කැපිලි කෙටිලි හමුවේ කැනඩාවට යයි

 ඡායාරූපය:

කැපිලි කෙටිලි හමුවේ කැනඩාවට යයි

මිරැන්ඩා හේමලතාගේ නර්තනයට වශීවූවෝ ඇය ඉන්දියාවේම නතර කරගැනීමට සිතූහ. ඇයට ඉන්දියන් තරුණයන් කිහිපදෙනකුගේ ප්‍රේමාරාධනාද ලැබිණි. මිරැන්ඩා තරුණය; පියකරුය; හුරුබුහුටිය; දක්ෂය. එවන් ළඳක් සතු කර ගැනීමට සිතූ ඔවුන්ගේ තරුණ සිතිවිලි වැරදී නැත. ඇයට ලැබුණු සැලකිලි හා ප්‍රසිද්ධිය හමුවේ ඇය ලැබූ තාරකා ගුණය විසින් හැඟීම් මකා දමා තිබිණි.

ඇය ලංකාවෙන් පිටත්ව යන විට මවුපියන්ට පොරොන්දුවක් දී තිබිණි. ඒ ලංකාවෙන් පිටත්වන දියණියම නැවත එන බවය. ඇගෙන් ඊට වෙනසක් සිදුවූයේ ප්‍රසිද්ධිය රැගෙන ඒම පමණි. ඇය ඉන්දියාවේ ජනප්‍රිය වුවද ඇගේ දෙපතුල් තිබුණේ ලංකා භූමියේය. ඇය ඉන්දියාවට ගියේද ඔසරිය ඇඳ ලාංකේය ගතිපැවතුම්ද සමඟය. ඇය නැවතත් ලංකාවට පා තැබුවේද කිසිදු සංස්කෘතික වෙනස්කමක් නොමැතිවය.

ඉන්දියාවට තනියෙන් පියනැඟුවා සේම මතක පමණක් රැගෙන තනියම ලංකාවට 1965 ඔක්තෝබර් 11 දින පා තැබුවාය. ඉන්දීය පුවත්පත් ඇගේ නර්තනය පිළිබඳ ප්‍රවෘත්ති පළකර තිබිණි. එහෙයින් ලංකාවේ සෑම පුවත්පතකම ඇයගේ ඉන්දීය සංචාරයත් කලඑළි මංගල්‍යයත් ප්‍රචාරය කෙරුණි. ලංකාවෙන් පිටව ගිය හේමලතාට වඩා වැඩි බැබළීමක් ඇය සතුව තිබිණි. ඇය දුටුවේ සුන්දර රසික ලෝකයකි. ඇයගේ මතක අදටත් එම ඉන්දීය මතක ලෝකයේ සැරිසරනු නොඅනුමානය. ඔවුන්ගෙන් ලැබුණු සෙනෙහස, ප්‍රසාදය හා සුන්දර මතක සමඟ අත්වැල් බැඳ ගන්නවා ඇත. ඒ තුළින් නැවත නැවතත් බැබළීමක් මනස තුළ ගොඩනැඟෙන්නේය. එයින් නිරතුරුව තරුණ වෙමින් අතීතයේ සැරිසරනු ඇත. මේ ගමනට දැන් වසර 50ක් ඉක්මවා ගොස්ය. ලංකාවේදී ඇය දෙස තරුණ වියේදී ස්නේහයකින් බැලූ, කතා කළ රසිකයන්ගේ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. ඇයට ඉන්දියාවේ කථිකාචාර්යවරියක ලෙස පත්වීමක් බාර ගැනීමට නොහැකි වූයේ ලංකාවේ නිලධාරීන්ගේ පටු ආකල්ප නිසාය. ලංකාවට විශාල කීර්තියක් ළඟා කර ගැනීමට තිබූ අවස්ථාවක් ඉන් ගිලිහුණි. නැවතත් ඇය සුපුරුදු පරිදි මියුසියස් ගුරු විදුහලේ කථිකාචාර්යවරියක ලෙස සුපුරුදු රැකියාවටම යෑමට සිදුවිය.

