අනුන්ගේ අපල ළඟ සිනාසෙන වැටකෙයියා මල්

 ඡායාරූපය:

අනුන්ගේ අපල ළඟ සිනාසෙන වැටකෙයියා මල්

[පබුදු සපුතන්ත්‍රී]
ඡායා-[සමන් ශ්‍රී වෙදගේ]

බොහෝ දෙනෙකු සෙනසුරු රාහු අපලයට දක්වනුයේ දැඩි බියකි. මේ හේතුවෙන් එවැනි අපල ඇතැයි සිතන අය විවිධ වූ පුදපූජා පැවැත්වීමට හුරුවී සිටිති. ඒ සඳහා අතරමැදියන් වූ ඇතැමුන් කෝටිපතියන් වී ඇති බවද රහසක් නොෙව්. අපගේ මේ උත්සාහය ඒ ජන විශ්වාස ගැරහීම හෝ ඒවායේ සාර්ථකභාවය තව තවත් තහවුරු කිරීම නොවේ. අනුන්ගේ අපල ගෙවන්නට කටු ඇන ගන්නා උත්සාහවන්ත මිනිසෙකු ගැන කීමටයි.

හිමිදිරි උදෑසන තම උකුසු ඇසින් වැටකෙයියා තුරු මුදුන් දෙස දැඩි සෝදිසියේ යෙදෙන පුද්ගලයෙකු බේරුවල වෙරළ තීරයේදී අප නෙත ගැටිණි. වෙරළ තීරයේ දමා ඇති විශාල ගල් කුට්ටි මතින් පැන පැන යන මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයන්නට අප යොමු විය. ටිකක් ඔහු වෙත ළං වූ අපට පසෙක දමා තිබූ බලටුවක් බැඳි සිහින් උණ කෝටුවක් පෝර උරයක් දැකගත හැකි විය. මුලින් අප හා කතා කරන්නට මැලිකමක් දැක්වුවද කරුණු පැහැදිලි කළ පසු ඔහු අප හා කතාබහට එක් විණි.

වයස අවුරුදු පනහක පමණ පෙනුමක් ඇති ඔහුට අපි “අතුල” යැයි කියමු.

“මොනවාද මේ හොයන්නේ?” අපගේ පළමු පැනයට ඔහු “වැටකෙයියා මල්” යැයි බයාදු ලෙස බුලත් කහට පිරුණු දත් විලිස්සමින් පැවසීය.

“මොකටද? පූජාවක්ද?”

“නෑ”

“එහෙනම්?”

“විකුණන්න” යි පැවසූ ඔහු ගල් දෙබොක්කාවක සඟවා තිබූ වැටකෙයියා මල් පිරි පෝර උරය අපට පෙන්වීය.

“කොහේද මේවා විකුණන්නේ” යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ බෙල්ලන්විල හා කැලණියේ විකුණන බවයි.

උදෑසනින්ම බෙල්ලන්විල සිට නිරිතදිග වෙරළ තීරයට එන අතුල සතියකට දින හයක් වැටකෙයියා මල් නෙළීම සිදු කරන බව ඔහු හා කළ කතාබහේදි අපට වැටහිණි. පයාගල සිට ඉඳුරුව දක්වා කිලෝමීටර 14ක් තරම් දුර වෙරළ තීරයේ සෑම වැටකෙයියා ගසක් ගැනම ඔහුට හොඳ අවබෝධයක් තිබේ. ඒ වසරක් 12ක් තිස්සේ සතියකට වරක් මේ සෑම වැටකෙයියා ගසක් ළඟටම පැමිණ ලැබූ අත්දැකීම් නිසාය.

“මේ ගෙඩි තියෙන කිසිම ගහක මල් පිපෙන්නේ නැහැ. හැබැයි ඉඳුරුවේ එක ගහක් තියෙනවා. ඒකේ එක අත්තක ගෙඩිත් තියෙනවා, අනෙක් අත්තේ මලුත් පිපෙනවා” යැයි අතුල පවසයි.

වැටකෙයියා ශාක විශේෂය ගැන ඔහුට ඇත්තේ පර්යේෂණ මට්ටමේ දැනුමකි. ඔහු කෙතරම් දුරට අධ්‍යාපනය ලබා තිබේදැයි යන්න අප දන්නේ නැත. අප ඔහුගෙන් විමසුවේද නැත. නමුත් ඔහු තම ජීවන වෘත්තිය මනාව කළමනාකරණය කරගෙන ඇත. සතියේ දින හය ඔහු මේ වෙරළ තීරයේ විවිධ තැන් වෙනුවෙන් වෙන් කර ගනී. බ්‍රහස්පතින්දා දිනය ඔහුගේ විවේක දිනයයි. සඳුදා හිමිදිරියේ පයාගල වෙරළ තීරයේ කිලෝමීටර් දෙකක් පමණ ඇවිද යන ඔහු වැටකෙයියා මල් නෙළයි. අඟහරුවාදාට මග්ගොන කුඩාව වෙරළ තීරයේදී ඔහු දැක ගන්නට හැකිය. බදාදා හා සිකුරාදා දින දෙකම ඔහු වෙන් කර ඇත්තේ මාගල් කන්දේ සිට බේරුවල දක්වා වෙරළ තීරයටයි. සෙනසුරාදා හා ඉරිදා දින දෙක වෙන් කොට ඇත්තේ බෙන්තොට හා ඉඳුරුව වෙරළ තීරයටයි.

