දුම්බර මිටියාවතේ සුන්දරම මනාලිය රිවස්ටන්

 ඡායාරූපය:

දුම්බර මිටියාවතේ සුන්දරම මනාලිය රිවස්ටන්

[තුෂාරා සන්දනායක]

ශ්‍රී ලංකාවේ සුන්දරත්වයට ඇලුම් කරන්නන් සහ දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රකට සුන්දර ස්ථාන රාශියක්ම තිබෙනවා. ඒ අතර 'රිවස්ටන්' කියන්නේ වැඩිපුර කියවෙන ස්ථානයක්. "කොහෙද මේ රිවස්ටන් තිබෙන්නේ? එහිදී දැකගත හැකි සුන්දර දේවල් මොනවාද?" යනුවෙන් කෙනකුට පැනයක් ඇතිවිය හැකිය. ඒ නිසා මෙවර 'රැස' 'පිනි' පලසේ ඇතිරෙන්නේ රිවස්ටන්හි සුන්දරත්වය පිළිබඳ කතාවයි.

ශ්‍රී ලංකාව සුන්දරත්වයේ පාරා‍දීසයක් ලෙස ලොව පුරා ප්‍රකට වී ඇති කරුණු රැසක් අතර සුවදායී දේශගුණය යනු මුල් පෙළේ සාධකයක්. ඒ අනුව සිසිල් හා සෞම්‍ය බවින් යුතු මිශ්‍ර කඳුකර දේශගුණික කලාපයක් සහිත නකල්ස් කඳුවැටියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. මිට මෙලවූ අතක ඇඟිලි මෙන් එක් පෙළට විහිදීම නිසා ඉංග්‍රීසීන් විසින් 'නකල්ස්' යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම වන පාරාදීසය කඳු මුදුන්, නිම්න සහ ජල මූලාශ්‍ර රැසකින් පොහොසත් වී තිබෙනවා. ඒ වගේම ප්‍රදේශය අවට සුවිසල් වන ගහනයක් පැතිර ඇති අතර එම වනාන්තර කඳුකර, තෙත් උප කඳුකර, කුරු, අතරමැදි, වියළි මිශ්‍ර ආදී ප්‍රභේද කිහිපයක්ම නියෝජනය කරනු ලබනවා. එකම පරිසර පද්ධතියක් තුළ මෙලෙස වනාන්තර වර්ග කිහිපයක් දැකගත හැකි මෙරට පිහිටි එකම ප්‍රදේශය වන්නේද මෙම නකල්ස් කඳු පියසයි.

රිවස්ටන් යනුවෙන් හඳුන්වන්නේ නකල්ස් කඳුවැටි ආශ්‍රිතව පිහිටා තිබෙන සංචාරක පාරාදීසයක්. සොබාදහමේ අසිරිය සිත් සේ විඳ ගැනීමට කැමති දෙස් විදෙස් සංචාරකයන් නිතර නිතර රිවස්ටන් ප්‍රදේශයට පැමිණීමට හුරු වී සිටිනවා. මාතලේ රත්තොට සිට කිලෝමීටර් 15ක් පමණ දුරක් ගෙවා රිවස්ටන් කඳු මුදුනට ළංවිය හැකිය. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට, මාතලේ දිස්ත්‍රික්කයට හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම සොබාදම් පාරාදීසය වෙත ලග්ගල ඌරුගල ඔස්සේ‍ද පැමිණීමට පුළුවන්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුලුනක් පිහිටා තිබෙන නිසා එහි ඇතුළු වීමට නම් එම ස්ථානයේ බලධාරීන්ගෙන් අවසරයක් ලබාගත යුතුය.

රිවස්ටන් කියන්නේ ඇවිදින්න කැමති සංචාරකයන්ට කදිම ස්ථානයක් යැයි පැවසීම නිවැරදියි. නමුත් විශාල කන්දක් නොවන නිසා රිවස්ටන් කියන්නේ කාට වුණත් අපහසුතාවක් ගෙනදෙන ගමනක් නොවෙයි. වටේට තිබෙන මීදුම් සළු පොරවාගත් කඳුවල සුන්දරත්වය නරඹමින් සිසිල් පරිසරයක ඇවිද යන්නට කැමති කාටත් මේ ගමන අපූරු ඇත්දැකීමක්. රිවස්ටන්හි පිහිටා ඇති සොබාදහමේ විස්මිත නිමැවුම ලෙස හැඳින්විය හැක්කේ එහි පිහිටි සුළං කපොල්ලයි. එතැනින් එන සුළඟේ වේගය නම් තරමක් සැර වුවත් රිවස්ටන් කරා යන බොහෝ දෙනා සිත් ගත් ස්ථානයක් විදිහට එම ස්ථානය හඳුන්වන්න පුළුවන්. බොහෝ වේලාවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසෙන අවස්ථාද තිබෙනවා. එහෙම වෙලාවක පරිසරයේ තිබෙන්නේ අමුතුම සුන්දරත්වයක්. නමුත් දැඩි සුළඟක් පවතින දිනකදී නම් රිවස්ටන් කඳු මුදුන උඩ නවතින්න තරම් හොඳ කාලගුණයක් නැති බවත් කිව යුතුමයි. දැඩි සුළඟ නිසා කූඩාරම් ගසාගෙන එහි සිටීම එක්තරා අවදානමක් ගෙන දෙන්නක්.

