අලුත් ඉරක සේයාවක් නැතිව තවමත් 18වන සියවසේ ජීවත් වෙන ගමක්

 ඡායාරූපය:

අලුත් ඉරක සේයාවක් නැතිව තවමත් 18වන සියවසේ ජීවත් වෙන ගමක්

සටහන හා ඡායාරූප කඳපොළ සමූහ [සම්පත් ජයලාල්]

“අපි තාමත් ජීවත්වෙන්නේ එක්දහස් අටසිය ගණන්වල. ගොනා බූරුවා පිට බර පටවාගෙන යන, පොල්ලේ බැඳලා මිනිස්සු උස්සන් යන, ගිනි මණ්ඩියෙන් එළිය බලන, විදුලිය නැති, ටැප් එකක් නැති, බොර වතුර ටිකක් ළිඳකින් බොන, අසරණම මිනිස්සු කොට්ඨාසක් තමයි මේ මොරගොල්ල ගම්මානයේ ඉන්නේ. රටේ මහජන නියෝජිතයොවත් දන්නේ නැහැ මෙහෙම පැත්තක් තියේද කියලවත්.”

වලපනේ, මොරගොල්ල ගම්මානයේදී හමුවුණු බන්දුල සුනිල් කරුණාසේන අප හමුවේ කථාව ආරම්භ කළේ එලෙසිනි. වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඈත කෙළවරක පිහිටි මොරගොල්ල ගම්මානය ඉතාම දුෂ්කර කිසිදු පොදු පහසුකමක් නැති ගම්මානයකි. යටිමාදුර සිට ඇති වැලි පාර දිගේ ඉතා අසීරුවෙන් බොලගන්දාවෙල දක්වා යතුරු පැදිවලින් ගමන් කළත් ඉන් එහාට යෑම ඉතාම අසීරුය. තවත් වංගු කිහිපයක් ඉදිරියට ගියත් වැස්සට පාර සේදී යෑම හේතුවෙන් තවදුරටත් යතුරු පැදි ගමන් කිරීම ඉතාම අවදානම් වූයෙන් ඒවා අතරමඟ නවතා ඉතිරි දුර පයින් යෑමට අප තීරණය කළෙමු.

තම කුඹුරේ වැඩ නවත්වා අප අසලට පැමිණ සිටි එච්. එම්. පියදාස තම කටහඬ අවදිකළේ මේ ලෙසිනි.

“අපි කුඹුරු කෙටුවත් වී ටික ගෙනියන්න හැටියක් නෑ. කරවල්වලින් තමයි අදින්නේ. සමහර කට්ටිය ගොනුන් පිට අරන් යනවා. බොලගන්දාවෙලයි, මොරගොල්ලෙයි අක්කර පන්සියකට වැඩිය කුඹුරු කොටනවා. ඒවට පොහොර ටික ගේන්නේ කරබරින්. හරි හමන් පාරක් තොටක් නෑ. ගමට වාහනයක් එන්න විදියක් නෑ.”

මොරගොල්ල ගම්මානය අසල පිහිටි බොලගන්දාවෙල, වලපනේ ප්‍රදේශයේ ඇති විශාලතම වෙල්යායයි. එහි ප්‍රමාණය අක්කර 233කි. යල මහ දෙකන්නය වගා කරන මෙම වෙල්යායෙන් යල කන්නයේදී පමණක් වී මෙට්‍රික් ටොන් 340ක පමණ අස්වැන්නක් ලබා ගනී. මහ කන්නයේදී මාංශ භෝග, එළවළු හා වී; අක්කර 50ක පමණ වගා කරනු ලබයි. මෙම විශාල වෙල්යාය මුලත කොටස, සේරුගැටේ, ටිඹුල, පිටවෙල, මහවෙල, දමුණුගොල්ල, සොහොන්තොටවෙල, රදවාකුඹුර, දඩුපොළ වැනි යායවල් රාශි‍්‍රයකින් සමන්විත වන අතර මෑතකාලින වෙල්යායේ ආරම්භය 1900 මුල් කාලයට දිවයයි.