වැටකෙයියා මල් පිපෙනුයේ වැටකෙයියා කරටි මුදුනේය. ඒවා නෙළීම පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවේ. නමුත් අතුලට එය මහ ලොකු දෙයක් නොවන බව අප සමඟ කතාබහ කරන අතරතුර ඔහු ඒ කාර්යයේ යෙදී සිටීමෙන් පැහැදිලි විය.

පාරේ බසයක දිනපතා පැමිණීමේදී මේ දිග රිට රැගෙන එන්නේ කෙසේ දැයි ඇසූ විට ඔහු පැවසුවේ “පයාගල, මග්ගොන, බේරුවල හා ඉඳුරුවට වෙන් වෙන්ව කෝටු හතරක් හදලා තියෙන්නේ. හැමදාම මම ඒවා තාලම් පඳුරු අස්සේ හංගලා යනවා. නැත්නම් හැමදාම තේබොන කඩේක හරි තියලා යනවා” යනුවෙනි.

අතුල පවසන පරිදි දිනකට ඔහු පහසුවෙන්ම වැටකෙයියා මල් 50ත් 60ත් අතර ප්‍රමාණයක් අලෙවි කරයි. එකක් රු.100 බැගින් තොග මිල යටතේ බෙල්ලන්විල මල් අලෙවිකරුවන්ට ලබාදෙයි. මේ මුදල ඔහු තම දරුපවුල නඩත්තු කරන්නට යොදවයි. බෙල්ලන්විල ප්‍රදේශයේ කුලී කාමරයක නවාතැන් ගෙන මෙසේ ජීවන සටනට උර දෙන ඔහුගේ උපන් ගම ඇඹිලිපිටිය බව ඔහු පවසයි. මේ කතාබහ අතර අපි ඔහුට ප්‍රශ්න කිහිපයක් යොමු කළෙමු.

“හැමදාම කඩන්න මල් තියෙනවාද?”

“වැටකෙයියා මල් තියෙනවා. ඒත් වැටකෙයියා මල් වැඩියෙන් පිපෙන්නේ අප්‍රේල් මැයි ජුනි මාස තුනෙයි. නොවැම්බර් දෙසැම්බර් මාසවල මල් අඩුයි.”

වැටකෙයියා කරටියෙන් නැවත මලක් පිපෙන්නට මාස තුනක් ගත වෙන බව අතුලගේ අදහසයි. එසේම වැටකෙයියා කරටියට හානි නොවන ලෙස මලක් කඩාගත යුතු බවත් වැටකෙයියා ගොබයට හානියක් සිදුවුවහොත් ගස මැරෙන බවත් අතුල පවසනුයේ තම අත්දැකීමෙනි. ඇතැම් පුද්ගලයින්, විශේෂයෙන්ම මත්ලෝලීන් ක්ෂණික මුදල් සොයාගැනීමට අක්‍රමවත්ව වැටකෙයියා මල් නෙළීමේදී වැටකෙයියා කරටිවලට හානි සිදුකිරීම බරපතළ අපරාධයක් බව පවසන අතුල එවැනි ක්‍රියා නිසා අනාගතයේ මෙම ශාකය පැවැත්මට තර්ජනයක් වී ඇතැයිද පවසයි. එසේම වැටකෙයියා ශාක විනාශ කරන මෙවන් පිරිස් නිසා වෙරළ ආරක්ෂක අංශවලින් තම ජීවිකාවටද නුදුරේදී බාධාවක් එල්ලවිය හැකි බව ඔහුගේ අදහසයි.

වැටකෙයියා ප්‍රභේද ගැන ද අතුලට අදහසක් ඇත. වැටකෙයියා හා දුණුකෙයියා යනුවෙන් ප්‍රභේද දෙකක් මේ වෙරළ තීරයේ හමුවන බවත් විශේෂයෙන් දුණුකෙයියා බෙන්තර වෙරළ තීරයේ බහුලව හමුවන බවත් ඔහු පවසයි. දුනුකෙයියා මල වැටකෙයියා මලට වඩා තරමක් විශාල බව ඔහු පවසන අතුල දුනුකෙයියා මල් නෙළීම වැටකෙයියා මල් නෙළීමට වඩා අපහසු කාර්යයක් බවද පවසයි.

