සැඟවුණු අමුත්තා!

 ඡායාරූපය:

සැඟවුණු අමුත්තා!

සංගීතඥ ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාවේ රචනයේ - ලිබ්‍රටෝවේ - කර්තෘ අයිතිය පිළිබඳව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පසුගියදා දිගු ලිපියක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ ලියා තිබිණි. ඔහු එය ලියා තිබුණේ එම ඔපෙරාව හා සබැඳුණු කෙනෙකු ලිබ්‍රටෝව ලීවේ සිරිලාල් කොඩිකාර මහතා බවත් එනිසා එහි අයිතිය ඔහු සතු විය යුතු බවත් සඳහන් කරමින් ලියූ ලිපියකට ප්‍රතිචාර වශයෙනි. ආචාර්ය සුනිල්ගේ ප්‍රතිචාර ලිපිය කියවූ විට මට නම් හැඟුණේ ලිබ්‍රටෝවේ සැබෑ හිමිකරුවා සිරිලාල් කොඩිකාර මහතා බවය. ඒ තුළ “මගේ කර්තෘත්වය”, “මට කියා තිබෙනවා”, “මට පැවරුවා”, “මම බාරගත්තා”, “මම ලියූ බව” ආදී වශයෙන් ඔහුට කර්තෘත්වයක් තිබියේ නම් එය ඉවත් වන තුරුම ඔහු මමත්වය හුවා දක්වා තිබූ බැවිනි. ඒ සමඟ සිරිලාල් කොඩිකාර මහතාගේ පිටපත බිඳකුදු නොසලකා හැර තිබූ බැවිනි - පිටපත ලීවේ කොඩිකාර මහතාගේ පිටපත මත නම් සුනිල්ගේ ‘මානස විලට’ කොඩිකාර මහතාගේ පිටපත විශාල ලෙස බලපෑ යුතුය. කෙසේ හෝ මෙහිදී මට ඇති වූ ගැටලුව ලිබ්‍රටෝවේ කර්තෘ අයිතිය ගැන කියාපෑමට කෙනෙකු ඔතරම් වද විය යුතුද යන්නය. ඔපෙරා පිටපතේ බස ඇසුරින් එය ඉතා පහසුවෙන් සොයාගත හැකි නිසාය. ඇත්ත වශයෙන් කෙනෙකු ලේඛකයකු නම් - සැබැවින්ම ඔපෙරා පිටපත ලීවේ නම් - ඔහුට එහි බස ඇසුරින් කතුවරයා සොයාගත හැකිය. බස නොවිමසන්නේ ඔහු එහි කතුවරයා නොවන නිසා යැයි සිතිය හැකිය.

ඔපෙරාව සංගීත කලා මාධ්‍යයක් වුව එහි ලිබ්‍රටෝව සාහිත්‍ය මාධ්‍යයකි. සාහිත්‍ය මාධ්‍යයක් යනු කුමක්ද? කතාකරුවාගේ ස්වයංචරිතාපදානය එකලා දිගහැරෙන මාධ්‍යයකි. එහි බස, ශෛලිය, සංකේත, ආඛ්‍යානය, ආකෘතිය යන සියල්ලේ ඇත්තේ කතාකරුවාගේ ජීවිතයය. ඒ අනුව ඉතිහාස කතා හා පසුබිම් කතා ගෙනහැර පානවාට වඩා කතාකරුවාගේ පිටපත විමසීමෙන් කර්තෘත්වය සොයාගැනීම පහසු වේ. (ඔපෙරා කලා මාධ්‍යය තුළද කතුවරයාගේ ස්වයංචරිතාපදානය ඇත. එහෙත් එය සාහිත්යික මාධ්‍යයේ තරම් ඍජු නැත. එහි වක්‍රෝක්තිමය - සංකේතමය - ස්වයංචරිතාපදානයකි, ඇත්තේ.)

