පැණි කොමඩු අරන් මහමඟ වෙළෙඳාමේ එන අනුරාධපුරයේ මහවැලි ගොවියෝ

 ඡායාරූපය:

පැණි කොමඩු අරන් මහමඟ වෙළෙඳාමේ එන අනුරාධපුරයේ මහවැලි ගොවියෝ

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

අනුරාධපුර දකුණු මායිමේ පිහිටි විසල් කලාවැව කේන්ද්‍රීයව ඇති මහවැලි එච් කලාපය සඳහා දියවර නිකුත් කිරීම ප්‍රමාද වීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් මෙවර යල කන්නය මුළුමනින්ම අතහැර දැමීමට ගොවීන්ට සිදුවිය. මේ හේතුවෙන් ගොවි මහතුන් එදිනෙදා ජීවත්වීම සදහා මුදල් සොයාගැනීමට මහමඟ වෙළෙඳාමට යොමුවී ඇති අන්දම මේ දිනවල දැකගත හැකිය.

වගා ළිං ආශ්‍රයෙන් ‘පැණි කොමඩු’ වගාවේ නියැළී ඇති සමහර ගොවීහු සිය අස්වැන්න විකුණා ගැනීම සඳහා මේ අන්දමින් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව නගරයට ඔබ්බෙන් රැඳී සිටිමින් වෙළෙඳාමේ යෙදී සිටිතිි.

ආර්ථික මධ්‍යස්ථාන තුළද පැණි කොමඩු සඳහා සාධාරණ මිලක් නොලැබෙන හෙයින් මෙසේ මහපාර පසෙකට වී වෙළෙඳාමේ නියැළීමට ගොවීන්ට සිදුව තිබේ. වගා ළිං මඟින් වගාවන් සිදුකරන බැවින් වතුර ඉසින යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා විශාල ඉන්ධන වියදමක් දැරීමට ගොවීන්ට සිදුව ඇත. මෙහෙයින් ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළෙඳුන් වෙත පැණි කොමඩු විකිණීම මඟින් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ගොවීන්ගේ විශ්වාසයයි. මෙහෙයින්ම සති අන්තයේ අටමස්ථාන වන්දනාවේ එන පිරිසට මෙන්ම මඟතොට යන්නවුන්ටද පැණි කොමඩු අළෙවියේ යෙදෙන මහවැලි ගොවීන්ගේ දසුන මෙහි යන එන කාටත් හුරු වූවකි. තලාව, පයිණ්ඩිකුලම ප්‍රදේශයේ පැණි කොමඩු වගාකොට එම අස්වැන්න මහමඟට පැමිණ විකුණන ‘කපිල රත්නබණ්ඩාර’ මහතා කුඹුරෙන් මහ පාරට වැටීමේ කතාව පැහැදිලි කළේය.

“තඹුත්තේගම මාකට් එකට ගෙනිච්චත් පැණි කොමඩුවලට හරිහමන් ආදායමක් නෑ. අපිම මේ විදිහට පාරේ තියාගෙන විකුණන එකෙන් ආදායමක් තියෙනවා. අපි කිලෝ එකක් මේ දවස්වල විකුණන්නේ රුපියල් හතළිහ ගානේ. ලොකු දෙයක් නැති වුණත් කිසිම ආදායමක් නැති මේ දවස්වල ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න පුළුවන්. වගා ළිංවල තියෙන වතුර මැෂින්වලින් ගහලා තමයි මේ ගොවිතැන කරන්නේ. ඉතිං අමතර වියදමක්, මහන්සියක් දරන්න ඕන. එහෙම කරලත් තුට්ටු දෙකට විකුණනවට වැඩිය අපිම මේ විදිහට වෙළෙඳාමක් කරගන්න එක හොඳයි කියලා හිතෙනවා.”