ඇයට 1965දී පොල්ගොල්ලේ ගුරු විදුහලේ කථිකාචාර්යවරියක ලෙස යෑමට සිදුවිය. නැවතත් 1966 ජුනි මාසයේ කළුතර මියුසියස් ගුරු විදුහලේ සේවයට ස්ථාන මාරුවක් ලැබිණි. ඇය ලැබූ විශේෂ අධ්‍යාපනය හේතු කරගෙන එම්. ජේ. පෙරේරා ඇයට උසස් වීමක් දී අමාත්‍යාංශයට ගැනීමට ලියා තිබුණද ඇයට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේගය ඊට ඉඩදී නොතිබිණි.

ඇය ලැබූ විදේශ පුහුණුවෙන් විශිෂ්ට සේවයක් ලබා ගැනීමට තරම් ලංකාව දුප්පත්ව තිබීම කනගාටුවට කරුණකි.

ඉන්දියාවේදී අරංගේත්‍රම් නිම කළද සිය ඉන්දීය ගමනෙන් ලැබූ නර්තන අත්දැකීම් සම්භාරයත් අප රටේ ප්‍රේක්ෂක සහෘදයන් අබියස එය ඉදිරිපත් කළ යුතුයැයි හැඟීමක් ඇයට දැනුණි. එසේ නොකළහොත් ඇයගේ සිතට මදිය. ඇයට ඉන්දියාවේ සිට ත්‍යාග ලෙස ලද මුදල්ද ඇත. ඇය 1966 පෙබරවාරි 10 වැනි දින ලංකාවේ නර්තන ප්‍රසංගයක් සංවිධානය කළාය. ඒ සඳහා සහභාගි කර ගැනීමට ඉන්දීය සංගීත ශිල්පීන්ටද ඇරයුම් කළාය. ඉන්දියාවේ ශිල්පීන්ට පානදුරේ ඇගේ නිවසේම නවාතැන් දී පුහුණුවීම් සිදු කෙරිණි. දර්ශනයට දින කිහිපයකට පෙර රටේ කලබැගෑනියකි. එය සන්ධ්‍යාවේ සිට ඇඳිරිනීතිය දමන තත්ත්වයක් දක්වා දිග් ගැස්සිණි. දර්ශනයට පෙර 9 වැනි දින ඇඳිරිනීතිය අවසන් විය. දර්ශනය දිනත් එලෙසම වනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් 10 වැනි දිනයේත් ඇඳිරිනීතිය යෙදුණි. ඇයට දර්ශනය කල් දැමීමට සිදුවිය. පෙබරවාරි 29 වැනි දින තෙක්ම ඇයට ඉන්දියාවේ සිට පැමිණි ශිල්පීන්ට සත්කාර කරමින් දුෂ්කරතාවකට මුහුණ දීමට සිදු විය. ලංකාවේ ඉන්දියානු තානාපති ගරු භීම් සෙන් සවාර් මැතිතුමා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් 1966 පෙබරවාරි 29 වැනි දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඇය සාර්ථකව ප්‍රසංගය ඉදිරිපත් කළාය. ඇයට කිසිදු කටයුත්තක් බාධාවන්ගෙන් තොරව කිරීමට නොහැකි විය. ඒවායින් වසර දෙකක රාජකාරි නිවාඩුවට ලැබුණ වැටුපද ප්‍රසංගය සඳහාම වියදම් කිරීමට සිදුවිය. එම ප්‍රසංගයේ සමරු කලාපය සඳහා ලංකා මහජන කලා මණ්ඩලය විසින් රචනා කරන ලද ලිපියේ මෙසේ සඳහන් ය.

