Music තෙරපි අත්හදා බලන්න මගේ අදහසක් තියෙනවා

 ඡායාරූපය:

Music තෙරපි අත්හදා බලන්න මගේ අදහසක් තියෙනවා

 

ලහිරු ගැන කියනවා නම්?

කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය හැදෑරුවා. 2016 වසරේ වෛද්‍ය වෘත්තියට පිවිෙසන්නේ. දැනට හැටන් දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලේ සේවය කරන්නේ.

ඔබ වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි. සංගීතවේදියෙක්. සංගීතයට යොමු වුණේ කොහොමද?

කුඩා කල සිට සංගීතය හැදෑරුවා. වයලීන් වාදන කටයුතුවලට යොමු වුණෙත් ඒ කාලයේදීමයි. සංගීත තරග ආදියටත් සහභාගි වුණා. වයලීන් තරගවලින් සමස්ත ලංකා තරගාවලිය දක්වා සහභාගිවීමට හැකි වුණා. විශ්වවිද්‍යාලයට ඇතුළුවීමත් සමඟ සංගීතයෙන් ටිකක් ඈත් වුණා.

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් පස්සේ ලහිරු නැවත සංගීතයට යොමු වෙන්නේ රියැලිටි තරගයක් හරහායි.

ඔව්. මම රියැලිටි තරගයකට අයදුම්පත් දැම්මා. එම තරගයේ අවසන් 28 දෙනා අතරටත් තේරුණා. රියැලිටි තරගයට සහභාගිවන අතරේ සංගීත විශාරද විභාගයට මුහුණ දුන්නා. එහි පළමුවැනි විභාග දෙක සමත් වෙලා ඊළඟ විභාගයට සූදානමින් ඉන්නේ.

ඔබ රියැලිටි තරගයකට සහභාගි වෙන්න හිතුවේ ඇයි?

මට ලොකු ආශාවක් තිබුණා ගායකයෙක් වෙන්න. ඒ ආශාවත් එක්ක තමයි රියැලිටි තරගයකට සහභාගී වුණේ.

වෛද්‍ය විද්‍යාවත් සංගීතයත් දෙක බැලන්ස් කරගන්න පුළුවන්ද?

මේ දෙක එකිනෙකට පැටලෙන්නේ නෑ. සංගීතය විශ්ව භාෂාවක්. අද වෙනකොට සංගීතය ඖෂධයක් විදිහටත් භාවිත කරනවා. සංගීතය නිසා මා තුළ ඇති වන සැහැල්ලු බව නිසාම සංවේදී බව වැඩිවන නිසාම මම රෝගීන්ට ළංවන ප්‍රමාණය වැඩියි.

අලුත් දේකට ලහිරු සූදානම් බවක් පේන්න තියෙනවා.

සංගීත තෙරපි. ඒක තවම ලංකාවේ සීයට සීයක් භාවිත වෙන්නේ නෑ. එය එක්තරා විදිහකට විශේෂඥ අංශයක්. සංගීත තෙරපි සඳහා යුරෝපා, ඇමෙරිකානු රටවල පාඨමාලා තියෙනවා. සංගීත හැකියාව සහ වෛද්‍ය වෘත්තිය පුහුණුවත් සංගීත තෙරපි කිරීමට අවශ්‍යයි. මගේ අදහසක් තියෙනවා සංගීත තෙරපි අංශ ශ්‍රී ලංකාවේ පිහිටුවන්න. ඒ අරමුණ කරා යන ගමනේ තමයි සංගීත විශාරද හදාරන ගමන් මනෝ විද්‍යාව වැනි විෂයයන් හදාරන්න කටයුතු කරන්නේ. අඳුරේ අතපත ගාන්නේ නැතුව නිවැරදි විදිහට සංගීත තෙරපි ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

අලුත් දෙයක් මේ සමාජයට පහසුවෙන් ගෙන එන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

අනිත් අංශ වගේ නෙවෙයි සංගීතය සහ කලාවට ශ්‍රී ලංකාවේ ජනතාව වැඩියෙන් සම්බන්ධයි. කලාවට සංගීතයට මිනිස්සු උනන්දුයි. මේ ඖෂධ ක්‍රමය ශරීරයට කටු ගහලා, බෙහෙත් දීලා සුව කරනවා වගේ ක්‍රමවේදයක් නෙවෙයි. ඒ නිසා මිනිස්සු සංගීත ඖෂධ ක්‍රමය සමඟ එකතු වෙයි කියලා හිතනවා. මෙහිදී මනස සුවපත් වෙනවා. ඒ හරහා කායික සුවපත්භාවයක් දැනෙනවා.

ලහිරු ගීතයකුත් නිර්මාණය කර අවසන් කරලා තියෙනවා?

මම රියැලිටි තරගයට ඉදිරිපත් වීමත් සමඟ මා වටා රසිකයන් පිරිසක් එකතු වුණා. ඔවුන් වෙනුවෙන් මම ගීතයක් කළා. එය 'මාගේ වෙලා..' කියලා නම් කළා. මගේ සංගීත ගුරුවරිය වුණු මංගලිකා තෙන්නකොන් ගුරු මහත්මියත් එක්ක එකතු වෙලා හින්දි තනුවක් අලුත් විදිහට හදලා සිංහල පද රචනයක් සහිත ගීතයක් එළිදැක්වූවා. පද රචනය සමන් කෝට්ටේආරච්චි විසින් කළේ. එය යුග ගීතයක් විදිහට ගායනා වුණේ. මා විසින් තමයි පිරිමි ගැහැනු හඬ දෙකම ඉදිරිපත් කළේ.

අලුත් නිර්මාණයකටත් අත ගහලා නේද?

නව නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල අලුත් ගීතයකට සූදානම් වෙනවා. එය ශාස්ත්‍රිය සංගීතය සහ නූතන සංගීතය එකතු කරලා හදන නිර්මාණයක්. මේ වසරේ අවසාන වෙනකොට නිර්මාණය එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අද දක්ෂයන් සිටියත් ස්වාධීනත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකි කලාකරුවන් පිරිසක් බිහිවෙලා ඉන්නේ. ඔබ ඔය ගොඩට වැටෙන්නේ නැති වෙයි කියන්න පුළුවන්ද?

කලා ක්ෂේත්‍රයට මම ඇතුළත් වුණේම එක් විශේෂත්වයක් එක්ක. මට ගැහැනු පිරිමි හඬ දෙකම හසුරුවන්න පුළුවන්. ඒ හැකියාවත් එක්ක මගේ විශේෂත්වය ස්වභාවිකවම නිර්මාණය වුණා. මම හිතනවා ඒ හැකියාවත් එක්ක අනන්‍යතාවක් හදාගන්න පුළුවන් වෙයි කියලා.

[සංවාදය රසිකා හේමමාලි]

මාතෘකා