අතුල වැටකෙයියා මල් නෙළූ පසු එහි මනිපත්‍ර එකතුකොට රබර් පටි දෙකක් දමයි. ඒ මලේ නැවුම් බව ආරක්ෂා කිරීමටයි. පැයක් එකහමාරක් අතරතුර තම කාර්යය අවසන් කළ අතුල ක්ෂණිකව තම මල් බෑගය බසයක දමාගෙන බෙල්ලන්විලට ගෙන යයි. පෙර ඇණවුමක් තිබුණහොත් පමණක් කැලණියට ගෙන යන බවද ඔහු පවසයි.

වසර දොළහක් පිරෙන තම රැකියාවේ අමතක නොවන සිදුවීමක් නැද්දැයි අතුලගෙන් විමසූ විට ඔහු දත් ඇන්ද විලිස්සා එහි ඇති බොරුදත් හතරක් දිවෙන් ඉවත් කර පෙන්වීය.

“මේ තියෙන්නේ අමතක නොවන සිදුවීමක්. අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා ඉඳුරුවේදී වැටකෙයියා අත්තක් කඩාගෙන බිමට වැටුණා. ගලක වැදිලා දත් හතරක් කැඩිලා ගියා.”

අතුල එසේ පවසන්නේ තම ජීවන වෘත්තියේ ඇති කටුක බවයි. නමුත් ඔහු ඉන් නොසැලී අදත් එම කාර්යයේ නිරතව සිටියි.

“ඒ කාලේ මට තිබුණු අත්දැකීම් අඩුයි. දැන් නම් ගහ දැකපු ගමන් මට මල් තියෙනවාද නැද්ද කියලා කියන්න පුළුවන්. මම ගස්වලට නඟින්න උත්සහා කරන්නේ නැහැ. බිම ඉඳන් කෙක්කකින් මල් කඩනවා.”

ඒ ප්‍රකාශය තුළ ඇත්තේ වැටකෙයියා මල් නෙළීම පිළිබඳ ඔහුට ඇති පරිණත බවයි. වැටකෙයියා මලේ සුවඳ සේම මෘදු මොළොක් බව මල් පූජා කරන්නන් හඳුනා ගත්තද වැටකෙයියා කටුවල ඇති තියුණු බව ඔවුන් හරි හැටි හඳුනනවාද යන්න ඇත්තේ සැකයකි. නමුත් වැටකෙයියා කටුවල තරම අතුලගේ දෙඅත්ලෙන් මනාව පෙන්නුම් කරයි. වැටකෙයියා කටුවක් ඇනීම අපට කිඹුලෙක් කන තරම් දැනුණද අතුලට එය මහලොකු දෙයක් නොවන බව ඔහු පවසයි.

ඕනෑම කාර්යයක එක දිගටම නිරත වීමෙන් ලබන අත්දැකීම ආර්ථික විද්‍යාවේදී විශේෂ ප්‍රාගුණ්‍ය ලෙස හඳුන්වයි. මේ වැටකෙයියා මල් නෙළීමේ අතුල සතු විශේෂ ප්‍රාගුණ්‍ය නොවන්නේද?

මහ සයුර වාරකන් ඇරඹූ බව කියන්නට මෙන් උදම් රළ වේගයෙන් විත් වෙරළේ ගල් වැටියට රිසි සේ පහර දෙයි. ඉන් බිඳී විසිරුණු ලවණ මුසු ජල බිඳු තුහින වැස්සක් ලෙස ඇවිත් අතුලගේ මුහුණ තෙමුවේ අප බලා සිටියදීය. එය තරමක අපහසුවක් දැනුණද ඔහුගෙ කායිය වෙහෙස නිවා දමන්නට සොබාදහමෙන් ලැබුණු ආශීර්වාදයක් යැයි මට සිතිණි.

ජීවත් වීමට යැයි කියා අනුන්ට ගිනි දෙන නරුමයන්ට වඩා අතුල වැනි උත්සාහවන්ත මිනිසුන් සමාජයට සම්පතක් බව අපගේ හැඟීමයි. දස දහස් ගණනකගේ සෙනසුරු, රාහු අපල සිඳ බිද දමන්නට මල් නෙළන අතුල තමන්ගේ අපල ගෙවෙන්නට කිසි දිනෙක එම මලක් පුදන්නට නොගිය බව අප හා පැවසුවේ සිනාසෙමිනි.

“ගෙදර අය මේ වැඩේට කැමතිද?” මම ඇසීමි. “ඒ අය හිතන් ඉන්නේ මම බිස්නස් කරනවා කියලා.” ඔහු සිනාසෙයි.

මාතෘකා