රිවස්ටන් වෙත පැමිණි ඔබට අතීත ගැමියන් විසින් ‘දුම්බර මිටියාවත’ යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ පිහිටි සුන්දර ගම්මාන රාශියක් දැකගැනීමට පුළුවන්. ඵෙතිහාසික වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලන ‘ඇටන්වල වෙල්යාය’ මුල් කොට ගත් ගම්මානය ඉන් ප්‍රධාන තැනක් ගනු ලබනවා. කඳුවැටියේ බටහිර බෑවුම අධික ලෙස බට වර්ගවලින් වැසී ඇති බැවින් බට 'දඬුකන්ද' නමින්ද උස් කඳු ශිඛර නිතරම වාගේ මීදුමෙන් වැසී ඇති බැවින් හා දුමින් බරවූ යන අදහස ඉස්මතු කර 'දුම්බර' කඳුවැටිය නමින්ද පැරැන්නන් මෙම ප්‍රදේශය හඳුන්වා ඇතැයි සිතිය හැකිය. අවට කඳුයායන් මීදුම් සළු නොපැලඳි පැහැදිලි කාලගුණයක් පවතින වේලාවක නම් ඔබට එහි සිට හිරු බැස යන සොඳුරු දර්ශනය සිත් සේ දැක බලාගැනීමටත් අවස්ථාව ලැබෙනවා.

ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ ඉතා සුන්දර දියඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ශ්‍රී ලංකාවේ වන පද්ධතීන් අතරින් මෙම ප්‍රදේශයට පමණක් ආවේණික ‘මාංසභක්ෂක ශාක’ වන කඳුලැස්ස, නිල්මොනරැස්ස, වටැස්ස ආදී ශාක ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණ කලාපවලට අයත් ශාක වර්ග රැසක් මෙහිදී දැක ගැනීමට පුළුවන්. ඒ වගේම අතිශය දුලබ සමනල සහ උරග විශේෂ රැසක්ද එහිදී නිරීක්ෂණය කළ හැකිය.

සුන්දර පාරාදීසයක් බඳු නකල්ස් ඉසව්ව වන ස රක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයක් වන අතර මෙම චාරිකාව සඳහා අවශ්‍ය නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයකුගේ සහාය ලබා ගැනීමටත් පුළුවන්. සාමාන්‍යයෙන් ජුනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය රිවස්ටන් සංචාරය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ එම කාලයට මෙම ප්‍රදේශයට ලැබෙන වර්ෂාවේ යම් අඩුවක් දැකගත හැකි නිසයි. එමෙන්ම රිවස්ටන් සංචාරය සඳහා හිමිදිරි යාමය වඩාත් යෝග්‍ය වන්නේ බොහෝ විට පස්වරුව එළැඹීමෙන් පසු මෙම ප්‍රදේශය මීදුමෙන් වසාගන්නා නිසයි.

රිවස්ටන් සංචාරය කරන ඔබ මතක තබාගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මෙම පරිසර පද්ධතිය හරහා ගලා බසිනා තෙල්ගමු ඔය සහ කළු ගඟ ආදී එහි ශාඛාවන්ගෙන් දිය නෑමේදී ප්‍රවේශම් වීමයි. දිය නෑමේදී සේම ඔය ඉවුරේ රැඳී සිටීමේදීත් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ හිටි හැටියේ දුම්බර කඳු මුදුන්වලට ඇදහැලෙන වර්ෂාව නිසා එහි ජල පහර එක්වරම ඉහළ නැංවීමේ අවදානමක් තිබෙන නිසයි.

එමෙන්ම මෙම සමස්ත පරිසර පද්ධතියම පොලිතින් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍යවලින් අත්මිදුණු කලාපයක් බවද තරයේම සිහිතබා ගත යුතුය. එමෙන්ම මෙම චාරිකාවේදී පරිසරය පිළිබඳව අවධානයෙන් සිටිය යුත්තේ ඉඳහිට ඔබට සර්පයන් වැනි සතුන්ද හමුවිය හැකි නිසයි. ඒ වගේම මේ ගමනේදී කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට නම් ඔබ විශේෂ උපක්‍රම භාවිත කළ යුතු බවද මතක් කළ යුතුමය.

රිවස්ටන් සුන්දරත්වය දැකබලා ගැනීමෙන් පසු එතැන් සිට කිලෝමීටර් 7ක් පමණ දුර ගෙවීමෙන් ඔබට සොබාදහමේ තවත් අතිශය චමත්කාරජනක ඉසව්වක් වන බිම් ශාකවලට පමණක් සීමා වූ 'පිටවල පතන' කරා ළඟාවිය හැකිය. එතැන් සිට තවත් මීටර් 700ක් පමණ ගිය විට හමුවන්නේ ‘පුංචි ලෝකාන්තය’ නම් සොබාදහමේ විස්මයජනක ඉසව්වයි.

ගමනේ මුල් හරියේදී දක්නට ලැබුණු මඳක් අන්ධකාර ස්වරූපය වෙනුවට හිරු කිරණ හාත්පස ආලෝකමත් කර තිබුණද විඩාවක් නොදැනෙන්නේ සුළඟ නිසයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුංචි ලෝකාන්තය වෙත පිවිසුම් මාර්ගයක් සලකුණු කර ඒ අසල මාර්ගයේ කාර්යාලයක්ද විවෘත කර තිබීම සංචාරකයන්ට පහසුවක් සලසන්නක්. ඉමක් නොපෙනෙන විසල් තලාව මැදින් පුංචි ලෝකාන්තය වෙත යෑමට අවම වශයෙන් කිලෝමීටරයක දුරක්වත් යෑමට සිදුවනවා. ඒ ගමන කෙළවර වන්නේ ලෝකාන්තයෙන්. අඩි පන්සීයකට නොඅඩු ප්‍රපාතය ගල් කුළු බිත්තියකින් සීමාවී ඇති අතර ලෝකාන්තයේ කෙළවර සිට පහළ බලන විට භීතියක් ඇතිවිය හැකි වුවත් එහි ඇත්තේ අපූර්වතම චමත්කාරයක්.

මාතෘකා