ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය ගැන සතුටු විය හැකිද?

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය ගැන සතුටු විය හැකිද?

ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ රටක ආර්ථික වර්ධනය සඳහා සේවා නියුක්තිය ඉහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය බරපතළ ගැටලුවක් වී ඇති බව අසන්නට තිබේ. වත්මන් රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය සුදුසුකම් නොමැති වීම රටේ රැකියා වියුක්තිය කෙරේ දැඩිව බලපාන ගැටලුවක් වී ඇති බවටද මත පවතී.

ශ්‍රී ලංකාවේ 2017 වසරේදී සේවා නියුක්ති ජනගහනය මිලියන 8.208කි. එය 2018 වසරේදී මිලියන 8.015කි. එනම් ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය සියයට 2.4කින් අඩු වී තිබේ. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්ති ජනගහනයේ වැඩිම අංශය දරන්නේ සේවා අංශයයි. එය අඛණ්ඩව පවතින තත්ත්වයකි. එනම් සියයට 46.8කි. කර්මාන්ත අංශය මුළු සේවා නියුක්තියෙන් සියයට 27.9කි. කෘෂිකර්මාන්ත දායකත්වය සියයට 25.5කි. කෘෂිකාර්මික අංශයේ දායකත්වය 2017 වසරේදී සියයට 26.1ක් වූ අතර එය සියයට 1.4කින් අඩු වී තිබේ.

රාජ්‍ය අංශයේ සමස්ත සේවා නියුක්තිය 2017 වසරේදී මිලියන 1.397ක් වූ අතර 2018 වසරේදී එය 1.4111ක් පමණ වේ. මෙම සමීක්ෂණවලට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවා නියුක්තිකයන් ඇතුළත්ය.

රාජ්‍ය ආයතනවල සේවා නියුක්තිය දිනෙන් දින වැඩිවන බවක් පෙනේ. ආර්ථිකයට නිෂ්පාදනයක් එක් නොවන රාජ්‍ය සේවය දිනෙන් දින වැඩිවීම ආර්ථිකයට විශාල බරකි. වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්වලට වෙන් කරන මුදලට සාපේක්ෂව ඉතා හොඳ තෘප්තිමත් මහජන සේවාවක් ලැබෙනවාද යන්න බරපතළ ගැටලුවකි. රාජ්‍ය ආයතනයකින් මහජනතාවට ලැබෙන සේවය සම්බන්ධයෙන් ඇසෙන්නේ ප්‍රීතිමත් කතා නොවේ. මෙවැනි වටපිටාවක ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තියෙන් වැඩිම ප්‍රමාණයක් සේවා නියුක්ති අංශයට වෙන්වීම පිළිබඳ වරක් නොව සෑහෙන වරක් සිතිය යුතු කරුණකි.

පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රැකියා උත්පාදන අංශය ලෙස වාර්තා කරමින් 2018 වසරේ සමස්ත සේවා නියුක්තියට සියයට 43.4ක සිය දායකත්වය ලබා දී තිබේ. එසේම සේව්‍යයන්, තමාගේ වැඩකටයුතු කරන්නන් සහ ගෙවීම් නොලබන පවුලේ සාමාජිකයන් යන උපකුලකවලින් සමන්විත ස්වයං රැකියාවල නියුතු වූවන්ගේ කාණ්ඩයද 2018 වසරේදී සමස්ත සේවා නියුක්තියෙන් සියයට 42.2ක ඉහළ අගයන් නියෝජනය කරයි. සේව්‍යයන්ගේන් පුරුෂ සේවා නියුක්තිය සියයට 65.5ක් වන අතර ස්ත්‍රී සේවා නියුක්තිය 12.7කි. තමාගේ වැඩකටයුතු කරන්නන්ගෙන් පුරුෂ සියයට 70.9ක් වන අතර ස්ත්‍රී සේවා නියුක්තිය සියයට 29.1කි. ගෙවීම් නොලබන පවුලේ සාමාජිකයන් පුරුෂ සියයට 21.1ක් වන අතර ස්ත්‍රී සියයට 78.9කි.