පැණි කොමඩු අප්‍රිකානු මහාද්වීපික කලාපයේ සම්භවය වූ භෝගයක් ලෙස සැලකේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයන්ට අනුව මෙරට වියළි සහ අතරමැදි කලාපවල පහසුවෙන් වගා කළ හැකිවේ. දිවයිනේ පුත්තලම, මොණරාගල, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවල මෙන්ම දැන් දැන් මහවැලි එච් කලාපයේ ගොවීහු වැඩිමනක් වශයෙන් කොමඩු වගාව සඳහා යොමුව සිටිති. මෙරට වාර්ෂික පැණි කොමඩු වපසරිය හෙක්ටයාර් 300ක් වැනි සුළු බිම් ප්‍රමාණයකට සීමා වී ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත වාර්තා සනාථ කරයි. මෙරට තුළ පැණි කොමඩු අලුත් පළතුරක් ලෙස ජනප්‍රියව පවතී. විශේෂයෙන් කොමඩු පිපාසිත අවස්ථාවන්හිදී ආහාරයට ගැනීමට වැඩිදෙනා ප්‍රිය කරති. පලතුරු සලාදයක් ලෙසද කොමඩු ජනී ජනයා අතර ප්‍රකටව පවතී.

මිහිරි වෙළෙඳාමක අමිහිරි කතාව පැහැදුවේ මහමඟ තවත් හොඳ පලපුරුදු ගොවියකු වන ‘ආර්.එම්. ජයන්ත මහතා’ය.

“මේ පාර යල් කන්නේ නිකන්ම මඟඇරිලා ගියා. ඒකට නම් වගකියන්න ඕන මහවැලියේ මහත්තුරු. අද වතුර දෙනවා, හෙට වතුර දෙනවා කියා කියා ඉඳලා අවසානේ මහවැලිය ගොවියෝ අතරමං කෙරුවා. අඩුම ගානේ මිනිස්සුන්ට ගොඩ ගොවිතැනක්වත් කරගන්න වතුර දෙන්න වැඩපිළිවෙළක් හැදුවේ නෑ මහවැලිය. ගොවිතැන් කරන අපිට නිකං ඉන්න බෑනේ. ඒකයි වතුර ගහන්න හරි එළවළු ටිකක්, පැණි කොමඩු ටිකක් හැදුවේ. ඒවටත් මේ දවස්වල හරි මිලක් නෑ. පැණි කොමඩු ටිකක් උදේට අත් ට්‍රැක්ටරේ දාගෙන ආවහම හවස් වෙනකොට දෙයියනේ කියලා ආදායමක් හොයාගන්න පුළුවන්. අපිම ගොවිතැන් කරලා අපිම විකුණා ගන්න එක හැම අතින්ම ලාබයි. හිතටත් සහනයක්.”

සෙන්ටිග්‍රේඩ් අංශක 20ට අඩු පාරිසරික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශ වගාව සඳහා නුසුදුසු වන හෙයින් වියළි කලාපයට සහ අතරමැදි කලාපයට ආවේණික වගාවක් ලෙස කොමඩු සැලකේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තු මඟින් නිර්දේශිත වඩාත් මිහිරි රසයකින් යුක්ත ‘තිළිණි’ නම් කොමඩු විශේෂය මේ මහමඟ වඩාත් ජනප්‍රියව පවතී. තිළිණි පැණි කොමඩු ප්‍රභේදය සිටුවා දින 75 - 80ත් අතර කාලයේදී පළමු අස්වනු නෙළා ගත හැකිය. දින 100ක් 110ක් පමණ ගතවන විට අස්වනු කාලය අවසන් වේ. හොඳින් නඩත්තු කළ අක්කරයක කොමඩු වගාවකින් මෙට්‍රික් ටොන් 15කට වැඩි අස්වැන්නක් නෙළා ගත හැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන අන්දමට බිම සකස් කිරීම සහ සංරක්ෂණය, වලවල් සලකුණු කිරීම සහ කැපීම, කාබනික සහ මූලික පොහොර යෙදීම, බීජ හෝ පැළ සිටුවීම, පොහොර යෙදීම, වල් මර්දනය, ජල සම්පාදනය, වගා නඩත්තුව, අස්වනු නෙළීම ආදි කුදුමහත් කටයුතු සඳහා මිනිස් දින වැඩි ප්‍රමාණයක් ගත වේ. මේ අසීරු කාලයේ ඊටත් වඩා කාලයක් දහ පිරිවැයක් දරන්නට මේ ගොවීන්ට සිදුව ඇත. එහෙයින්ම තුට්ටු දෙකට සිය මහන්සිය හෙට්ටු කරන්නට ඔවුන් කැමති නැත.

