ගල්, මල් සහ බේගල්

 ඡායාරූපය:

ගල්, මල් සහ බේගල්

 'ඉරණවිලට එන්නේ ඒරියා 51 වගේ අබිරහස් කලාපයක්. මුළු රටම ඉවරයි. අපි ඇමෙරිකාවේ යටත් විජිතයක් වෙලා ඉවරයි'

ඉරණවිල ඇමෙරිකන් හඬ ගුවන් විදුලිය ආරම්භ කරන්න යනකොට සමහරු කීවේ එහෙමය. ඇමෙරිකන් හඬ හෙවත් voice of America නිසා එවක රජයට විශාල මුදලක් ලැබිණි. එම ස්ථානය පවත්වාගෙන යෑමට ඉඩ ලබා දීම හේතුවෙන් ඔවුන් විශාල බදු මුදලක් රජයට සපයනු ලැබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරණායක ප්‍රමුඛ ආණ්ඩුව බලයට එන්නට මේ ඉරණවිල විරෝධයද හේතු විය.

ඉරණවිල අබිරහස් කලාපයක්

වමේ පක්ෂ කරේ තියාගෙන ගිය 'ඇමෙරිකන් හඬට' එරෙහි සටන පොදු පෙරමුණ හමාර කරතැයි බොහෝ දෙනා සිතූහ. නමුත් එහෙම වුණේ නැත. ඇමෙරිකන් හඬ එහෙමම ඉදිරියට ගියේය.

1985දී පටන් ගත් 'ඇමෙරිකන් හඬ' කරළියට ගෙනාවේ අවුරුදු 9කට පස්සේය. ඒ කියන්නේ 94දීය. ඡන්දේ කිට්ටු වෙනකොට 'රත් වූ තැටියේ රොටී පුච්චන්න' මෙහේ අය බොහොම සමත්ය.

වැඩේ ටක්කෙටම හරි ගියේය. රැල්ල අනෙක් පැත්ත ගැසුවේය. චන්ද්‍රිකා ආණ්ඩුව බලයට ආවේය. හැබැයි ආවට පස්සේ යූ.එන්.පී. ආණ්ඩුවට වඩා හොඳට අැමෙරිකාව එක්ක වැඩ කළේය. ඉරණවිල පළමු බිල්ල සිදු වන්නේ පොදු පෙරමුණ ආවාමය. පුදුමය කියන්නේ ඉරණවිල නවත්වන්න ආ පොදු පෙරමුණ යටතේ ඉරණවිල උද්ඝෝෂණයකදී පුද්ගලයකු මියයෑමය. කාලයාගේ අැවෑමෙන් 'කෙටි තරංග'වලට පවත්නා ඉල්ලුම අවම විය. ඇමෙරිකන් හඬ අැමෙරිකාවට එපා විය. ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත බාර දීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබීය.

කණ්ඩලම බිල්ලා

කණ්ඩලම හෝටලය තනන්නට යද්දීත් බොහෝ දෙනා එය දේශපාලන සටනක් කරගෙන බිල්ලෙක් මැවීය. එදා වැව් තාවුල්ලේ ගිනි තියාගෙන නිවන් දකින්නට සමහරු වෑයම් කළහ. අද කණ්ඩලම හෝටලය ලංකාවේ ඇති සුන්දරම හා හොඳම හෝටලයය. ලාංකිකයෝද කිසිම අඩුවක් නැතිව පැමිණෙන අතර පරිසරයට කිසිදු අතුරු ආන්තරාවක් වී නැත. ජෙෆ්‍රි බාවා නම් අපූරු

ගෘහ නිර්මාණ ශිල්පියා ඉදිකළ පරිසර හිතකාමී හෝටලය නිසා රටට ලැබෙන ආදායම විශාලය... රැකියාවෙ නියුතුව සිටින්නේ ගම් වාසීන්ය.

නොරොච්චෝලෙන් ශ්‍රී මහ බොධිය ඉවරයි

නොරච්චෝලේ බලාගාරය ඉදිකරන කාලයේ නව ආරක විරෝධයක් ආවේය.

'ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න එන්නේ. මේක රටට මහා විනාසයක්. මුළු රටම ඉවරයි. ඒ විතරක් නෙවේ මේකෙන් ශ්‍රී මහ බෝධියත් විනාශ වෙනවා'

සමහර අවස්ථාවාදීහු එහෙම බිල්ලෝ මැවූහ.