ඉන්දියාවට නම් ඇය අමුත්තියක නොවේ. මිරැන්ඩා ඉන්දියාවේ ගත කළ දෙවසර ඇතුළත මධුරාසිය, බැංගලෝර්, මයිසූරය, බොම්බාය, නව දිල්ලිය හා කාෂ්මීරය යන ප්‍රධාන කලා මධ්‍යස්ථානයන්හිදී භරත නාට්‍ය දර්ශන පමණක් නොව ඇය මෙරටින් ගෙන ගිය උඩරට නැටුම් හා ගැමි නැටුම් රඟ දක්වා ඉන්දියාවේ උසස් පෙළේ විචාරකයන්ගේ ඉමහත් පැසසුම් ලැබීමට සමත් විය.

මේ ප්‍රසංගය සඳහා නට්ටුවාන්ගම් සහ ගායනය ශ්‍රී. කේ. රාම් රාඕ, ගායනයෙන් අම්බිකා තාමෝදරම්, මෘදංගය වාදනයෙන් ඒ. ශාන්තන් ක්‍රිස්නන් සහ බටනලා වාදනයෙන් ටී. පී. ජේසුදාසන්ද ඉන්දියාවේ සිට පැමිණ සහභාගි විය.

නැවත ඇය “රංගධාරා” නමින් ප්‍රසංගයක් ඇගේ වෘත්තිය සිසු පරපුරට වේදිකාව විවර කරදීමට සංවිධානය කළාය. දේවි බාලිකාවේ සවස්වරුවේ පුහුණුවීම් කළ අතර ඇයට මෙහිදී වර්ණම් නර්තනය වෙනුවෙන් අලුත් අත්හදාබැලීමක් කිරීමට සිතුණි. වර්ණම් යනු: දෙවිඳුන් කෙරෙහි බැඳුණු යුවතියක් එතුමන් තමන් වෙත කිසිදු අයුරකින් පැහැදීමක් නොදක්වන්නේ මන්දැයි සන්තාපයට ලක්ව ඒ සෙනෙහස අයදිමින් තමන් වෙත එන්නැයි ආයාචනය කරන නර්තනයකි. එය අරන්ගේත්‍රම් ප්‍රසංගයක එන දීර්ඝතම හා අතිශය භාවපූර්ණ අලංකාර රංගනයකි. සිංහලෙන් වර්ණම් ගායනයක් මේ වන විට ලංකා වේදිකාවේ භරත නාට්‍යම් සඳහා නොතිබිණි. ඇය ඒ අභියෝගය 1968 රංගධාරා ප්‍රසංගයේදී ඉටු කිරීමට සූදානම් විය. ප්‍රසංගයේ ප්‍රචාරය සඳහා අතින් අඳින ලද පෝස්ටර් ඇලවීම සිදු කළේ පුහුණුවීම් නිමකර නිවෙස බලා යන විටය. මේ ප්‍රසංගය ඇසට කටු අනින්නා සේ දුටු පිරිසක්ද ඇගේ වෘත්තිය ජීවිතේ සිටියහ. ඔවුහු එම පෝස්ටර් ගලවා දැමීමේ කටයුත්තේ නිරත වූහ. එහෙයින් උදේ වෙද්දී අලවන ලද ඒවායින් ස්වල්පයක් හෝ නොමැති විය. ඒ තරගකාරිත්වයකින් පෝස්ටර් අලවන යුගයක් නොවීය. ඇගේ ප්‍රසංගයට එරෙහි වන්නේ ඇය දකින ආකාරයට අධ්‍යාපන අංශයේම ප්‍රධානින්ය. ඇය බාහිර ක්‍රියාකාරකම්වලින් ජනප්‍රිය වනවාට ඔවුන් අකමැතිය. මේ ප්‍රසංගය සඳහා ගුරු සේවයේ වෘත්තිකයන් ගණනාවක් සහභාගි කරවා ගැනීමට ඇය සමත් විය.

තම මෑණියන් ජීවතුන් අතර සිටියදී ප්‍රසංග රාශියක් පවත්වා තිබූ නමුත් ඒ කිසිදු ප්‍රසංගයක් නොබැලීමට ඇගේ මෑණියන් වගබලා ගත්තාය. එහෙත් ඇය ඇගේ මාර්ගයේම ගමන් කළාය. මෑණියන් ඇගේ නර්තනය වෙනුවෙන් වියදම් කිරීමද නොකළ දෙයකි. එහෙත් පැමිණෙන සියල්ලන්ටම සත්කාර කිරීමට ඇය මැළි නොවූවාය. නිවසට පැමිණෙන්නන්ට සංග්‍රහ කිරීම තම යුතුකමක් සේ මෑණියන් සිතුවාය.

ප්‍රසංග සඳහා යන වියදම් අඩුකර ගැනීමට තම කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් පැලඳුම් තමන් හා තම ගෝලබාලයන් විසින් නිමකර ගැනීමට ඇය සමත් විය. ඒ අතර ඇඳුම් නිර්මාණය අතින්ද ඇය ප්‍රවීණත්වයට පත් විය. ලංකාවේ භරත නාට්‍යම් ඉතිහාසයේ අලුත් පිටුවක් දිග හැරුණු දිනයක් බවට එදින පත්වූවේ ඇය නොබියව නිම කළ හිමගිර ගීතය හේතුවෙනි. ප්‍රධාන චරිතය රඟපාමින් එදා මෙදාතුර තවමත් වෙනත් කිසිවකුත් සිංහල වර්ණම් ගීතයක් ඉදිරිපත් කර නැත. භරත නර්තන කලාවේ දියුණුවටද අලුත් අලුත් දෑ එක්විය යුතුය. ඒ එහි ප්‍රගමනය වෙනුවෙනි. එයට දරුණු කශේරුකාවක් හා දැනුමක් තිබිය යුතුය. නැවත එල්ලවන ප්‍රතිප්‍රහාර හමුවේ සියල්ල ඔරොත්තු දීමට හැකියාවක් තිබිය යුතුය. ‘භරත නර්තනයේ විනාශය’ යැයි පවසමින් ඇගේ මෙම උත්සාහයට ප්‍රහාර එල්ලවෙන්නට විය. එහෙත් ඇගේ පළමු වෙඩිල්ලේ බලය තවමත් බිඳී නොමැත. ඇය මේ වනවිට භරත අරංගේත්‍රම් 100 ඉක්මවා කර තිබේ. එම සෑම අවස්ථාවේදීම වර්ණම් වෙනුවෙන් සිංහල වර්ණම් ගයනා කිරීම විශේෂ සිද්ධියකි.

1966 වසරේදීම ඇය භරත නාට්‍යම් ඒකපුද්ගල ප්‍රසංගයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී (වලේ) පැවැත්විය. ඇයට ඒ සඳහා ආරාධනා කර තිබුණේ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝය. පේරාදෙණිය වලේ පැවති ප්‍රසංගයේදී ඇගේ නර්තනය නරඹා ප්‍රශංසා කළ එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ “මනමේ” සහ “සිංහබාහු” නාට්‍ය සඳහා ඇයගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් ආරාධනා කර තිබිණි.

පේරාදෙණිය වලේ පැවති ප්‍රසංගයෙන් පසු එම වසරේදී යාපනය දිසාපති කාර්යාලයේ කලෙයි මන්ඩ්‍රම් විසින් ඇයගේ ඒකපුද්ගල භරත නර්තන ප්‍රසංගයක් සංවිධානය කර තිබිණි. (කලෙයි මන්ඩ්‍රම් යනු කලා සංගමය යි) යාපනයේ එවකට පැවති වීරසිංහම් ශාලාවේ එය පැවැත්විණි. පසු කලෙක යුද්ධය පැවති සමයේද ඇයගේ නර්තන ප්‍රසංගයක් යාපන කලෙයි මන්ඩ්‍රම් විසින් සංවිධානය කළ අතර එහිදී “නාට්‍ය කලා කේශරී” (නටන සිංහ දේනුව) සම්මානය ඇය වෙත පුද කෙරුණි.

පසුව එදිරිවීර සරච්චන්ද්‍රයන් “මනමේ’‘ හා “සිංහබාහු” නාට්‍ය නැවත නිෂ්පාදනය කළේය. එහිදී නර්තන නිර්මාණය ඇය විසින් කළ අතර ඔහුගේ “කදා වළලු” නාට්‍යයේ නර්තන නිර්මාණය කරමින් රංගනයටද දායක විය. මහගමසේකරයන්ගේ “හංස ගීතය” නාට්‍යයේ නර්තන නිර්මාණය කර හංසයාගේ චරිතය නිරූපණය කරමින් රංගනයට එක් විය. එකල සියලුම ප්‍රවීණයන්ගේ නාට්‍ය සඳහා අත්‍යවශ්‍ය චරිතයක් බවට ඇය පත්ව තිබිණි. හෙන්රි ජයසේනගේ “ජනේලය” සහ ගුණසේන ගලප්පත්තිගේ “ලියතඹරා” නාට්‍යයන්හි රංග වින්‍යාසය කරන අතර රංගනයටද දායක විය. පසු කලෙක ලලිතා සරච්චන්ද්‍රයන් අධ්‍යක්ෂණය කළ “රත්නාවලී” නාට්‍යයේද රංග වින්‍යාසය කළේ ඇය විසිනි. ජී. ඩී. එල්. පෙරේරාගේ “සක්කරවට්ටන්” නාට්‍යයේ නර්තනයෙන් දායක වූ අතර “තම්මැන්නා” නාට්‍යයේ ඇඳුම් හා ආභරණ නිර්මාණය සිදුවූයේ ඇයගෙනි. ඒකාකාරි වෘත්තිය ජීවිතයට කොටු නොවූ ඇය ක්ෂේත්‍ර කිහිපයකම නිර්මාණකරණයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කර ගත්තේ මේ වකවානුවේදීය. නර්තන ප්‍රසංගය පැවැත්වුවද තම රාජකාරි වැඩ අකුරටම ඉටු කිරීමට ඇය වගබලා ගත්තාය. වෘත්තිය උසස්වීම් මෙම දීර්ඝ කාල වකවානුවේ කිසිවක් සිදු නොවුණි. සිදු වූයේ කැපිලි කෙටිලි පමණි. ඇය එයින් නොසැළුණු අතර ඇගේ අතිරික්ත කාලය කලා කටයුතු සඳහාම කැප ‍ෙකරිණි.

චිත්‍රපට අධ්‍යක්ෂ එල්. එම්. පෙරේරා චිත්‍රපට නර්තනය සඳහා ආරාධනා කළේ මේ වකවානුවේදීය. 1967-01-23

තිරගත වූ එල්. එම්. පෙරේරා නිර්මාණය කළ “හතර කේන්දරේ” සිනමාපටයේ ගීතයක නර්තනයට ආරාධනය ලැබිණි. ඇය නැවතත් 1972. 06. 22 දින තිරගත වූ ඔහුගේම නිර්මාණයක් වූ “හතර වටේ” චිත්‍රපටයේද නර්තනයට එක් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතයට ඇරයුම් ලැබුවද තමා සිනමා නිළියක් වනවාට තම මෑණියන් තුළ තිබූ බලවත් අකමැත්ත විසින් එම ගමනට නැවතීමේ තිත තබන්නට ඇයට සිදු විය.

1967දී අපනයන ප්‍රවර්ධන වෙළඳ ප්‍රදර්ශනය පැවතියේ කැනඩාවේය. ඒ සඳහා ලංකාවෙන් රැගෙන යන නර්තන කණ්ඩායම තෝරා ගැනීමට පත්කර තිබුණේ චිත්‍රසේන හා පණීභාරත යන මහත්වරුය. කාන්තාවන් හතර දෙනකු හා පිරිමි දහසය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් තෝරාගෙන තිබිණි. මේ වන විට ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රයේ ඉහළින්ම හේමලතාගේ නාමය තිබුණද හතර දෙනා අතරට ඇයගේ නම නොතිබිණි. ඇය පසුබා නොසිටියේය. ඇය ඒ වෙනුවෙන් විරෝධාකල්පයක් රැගෙන ආවාය. අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට නැවත පරීක්ෂණයක් කිරීමට සිදුවිය. එහිදී එක් නමක් ඉවත්වී ඒ වෙනුවට මිරැන්ඩා හේමලතාවන්ගේ නාමය කැනඩා සංචාරයට එක් විය. එවිට ඔවුන්ට සිදුවූයේ තීරණයට පිටුපා ඇය රැගෙන යෑමටය. එහෙත් නර්තනාංග නිර්මාණයේදී ඇය ප්‍රධාන භුමිකාවෙන් ඉවත්ව යන සේ කොන් කිරීමකට ලක් විය. ඇය මේ කිසිදු කොන්කිරීමකින් තැවුණේ නැත. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂිකාවක් ලෙස ප්‍රේක්ෂකයාට ප්‍රක්ෂේපණය වන මූලධර්ම ඇය දැන සිටියාය. එහෙයින් ප්‍රේක්ෂක ඇස් කෙටි රංගනයකදී කැපී පෙනෙන මතක සිටින ශිල්පිනිය බවට ඇය පත්වීම කිසිවකුට නතර කළ නොහැකි විය. කැනඩාවේ තරු පහේ හෝටලයක නවාතැන් දී තිබුණු අතර සියලු දෙනා දෙවන මහලේ නතර වූහ. ඇයට කාමරවලින් ඉවත්ව 14 වැනි මහලේ නවාතැන් ගැනීමට සිදුවිය. එමෙන්ම ඇය මේ සංචාරයේදී ඇන්දේ ඔසරියයි. එහිදී ලංකාවෙන් ගිය පිරිස අතර ලාංකේය භාවය තිබුණේ ඇය ළඟ පමණි. ඇය එරට ඡායාරූප ශිල්පීන්ගේ සිත දිනා ගත්තේ ඇගේ එම චාම් ඇඳුම් විලාසිතාවත් සමඟය.

එමෙන්ම ඇය තනිකොට 14 වැනි මහලට දමා තිබිණි. ඇයගේ කාමරය ඉදිරිපිට කාමර දෙකේ නවාතැන් ගෙන තිබුණේ එම උත්සවයට ඉන්දියාවෙන් සහභාගි වූ ලොව පිළිගත් කලා ශිල්පීහු දෙදෙනෙකි. ලොව ප්‍රකට සංගීත ශිල්පියකු වන රවිශංකර් එක කාමරයකය. අනික් කාමරයේ යහුදි මෙනුවින්ය. මොවුන් සියල්ල උදෑසන කෑමට කාමරවලින් පිටවන්නේ එකට ය. එහිදී ඔවුනොවුන් එකිනෙකා හඳුනාගත්හ. ලොවම පිළිගත් ශිල්පීන් දෙදෙනකු සමග ඔසරියකින් සැරසී එන හේමලතාවන්ටද අන් පිරිස අතර ලැබුණේ සම තැනකි. සම පිළිගැනීමකි. එය ලාංකිකයන්ගේ පළිගැනීම හමුවේ ඇය ලද විශාල ප්‍රසාද දීමනාවකි. කැනඩාවේ පුවත්පත්වේදීන් හා ඡායාරූප ශිල්පීන්ගේ ඇස් ඇය වෙතම බැඳී තිබුණු අතර එයින් කෝප වූ ලාංකේය සංවිධායකයෝ ඇයව තනිකොට දමා ගියහ. ලංකාව වෙනුවෙන් ඡායාරූපයන්ට මුහුණ දීමට තෝරාගෙන තිබුණේද ඇයමය.

මතු සම්බන්ධයි

[අනුර දහනායක]

මාතෘකා