ජීවිතයම ගොවිතැන කොටගත් ‘ඩී.එම්.ඒ. ධර්මසේන’ මහතා පැවසුයේ ඒ වගඵලය.

“කොයි අතින් බැලුවත් ඉතිං මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා, දහදුක් විඳලා ගොවිතැන් කරන මනුස්සයන්ට තමයි හැම කරදරයක්ම. මේ කන්නේ නිකෙන්ම මඟහැරුණා. පැණි කොමඩු ටිකක් හරි හදාගත්ත මිනිස්සු මේ විදිහට පාරට ඇවිල්ලා කීයක් හරි හොයා ගන්නවා. ඒකත් නැති මිනිස්සුන්ට මොකුත්ම නෑ. ඔය දුර බැහැර ඉඳලා ශ්‍රී මහා බෝධිය එහෙම වදින්න එන අය අපි ළඟත් නවත්තනවා. අහල පහළ ගම්වල ඉන්න රස්සා කරන කට්ටිය එහෙම සමහර වෙලාවට කොමඩු ගෙඩියක් ගන්න නවතින වෙලාවල් තියෙනවා. කොහොමත් ඉරිදා, සෙනසුරාදා, පෝය දවස්වලට එහෙම ආදායමක් තියෙනවා. කාටත් කරදරේකුත් නෑ. බයකුත් නෑ. අපේ මහන්සියනේ අපි මේ විකුණන්නේ.”

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පැහැදිලි කිරීමට අනුව පැණි කොමඩු කායික හා මානසික ගුණ සමුදායකින් යුක්ත වේ. එනම් ශරීරය සිසිල් කරයි. දාහය දුරලයි. පිපාසය සන්සිඳුවයි. කෙස් වඩවයි. ඇස් පෙනීම ඇති කරයි. සිරුරේ දැවිල්ල ගතිය දුරු කරයි. කැසීම නැති කරයි. සමේ පැහැය ඇති කරයි. සම ප්‍රාණවත් බව ඇති කරයි. සිරුරේ විස නැති කරයි. මල බද්ධයට ගුණ දේ. අනවශ්‍ය ලෙස ශරීරයේ ද්‍රව රැස්වීම වළක්වයි. හෘද රෝගවලට ගුණ දේ. බඩවැල්වල සෑදෙන පිළිකා වැළැක්වීමේ හැකියාව ඇත. මුත්‍රා ගල් සෑදීම වළකයි. අස්ථි දිරායාම නැති කරයි. ඇසේ තෙත ගතිය රඳා පවතියි. ඇසේ වියළිභාවය දුරු කරයි. මානසික ආතතිය දුරලයි. සිතේ නොසන්සුන් බව දුරු කර දෙයි. උණ රෝගය නසයි. ඉරුවාරදයට ගුණ දේ. කොලෙස්ටරෝල් ඇති වීම වළකයි. ප්‍රතිශක්තිය වැඩි කරයි. වකුගඩු හා මුත්‍රාශ පිරිසිදු කරයි. ආහාර දිරවීම පහසු කරයි. පණු රෝගවලට සුදුසුයි. පණුවන් ඉවත් කරයි. බඩදැවිල්ල හා පපුව දැවිල්ල ඇති අයට සුදුසුයි. අධික තරබාරු අය ඉන් මිදෙති. එනම් තරබරුව පාලනය කරයි. එසේම ගර්භණී මාතාවන්ටද පැණි කොමඩු පරිභෝජනය වඩාත් යෝග්‍ය බව වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම වී ඇත.

මෙනයින් බලන කල්හි මේ ගොවීන් අව්ව, දූවිලි කමින් මහමඟට වී සොච්චම් ගාණකට විකුණනුයේ දිව්‍ය ඖෂධයක් බව නොකියමනාය. එහෙයින්ම ඔබ යළි මෙහි එන විට මේ මිනිසුන් දෙස අලුත් මානයකින් බලන්නැයි අපි ඔබට යෝජනා කරමු.

මාතෘකා