උඩරට රාජධානිය පැවති සමයන්හිත් ඊට පෙරත් වලපනේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ජනාවාස පැවති බවට ප්‍රබල සාක්ෂි තිබේ. 1818 ඉංග්‍රීසින්ට විරුද්ධව උඩරට නායකයන් මෙහෙයවූ ඌව කැරැල්ලේදී වලපනේ ජනතාව විශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. 1818 ජනාවාරි 10 වැනි දින එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් රාජ දෝහීන් ලෙස ප්‍රකාශයට පත්කර දඬුවම් කරන ලද සිංහල නායකයන් 19 දෙනා අතර වලපනේ සිංහල නායකයන් තිදෙනෙක්ද සිටිති. ඌව වෙල්ලස්ස කැරැල්ල පරාජය වීමෙන් අනතුරුව ඉංග්‍රීසින් විසින් වලපනේ ප්‍රදේශය සම්පුර්ණයෙන් විනාශ කළ අතර ජනතාව ඒ ප්‍රදේශවලින් පලවා හරිමින් වෙහෙර විහාර, කෙත්වතු, වැව්අමුණු විනාශ කරන්නට විය.

88 වියැති කේ. බී. නිශ්ශංක මහතා බොලගන්දාවෙල ජීවත්වන්නේ උපන්දා සිටය.

“1900 වගේ තමයි මේ වෙල මුලින්ම අස්වද්දන්න පටන් අරන් තිබුණේ. 1907දී රජයේ මැනුමක් සිදුවුණා. ඒකට බොලගන්දාවෙලත් අයිති වුණා. මේ වෙලට ජලය සපයපු පරණ ඇලක් තියෙන බව ගම්මුන්ගෙන් ආරංචි වුණා. අලවතුගොඩ දිසා හාමුදුරුවෝ, ඇළේ වැඩ පටන් ගත්තා. ඒ අනුව ගම්මුන්ට අනිවාර්යයෙන් දින 10ක් ඇළේ වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කාලේ කිසිම පහසුකමක් තිබුණේ නෑ. 1905 වෙනකොට ඇළ සැතපුම් 3ක් විතර අගාවක කියන තැනට කපලා ඉවර කළා. දවස් 10ක් වැඩ කළාට පස්සේ එක්කෙනකුට අක්කරයක බිම් කොටසක් ලැබුණා. ඒකට රුපියල් 10ක බද්දක් ගත්තා. ඒ කාලේ හැටියට ඒක විශාල මුදලක්. හැබැයි ඊට අඩුවෙන් මුදල් ගෙව්වොත් ඉඩම් හම්බ වුණේ නෑ. 1907දී ඒ ඉඩම්වලට එංගලන්තයේ ජෝර්ජ් රජ්ජුරුවන්ගේ අත්සන යොදපු ඔප්පුවක් ලැබුණා. අපිටත් ඒක ලැබුණා. 1935දී තමයි මුල් වතාවට රජයෙන් මුදලක් ලැබුණේ ඇළේ සංවර්ධනයට. ඒ පවුම් 50ක මුදලක්. 1952දී දමුණුපොළින් නවත්තපු ඇළ තවත් කි. මී. 1, 1/2ක් විතර ඉදිරියට රදවාකුඹුර කියන හරියට කැපුවේ මමත් මගේ සහෝදරයිනුත් අපේ මහන්සියෙන්.”

බොලගන්දා වෙලෙහි බොහෝ කුඹුරු එයට සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි තෙරිපැහැ, උඩුමාදුර, යටිමාදුර වැනි ගම්මානවල ගොවියන්ට හිමිය. එම ගම්මානවල ගොවියන්ට වෙලට පැමිණීම සඳහා අවම වශයෙන් තම නිවසේ සිට සැතපුම් 5-6ක් පැමිණිමට සිදුවේ. ගොයම් කාලයට වෙලට පැමිණෙන බොහෝ දෙනා අට්ටාල ගසා ගෙන දින ගණන් එහි රැඳී සිටීම සිරිතකි. බොහෝ විට අඹු සැමි දෙදෙනාම වෙලට පැමිණි පසු නිවසේ ඉතිරි වන්නේ දරුවන් පමණකි.

බොලගන්දාවෙල මෙන්ම මොරගොල්ල ගම්මානය පිළිබඳව ඓතිහාසික කරුණු රාශි‍යකි. මීට වසර 300කට පමණ පෙර මෙම වෙල ආශ්‍රිතව ජනාවාස තිබු බවට සාධක ඇත. මොරගොල්ල හා බොලගන්දාවෙල නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වුවත් එහි කුඹුරුවල දෛනිකව වැඩ කිරීමට පැමිණෙන බොහෝ දෙනා බදුල්ල දිස්ත්‍රික්කයේ වැසියෝය. වැසි දිනවලදී ඔවුන් මෙගොඩට එන්නේ ඔය හරහා දමා ඇති අත්වැලෙනි. ප්‍රියන්ත ජයසිංහ එම තත්ත්වය විස්තර කළේ මේ ලෙසිනි.