මට හැඟෙන ලෙස කෙනෙකුගේ ස්වයංචරිතාපදාන කෘතියකටත් වඩා කතුවරයාගේ ජීවිතය ඇතුළත් වන්නේ ඔහුගේ ප්‍රබන්ධ කෘතිය තුළය. ප්‍රබන්ධය තරම් කෙනෙකුගේ ජීවිතය කියාපාන අන් සාහිත්‍ය මාධ්‍යයක් නැත. සද්ධර්ම රත්නාවලියේ හා බුත්සරණ බස ඇසුරින් මාර්ටින් වික්‍රමසිංහ මහතා එම කතුවරුන්ගේ කායික හැඩරුව පවා විස්තර කරන්නේ මෙනිසාය. තවද ජාතක කතා පොතේ කතුවරුන් කිහිප දෙනෙකු සිටින බවද කීමට හැකි වන්නේ එහි එකම බසක්, එකම ශෛලියක් නොමැති නිසාය.

සාහිත්‍ය මාධ්‍යයකට කතුවරයාගේ ජීවිතය ඇතුළත් වීමට හේතුවක් තිබේ. ඒ, එහිදී දිගහැරෙන්නේ කතුවරයාගේ මතුපිට ජීවිතය නොව ඔහුගේ පිටතට නොපෙනෙන ඇතුළත ජීවිතය වීමය. ඔහුගේ ආත්මය වීමය. එහිදී ආත්මය දිගහැරෙන්නේ බස තුළින් වන අතර බසෙහි වදන්, වැකි, ශෛලිය, රිද්මය, වර්ණය යන සියල්ල කඩදාසියට එන්නේ කතාකරුවාගේ ආත්මය තුළින් පෙරීය. ඒ අනුව කතාකරුවාගේ බස ඔහුගේ කතාවේ සේම ඔහුගේ ආත්මයේද කොටසක් වේ. මෙනයින් බස තුළින් කතාකරුවා මිනීම අපහසු දෙයක් නොවේ.

කතාවක බසින් මෙන්ම එහි එන අදහස්වලින්ද කතාකරුවකු මිනීමට නොහැකිද? ඇත්ත වශයෙන් හැකිය. එහෙත් අදහස් හෝ මතවාදවලින් මිනිය හැක්කේ කෙනෙකුගේ මතුපිට ජීවිතයය. නිදසුකට ගුණදාස අමරසේකර මහතාගේ මෑත නවකතාවල එන මතවාද විමසූ විට ඔහු කවුදැයි කිව හැකිය. එහෙත් ඔහු ආචාර්ය නලින් ද සිල්වාගෙන් වෙනස් කෙනෙකු බව කිව හැක්කේ ඔහුගේ සැබෑ ප්‍රබන්ධ විමසීමෙනි - ‘කරුමක්කාරයෝ’, ‘දෙපා නොලද්දෝ’, ‘යළි උපන්නෙමි’, ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ ආදිය විමසීමෙනි. අමරසේකර ජාතිවාදියෙකු නොවන බව කිව හැක්කේද ඔහුගේ ප්‍රබන්ධවලින් දිගහැරෙන ඇතුළත ජීවිතය තුළින් මිස ඔහුගේ වාර්තාමය නවකතාවලින් දිගහැරෙන මතවාදවලින් නොවේ. මතවාද කලින් කල වෙනස් වේ. එනිසා මතවාද ගහන අසාර්ථක වාර්තාමය නවකතා - කෙටිකතාවලින් කතුවරයකු මිනීම අර්ථශූන්‍යය. එහෙත් වාර්තාමය නොවන සාර්ථක ප්‍රබන්ධවලද මතවාද නැද්ද? ඇත. එහෙත් ඒ මතවාද පරයා කතාකරුවාගේ ජීවිතය එහිදී ඔහුගෙන් අවිඥානිකව දිගහැරේ. එනිසා එතුළින් අන් කවරකටත් වඩා සැබෑ පුද්ගලයා මිනිය හැකිය.

චරිතාපදාන හා ස්වයංචරිතාපදානත් මතවාද ඇතුළත් පොත්වලින් වෙනස් නැත. සැබැවින්ම සෑම චරිතාපදාන කෘතියකින්ම සිදු වන්නේ බොරුවක් ඉදිරිපත් කිරීමකැයි කිව හැකිය. කෙසේද? ඉන් කතාව කීමට සිදු වන්නේ බාහිර දෘෂ්ටිකෝණයකින් (Objective Point of View) නිසාය. එනම් පිටතට පෙනෙන දේ විස්තර කිරීමෙන් නිසාය. උත්තම පුරුෂ බාහිර දෘෂ්ටිකෝණය සියල්ලටත් වඩා සත්‍යය ඉදිරිපත් කිරීමට බාධාවකි. මහාචාර්ය සරච්චන්ද්‍ර සිය ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ චරිත සටහන් කෘතියේදී එය අරඹන්නේ “මෙය චරිතාපදානයක් නොවේ” යැයි සඳහන් කරමිනි. ඇයි? එහිදී උත්තම පුරුෂ බාහිර දෘෂ්ටිකෝණයෙන් සත්‍ය කතාව කීමේ ගැටලුවට මුහුණ දෙන නිසාය. සල්මන් රුෂ්ඩි Josef Anton නම් ඔහුගේ ස්වයංචරිතාපදානයේදී සත්‍යය ඉදිරිපත් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්නේ එය ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් කියා පෑමෙනි. එහෙත් එහිදීද ඔහුට එය දුෂ්කර වන්නේ අභ්‍යන්තර ආත්මික දෘෂ්ටියෙන් (Subjective Point of View) එය ඉදිරිපත් කිරීමට එහි අවකාශ නොමැති වීම නිසාය.

මට හැඟෙන ලෙස කතුවරයකුට යථාර්ථය/ සත්‍යය සොයා ගැනීමට මං දෙකක් තිබේ. එකක් හරුකි මුරකාමිද සඳහන් කරන කල්පනා ලෝකය තුළින් (ප්‍රබන්ධය තුළින්) තමාගේ ආත්මයේ පාතාල ලෝකයට යෑමය. අනෙක කතාව ඉදිරිපත් කරද්දී කතාකරුවා ශුද්ධවන්තයකු වීමට නොගොස් තමාද විවේචනය කරමින් කතාව ඉබේ දිගහැරීමට ඉඩ දීමය. රුෂ්ඩි Josef Anton හිදීද, බර්ට්‍රන්ඩ් රසල් සිය ස්වයංචරිතාපදානයේදීද කරන්නේ මෙයය. එහෙත් එසේ කළද ප්‍රබන්ධයෙන් (කල්පනා ලෝකයෙන්) තරම් ඔවුනට එහිදී සත්‍යය හෙළිදරව් කිරීමට හැකි නොවේ.

ප්‍රබන්ධ ලෝකයෙන් ලේඛකයකුගේ ඇතුළත ජීවිතය කියා පා බාහිර සමාජ ජීවිතය නිරූපණයට හැකි වන්නේ කෙසේද? ඊට මූලික හේතු සාධකය බාහිර සමාජ යථාර්ථය - එහි විෂකුරු බලවේග - බාහිරයට වඩා ගැබ් කරගන්නේ එය පුද්ගල ආත්මය තුළ ඇති කරන විපර්යාස තුළ වීමය. ඒ අනුව කතාකරුවකුෙග් ආත්ම විදාරණය තුළින් සිදු වන්නේ සමාජ බලවේග ඔහු තුළ ඇති කළ විපර්යාස පළමුව විවරණය වී දෙවනුව සමාජ දේශපාලනයේ ක්‍රෑරත්වය විවරණය වීමය. මේ විවරණය හෙළිදරව්වකි. ඒ හෙළිදරව්ව පුවත්පත් විශේෂාංග ලිපියකට, ගවේෂණාත්මක පුවත්පත් ලිපියකට කළ නොහැකි තරම් බැරෑරුම්ය. වික්ටර් මාරි හියුගෝගේ ‘ලේ මිසරාබ්ල’ (‘මනුතාපය’) නම් මහා නවකතාව පළ වූ පසු එහි සමාජ දේශපාලන විවරණය එදා පැවති ප්‍රංශ දේශපාලනයට නොසලකා හළ නොහැකි විය. ෆ්‍රාන්ස් කෆ්කා ‘ද කාසල්’ (‘බළකොටුව’), ‘ට්‍රයල්’ (නඩු විභාගය’) යන කෘතිවලින් විවරණය කරනුයේ පුද්ගලයකුට මුහුණ පෑමට සිදු වන සිදුවීම්ය. එහෙත් ඒ තුළ තිබෙනුයේ සමාජ දේශපාලන ක්‍රෑරත්වයය. ‘ට්‍රයල්’ නවකතාවේ කතානායක ජෝසෆ් කේගේ අභ්‍යන්තර විපරීතය සමාජ විපරීතයේ පිළිබිඹුවකි. කෆ්කාගේ ‘රූපාන්තරණය’ (‘මෙටමෝෆසීස්’) කෙටිකතාවේ ග්‍රෙගර් සම්සාගේ රූප විපර්යාසය සමාජ විපර්යාසයේ ප්‍රතිබිම්බයකි.