රටේ ආර්ථික සංවර්ධනයට නිහඬව එහෙත් විශාල මෙහෙයක් කිරීම මේ කණ්ඩායම් අතින් සිදුවන්නකි. ස්වයං රැකියාවල නිරතවන්නන් සේම නිවසක ස්ත්‍රියද ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බව මෙයින් පැහැදිලි වේ. ඊට සාපේක්ෂව ඔවුන් ගෙවන ජීවිතය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකිය. මාර්ගය දෙපස පලතුරු, අත්කම් නිෂ්පාදන, එළවළු, කැඳ ආදිය විකුණන අයවලුන් ගෙවන ජීවිතය සුන්දර නැත. ඒ ශ්‍රී ලංකාවේ ජනතාව නිරත වන ස්වයං රැකියාවලින් කිහිපයකි. සියලු ස්වයං රැකියාලාභීන් බොහෝ විට ක්ෂුද්‍ර ණය දෙන ආයතනවල ගොදුරක් වී අවසන්ය. ඔවුහු අතිශය ආර්ථික පීඩා මැද්දේ ජීවිතය ගෙවති.

2017 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2018 වසරේ පළමු භාගය තුළදී වැඩකරන වයසේ කුටුම්බ ජනගහනය සියයට 2.8කින් ඉහළ ගියේය. එසේම ශ්‍රම බලකාය මිලියන 8.551 සිට 8.343 දක්වා සියයට 2.4කින් පහළ ගියේය.

ශ්‍රම බලකායේ පහළ යෑම ග්‍රාමීය කාන්තාවන් අතර කැපී පෙනෙයි. වැඩකරන වයසේ කුටුම්බ ජනගහනයෙන් කොටසක් වන ආර්ථික වශයෙන් සක්‍රිය නොවන ජනගහනය 2017 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2018 පළමු භාගය තුළදී සියයට 9.0කික් ඉහළ ගියේය.

සේවා වියුක්ති අනුපාතිකය 2017 වසරේදී සියයට 4.2ක් වාර්තා වූ අතර එය 2018 වසරේදී 4.4ක් වී තිබේ. ශ්‍රමිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද ස්ත්‍රීන්, තරුණ තරුණියන් සහ අධ්‍යාපන සුදුසුකම් සහිත කාණ්ඩවල ඉහළම සේවා වියුක්ති අනුපාතිකයක් වාර්තා විය.

2018 වසරේදී වයස අවුරුදු 15 – 24ත් කාණ්ඩයේ සියයට 21.4කුත් 25 – 29ත් අතර කාණ්ඩයේ සියයට 10.4කුත් සේවා වියුක්තියක් පෙන්වයි. අධ්‍යාපන සුදුසුකම් අනුව උසස් පෙළ සහ ඊට ඉහළ සේවා කාණ්ඩය තුළ වාර්තා වූ සේවා වියුක්තිය, 2017 වසරේදී සියයට 8.1ක් වූ අතර 2018 වසරේදී 9.1ක් ලෙස වැඩි වී තිබේ.

2018 වසරේ පළමු භාගය තුළ වැඩ කරන වයසේ ජනගහනය ඉහළ ගියද එම කාල පරිච්ඡේදය තුළ ශ්‍රම බලකාය වෙත වැඩ කරන වයසේ ජනගහනයේ ඵලදායී දායකත්වයට අවශ්‍ය (විභව) මට්ටමට වඩා පහළින් පැවතිණි. මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය සියයට 51.5ක් දක්වා අඩු වී ඇත. එසේම ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගීත්වය 2017 වසරට සාපේක්ෂව 33.0කින් පහළ වැටී තිබේ. සමස්ත සේවා වියුක්තිය සියයට 4.5ක් දක්වා වර්ධනය වී තිබේ.

වැඩකරන වයසේ කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික ආර්ථිකයට දායකත්වය දැක්වීමක් සිදු වන්නේ නැත. රැකියාව සඳහා අවශ්‍ය නිපුණතා ගැටලු, ශ්‍රම වෙළෙඳපොළ තුළ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා අවම වීම, රැකියා අවස්ථා, වැටුප් හා උසස් වීම් සම්බන්ධ ස්ත්‍රී පුරුෂ විෂමතා, රැකියා ස්ථානයේදී හා පොදු ප්‍රවාහනයේදී වන හිංසන, යල්පැන ගිය සමාජ සම්මත, ළමා සුරැකුම් පහසුකම්වල මිල අධික වීම හා ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් අපේක්ෂා කරන සමාජ භූමිකා හා වගකීම් වැනි සාධක ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය අඩුවීමට හේතු වී ඇති බව

ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ශ්‍රම වෙළෙඳපොළේ රැකියා සහ නිපුණතා අතර නොගැළපීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම හිඟයක් පවතී. තරුණ පරපුර ඒකාකාරී ශ්‍රමය යොදවන රැකියාවලට අකමැත්තක් දැක්වීම, රැකියා අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු සහ ශ්‍රම දේපොළ අවශ්‍යතා අතර විශාල පරතරයක් පැවතීම, වැඩපොළවල පවතින තාවකාලිකභාවය හේතුවෙන් රැකියා අපේක්ෂකයන් ඉදිකිරීම් කර්මාන්තය වැනි කර්මාන්තවල යෙදීමට ඇති අකමැත්ත වැනි කාරණා ශ්‍රම හිඟයට හේතු වී ඇත.

විදේශ රැකියා සඳහා පිටව ගිය සමස්ත ප්‍රමාණය 2017 වසරට සාපේක්ෂව 2018දී අඩු වී ඇත. එසේම 2017 වර්ෂයේ විදේශ රැකියා සඳහා පුරුෂයන් 1,39,268ක් පිටත්ව ගිය අතර 2018 වසරේදී 1,29,774ක් විය. එනම් සියයට 6.8කින් පහළ ගොස් තිබේ.

2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී විදේශ රැකියා සඳහා පිටව ගිය කාන්තාවන් සංඛ්‍යාව වැඩි වී ඇත. 2017 වසරේදී විදේශ රැකියා සඳහා කාන්තාවන් 72,724ක් පිටත්ව ගිය අතර 2018දී එය 81,685 දක්වා වැඩි වී ඇත. එනම් සියයට 12.3කින් කාන්තා විදේශ රැකිය නියුක්තිය වසරකදී වැඩි වී තිබේ. අවුරුදු 35-44ත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවන් ගෘහ සේවිකා රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. 2018 වසරේදී නුපුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා පිටව යෑම සියයට 15.3කින් අඩු විය. එහෙත් නුපුහුණු සහ ගෘහසේවිකා කාණ්ඩය තවදුරටත් විදේශ රැකියා සඳහා සමස්ත පිටව යෑම්වලින් සියයට 55.2ක් නියෝජනය කරයි.

සමස්ත විදෙස් රැකියා සඳහා පිටව යෑම්වලින් සියයට 88.2ක් පමණ මැදපෙරදිග කලාපයට සේවය කරා පිටත් යෑම සිදුවේ. ගෘහ සේවිකාවන්ගෙන් සියයට 97.4ක් හා නුපුහුණු ශ්‍රමිකයන්ගෙන් සියයට 78.0ත් සෞදි අරාබිය, කටාර්, කුවේට් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි මැදපෙරදිග රටවලට සංකේන්ද්‍රණය වී ඇත. ස්ත්‍රී පුරුෂභාවය අනුව සැලකූ විට මැදපෙරදිග කලාපය තුළ පුරුෂ සියයට 85.0ක් සහ ස්ත්‍රී සියයට 93.3ක් රැකියාවල නිරත වෙති.

වැඩ කළ හැකි වයසේ පසුවන කාන්තාවන්ගේ සේවා වියුක්තිය ඉහළ ගියද මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් ප්‍රමාණය වැඩි වීම සැලකිය යුතු කාරණයකි. වැඩ කළ හැකි වයසේ පසුවන කාන්තාවන් රැකියාවක නිරත නොවීම යනු එම පවුල්වල ආර්ථික තත්ත්වය යම්දුරකට යහපත් තත්ත්වයක් පවතින බවට සාක්ෂි සපයන්නකි. ස්ත්‍රීන් මැද පෙරදිග ගෘහ සේවයට පිටත්ව යෑමත් සමඟ එම පවුල් බිඳවැටීම බරපතල ගැටලුවකි. ග්‍රාමීය පවුල් විශාල වශයෙන් බිඳ වැටී ජීවිත වියවුල් වන බව බොහෝ දෙනකුට අමතකව යන කාරණාවකි.

මේ සියලු දත්තවලින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය පිළිබඳ සතුටු විය නොහැකි බවයි. සේවා නියුක්තිය වැඩි කිරීම සඳහා නිසි පියවර ගත යුතු බවයි. රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීමෙන් මේ ගැටලුව විසඳිය නොහැකිය. ජනතාව අතරට තාවකාලිකව මුදල් පොම්ප කිරීමෙන් ජනතාවගේ ප්‍රශ්න මඳකට අමතක කරවිය හැකිය. එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ එක දේ නැවත නැවත කිරීමෙන් වෙනස් උත්තර බලාපොරොත්තු විය නොහැකි බවයි. ඉහළ යන සේවා වියුක්තිය සඳහා නිසි ක්‍රමවත් පියවර නොගන්නේ නම් ආර්ථික සංවර්ධනය යනු තවදුරටත් සිහිනයක් වීම නතර කළ නොහැකිය. එය දේශපාලනඥයන්ට පවා තම අනාගතය පිළිබඳ අසුබ ලකුණු එක් කරනු නියතය.

[රසිකා හේමමාලි]

මාතෘකා