අද ජාතික විදුලිබල නිෂ්පාදනයේ වැඩි පංගුවක් දෙන්නේ නොරොච්චෝලේය.

මහවැලිය හදන්නේ රැජිනට ගන්න

මහවැලිය හදන විට කීවේ මේ මහා ජලාශ නිසා කඳු නාය යෑමට ලක්විය හැකි බවය.

'මේක ජාතියේ බොටුව හිර කරන වැඩක්. මුළු කඳුකරයම ඉවරයි. මහවැලිය නිසා පන්සල් යට වෙනවා. මේක මහා පාපයක්.' කියා ඒ කාලයේ සමහරු චෝදනා කළහ.

'ඕකට බ්‍රිතාන්‍ය ආධාර කරන්නේ නිකන් නෙවේ. අපි දෙවැනි වතාවට සුද්දට යටත් කරන ගිවිසුමක් ඕක. එහෙම නැතිව රැජින ඕකට උදවු කරන්නේ නෑ'

ඒ තවත් අය කී කතාය. අද මහවැලිය තරම් යෝධ ව්‍යාපෘතියක් හිතාගන්නටවත් බැරිය.

ප්‍රේමදාස ඉන්දියාවට ගෙවල් හදනවා

ප්‍රේමදාස 'නිවාස වැඩපිළිවෙළ' කරගෙන ගියේ අනේක විධ පීඩා මැදය. අයවැයෙන් සත පහක් මේ වැඩේට වෙන් නොකරන විට ප්‍රේමදාස ලෝකේ පුරා ගොස් මේ වැඩේට උදවු ඉල්ලුවේය. කවුරුවත් උපකාර කළේ නැත. පිට රටවල් එක්ක ගිවිසුම් ගහන්න හදද්දීත් සමහරු කකුලෙන් ඇද්දේය. අන්තිමට ඔහු 'සෙවණ' කියා ලොතරැයියක් පවා නිකුත් කළේය. 'ලොතරැයි විකුණලා ගෙවල් හදන්න පුළුවන්ද?' සමහරු උපහාසයෙන් ඇසීය. හැබැයි ප්‍රේමදාස වැඩේ කළේය. ඔහුගේ කකුලෙන් ඇද්ද ඔහුට සිනාසුණු සමහරු ඒවා විවෘත කරද්දී නම් මූණු දාගන්න පැමිණියහ.

අන්තිමට ප්‍රේමදාස ඉන්දියාවේත් ගෙවල් හැදුවේය.

‘ප්‍රේමදාස ඉන්දියාවට ගෙවල් හදා දෙනවා’

සමහරු එහෙම කීවේ ප්‍රේමදාස ඉන්දියානුවාදියෙක් බව පෙන්වන්නය. හැබැයි ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වුණෙත් ඉන්දීය හමුදාව පිටමන් කළෙත් ඒ කියන ප්‍රේමදාසය.

සුද්දන්ට ජංගි මැසූ ඇඟලුම්

විවෘත ආර්ථිකයෙන් පස්සේ ලංකාවට ඇඟලුම් කර්මාන්තය ආවම එවකට විපක්ෂය හිනා වුණේ සුද්දන්ට ජංගි මහනවා කියලාය. එහෙත් ප්‍රේමදාස ඇඟලුම් කම්හල් 200ක්‌ ඉදිකිරීම් මගින් ගමේ වෙසෙන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළේය. මෙතෙක්‌ කල් සිදුවූයේ ගමෙන් නගරයට පැමිණ රැකියා කිරීමය. එම ක්‍රමයට තිත තබමින් ගම තුළ ඇඟලුම් කම්හල් ඉදිකර ඊට අවශ්‍ය ශ්‍රමය ගම තුළින්ම ලබා ගත්තේය. ඉන් ගමට මුදල් ගලා ආවේය. ඇඟලුම් කම්හලක්‌ ගම තුළ ඉදිකර නැවතුණේ නැත. ඊට සමගාමීව ඔරලෝසු කණුවක්‌ද ගම තුළ ඉදිවිය.

සුව සැරියට විමල් කී දේ

මේ ආණ්ඩුව කළ අනගිතම පිංකම කුමක්ද කියා ඇසුවොත් දෙන්න තිබෙන පළමු පිළිතුරක් වන්නේ 'සුව සැරිය' ව්‍යාපෘතියය. එය ගම් නියම්ගම් සිසාරා අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක පැය 24 සේවාවකි.

එහෙත් මේ ගිලන් රථ සේවාව හඳුන්වා දෙන විට වාචාල විමල් කීවේ කුමක්ද?

'මේ ගිලන් රථ සේවාව ඉන්දියාවෙන් ගෙනල්ලා ඒ එක්කම රෝ ඔත්තු සේවයේ අය මෙහෙ වැඩට එන්න යන්නේ.'

මෙවන් තුච්ච පච දෙසන්නට හැක්කේ විමල්ටම පමණි. ඊට කිට්ටුවෙන් යන කතාව කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 'මේ අවදානම් ගිලන් රථවලට නඟින්න එපා' කියාය.

අද සිදුව තිබෙන්නේ කුමක්ද?

'මේ ගිලන් රථ සේවයෙන් කරපු පිංකමම ඇති නිවන් දකින්න.' එහෙම කියන්නේ අහිංසක ජනතාවය.

සෝෆා බිල්ලා

දැන් අලුත් මාතෘකාව සෝෆා ගිවිසුමය. ඒකත් මේ ආණ්ඩුව කරපු වැඩක් වගේ කෑ ගසන්නේ ව්‍යාජ දේශප්‍රේමියෝය.

‘රටටම හොරෙන් ඇමෙරිකාව සමඟ අත්සන් කළ ගිවිසුම මෙන්න’ කියා අද්මිරාල් සරත් වීරසේකර වත්මන් ආණ්ඩුවට මඩක් ගසා තිබිණි. කාරණාව සත්‍ය නම් මඩ නොව ගොම ගැසුවත් කමක් නැත. එහෙත් ඔහුගේ මඩ එල්ල විය යුත්තේ සත්‍ය වශයෙන්ම ඔය කියන පන්නයේ ගිවිසුම ගැසූ අයටය; ඒ අය කවුද?

රට වික්ක පුරවැසියෝ

ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු විසින් 2007දී අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිළිබඳ ගිවිසුම” මඟින් ලංකාව අනතුරට තල්ලු කළේ ඒ දෙදෙනාය. අයකු ඇමෙරිකන් ජාතික රොබර්ට් ඕ බ්ලේක්ය. අනෙකා ඇමෙරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂය.

විමල්ලා කියන විදිහට ලංකාව ගිලින්න බලාගෙන ඉන්න අැමෙරිකාව එක්ක තීරණාත්මක ගිවිසුම ගැහුවේ මහින්දගේ ආණ්ඩුවය. හරියටම කීවොත් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමෙරිකන් තානාපති රොබර්ට් ඕ බ්ලේක්ය.

ඒ 2007 වර්ෂයේ මාර්තු 05 වැනිදාය.

රහස් ගිවිසුම

මේ ගිවිසුම එදා අත්සන් කළේ රහසිගත ලෙසය. එදා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන හිටියේ නැත. ඇමෙරිකාව වෙනුවෙන් එරට පුරවැසියකු වූ රොබර්ට් ඕ බ්ලේක් ඒ ගිවිසුම අත්සන් කරද්දී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළේත් ඇමෙරිකන් පුරවැසියෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂය. රටවල් දෙකක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරද්දී දෙපාර්ශ්වයටම නියෝජිතයන් සිටිය යුතුය. හැබැයි එදා ලංකාව ගැන තීරණාත්මක ගිවිසුමකට අත්සන් කරන්නේ අැමෙරිකාවේ පුරවැසියන් දෙදෙනෙකි.

අන්තවාදයට සල්ලි

රාජපක්ෂලා විසින් එක් අතකින් ගෙවා ගත නොහැකි ණය ගනිමින් වෙනම භූමි භාග සින්නක්කරවම ලබා දෙමින් රට චීනයට ගොදුරු කරන ලද අතර අනෙක් අතින් මෙවන් ගිවිසුමකින් ඇමෙරිකාවටද ඕනෑම අවශ්‍ය අවස්ථාවක රටේ භූමිය තම යුද කටයුතු සඳහා භාවිත කිරීමටද අවස්ථාව සලසා දී තිබීමෙන් ශ්‍රී ලංකාව නමැති මාතෘභූමිය මහ බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත් කරන ලදි. ඉන් නොනැවතී මුස්ලිම් අන්තවාදී තව්හීද් ජමාද්ටද බෞද්ධ අන්තවාදී බොදුබල සේනාවටද හින්දු අන්තවාදී ශිවසේනාටද එකම රහස්‍ය ගිණුමකින් මුදල් ආධාර ලබා දෙමින් රටේ අන්තවාදය ආරම්භ කරමින් පෝෂණය කළෝය. ඒ සියල්ල අවසානයේ ව්‍යවස්ථාවද කඩමින් බලයක් නොමැතිව අගමැති ධුරයක් ලබා ගෙන රට කුමන්ත්‍රණයකට භාජන කර අරාජික රාජ්‍යයක් බවටද පත් කරමින් දුර්වල රාජ්‍යයකට පාර කපා සතුරන්ගේ පහසු ඉලක්කයක් බවටද පත් කෙළේය.

ඇමෙරිකාවට දිවි දෙන්න දිවුරූ පුරවැසියා ලංකාව වෙනුවෙන් එදා තීරණාත්මක ගිවිසුම අත්සන් කරන විට දේශප්‍රේමියෝ 'හ්ම්' කීවේ නැත.

 

චීනෙට සින්නක්කර ඉඩම්

2010 දෙසැම්බර් 28වැනි දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඇති ඔප්පුවේ අත්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේය.

කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන්ය. දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේය. 'රටට අලුත් දිවයිනක්', 'ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවරවුණු පුරවරය', 'කොළොම්තොටේ අසිරි පුරයක් අභිමන් දේශයක ආශ්චර්ය', 'සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ', 'විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්,' 'කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය' ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.

චීන ගේම්

මගේ ගාව ඔය හැමෝගෙම ෆයිල් තියෙනවා. ඒත් මම ඒවා අදින්නේ නෑ. 'දෙදහස් පහ‍ෙළාවේ' ඡන්දේ කට උඩ තියාගෙන මහින්ද එහෙම කීවේය. මෛත්‍රී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ගමන් මහින්ද කී ඒ කතාවට මහින්ද කඳවුරෙන්ම විරෝධතා ආවේය. 'ෆයිල් තියෙනවා නම් එළියට නොදා ඉන්නේ මොකද? 'කියා මහින්දගේ ඇමැතිවරු ඇසූහ. පරාජය කට උඩ තියාගෙනවත් මහින්ද ඇද්ද ෆයිල් එකක් නැත. එහෙම ඇද්දා නම් අදින්න ෆයිල් තිබ්බේ මහින්ද ගාව හිටපු අයගේම මිසක් විපක්ෂයේ අයගේ නොවේ. එදා නොඇද්ද ෆයිල් දැන් අදින්නට පටන්ගෙන තිබේ. එහෙම ඇදෙනකොට මහින්දලා සමඟ කල්ලියම කලබල වී සිටී. පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් ආන්දෝලනාත්මක හෙළිදරවුවක් කරනු ලැබීය. එහි වන්නේ ශ්‍රී ලංකාවම චීන ණය උගුලක හිර කර ඒ ණයවලින්ම මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට අඩුම ගණනේ ඩොලර් මිලියන 7.6කට අධික මුදලක් යොදා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත පසුගියදා (27) වාර්තා කර තිබිණි.

චීනයට හෙක්ටයාර් 108ක්

සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ වැනි දේවලින් සමන්විත 'කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය' යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ අතර ව්‍යාපෘතිය සඳහා සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් දරන අතර ඒ මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර 108ක ප්‍රමාණයක් ලබා දීමට නියමිත විය.

ඒවා දැන් හැමෝටම අමතක වෙලාය.

ෂැන්ග්‍රිලා ගනුදෙනුව

ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ 'ෂැන්ග්‍රිලා හෝටෙල් ව්‍යාපෘතිය'ටය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයට විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුවය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අත්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමඟ වීමය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකුණන්නේ රජය විසින්ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින්ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8,250කට එය සින්නක්කරව ලබාදී ඇත.

දැන් ගිවිසුම් ගැන බිල්ලෝ මවන්නේ එහෙව් අයියලාය.

මාතෘකා