සැබැවින්ම ප්‍රබන්ධකරුවකු තුළ චරිත දෙකක් ජීවත් වෙති. එක් චරිතයක් භෞතික ප්‍රබන්ධකරුවාය. උදෑසන පිබිදී කන්තෝරු යන්නේ, ගෙදර දරුමල්ලන් ගැන විමසන්නේ, දෛනික රාජකාරි ඉටු කරන්නේ ඒ භෞතික පුද්ගලයාය. අනෙක් චරිතය මේ භෞතික පුද්ගලයා තුළ සිටින කෙනෙකි. බාහිර පුද්ගලයා සමාජයේ අත්දැකීම් ලබන විට මොහුද අත්දැකීම් ලබන අතර බාහිර පුද්ගලයා තමා ලබන අත්දැකීමකින් කතාවක් ලිවීමට සිතන විට මොහුද කතාවක් ලිවීමට සිතයි. එහෙත් අවසාන වශයෙන් කඩදාසියේ දිගහැරෙන්නේ බාහිර භෞතික පුද්ගලයාගේ කතාව නොවේ, මේ අභ්‍යන්තර පුද්ගලයාගේ කතාවය. ඇත්ත වශයෙන් කතුවරයකුගේ සැබෑ හැඩරුව ඇත්තේ මේ සැඟවුණු තැනැත්නා තුළය. එනිසා කතාවක් සාර්ථක වන්නේ ඒ සැඟවුණු අමුත්තාගේ කතාව දිගහැරුණහොත්ය. චරිතාපදානයක්, ස්වයංචරිතාපදානයක් වුව සාර්ථක වන්නේ ඒ තුළය.

කතාකරුවකු හුදකලා වූවකු බව සැබෑය. එහෙත් සැබැවින්ම බැලුවහොත් ඔහු හුදකලා වී නැත. හුදකලා වී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන්ය. ඔවුන් තුළ සැඟවුණු කිසිවකු නැති නිසාය. කතාකරුවකු තුළ දෙදෙනෙකු සිටියාටද ඵලක් නැත. ඔහු තමා තුළ සිටින අනෙකාට නොහොත් සැඟවුණු අමුත්තාට කථා කිරීමට ඉඩ හළ යුතුය. එය කළ හැක්කේ තනි වීමෙනි. තනි වීම සාමාන්‍ය කෙනෙකුට හුදකලාවක් වුව මොහුට එසේ නැත. කතාකරුවකු තනිය සොයා යා යුත්තේ ඔහුට මේ අනෙකා හමු වන නිසාය. එවැන්නකු හමු නොවුණහොත් සිදු වන්නේ ඔහුට තමාගේ සැබෑ පුද්ගලයා සේම සැබෑ සමාජ යථාර්ථයද විවරණය කිරීමට නොහැකි වීමය. සත්‍යය විවරණය කිරීමටද නොහැකි වීමය. මේ අනුව ලිබ්‍රටෝවකද අයිතිකරු සොයාගත හැක්කේ ලිබ්‍රටෝව තුළ සැඟවී සිටින සැඟවුණු අමුත්තා කාගේ කවුදැයි සොයා පාදා ගැනීමෙනි.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා