රූමස්සල ‍සෙල්ෆි ඛේදවාචකය

 ඡායාරූපය:

රූමස්සල ‍සෙල්ෆි ඛේදවාචකය

2011 සිට 2017 දක්වා වසර හයක කාලය තුළ ලොව පුරා පුද්ගලයන් 259 දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදී මියගොස් ඇතැයි 2018දී ඇමෙරිකානු ජාතික පුස්තකාලයේ පර්යේෂකයන් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ. සෙල්ෆි මරණ වැඩිපුරම වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකාව සහ පාකිස්තානයෙනි. වැඩිපුරම මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් බවත් එය සියයට 72.5ක අගයක් ගන්නා බවත් පර්යේෂකයෝ සඳහන් කළහ. මෙසේ මියයන සංඛ්‍යාව වසරින් වසර වැඩිවන බවද පර්යේෂකයෝ පෙන්වා දුන්හ. 2011දී තුනක් වූ මරණ සංඛ්‍යාව 2016දී 98ක් ලෙස සහ 2017දී 93ක් ලෙස වැඩි වී ඇත. එහෙත් 2019 වන විට ලංකාවෙහි සෙල්ෆි මරණ පිළිබඳව තවමත් සමීක්ෂණයක් කර නැත.

මේ අවාසනාවන්ත මරණ හතරම නොසැලකිල්ල නිසා වුණු දේවල්. අපි මෙතනින් යන එන අයට කියනවා ‘වාරකන් කාලය නිසා මුහුද සැරයි, ඒ නිසා ප්‍රවේසම් වෙන්න’ කියලා. රජයෙන් සවිකරලා තිබුණු පුවරුවලට අමතරව අපිත් මේ ළඟදි එකතු වෙලා අවවාදාත්මක පුවරු සවිකළා. ඒත් මෙතනට ආපු අය ඒ බෝඩ් ගලවලා ඒවා උඩ බයිට් තියාගෙන කාලා, මත්පැන් බීලා තියෙනවා. මිනිස්සු එන්න ඕන; විනෝද වෙන්න ඕන. අනික එතකොට තමයි අපිටත් මෙතන ව්‍යාපාරයක් කරලා ජීවත්වෙන්න පුළුවන්. අනික මෙතන බිලිගන්නවා කියලා සමාජ මාධ්‍යවල යන කතාව බොරුවක්. මම මේ ගමේ ඉන්නේ පොඩි කාලේ ඉඳලා. මේ මරණ හතරම ඒ අයගේ නොසැලකිල්ල නිසා වෙච්චි දේවල්. මේ මාසෙට විතරක් රූමස්සල මරණ පහක් වෙලා තියෙනවා."

රූමස්සල වෙරළ අසල කුඩා ව්‍යාපාරයක් කරන ඒ. ඩබ්ලිව්. ශාන්ති මහත්මිය පැවසුවේ පිට පළාත්වලින් පැමිණ මෙසේ මියයන පුද්ගලයන් පිළිබඳව ගම්වැසියන් වූ ඔවුන් කම්පාවෙන් සිටින බවයි.

ගාල්ල උණවටුන රූමස්සල මුහුද අසල පිහිටි ගලක් මත නැඟී සේල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් තරුණයන් දෙදෙනකු මියයෑමේ සිදුවීම පිළිබඳ සොයා බැලූ අවස්ථාවේ අපට ඇය හමුවිය. පසුගිය අගහරුවාදා ඇසළ පොහොය දින (16) මේ අවාසනාවන්ත සිදුවීම සිදු වී තිබිණි. මීට ප්‍රථමවද එම ස්ථානයේම පසුගිය පොසොන් පොහොය දිනය යෙදී තිබූ ජුනි මස 16දින පුද්ගලයන් දෙදෙනකුට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ සේල්ෆි ගැනීමට යෑමේදීය. ඒ දින දෙකම පොහොය දිනයන් වීම අහම්බයකි. ඒ රූමස්සල කන්දේ ස්වභාවය පිළිබඳව කතාවයි.

රූමස්සල ජපන් සාම චෛත්‍ය අසලට ඔබ ගොස් ඇත්නම් එතැනින් පහළට ගමන් කිරීමට ඇති ගල් අතුරා තාර දැමූ අබලන් වූ මාර්ගය මතක ඇතුවා විය යුතුය. ඉන් මීටර් 300ක් පහළට වන්නට ඇවිද ගිය විට ජීවිත හතරක් බිලිගත් ගල හා මුහුද ඔබට දැකගත හැකිය. ප්‍රදේශයම දැඩි පාළු ස්වභාවයක් ගන්නා මෙහි ඇසෙන්නට ඇත්තේ මුහුදු රළ සහ මුහුදු ලිහිණියන්ගේ හඬ පමණි. මෙතැන සිට ඈතින් ගාලු නගරය සහ ගාලු කොටු පවුර දර්ශනය වන අතර දකුණු පැත්තෙන් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයද පෙනෙන්නට තිබේ. මෙහි තරමක් ගුප්ත ස්වරූපයක් පෙනෙන්නට ඇති අතර අපි යන විටත් දක්ෂිණ නාවික හමුදා කඳවුරේ කිමිඳුම්කරුවන් ඇතුළු පිරිසක් මෙම තරුණයන්ගේ සිරුරු සෙවීමේ කටයුතුවල නිරතව සිටින අයුරු දක්නට ලැබිණි.

මේ අකාරයටම පසුගිය ජුනි මස 16 පොසොන් පොහොය දිනයෙදී උණවටුන රූමස්සල සාම චෛත්‍ය අසළ මුහුදේ ගල්පරයක් මත සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරකට හසුව දෙදෙනෙක් මුහුදට වැටී මියගියහ. එතැන සිට අනතුරින් දිවි බේරාගත් ජේ. පී. ඩී. චලනි ජයමිණි යන අය සාක්කි දෙමින් මෙසේ පවසා සිටියාය.

“අපි ගල් උඩ ඉඳගෙන ෆොටෝ ගත්තා. හිතාගන්න බැරි විදියට එකපාරටම අපි පස් දෙනාම වතුරට වැටුණා. මම ගල් අස්සේ හිරවුණා. හෂිණි අක්කයි ඉෂාර අයියයි මුහුදේ ඉඳලා අපට අත වැනුවා. අපි කෑ ගැහුවා. එකපාරටම ඉෂාර අයියා පේන්නේ නැතිව ගියා. හෂිණි අක්කා පාවෙවී තිබුණා.”

මෙසේ මියගියේ මහරගම පදිංචිව සිටි වන්නිආරච්චිලාගේ චරුනි ප්‍රියංකා ෆොන්සේකා නමැති 28 හැවිරිදි තරුණියක් සහ රූමස්සල පදිංචිව සිටි යුද හමුදා සෙබළකු වන උමගිලියගේ බර්නාඩ් ඉෂාර නමැති අයෙකි. එහිදි අතුරුදහන්ව තිබු හමුදා සෙබලාගේ සිරුර දින තුනකට පසුව පොලිසිය සහ නාවික හමුදාව විසින් සොයාගනු ලැබීය.

මෙහි අලුත්ම සිද්ධිය පසුගිය ඇසළ පොහොය යෙදී තිබූ 16 වැනි දින සිදුවු ඛේදවාචකයයි. උණවටුන රූමස්සලට ගිය තරුණයන් දෙදෙනකු ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී එදින සවස මුහුදට වැටී අතුරුදහන්ව තිබේ.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ බද්දේගම ගිණිමැල්ලගහ පදිංචි වයස අවුරුදු 20ක් පමණ වන මිලාන් මලිත් සහ වයස අවුරුදු 21ක් පමණ වන කවිඳු ප්‍රසාද් යන තරුණයන් දෙදෙනෙකි.

මෙම දෙදෙනා තවත් තිදෙනකු සමඟ 16 වැනි දින සවස උණවටුන රූමස්සල ‘ජංගල් බීච්’ වෙරළට පැමිණ ඇත. පසුව ගලකට ගොඩවී සෙල්ෆි ඡායාරූපයක් ගෙන ආපස්සට හැරෙනවාත් සමඟ රළ පහරක් වැදී දෙදෙනකු මුහුදට වැටී ඇත. අනෙක් දෙදෙනා දිවි බේරාගෙන තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ පොලිසිය නාවික හමුදාවේ දක්ෂිණ නාවික කඳවුරේ කිමිදුම්කරුවන් හා එක්ව අතුරුදහන් වූ අය සෙවීම ආරම්භ කලත් ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට අපහසු විය. මෙය ලියන මොහොත වන විට ඉන් එක් මළ සිරුරක් හඳුනාගත නොහැකි අන්දමින් වෙනස් වී හමුවූ බව දැනගන්නට ලැබිණි.

ආර්. එච් ඊමන් මහතාද කලින් කතා කළ ශාන්ති මහත්මිය මෙන්ම අප සමඟ පැවසුවේ මේ සිදුවීමෙන් ගම් වැසියන් කම්පාවට පත්ව ඇති බවයි.

"මම මේ ගමේ උපන්දා ඉඳලා ඉන්නවා. මේක හරිම ඛේදවාචකයක්. මාසයක් ඇතුළත එකම තැනක හතර දෙනකුගේ ජීවිත නැතිවෙලා. මම දකින්නේ මේක නොසැලකිල්ල නිසා සිදුවූ දෙයක් විදියට. ඒ වගේම වගකිවයුතු බලධාරීන් මෙවැනි අනතුරුදායක ස්ථානයන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕන. අපි මේ පිළිබඳ වසමේ ග්‍රාම සේවක මහතාටත් දැනුම් දීලා තියෙනවා."

එම්. එම්. චන්ද්‍රිකා මහත්මියද පැවසුවේ පැමිණෙන අයගේ ඇති නොසැලකිල්ල හේතුවෙන් මේ සියල්ල සිදුවන බවයි.

"අපිටත් දුකයි මේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් පෙළ ගැන. නොසැලකිල්ල නිසා තමයි මේ මරණ සිද්ධ වුණේ. අපරාදේ තරුණ ජීවිත පහක් අකාලයේ නැතිවුණා. ඒ නිසා අපි කියනවා මේ වගේ තැන්වලට ගිහිල්ලා ඡායාරූප ගැනීමෙන් වළකින්න කියලා. අන්තිමට ඡායාරූපයක් නිසා ජීවිත හතරක් නැතිවුණා. මේක හරිම කනගාටුදායක සිද්ධියක්. ඒ නිසා මම කියනවා කවුරු මෙතනට ආවත් පරිස්සමෙන් කටයුතු කරන්න කියලා."

මෙලෙස ගමේ අය සිය අදහස් දක්වද්දී මෙතුවක් කාලයක් මරණ සිදු නොවූ ස්ථානයක මරණ කිහිපයක් ඇතිවීමට හේතු වූ කාරණාව පිළිබඳවද අපි සොයා බැලුවෙමු. ‘සෙල්ෆි’ යනු ස්මාර්ට් දුරකථන හේතුවෙන් පැමිණි නව ප්‍රවණතාවකි. මෙය ඉතා වේගයෙන් සමාජය පුරා ව්‍යාප්ත වූ වචනයක් මෙන්ම ක්‍රියාවක්ද විය. සෙල්ෆි ගැනීමට ගොස් අකාලයේ මිලින වූ තරුණ ජීවිත ගණනද සුළුපටු නොවේ.

2011 සිට 2017 දක්වා වසර හයක කාලය තුළ ලොව පුරා පුද්ගලයන් 259 දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදී මියගොස් ඇතැයි 2018දී ඇමෙරිකානු ජාතික පුස්තකාලයේ පර්යේෂකයන් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

සෙල්ෆි මරණ වැඩිපුරම වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමෙරිකාව සහ පාකිස්තානයෙනි. වැඩිපුරම මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් බවත් එය සියයට 72.5ක අගයක් ගන්නා බවත් පර්යේෂකයෝ සඳහන් කළහ.

මෙසේ මියයන සංඛ්‍යාව වසරින් වසර වැඩිවන බවද පර්යේෂකයෝ පෙන්වා දුන්හ. 2011දී තුනක් වූ මරණ සංඛ්‍යාව 2016දී 98ක් ලෙස සහ 2017දී 93ක් ලෙස වැඩි වී ඇත. එහෙත් 2019 වන විට ලංකාවෙහි සෙල්ෆි මරණ පිළිබඳව තවමත් සමීක්ෂණයක් කර නැත.

මෙම අධ්‍යයනය සිදුකළ පර්යේෂකයන් පවසා ඇත්තේ මෙම මරණ සංඛ්‍යව අඩුකර ගැනීම සඳහා පිළියමක් ලෙස අවදානම් සහිත ස්ථානවල සෙල්ෆි ඡායාරූප තහනම් කලාප ඇති කළයුතු බවය.

සටහන සහ ඡායාරූප

මාතෘකා