රහස් රැසක් ලොවට හෙළි කළ “ශිල්පසේනා”

 ඡායාරූපය:

රහස් රැසක් ලොවට හෙළි කළ “ශිල්පසේනා”

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මඟින් ගමට තාක්ෂණය රැගෙන යෑමේ මුඛ්‍ය පරමාර්ථය ඉටු කරගනිමින් ක්‍රියාත්මක කළ “ශිල්පසේනා” ප්‍රදර්ශනාවලිය මේ මස 18 දින සිට 21 වැනි දින දක්වා දින 4ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ගමට තාක්ෂණය රැගෙන යෑමේ පළමු අදියර කොළඹදී ආරම්භ වුවත් ශිල්ප සේනා ගමට රැගෙන යෑම තව නොබෝ දිනකින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට නියමිතය. මින් අනතුරුව මෙය තවත් දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වෙමින් ගම නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කිරීමට නියමිතය.

මේ දැවැන්ත ප්‍රදර්ශනාවලිය ප්‍රධාන වශයෙන් තාක්ෂණ කලාපය, වෘත්තීය රැකියා කලාපය, නව නිපැයුම් කලාපය, විනෝදාත්මක හා අධ්‍යාපනික කලාපය ලෙසින් කලාප 4ක් යටතේ ක්‍රියාත්මක විය.

මෙහි ප්‍රධාන වශයෙන්ම කාගෙත් අවධානය දිනාගත් තාක්ෂණික කලාපය ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේද 12ක් යටතේ AB ලෙස ක්‍රියාත්මක විය. තාක්ෂණික තේමාවන්ට අයත් ක්‍රියාකාරකම් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට අනුබද්ධිත ආයතන 12ක් යටතේ ක්‍රියාත්මක විය.

විශේෂයෙන්ම මේ තාක්ෂණ ක්‍රමවේද ජනතාවට සරල ක්‍රම මඟින් දැනුවත් කිරීම උදෙසා ක්‍රියාත්මක කර තිබූ අතර මෙහිදී STEM අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක කළ කුටිය මව්පියන්ගේ, පාසල් දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ විශේෂ අවධානය යොමු වී තිබිණි. මෙහිදී වර්ණාවලිය හඳුනා ගැනීම, විද්‍යා තාක්ෂණය විෂය නිර්දේශයට අදාළ වූ විවිධ අත්කම් වැනි ක්‍රියාකාරකම් දරුවන්ට අත්හදා බැලීමේ අවස්ථාව වෙනම සුහුරු පන්ති කාමර අත්දැකීම්, විවිධාකාරයේ කැට පද්ධති ක්‍රියාකාරකම්, විවිධාකාරයේ පුවරු ක්‍රීඩා යනාදිය දරුවන්ට ප්‍රායෝගිකව අත්හදා බැලීමේ අවස්ථාව සලසා දී තිබිණි.

එමෙන්ම රොබෝ විද්‍යාව හා කාර්මික ස්වයංකරණ තේමාව යටතේ පැවැත්වූ කුටියේදී විවිධාකාරයේ කර්මාන්තයන්ට රොබෝ තාක්ෂණය යොදා ගන්නා ආකාරය මනාව ප්‍රදර්ශනය කොට තිබිණි.

බහුතරයක් තරුණ තරුණියන්ගේ අවධානය දිනාගත් කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රදර්ශන කුටියේදී සිංහල හා දමිළ පරිගණක අධාරක පරිවර්තන පද්ධතිය, ප්‍රවාහනයට මෙන්ම දියුණු කෘෂිකර්මාන්තයට කෘත්‍රිම බුද්ධිය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ඇතුළු තවත් බොහෝ දෑ පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකිවන අයුරින් සංවිධානය කර තිබිණි.

තරුණ තරුණියන්ගේ අවධානය දිනාගත් තවත් කලාපයක් ලෙසින් අන්තර්ජාල කලාපය (5G) හඳුනාගත හැකියි. මේ ප්‍රදර්ශන කුටියෙන් නවීන තාක්ෂණය භාවිත කරමින් විනෝදාස්වාදය කැටි කළ විවිධාකාරයේ ක්‍රීඩාවන්වල නිරත වීමේ හැකියාවද ලබා දී තිබිණි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් නව බලශක්ති ප්‍රභවයන් පිළිබඳ බොහෝ කරුණු ඇතුළත් වන අයුරින් නව බලශක්ති ප්‍රදර්ශන කුටිය සකසා තිබිණි. අභ්‍යවකාශ තාක්ෂණ ප්‍රදර්ශන කුටිය විශේෂයෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේද දායකත්වයෙන් සකස් වී තිබිණි.

පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාව ප්‍රදර්ශන කුටියේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාවේ දියුණු තාක්ෂණ ක්‍රමවේදයන්, පෞද්ගලික රෝහල් සේවය යනාදියෙන් සන්නද්ධ වීමෙන් සකස් විණි.

මීට අමතරව දක්නට ලැබුණු ජෛව තාක්ෂණවේදය, ස්නායු තාක්ෂණය, හරිත තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් හා නැනෝ තාක්ෂණ ඇතුළත් වූ ප්‍රදර්ශන කුටි මඟින්ද ඒ ඒ විෂයන්වලට අදාළ නවීන තාක්ෂණය මුසු වූ විශාල දැනුම සම්භාරයක් උකහා ගැනීමේ අවස්ථාව මහජනතාවට සලසා තිබිණි.

විද්‍යාව, තාක්ෂණය හා නව නිපැයුම් තුළින් වෘත්තීය හා ව්‍යවසායකත්ව දොරටු විවර කර දීම වෘත්තීය රැකියා කලාපය මඟින් අපේක්ෂා කරනු ලැබීය. මේ සඳහා පෞද්ගලික අංශයේ ආයතනවල තිබෙන රැකියා පුරප්පාඩු සඳහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට අයැදුම්පත් ලබා දීමේ සේවාව, රැකියා පිළිබඳ උපදෙස් හා තොරතුරු ලබාදීම සඳහා පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල නිලධාරීහු බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

නව නිපැයුම්කරණය සඳහා තාක්ෂණික, මූල්‍ය හා නීතිමය සහාය ලබාදීම මඟින් දේශීය නව නිර්මාණකරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් ‘‘නව නිපැයුම් කලාපය” නිර්මාණය වී තිබිණි. මෙහිදී කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය, චර්ම රෝග සඳහා සිදු කළ නව නිපැයුමක්, විදුලියෙන් ක්‍රියාකරන ස්වයංක්‍රීය බියුරෙට්ටුවක්, පාසල් දැරියක් නිර්මාණය කරන ලද වේලාව සමඟ රාහු කාලය දක්වන ඔරලෝසුවක්, තේ කර්මාන්ත ශාලා තුළට සීමා වන තේ සහ කෙඳි වෙන් කිරීමේ යන්ත්‍රයක් ව්‍යාපාරික මට්ටමට ගෙන යා හැකි පහසුවෙන් ආප්ප හා ඉදිආප්ප සාදා ගැනීමේ යන්ත්‍ර, පරිසර හිතකාමී මළ අපද්‍රව්‍ය පිරිපහදු ක්‍රමයක්, සුවිශේෂ අකුණු භූ ගත කරණයක් දුම් පානය කරණය ඉන් මුදා ගැනීමේ ඉලෙක්ට්‍රොනික විකල්ප ක්‍රමයක් විදුලි ආරක්ෂක පරිපථයක්, කුණු කලස යොදා පාර කාපට් කර ගැනීමේ ක්‍රමයක්, ඩිජිටල් තාක්ෂණයෙන් නිවස වයරින් කර ගැනීමේ ක්‍රමවේදයක්, ප්‍රදර්ශනය කෙරිණි. සෞඛ්‍යාරක්ෂිතව මදුරුවන් පළවා හැරීමේ උපකරණයක් ඇතුළු නව නිපැයුම්කරුවන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වය මේ සඳහා දක්නට ලැබිණි. විවෘත අංශය, පාසල් අංශය, විශ්වවිද්‍යාල අංශය, තෘත්‍රියික අධ්‍යාපනික ආයතනය යන අංශවලින් මෙය සමන්විත වී තිබිණි. ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලයෙන් නව නිපැයුමක් සඳහා ලබා ගන්නා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය කරන මූලික පියවරයන් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම නව නිපැයුම් වාණිජ මට්ටමට ගෙන යෑමට උරදීම සඳහා කුටියක්ද මේ කලාපයේ දක්නට ලැබිණි.

ශ්‍රී ලංකාවේ ඇති නව නිපැයුම් ප්‍රදර්ශනය කිරීම, මහජනතාව හා පාසල් සිසුන් නව නිපැයුම්කරණයට යොමු කරවීම මෙන්ම නව නිපැයුම් ක්‍රියාත්මක වන ආකාරය දැක බල ගැනීමට සැලැස්වීම මඟින් පැමිණෙන ජනතාව නව නිපැයුම්කරණය සඳහා පෙළඹවීම මෙහි මුඛ්‍ය පරමාර්ථය විය.

‘‘විනෝදාත්මක හා අධ්‍යාපන කලාපය” අධ්‍යාපනය මුසු වූ විනෝදාස්වාදය ලබා ගැනීමට හැකි අයුරින් නිර්මාණය කර තිබිණි. මේ ප්‍රධාන කලාපවලට අමතරව ‘‘නීල හරිත කලාපය” ලෙස රජයේ අමාත්‍යාංශ හා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවලින් මහජනතාවට සිදුවන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරිණි.

මීට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ නව නිපැයුම් හා ක්‍රියාකාරකම්වල තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන කුටියක් මෙන්ම යුද හමුදාව බඳවා ගැනීමේ සම්මුඛ පර්යේෂණ පැවැත්වීමද මේ කුටියේදී සිදු කෙරිණි.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ විදාතා මධ්‍යස්ථානවල පුහුණුව ලැබූ ස්වයං රැකියාලාභී පිරිස් එක්රැස් කර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ කලාපයක් “විදාතා හරිත කඩමණ්ඩිය“ නමින් ක්‍රියාත්මක විය. එහිදී ඉතා සහනදායී මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවද ජනතාවට හිමි වී තිබිණි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ආරම්භයේ පටන් මේ දක්වා අමාත්‍යාංශයට සේවය කළ අමාත්‍යවරුන් ඇගයීමේ උත්සවයක් ප්‍රදර්ශන භූමි පරිශ්‍රයේම සංවිධානය කර තිබීම කාගේත් පැසසුමට ලක්වූ අංගයක් විය. මේ ප්‍රදර්ශනාවලියේ සමාප්තිය සනිටුහන් කිරීම සඳහා එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “ශිල්පසේනා” සිය අදහස් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“විද්‍යාව, තාක්ෂණය හා පර්යේෂණ තමයි එක් පැත්තකින් මානව සමාජයට අපට තිබෙන යහපත. ඒ වගේම තවත් පැත්තකින් අපිට තිබෙන අයහපත. යහපත මානව සමාජයේ සංවර්ධනය සඳහා මේ ක්ෂේත්‍ර හරහා සියලු විෂය ක්ෂේත්‍රයන් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණවලින් ලෝකය වේගයෙන් ඉදිරියට යනවා. සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මය ආදී ක්ෂේත්‍ර මිනිසාට අවශ්‍ය සියලු දේ සඳහා ඉදිරියට යනවා. වෛද්‍ය විද්‍යාව ගතහොත් අදට වඩා හෙට දවසේ අලුත් දේවල් හොයාගන්න පහසුකම් ඇතිවෙමින් තිබෙනවා. ඇතැම්විට දීර්ඝ කාලයක් යම්කිසි රෝගයකට ප්‍රතිකාර සඳහා නොතිබූ ඖෂධයක් පළමුවැනි වරට හෙට දවසේ සොයා ගන්නවා. කෘෂිකර්මාන්තය ගතහොත් එහි තිබෙන නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා කෘෂි විද්‍යාඥයන් දවසින් දවස බොහෝමයක් දේවල් සොයා ගන්නවා.

මිනිසාගේ සම්පත්, යටිතල පහසුකම්, භෞතික සම්පත් දෛනික ජීවිතය මේ සියල්ල අද රඳා පවතින්නේ විද්‍යාව, තාක්ෂණය හා පර්යේෂණය තුළයි. නමුත් අද ලෝකයේ බලවතුන් විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණ, නවෝත්පාදනය සඳහා මුල් තැන ලබා දී තිබෙන්නේ මිනිසාගේ යහපතට වඩා මිනිසුන් විනාශ කිරීමටයි. මේ විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණ අවශ්‍ය වන්නේ මිනිසාගේ දියුණවටයි. සෑමවිටම අද ජීවත් වන මිනිසාට වඩා දියුණු මිනිසෙක් මේ විෂය ක්ෂේත්‍රය තුළින් නිර්මාණය විය යුතුයි.” යනුවෙනි.

“ශිල්පසේනා” සමාරම්භක උත්සව අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් මෙසේයි.