“කුඹුරු වැඩට ගොඩක් අය එන්නේ බත්මැඩිල්ල, මාලිගාතැන්න වගේ ඔයෙන් එහා පැත්තේ තියෙන ගම්මානවලින්. අපිට වලපනේට වඩා ලේසියෙන්ම යන්න පුළුවන් කන්දකැටිය වගේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවලට. වලපනේ පැත්තට යන්න යටිමාදුරට පයින් යන්න ඕනේ. එතනට යන්න කිලෝ මීටර් තුනකට වැඩියි. මේ පැත්තෙන් ගියොත් කිලෝ මීටර් එකහමාරකින් බදුල්ල - කන්දකැටිය කාපට් එකට යන්න පුළුවන්. හැබැයි ඒ පැත්තට යනවානම් ඔයෙන් එගොඩ වෙන්න ඕනේ. පායන කාලේට නම් ගල් උඩින් පැන පැන හරි එගොඩ වෙන්න පුළුවන්. ඒත් වැස්සට ඔයේ වතුර වැඩි වුණාම යන්න වෙන්නේ අත්වැලෙන්. ඒක හරිම අවදානම් ගමනක්. ඒ කාලේට අපිට ලෙඩක් වුණත් අරන් යන්න අමාරුයි. අත්වැලෙන් වැටිලා අවුරුද්දට එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනවා. මේ වෙනකොට ඒකේ ලී දිරලා. කම්බි නෑ. අපේ වියදමෙන් තමයි මේ තරමින් හරි හදාගෙන තියෙන්නේ. අඩුගානේ ඒකට ලෑලි ටිකක්වත් දාගන්න විදියක් නෑ. පාර හදලා ඔය හරහා පාලමක් ඉදිකරලා බදුල්ලට මේ පාර සම්බන්ධ කළොත් මේ ගම්මාන නිකන්ම සංවර්ධනය වෙනවා. ඒ වුණාට කවුරුත් ඒක කරන පාටක් නම් නෑ.”

ඉංග්‍රීසීන් බදුල්ලේ සිට නුවරඑළියට පැමිණීම සඳහා මෙම මාර්ගය භාවිතයට ගෙන තිබේ. එහෙත් 1952දී පමණ පාලම ගංවතුරට ගසා ගෙන යෑමත් සමගඟම මාර්ගය සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇත. එය වඩාත් හොඳින් අපට පැහැදිලි කළේ බන්දුල සුනිල් කරුණාසේනයි.

“එදා අධිරාජ්‍යවාදීන්ගේ මහ කරදර තිබුණු වෙලාවේ කිවුලේගෙදර මොහොට්ටාල සීයලා, වලපනේ හිටපු කොතලාවල සීයලා මෙතනින් තමයි ඇවිල්ලා ගිහින් තියෙන්නේ. ඒ අයව අල්ලගන්න ඔය දිගට ගිනි මණ්ඩි ගහගෙන එදා රැකවල් යොදලා තිබුණා කියලා තමයි අපේ මුතුන්මිත්තෝ කියන්නේ. එදා තිබුණු කරත්ත පාලම එකදහස් පණස් ගණන්වල ගහගෙන ගිහින් තියෙනවා. ඒකේ තිබුණු යකඩ තවමත් වතුරේ. එදා ඉඳන් තමයි මේ කරදරය සිද්ධ වෙලා තියෙන්නේ.

“මේ ගම්මානයේ ඉස්කෝලේ යන ළමයි උදේට වල් අලි කරදර මැද්දේ මෙතනින් වියලූව පැත්තට යන්න ඕනි. නැත්නම් තෙරිපැහැට යන්න ඕනි. ඒ යනකොට වල් අලි මුණගැහුණම ආපහු එන්න ඕනි. මේක අතහැරලා යන්න විදියකුත් නෑ. යන්න තැනකුත් නෑ. විකල්ප ඉඩමක් හම්බවෙලත් නෑ. වනජීවි එකෙනුත් ටික ටික කරදර තියෙනවා. වැලකට ලීයක්වත් කපාගන්න පුළුවන්කමක් නෑ. පොල් පරාලෙත් නුවරින් ගේන්නයි සිද්ධ වෙලා තියෙන්නේ.”

මොරගොල්ල ගම්මානයේදී අපට බතින් බුලතින් සංග්‍රහ කළ වලපනේ, තෙරුපැහැ සිදුහත් මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එරන්ද මද්දුම බණ්ඩාර තම පාසල් ගමන ගැන අප දැනුවත් කළේ මේ ආකාරයටය.

“ගෙදර ඉඳන් ස්කෝලෙට හැතැප්ම පහක් විතර තියෙනවා. උදේ හවස පයින්ම තමයි යන්නේ. උදේ පහට විතර තමයි ස්කෝලේ යන්න පටන් ගන්නේ. පන්දම් බැඳගෙන තමයි යන්න වෙලා තියෙන්නේ. හවසට ඉස්කෝලේ අමතර පන්ති තිබුණොත් 4.30 විතර වෙනවා ඉවරවෙද්දි. ඒ වගේ දවස්වලට ගෙදර එනකොට 6.30ට විතර ඇති. ඒ වෙලාවට අලි වගේම වෙනත් සත්තුත් පාරට බහිනවා. ලාම්පු එළියෙන් තමයි පාඩම් වැඩ කරන්නේ. මම තරම් දුෂ්කරතා විඳින ළමයෙක් මුළු වලපනේ කලාපයේම නැතුව ඇති කියලයි මට නම් හිතෙන්නේ. අඩුම ගානේ පාරවත් හදලා දෙනවානම් බයිසිකලයකින් හරි ස්කෝලේ යන්න පුළුවන්.”

ළඟම පාසල හොඳම පාසල යන සංකල්පය අනුව එරන්ද මද්දුම බණ්ඩාරට ළඟම පාසලට යෑමට කිලෝ මීටර් පහක් දුරගෙවා පයින් යා යුතුය. ඒ අවම වශයෙන් එම මාර්ගයේ බයිසිකලයක් තබා පයින්වත් ගමන් කළ නොහැකි තත්ත්වයක් යටතේය. යටිමාදුර සිට විවිධ කාල වකවානුවලදී මොරගොල්ල දක්වා මාර්ගය කැපුවද ඉන් වැඩි කොටසක් කපන ලද්දේ 2016 වසරේදීය. එයට මූලික වූයේ වලපනේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායිකාව මෙන්ම මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරියක් වූ රේණුකා හේරත් මහත්මියයි. එම අවස්ථාවේදී මෙන්ම දැනටත් මාර්ග සංවර්ධන අධිකාරියේ රිකිල්ලගස්කඩ විධායක ඉංජිනේරු ලෙස කටයුතු කරන ප්‍රසාද් භද්‍රජි මහතාගෙන් අප මෙම මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් විමසීමේදි ඔහු දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයකි.

“2016 තිබුණු වලපනේ පුබුදුව මාර්ග සතිය වෙනුවෙන් යටිමාදුර ඉදලා බොලගන්දාවෙල හරහා මොරගොල්ල ගම්මානයේ ඔය ළඟටම අපි පාර කැපුවා. ඒ ව්‍යාපෘතියේ මූලික අරමුණ වුණේ ළඟා වෙන්න බැරි ස්ථානවලට මාර්ග පථයක් සකස් කිරීම. අපි ඔය ළඟටම පාර කැපුවත් එතනින් එහාට මාර්ගය සම්බන්ධ වුණේ නෑ. ඔය ළඟ ඉඳලා කිලෝ මීටර් එකහාමාරක් විතර තියෙනවා කන්දකැටිය පාරට. අපි මෙහෙන් කොච්චර පාර හැදුවත් බදුල්ල දිස්ත්‍රික්කයට සම්බන්ධ නූනොත් ඒ මාර්ගය සාර්ථක වෙන්නේ නෑ. එහොම වුණොත් කුඹුරු කරන සුලු පිරිසකට විතරයි මාර්ගය භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ. තවමත් බදුල්ල පැත්තෙන් උමා ඔය ආසන්නට පාරක් කැපිලා නෑ. මූලිකව ඒක විය යුතුයි. මූලිකම අවශ්‍යතාවය වෙන්නේ එහා පැත්තෙන් ඔය අසලට මාර්ගයක් ඉදිකර බදුල්ල දිස්ත්‍රික්කය හා සම්බන්ධ කිරීමයි.”

මාතෘකා