡන්දේ කට උඩ තියාගෙන බණ්ඩාරනායක ජෝන්ට කටඋත්තර නැති වෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනාවේය.

රැල්ල ගැහුවේ බණ්ඩාරනායකගේ පැත්තටය. ජෝන්ට ඉතිරි වුණේ ආසන අටට බැස්ස යූ.එන්.පී.යක්ය.

යූ.එන්.පී.ය පැරදුණේ ජෝන්ගේ උද්දච්චකම් හින්දා බවත් ජාතිය ගැන නොහිතුව හින්දා බවත් ආගම තුට්ටුවකට මායිම් නොකළ හින්දා බවත් හැමෝම කීහ.

මේ කිසිවකට උත්තර දෙන්න නොගිය ජෝන් බණ්ඩාරනායකට ආණ්ඩුව දී වලව්වට ගියේය.

“කෙළවුණේ කාටද කියා ළඟදීම පෙනෙයි.” ජෝන් තනියම හිතුවේය. කාලය ගෙවී ගියේය. බණ්ඩාරනායකගේ ආණ්ඩුව හෙල්ලෙන්න පටන් ගත්තේය. ලොකුම අර්බුදය ආවේ ඡන්දෙට කලින් දුන්න ‘ජනප්‍රියම’ පොරොන්දුව හින්දාය.

ජෝන් කළ දේවල්

ඒ දවස්වල විපක්‍ෂය ජෝන්ට බැන්නේ රට ගැන හැඟීමක් නැති කුකුල් කේන්තිකාරයා කියලාය.

හැබැයි අවුරුදු එකහමාරක් වගේ කාලයක් අගමැති හැටියට හිටිය ජෝන් රට ගැන හිතලා කරපු දේ වෙන කවුරුත් නොකරපු තරම්ය.

1954දී ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත් කරමින් මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයකු පත් කිරීමේ පිළිවෙත හඳුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවලය. සෑම නිදහස් දිනයකම රටේ ජාතික කොඩිය සමඟ ඉංග්‍රීසි කොඩිය එසවීමේ පිළිවෙත ඉවතට දමන්නේ කොතලාවලය. ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මූලික වෙන්නේ කොතලාවලය. ඒ අතරේ දෙවැනි එළිසබත් මහ රැජනත් වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල් වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවල අගමැතිවරයාව සිටියදීය.

එහෙම බැලුවාම කොතලාවල කියන්නේ පුදුම නායකයෙක්ය. හැබැයි හැමෝම හිතුවේ කොතලාවල ජාතිය ගැන, රට ගැන කැක්කුමක් නැති ‘උද්දච්ඡ’ මනුස්සයෙක් කියලාය.

එදා වගේම අද යහපාලන ආණ්ඩුවට විපක්‍ෂය චෝදනා කරන්නේ ජාතිකත්වය ගැන හිතන්නේ නෑ කියලාය. හැබැයි දළදා මාලිගාව ඉදිරියේ නයිට් රේස් පදිනතුරු බලාගෙන හිටපු අය එහෙම කියද්දී හතර හිනාය. ඇ‍ෙමරිකන් පුරවැසියන් රංචුවක් හිටපු ආණ්ඩුවක අය විපක්‍ෂයට වෙලා දැන් කියන කතා විහිළු බව කියන්නේ මිනිසුන්ය.

ජාතික සංහිඳියාව වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවා ආණ්ඩුව වැඩ කරන්නේ ජනවාර්ගික ඒකාබද්ධතාවයෙන් යුතුව රට පෙරට ගෙනියන්නටය.

ඒ දවස්වල ජෝන් කොතලාවලගේ වැඩපිළිවෙළ වටහා නොගත් පිරිස් ඔහුව පරාජය කොට කඳවල වලව්වට තල්ලු කොට දැම්මේය. හැබැයි ඊට පස්සේ ආව ආණ්ඩුව රටට ඉතිරි කළේ ප්‍රගතිශීලී ලොසින්ජරය යටින් වූ විස බව කියන්නේ මිනිසුන්ය. යහපාලන ආණ්ඩුවට එරෙහිව කැරලි ගසමින් විපක්‍ෂය හදන්නේ ජෝන් යැව්වා වගේ යවන්නද කියා කියන්න නම් දන්නේ නැත.

එදා වේල කන්නේ කොහොමද කියා කල්පනා කරමින් ජීවන අරගලයක යෙදුණු මිනිස්සුන්ට ජීවත් වීමේ කලාව පුරුදු කරනවා වෙනුවට අවස්ථාවාදී දේශපාලකයන් කළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ‘සංවේදී’ ප්‍රශ්න හුරතල් කරන එකය.

පාරා වළල්ල

“සිංහලය රාජ්‍ය බස කරනු”

56 ජයෙන් පසුව බණ්ඩාරනායක අගමැතිට හතර වටෙන් බලපෑම්ය. දවසින් දවස පොරොන්දුව කල් යනකොට රටම කුලප්පු වුණේය. භික්‍ෂුන් වහන්සේ පවා බණ්ඩාරනායකට එරෙහිව පෙරට එන්න ලෑස්ති විය. කොහොම කොහොම හරි ඔය අතරේ චීවරධාරියකුගේ වෙඩි ප්‍රහාරයකින් බණ්ඩාරනායක මිය ගියේය.

අවමඟුලදා බණ්ඩාරනායක දේහයට අවසන් ගෞරව පුද කරන්නට ආ ජෝන් මෙහෙම කීවේය.

“මම දැනගෙන හිටියා මෙහෙම වෙන බව. මම බැඳලා දැම්ම බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මා. උන් බණ්ඩව හපා කෑවා.”

ජෝන් එහෙම කීවේ ජාතිවාදීන්ටය. ජාතිවාදී කුලප්පුවකින් ඉතිරි වන්නේ විනාශයක් විතරක් බව ජෝන් තේරුම් අරන් හිටියේය. ඒ හින්දාම ඔහු ඕනවට වඩා ජාතිවාදී වුණේ නැත.

ජාතිවාදී ලේබල්

ජාතිවාදී ලේබල් මතින් දේශපාලනය කිරීමේ ‘නපුරු ආදීනව’ මෙරට ඉතිහාසය මනාකොට අත්විඳ තිබේ.

“ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුළු ජීවිතය පුරාම එයට එරෙහිව සටන් කළා. මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා.”

එහෙම කියන්නේ නෙල්සන් මැන්ඩෙලාය. වසර සිය ගණනක් තිස්සේ යුරෝපයේ කොලනියක් වූ දකුණු අප්‍රිකාවේ පැවැති වහල් වර්ණභේදවාදයට එරෙහි නිදහස් සටනේ පෙරමුණ ගත් ඔහු වර්ගවාදයෙන් තොර ලෝකයක් වෙනුවෙන් සිහින දුටුවේය.

“ආරම්භයේදී අප සතුව ජාතියකට තිබිය යුතු මූලික සාධක වූ ස්වකීය ජනගහනයක්, පොදු භාෂාවක්, පොදු සංස්කෘතියක්, පොදු ඉරණමක් යන මේ කිසිවක් නොවීය. අප හුදෙක් දකුණු චීනයෙන්, දකුණු ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් (එය බෙදීමට පෙර) ලංකාවෙන් සහ දූපත් සමූහයකින් පැමිණි සංක්‍රමණිකයන් විය. එබැවින් ප්‍රධාන ගැටලුව වූයේ මේ සියලුම ජාතීන්ට අයත් මිනිසුන් එකට තැබිය හැකිද යන්නයි.’’

මෙහෙම කියන්නේ සිංගප්පූරුව හැදූ ලී ක්වාන් යූ ය.

“රටක් හදන්නට පුළුවන් එකට එක්වීමෙන් මිස තුනට බෙදීමෙන් නොවේ.” කියා ලී ඔප්පු කළේය. හැමෝම සිංගප්පූරු ජාතිකයන්ය කියන හැඟීම මිනිස්සුන්ට ආරෝපණය කරන ඔහු සිංගප්පූරුවේ විවිධ ජනවර්ග සිංගප්පූරු ජාතික අනන්‍යතාව ඔස්සේ එක් කිරීමට ඔහු උනන්දු වන්නේය.

ලොව දිනන රටක් හැදුණේ එහෙමය.

1948 වෙනකොට ආසියාවේ දියුණුම රට ජපානයය. දෙවැනි තැනට හිටියේ ශ්‍රී ලංකාවය. සිංගප්පූරුව හදන්න මහන්සි වෙච්ච ලී ක්වාන් යූ ලංකාවට ඇවිත් කීවේ “මගේ සිහිනය ලංකාව වගේ සිංගප්පූරුවක් හදන එක” කියලාය. එහෙම කී ඔහුම පසු කලෙක කියන්නේ මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි ලංකාව නිදහසින් පසු කඩා වැටෙන ආකාරය දුටු බවය.

ඒ ජාති, ආගම්, කුල මල ලෙස බෙදී වෙන්වීමේ ප්‍රතිඵලය.

අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ කිසිදු වෙනසක් නැත. ජාතිවාදයද ඊට සමානය. අද වේගයෙන් සහ උන්මාදයෙන් අලවි වන ජාතිවාදය හෙට මේ රටේ ඉරණම් කතාව ලියනු ඇත. මෙතෙර සිට හෝ එතෙර සිට ඊට වචනයකින් හෝ අනුබල දුන් අය ඒ ඉරණම් කතාවේ වගඋත්තරකරුවන්ය. ඔවුන්ට ඉන් ගැලවීමක් නැත.

මාතෘකා