“අනාගතය තිබෙන්නේ තාක්ෂණය සමඟයි. අපි කෘෂිකාර්මික යුගයෙන් කර්මාන්ත යුගයට ගමන් කළා. කර්මාන්ත යුගයෙන් දැන් තාක්ෂණික යුගයට ගමන් කරනවා. ලෝකයේ බලවතා වන අමෙරිකාව අද ජීවත් වන්නේ තාක්ෂණයත් සමඟයි. උදාහරණයක් ලෙස ඇමසන්, ගූගල් පෙන්වාදිය හැකියි. ඔවුන්ගෙන් ලැබෙන ආදායම ඇති රටක් ගෙන යන්න. තාක්ෂණය නොමැතිව රටක් දියුණු වන්නේ නැහැ. අද අපි අඩු ආදායම්ලාභී රටක් නෙවෙයි. අපි දැන් මධ්‍යම ආදායම් ලබන උසස් පෙළේ රටක්. අපට බංග්ලාදේශයේ ඇඟළුම් කර්මාන්තය සමඟ තරග කිරීමට නොහැකි වුණත් අපේ ඇඟළුම් තාක්ෂණය දියුණු කරගෙන ඉදිරියට යා යුතුයි. සෑම අංශයක්ම තාක්ෂණයෙන් ඉදිරියට යා යුතුයි. කෘෂිකර්මාන්තය, වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්. ඒවා දියුණු කළ යුතුයි.

“ශිල්පසේනා” සංකල්පධාරී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදී සිය අදහස් ප්‍රකාශ කර සිටියේ මෙසේය.

“විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ඇමැතිවරුන් ගණනාවක් සිටියා. නමුත් මෙවැනි ශිල්ප සේනාවක් බිහිකිරීමට කිසිදු අමාත්‍යවරයකු අතගැහුවේ නැහැ. අපි හතර වන කාර්මික විප්ලවයට යා යුතුයි. අප එම විප්ලවයේ ඉදිරියෙන්ම සිටිය යුතුයි. අපි අලුත් තාක්ෂණය තොරා ගත යුතුයි. ලෝක වෙළෙඳපොළ අල්ලා ගත යුතුයි. අපි අපනයන ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. එහි පදනම විය යුත්තේ විද්‍යාව හා තාක්ෂණයයි. එය ඉලක්කය කර ගනිමින් අපි රජයක් ලෙස ක්‍රියාත්මක වී සිටිනවා. අපේ මූලික වැඩ කටයුත්ත වී තිබෙන්නේ අධ්‍යාපනය නවීකරණය කිරීමයි. මේ සියල්ල සඳහා ගමට මූලික පහසුකම් ලබා දිය යුතුයි. පාරවල් හැදිය යුතුයි. වතුර ලබා දිය යුතුයි. ඒ වැඩසටහන් සියල්ල අපි ගමට ලබා දී තිබෙනවා. දැන් එයින් ප්‍රයෝජන ගෙන විද්‍යාව හා තාක්ෂණයට ආයෝජන ලබා දෙන තැනකට අපි ඇවිත් සිටිනවා. එයින් අපි ප්‍රයෝජන ගනිමින් ඉදිරියට යා යුතුයි.

“තාක්ෂණ විෂය සම්බන්ධයෙන් අපි සිටින්නේ ලෝකයේ 84 වැනි රට ලෙසයි. අපි 2015 සිට මේ වන විට රටවල් 4ක් පසු කර ගෙන ඉදිරියට ඇවිත් තිබෙනවා. මෙය අපි 70 වැනි රටට වඩා ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා අද අපි රටේ හොඳ අත්තිවාරමක් දමා තිබෙනවා. ඊට නොයෙකුත් බාධා ආවත් අපි අතහැරියේ නැහැ.”

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා පැවසුවේ,

“විද්‍යාව හා තාක්ෂණය ගමට ගෙන යෑමට අපිට තිබුණු ලොකුම බාධකය ඉවත් කරගන්න ‘ශිල්පසේනා’ ප්‍රදර්ශනාවලිය සමාරම්භයෙන්ම අපට අවස්ථාව සැලසුණා. නවෝත්පාදන, පර්යේෂණ තවදුරටත් මුළුගැන්වීම අවශ්‍ය නොවන බව අපට විශ්වාසයි. ‘ශිල්පසේනා’ ඉදිරි ප්‍රදර්ශන මාලාවේදී ගමට විද්‍යාව හා තාක්ෂණය රැගෙන යමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විශාල පිම්මක් ඉදිරියට තබා තිබෙන බව පළමු ‘ශිල්පසේනා’ ප්‍රදර්ශනයෙන්ම රටට ඔප්පු කර අවසන්.” යනුවෙනි.

[වින්ධ්‍යා පාදුක්කගේ]

ඡායාරූප [හිරන්ත ගුණතිලක]

[ දුලිප් නයනප්‍රිය]