ස්වයං නියාමනයටත් අධීක්ෂණයක් අවශ්‍යයි : හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන

 ඡායාරූපය:

ස්වයං නියාමනයටත් අධීක්ෂණයක් අවශ්‍යයි : හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන

මාධ්‍යයේ හැසිරීම පිළිබඳව සමාජයේ විවිධ කාලවලදී විවිධාකාරයේ කථිකාවත් නිර්මාණය වෙමින් පවතී. වඩා යහපත් මාධ්‍යකරණයක නිරත වීමේ අරමුණ පෙරදැරිව මාධ්‍ය ආචාර ධර්ම, මාධ්‍ය නියාමනයන් පිළිබඳව සමාජය තුළ කතාබහ ඇති වෙමින් පවතී. පසුගිය දිනවල මාධ්‍ය පිළිබඳව නැඟුණු ප්‍රබලම චෝදනාවක් වනුයේ මාධ්‍ය ආචාර ධර්ම කඩකරමින් මාධ්‍ය වාර්තා පළ කිරීම සම්බන්ධයෙන්ය. එම නිසා මාධ්‍ය පිළිබඳව, මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව, මාධ්‍ය නියාමනයක අවශ්‍යතාව පිළිබඳව රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාව සාකච්ඡාවකට එක් කරගත්තෙමු.

 

අද වෙනකොට මාධ්‍ය, මාධ්‍යයට හිමි භූමිකාව ඉටුකරනවාද?

මාධ්‍ය කිව්වාම අද ඒක එක්තරා විදියක සංකීර්ණ පද්ධතියක් බවට පත් වෙලා තියෙනවා. ඉස්සර මාධ්‍ය කිව්වාම මූලික වුණේ පුවත්පත්. පසුකාලෙක ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ආවා. අද වෙනකොට අන්තර්ජාලයත් එක්ක වෙබ් අඩවි, සමාජ මාධ්‍යත් බිහි වෙලා තියෙනවා. මාධ්‍ය තමන්ගේ භූමිකාව ඉටු කරනවාද කියන්න පුළුවන් මේ සංකීර්ණ පද්ධතියම සලකා බලලා. ඉස්සර අද වෙලා තියෙන සිදුවීම් බලන්න වෙන්නේ හෙට පත්තරෙන්. ඒත් දැන් අද වෙන සිදුවීම ක්ෂණයකින් ඒ මොහොතේම කෙටි පණිවිඩ හරහා හෝ අන්තර්ජාලය හරහා දැනගන්න පුළුවන්. මම හිතනවා කාලය හා අවකාශය තුළ මාධ්‍ය විශාල අභියෝගයකට ලක්වෙලා කියලා. මාධ්‍ය පවතින්නේ ප්‍රාග්ධනය මත. ඉතා කලාතුරකින් තමයි මාධ්‍ය ආයතන ලාභ ලබන්නේ. මේ සියලු අභියෝග මධ්‍යයේ මාධ්‍ය තමන්ගේ භූමිකාව එක්තරා ප්‍රමාණයකට ඉටු කරනවා කියලා හිතනවා. නමුත් එහි තවදුරටත් දියුණු කරගත යුතු අංග තියෙනවා. එළියේ ඉඳගෙන මාධ්‍ය ගැන විවේචනය කරනවාට වඩා මාධ්‍යකරුවන් සමඟ විවෘතව සාකච්ඡා කරලා එහි අඩුපාඩු නිවැරදි කරගන්න හැකියාව තියෙනවා.

මාධ්‍යයට වැරදුණු තැන මොකක්ද?

රටේ ඕනෑම ක්ෂේත්‍රයකට විවේචන එල්ල වෙනවා. ඒ සියල්ල සඳහා මූලිකත්වය ගන්නේ මාධ්‍ය. මාධ්‍ය හරහා තමයි මේ හැම විවේචනයක්ම ගේන්නේ. නමුත් ඒ හා සමාන විවේචන රාශියක් පෙරළා මාධ්‍යයටත් එල්ල වෙනවා. ඒ වගේම මාධ්‍යකරුවන් කෙරෙහි අවදානම මදිකමක් පේනවා. ඔවුන්ගේ වෘත්තීයමය අයිතිවාසිකම් රැකුණා නම් මීට වඩා ඵලදායී ගුණාත්මක දේවල් බිහිවෙන්න තිබුණා. මාධ්‍යකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවදානය යොමු නොකර මාධ්‍ය මඟින් ප්‍රශස්ත භූමිකාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. මාධ්‍ය ගැන විවේචනය කරන එක හරිම ලේසි වැඩක්. මාධ්‍ය සතුව විවේචනය කරන්න වැරදි අඩුපාඩු බොහෝමයක් තියෙනවා. පසුගිය කාලයේ මාධ්‍යයට ආපු චෝදනාවක් තමයි ජාතිවාදය අන්තවාදය පතුරුවනවා කියන එක. මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑමට තරගයක් තියෙනවා. වෙළෙඳ දැන්වීම් වැඩි කරගැනීම තමයි පවතින තරගය. මේ හේතුව නිසා ලංකාවේ සියලුම මාධ්‍යයන් වෙළෙඳපොළ එක්ක තරග කරනවා. මේ මාධ්‍ය සියල්ල වැඩ කරන්නේ භාෂාවත් එක්ක. එකී භාෂාව භාවිත කරන සමාජවල පවතින අගතීන් සහ පක්ෂපාතීත්වය විවේචනය කිරීම වෙළඳපොළට තර්ජනයක්. ඒ අගතීන් දිගින් දිගටම වහගෙන මාධ්‍යකරණයේ නිරත වන මාධ්‍ය ආයතනවලට හොඳ වෙළඳපොළක් හැදිලා තියෙනවා. මිනිස්සු වැඩිපුර කියවන පත්තර, වැඩිපුර බලන රූපවාහිනි, වැඩිපුර අහන රේඩියෝ ගැන අවදානය යොමු කරලා බැලුවොත් ඒක තේරෙනවා. සමාජයේ පවතින තත්ත්වය තමයි මාධ්‍ය මඟින් ප්‍රතිබිම්භනය වෙන්නේ. යහපත් සමාජයක් නැතුව යපහත් මාධ්‍යයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මාධ්‍යයට විතරක් නෙමෙයි මුළු මහත් සමාජයටම ඇඟිල්ල දික් කරන්න වෙනවා ඒ නිසා.

ජනමාධ්‍ය සඳහා නියාමනයක අවශ්‍යතාව ගැන සමාජයේ කතාබහක් පවතිනවා. ඇත්තටම ජනමාධ්‍යයට එහෙම නියාමනයක් අවශ්‍යයි කියලා හිතනවාද?

නියාමනය කියන්නේ විධිමත් කිරීම කියන එකනේ. යම්කිසි සීමාවක් තුළ ජනමාධ්‍යයට විධිමත්භාවයක් පැවතීම අවශ්‍යයි. ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයකට ඒක අදාළයි. පාඨක, ශ්‍රාවක, ප්‍රේක්ෂක විශාල සංඛ්‍යාවක් භාවිත කරන ජනමාධ්‍ය‍යට කිසියම් නියාමනයක් අවැසියි කියලා තර්කයක් එනවා. නියාමනය කරන්නේ කවුද කියන එකයි ප්‍රශ්නේ. රජයට මැදිහත් වෙලා නියාමනය කරන්න පුළුවන්. රජය කියන්නේ පක්ෂපාතී යම් දේශපාලන මතයක් දරන ස්ථරයක් නිසා ඔවුන්ට විරුද්ධව මත ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ගැටලුව ඊටපස්සේ එනවා. මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව වගේ රජය ඉවත් වෙලා ස්වාධීන ආයතන තියෙනවා. ඒත් මාධ්‍යයේ අන්තර්ගතය නියාමනය කිරීම අවශ්‍යයි කියලා පිළිගත්තාට කවුද ඒක කරන්නේ කියන ගැටලුව තියෙනවා. මාධ්‍ය මර්දනය කළ රජයන් ගැන අත්දැකීම් සහිත රටක් මේක.

පුවත්පත් කොමිසමේ පැමිණිලි නිලධාරියා කියනවා නියාමනයට වඩා ස්වයං නියාමනය හොඳයි කියලා. මේ දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී මොකක්ද?

හැම පැත්තකින්ම බැලුවාම වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ ස්වයං නියාමනය. නමුත් ස්වයං නියාමනයකදී වුණත් ස්වයං නියාමනය අනුව වැඩ කරනවාද කියලා අධීක්ෂණය කරන්න ආයතනයක් තියෙන්න ඕනේ. ඒ සඳහා මුළුමහත් මාධ්‍ය කර්මාන්තයම එකතු වෙලා ස්වයං නියාමනයකට එන්න ඕනේ. කථිකාවතක් ගොඩනැඟෙන්න ඕනේ.

මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් මාධ්‍යවල අවධානයක් යොමුවීම කෙතරම් ප්‍රමාණවත්ද?

සමාජ මාධ්‍ය දිහා බැලුවාම ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම රකිනවාද කියන එක ගැන හිතාගන්න පුළුවන්. බොහෝ විට පිළිගත් ආචාර ධර්ම පද්ධති පවතින්නේ ජාත්‍යන්තරය සම්පාදිත ඒවා. ඒ ආචාර ධර්ම ජාත්‍යන්තර වුණාට රට තුළ පවතින ආකාරය අනුව වෙනස් වෙනවා. මාධ්‍යකරුවාට ඒ ගැන යම් පුහුණුවක් දීම අවශ්‍යයි. ලංකාවේ මාධ්‍ය ආචාර ධර්මත් හරියට මාර්ග නීති වගේ. සම්පාදනය කරලා තිබුණාට ඒවා පිළිපදින්නෙ නැහැ. කඩ කරනවා. මෙතන තියෙන ප්‍රශ්නේ ආචාර ධර්ම කඩ කළා කියලා සමාජීය වශයෙන් හෝ නීතිමය වශයෙන් ප්‍රායෝගිකව කටයුතු නොකරන එක.

මාධ්‍ය සම්බන්ධයෙන් වර්ථමානයේ ලෝකයේ පවතින නව ප්‍රවණතා මොනවාද?

"A complex media eco system" එහෙම නැත්නම්, "සංකීර්ණ මාධ්‍ය වටපිටාවක්" අද ලෝකයේ පවතින්නේ. මෙවැනි තත්ත්වයකදී පෙර වෙන වෙනම තිබුණු මාධ්‍ය අද ඩිජිටල්කරණය තුළ එකක් මත එකක් පිහිටලා තියෙන්නේ. වෙබ් අඩවියක අකුරු, රූප, හඬ, දර්ශන මේ හැමදේම තියෙනවා. පාඨකයාට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව තියෙනවා. මේ නිසා පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය අඩුවෙලා Online Media වැඩි වෙලා තියෙනවා. ඒ නිසා එක රටක් තුළ නෙමෙයි මාධ්‍ය භාවිතාව ගෝලීයකරණය වෙලා තියෙනවා දැන්. ගෝලීයකරණය, සියලුම මාධ්‍ය එක් මුහුණුවරකින් පැවතීම, විශ්වසනීයත්වය යන කාරණා මත මේ වෙද්දි මිනිස්සු වැඩිපුර අන්තර්ජාලය හා සබැඳි මාධ්‍ය භාවිතා කරනවා.

ලෝකයේ අනිත් රටවල විද්‍යුත් පුවත්පත් භාවිත වෙනවා. ඒත් ලංකාවේ ඒක පහළ අවදියේ පවතින්නේ. ඒකට හේතුව ලෙස ඔබ දකින්නේ මොක්කද?

වෙබ් අඩවි කර්තෘවරුන් පවා දැන් කියනවා Text මිනිස්සු කියවනවා අඩුයි කියලා. ලංකාවේ අන්තර්ජාලය බහුලව භාවිත වෙන්නේ පරිගණක හරහා නෙමෙයි SmartPhone හරහා. SmartPhone එකේ Screen එක පොඩියි. කියවන්න අපහසුයි. ඒත් ලෝකයේ E paper භාවිත කරන වෙනත් රටවල විශාල පරිගණක ඔස්සේ මිනිස්සු කියවන්නේ. ඒ වගේම ලංකාවේ වර්තමාන පුවත්පත්වල පිටුසැකසුම E paper එකට සුදුසුද කියලා කවුරුන් හෝ අධ්‍යයනය කරලා තිබෙනවාද කියලා දන්නේ නැහැ. තවත් දෙයක් තමයි අපේ රටේ විශාල පිරිසකට තවත් අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ කියන්නේ පත්තර බලන මිනිස්සු තාමත් ඉන්නවා. ඒ නිසා පුවත්පත් අභාවයට යන්නේ නැහැ. නමුත් භාවිතාව අඩු වෙලා තියෙනවා.

පසුගිය දිනවල අපි දැක්කා සමාජ මාධ්‍ය වාරණයට ලක් වෙනවා. මේ වගේ වාරණ ක්‍රියාවලි හරහා මාධ්‍ය හැසිරීම පාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවාද?

ඒකට පිළිතුර ඔව් සහ නැහැ. අපි හැමෝටම මාධ්‍යකරණයේ නිරත වෙද්දි යම් වාරණයක් තියෙනවා. ඒක වෙන්නේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි. සමාජයෙන්, පවුලෙන් මේ වාරණ එනවා. මාධ්‍යයේ අදහස් පළ කිරීමේ නිදහස තිබුණාට විවිධ සීමාවලයි අපි ඉන්නේ. මාධ්‍යයේ නිදහස තිබිය යුතුයි. නමුත් විවිධ විශේෂ අවස්ථාවල යම්දුරකට පාලනය කරන්න වෙනවා. ජනමාධ්‍ය භාවිතයේදී ඒ අදාළ ආයතන හරහා යම් පාලනයක් සිද්ධවෙනවා. නමුත් සමාජ මාධ්‍ය භාවිතයේදී ඒ සීමා මායිම් නැහැ. සමාජය නොමඟ යවන, ජාතීන් හා ආගම් අතර වෛරය පතුරුවන අවස්ථා සමාජ මාධ්‍ය තුළ බහුලව සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවකදී යම් සීමා කිරීමක් සිදුකරන්න වෙනවා. දිගන සිදුවීම, පාස්කු ප්‍රහාරය වැනි අවස්ථාවලදී ඒ වාරණ සිද්ධ වුණා. නමුත් එමඟින් යම් පණිවිඩයක් එනවා එවැනි අවස්ථාවක වගකීමෙන් කටයුතු කළ යුතුයි කියන එක. Social media platform එකේදී ඒ ඒ ආයතනවලට වගකීමක් තියෙනවා තමන්ගේ platform එකේ මාධ්‍ය ආචාර ධර්ම කඩකිරීම් වෙනවාද නැද්ද කියලා හොයල බලලා ඒ සඳහා කටයුතු කරන්න. ඔවුන් ඒක පසුගිය දිනවලදී කළා කියලා අපි දැක්කා. පසුගිය කාලේ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන ආකාරයට හැසිරුණු ගායකයෙක්ගේ facebook account එක block කළා අපි දැක්කා. ඒක සිද්ධ වුණේ facebook ආයතනය හරහා. ඔවුන් චෝදනා කරනවා ඒකට වත්මන් රජය සම්බන්ධයි කියලා. රජයට විරුද්ධව ජනමාධ්‍යවල ප්‍රකාශය කරන මත දැක්කාම රජයට එහෙම පාලනය කරන්න වුවමනාවක් නැහැ. සමාජ මාධ්‍ය තුළ ඒක පාලනය කරන්න කොහොමටත් අවශ්‍ය නැහැ.

මේ වන විට නව මාධ්‍ය වැනි අලුත් සන්නිවේදන ක්‍රම ලංකාව තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ නව මාධ්‍ය භාවිතය පිළිබඳ සමාජය දැනුවත් කරන ක්‍රමවේදයක් තියෙනවාද? කවුරු හරි ඒ සඳහා උත්සාහ කරලා තියෙනවාද?

අවාසනාවකට මම ඒ සඳහා ගන්න එකම එක උත්සාහයක්වත් දැකලා නම් නැහැ. මගේ යටතේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තියෙන වකවානුවේ මේ ගැන යම් උත්සාහයන් කළා. නමුත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ. දැන් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය යම් උත්සාහයක නිරත වෙනවා. මේක රජය මැදිහත් වෙලා පමණක් නෙමෙයි අනිත් සම්පත් දායකයන් මැදිහත් වෙලා social media හරහා කරන්න ඕනේ දෙයක්. මිනිසුන් මිනිසුන් විසින්ම මේ ගැන ගැඹුරු ලෙස සාකච්ඡා කළ යුතුයි කියලා මම හිතනවා. Block වෙනවා නම් block නොවෙන්න ලියන්න ඕනේ. Report වෙනවා නම් report නොවෙන්න ලියන්න ඕනේ. ඒ ශික්ෂණය මිනිසුන් විසින්ම හදාගන්න ඕනේ කියලා මම හිතනවා.

මේ නියාමනය කිරීම්, වාරණය කිරීම් පිළිබඳ කතා කරන විට සමාජයෙන් චෝදනා එනවා මාධ්‍යයට තහංචි දානවා කියලා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

අපිට රටක් ලෙස ජාතික එකඟතාවක් හදාගන්න බැරි වෙලා තියෙනවා. අදහස් පළ කිරීමේ නිදහස පිළිගන්නවා නම් ඉතා අගතිගාමී අදහස් පවා පළ කිරීමේ නිදහස තියෙන්න ඕනේ කියන එක පිළිගන්න වෙනවා. එතකොට අදහස් පළ කිරීමේ නිදහසේදී අපි අකමැති දේවල් වුණත් පළ කරන්න නිදහස තියෙන්න ඕනේ. මේක ගැටලුවක් බවට පත් වෙන නිසා යම්කිසි සම්මුතික රාමුවක් තිබිය යුතුයි. පළ කළ යුත්තේ මොනවාද කියන එක ගැන සම්මුතියක් තිබිය යුතුයි. හැබැයි නීතිය මඟින් මාධ්‍යයේ පළ කරන්න නොහැකි දේවල් තියෙනවා. මූලික අයිතිවාසිකම් පනත යටතේ යම් යම් දේවල් පළ කරන්න බැහැ. ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වන දේවල් පළ කරන්න බැහැ. පුද්ගලයන්ට අපහාස වන අන්දමින්, අධිකරණයට අපහාස කරන අන්දමින් කරුණු පළ කරන්න බැහැ. මේ දේවල් ගැන මීට වඩා කථිකාවත් නිර්මාණය වෙනවා නම් මම හිතනවා වඩා හොඳ ප්‍රශස්ත මාධ්‍යකරණයක් ලංකාවේ නිර්මාණය වෙයි කියලා.

සාකච්ඡාව [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා