ශිල්ප සොයන්නන්ගේ පරාදීසය පොරමඩුල්ල හන්දිය

 ඡායාරූපය:

ශිල්ප සොයන්නන්ගේ පරාදීසය පොරමඩුල්ල හන්දිය

ප්‍රදේශයට අභිමානයක් වූ තක්සලාව

වලගම්බා සමයේ පුරාවෘත්ත

ගම් උදාවෙන් සිදු වූ පෙරළිය

තවලම් යුගයේ අම්බලම

පොරමඩුල්ල කී සැණින් සිහියට නැගෙන්නේ දිවයිනේ ප්‍රමුඛ පාසල් අතර කරට කර සිටිය හැකි නමක් දිනූ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයයි. නුවරඑළියේ අභිමානය රටට ගෙනගිය එය, අද අපේ කතාබහට නිමිති වන පොරමඩුල්ල හන්දිය ආසන්නයේ පිහිටියේය. රිකිල්ලගස්කඩ සිට හේවාහැට දෙසට යන විට හමුවන ප්‍රධාන තුන්මං හන්දිය පොරමඩුල්ල හන්දියයි. හේවාහැටට අමතරව පල්ලේබොවල දෙසට ගමන් ගන්නා මාර්ගය හන්දියට දකුණු පසින් දිවෙන අතර එය පොරමඩුල්ල ජාතික පාසලේ පිවිසුම් මාර්ගයද වෙයි.

සුන්දර පරිසරය

පොරමුඩල්ල ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයකි. එක් පසකින් දියතලා කඳුවැටියත් අනෙක් පසින් කන්දපොළ කඳුවැටියත් මෙම ප්‍රදේශයේ සුන්දරත්වය තවත් වැඩි කොට ඇත්තේ ආරක්ෂක පවුරක් ලෙසද පෙනී සිටිමිනි. නුවරඑළිය දිස්ත්‍රිකයේ ඇති ජනප්‍රියම පාසල වන පොරමඩුල්ල විද්‍යාලයට තම දරුවන් ඇතුළු කර ගන්නට නන් දෙසින් පැමිණ මෙහි පදිංචි වූවන් නිසා ප්‍රදේශයේ ජනගහනයද වර්ධනය වී ඇත. මීට දසක ගණනාවකට ඉහතදී අම්බලමකින් හා කුඩා කඩ කාමර දෙක තුනකින් සමන්විතව තිබූ හන්දිය අද වන විට අංගසම්පූර්ණ කඩමණ්ඩියක් බවට පත්ව ඇත.

නම ලැබුණු හැටි

පොරමඩුල්ලට නම ලැබුණු අයුරු පිළිබඳව ප්‍රදේශයේ මතවාද දෙකක් පවතී. ‘ඉස්සර මේ හන්දියේ ගොන්නු දෙන්නෙක් පොරකාලා තියෙනවා ඒක නිසා මේ ප්‍රදේශය පොරමඩුල්ල වුණා කියලා කියනවා. තව මේහේ පාරවල් කපන කොට පස් පුරවපු නිසා පුරවපු-මඩල පොරමඩුල්ල වුණා කියලත් කියනවා’ හන්දියෙදි හමු වූ ජයසිරි මහතා පවසයි.

හන්දියට අභිමානයක්

එක්දහස් නවසිය එකේදී ඩී. එස්. සේනානයක මහතා විසින් මුල්ගල් තබමින් ආරම්භ කරන ලද පොරමඩුල්ල විද්‍යාලය ද්විභාෂා මිශ්‍ර පාසලකි. 1946 පෙබරවාරි මස පළමු වන දින එය මධ්‍ය මහා විද්‍යාලයක් ලෙස නම් කෙරිණ. එය ගැහැනු හා පිරිමි නේවාසිකාගාර පහසුකම්වලින් සමන්විත විය. පසුව ක්‍රීඩා පාසලක් ලෙස සංවර්ධනය කෙරිණි. මේ වන ඉන් තම ජීවිත ආලෝකවත් කර ගත් පිරිස දහස් ගණනකි. මේ වන විට පොරමඩුල්ල ප්‍රදේශය මෙම පාසල නිසාම මහත් සේ ජනප්‍රියත්වයට පත්ව ඇති අතර එය හන්දියට එක් කොට ඇත්තේ අභිමානයකි.

ඓතිහාසික පසුබිම

පොරමඩුල්ල ආශ්‍රිත ප්‍රදේශය ඓතිහාසික අතින්ද වැදගත් කලාපයකි. අතීතයේ මේ ආසන්නයේ ඇති විල්වල ප්‍රදේශයේ සැගවී සිටි වළගම්බා රජතුමා විල්වල රජමහා විහාරයද කරවා ඇත. එසේම එම රජ සමයේ කරවූ බව සැලකෙන වාරිමාර්ග පද්ධතිය අදටත් හන්දිය ආසන්යේ දැක ගත හැකිය. මුල්ඔයෙන් ආරම්භ වන මෙම වාරි පද්ධතිය පිළිබදව එකල නුවරඑළියේ සිටි මහා දිසාපතිවරයෙකු වන ලැමලියර් මහතා විශේෂ උනන්දුවක් දක්වා තිබේ. මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණ, මෙම වාරි පද්ධතිය මහාඇළ ලෙස හඳන්වා ඇති අතර එය නැරඹීමට පැමිණි බවට තම දින පොතේ සටහනක්ද තබා ඇත. එම දිනපොත අදටත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුරක්ෂිතව ඇත.

එසේම දහඅටවන සියවසේ කෝපි වගාවත් සමගම මෙම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය මුල්ඔය දක්වා ඉදි කෙරිණි. 1867 වර්ෂයේදි ජෙම්ස් ටෙලර් විසින් ලූල්කඳුරේදී මෙරට තේ වගාව ආර්ම්භ කිරීමත් සමග ඒ අවට පිහිටි තේ වතු සදඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා මෙසේ මාර්ග පදධතිය ඉදි කොට ඇත. මීට දසක කිහිපයකට ඉහතදී පවුල් පනහක් පමණ දිවි ගෙවූ හන්දිය ආශ්‍රිත ප්‍රදේශය මෙන්ම ඒ අවට ප්‍රදේශයද අයත්ව තිබී ඇත්තේ ඇකිරිය ග්‍රාම නිලධාරී වසමටය.

ගම් උදාවෙන් දියුණු වූ ගම

"1986න් පස්සේ තමයි මේ පැත්ත දියුණු වෙන්න පටන් ගත්තේ. ඒ දවස්වල ලබුහෙන්වල, ඇකිරිය, පොරමඩුල්ල අයිති එකම කොට්ඨාසයකට. ඒ දවස්වල මම තමයි ග්‍රාමෝදයේ පළවෙනි සභාපති. මට පුළුවන් වුණා ඉස්සරලාම ප්‍රජාශාලාවක් හදන්න. ගම්උදාවෙන් ගෙවල් හදලා ලයිට් දෙන්න මට මැදිහත් වෙන්න පුළුවන් වුණා. ඒ දවස්වල අපිටත් හන්දියේ ලයිසන් කූපන් කඩයක් තිබුණා" හන්දිය ගැන බොහෝ තතු දත් ජී.ඒ. ජයසිරි මහතා පැවසුවේය.

රැය පහන් කළ අම්බලම

අද වන විට හන්දියේ බොහෝ පහසුකම් ඇති අතර ඕනෑම දෙයක් මිල දී ගත හැකි කුඩා කඩ මණ්ඩියක් බවටද පත්ව ඇත. හන්දියෙන් දකුණු පසින් පොරමඩුලු මැදි විදුහල මෙන්ම හන්දියේම විද්‍යාකර මහා විද්‍යාලයද පිහිටා ඇත. මේ අසලම කිසිවෙකුගේ අවධානයට බඳුන් නොවූ, ජරාවාස වූ අම්බලමක් දැකිය හැකිය. අතීතයේදී බොහෝ දෙනෙකකුට පිහිට වූ මෙම අම්බලම එකල හන්දියේ ජීවය රැඳි ස්ථානය බව පැරැන්නෝ අදටත් සිහි කරති. "ඉස්සර සෙනසුරාදා උදේට තවලම් පහළොවකින් විතර මිනිස්සු මෙතන තිබණ පොළට බඩු අරගෙන එනවා. සෙනසුරාදාට මේ පොළේ බිස්නස් කරලා රෑට අම්බලමේ නතර වෙනවා. ඉරිදට රහතුන් ගොඩ තියෙන පොළට යන්න. හැමෝම ඉස්සර අම්බලම තමයි ප්‍රයෝජනයට ගත්තේ. ජයසිරි මහතා වැඩිදුරටත් පවසයි.

1940 පටන්ගත් කඩේ

අද වන විට හන්දියේ කඩ බොහොමයක් දැකගත හැකි වුවත් එක්දහස් නවසිය හතළිස්ගණන්වල හන්දියේ කඩ නොතිබුණු තරම්ය. හැටපස් වියැති එකනායක මහතාගේ පියා එකල හන්දියේ මුල්ම තේ කඩය ආරම්භ කොට ඇත. "රත්ලන්ඩ් එකේ පෙරියසාමිගෙන් තමයි අපේ තාත්තා මේ කඩේ අරගෙන තියෙන්නෙ. ඒ දවස්වල ලොකු සෙනගක් නැහැ. අපි කඩේ තේ උණු කරන්නේ ලොකු බොයිලේරුවෙන්, පොල් කටු අගුරු දාලා. ඒ දවස්වල කෑම ජාති සත පහයි දහයයි අතර තමයි." එකල හන්දිය අවට තිබු දුම්කොළ වතුවල සේවය කළ පිරිස්වලට ණයට බඩු දී මාසේ පඩියට එකතු කර ගෙන ඇති අතර මසකට වැඩිම බඩු ප්‍රමාණයක් ගන්නා පුද්ගලයාගේ ණය මුදල රුපියල් දහායටත් වඩා අඩු බවත් තම කඩයේ මාසික අදායම් රුපියල් දහසටත් අඩු බව අදටත් එකනායක මහතාට මතකය.

"මට ඉස්සර අම්මා සත පහක් දෙනවා කඩේට යන්න. එතකොට මම ඉස්කෝලෙ එකේ පන්තියේ හිටියේ. පාන් ගෙඩියයි, ලාම්පුතෙල් අරික්කාලයි, තේ කොළ ගොට්ටයි අරන් මම සීනි බෝලෙකුත් කාලා සතයක් දෙකක් ඉතුරුත් අරන් යනවා." අපූරු මතකයක් සිහි කරමින් හේමා බස්නායක මහත්මිය පැවසුවාය.

අහිමි වුණ පාසල් ගමන

අද වන විට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය සියලු පහසුකම් දෙමාපියන් තම දරුවන්ට කෙසේ හෝ ලබා දෙන්නේ ඔවුන් කෙරෙහි ඇති ආදරය නිසාමය. නමුත් මීට දසක පහකට පමණ ඉහතදී නම් තම අඩුපාඩුකම් පියවා ගනීමට නොහැකි වන දරුවන්ට තම අධ්‍යාපනය නවතා දමන්නට සිදු විය. හේමා මහත්මියද එම කටුක අත්දැකීම විඳි අයුරු පවසයි. "සෙන්ට්‍රල් එකට ඇතුල් වෙන්න ඉස්කොලෙන් විභාගයක් තියෙනවා, මම එකෙන් ලකුණු තිස්දෙකක් අරන් පාස් වුණා. මට සෙන්ට්‍රල් එකට යන්න ගවුමකුයි සපත්තු දෙකකුයි ගන්න බැරි නිසා තාත්තා කිව්වා ගෙදර නවතින්න කියලා. අපි ඉස්සර ගෙදරින් පිට ගිය ලොකුම ගමන තමයි රිකිල්ලගස්කඩට යන එක. ඒ දවස්වල එක බස් එකක් වැඩ කළා මුල්ඔයට. රික්ල්ගස්කඩට ගන්නෙ සත දහයයි.’

ගමට ආ රූපවාහිනිය

සියේරා, පිලිප්ස් ආදී ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රථමයෙන්ම පොරමඩුල්ල මෙන්ම ඒ අවට ප්‍රදේශයන්ට පැමිණ ඇති අතර මෙරටට රූපවාහිනිය පැමිණි මුල් කාලයේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයට රූපවාහිනිය හදුන්වා දී ඇත්තේ හරි අපූරු අකාරයකයටය. ඒ රිකිල්ලගස්කට ගොවිජනසෙවා මධ්‍යස්ථානයේ රූපවාහිනියක් ප්‍රදර්ශනයට තබා ගම්මුන් ගෙන්වා ඔවුන්ට එය හඳුන්වා දීමෙන්ය.

සුරුට්ටු මාමාගේ කඩේ

"මම ඉස්සර අත් අකුරු තරගයෙන් පළවෙනියා. සුරුට්ටු මාමගේ කඩෙන් ගල් ලෑල්ලයි ගල් කූරයි ගන්නවා. ගල් ලෑල්ල සත දෙකයි. ගල්කූරු දෙකක් සතයයි. තව කොට්ට කෙලෙන්ගු පෙට්ටියයි, තල් හකුරු පෙට්ටියයි සතයයි. සුරුට්ටු මාමා යාපනෙන් තමයි බඩු ගෙන්නෙ." ආර්.එස්.බී. දිසානායක මහත්මියගේ මතකයෙන් බිඳකි ඒ.

"ඉස්සර අපේ අම්මා තමයි මේ කෝරලෙටම හිටිය එකම වින්නඹු අම්මා. අම්මට ඒ දවස්වල පඩිය රුපියල් හැටයි. අම්මාගේ අත්දෙකින් මේ පළාත් ළමයි දාහකට දෙදාහකට විතර ජීවිතය දිලා ඇති. දිසානායක නෝනා කිව්වම අම්මාව හැමෝම දන්නවා."

හන්දියේ පොළ එකල සෙනසුරාදාට පැවති හන්දියේ පොළේ මතකය පමණත් අද ඉතිරිව ඇති අතර එකල පොළේ වැඩි වශයෙන් විකිණීමට තිබී ඇත්තේ වළංය. ඒ අසල වළං කර්මාන්ත සිදු කරන ගම්මානයක් තිබිණි. එසේම හන්දියට එකල භුම්තෙල් කරත්තයක්ද පැමිණ ඇත.

එකල සිට මේ දක්වාම හන්දියේ එතම ටියුටරියක් පවතී. අද එය ටියුටරිය ලෙස හඳුන්වන්නේ නැත. හේමා මහත්මිය එකල එයින් ලඝු ලේඛනය හදරා ඇත්තේ රුපියල් හතළිහකටය.

ත්‍රී රෝද රථ නැවතුම

අනෙක් හන්දිවල මෙන්ම පොරමඩුල්ල හන්දියේද ත්‍රී රෝද රථ නැවතුමක් ඇත. මීට වසර පහළොවකට පමණ ඉහතදී ආරම්භ කරන ලද මෙම නැවතුමේ මේ වන විට ත්‍රී රෝද රථ විසිපහක් පමණ පවතී.

"අපිට වැඩිපුර හයර් තියෙන්නෙ රිකිල්ලගස්කඩට. තව හේවාහැටට. පල්ලේ බොවලටත් හයර් තියෙනවා. දැන් නම් හන්දිය ගොඩාක් දියුණු වෙලා තියෙන්නෙ. අපිට ගොඩාක් ළඟ හයර් තමයි තියෙන්නෙ." ප්‍රසන්න ධම්මික පවසයි. අධ්‍යාපන පහසුකම් සොයා බාහිරින් පැමිණි පිරිස් නිසාම මේ වන විට පොරමඩුල්ල හන්දිය ආශ්‍රිත ප්‍රදේශයේ වටිනාකම ඉහළ ගොස් ඇති අතර නිවාස කුලියට දීම මෙන් බෝඩිම් පවත්වාගෙන යෑමද සුලබය. බොහෝ සේ නවීකරණය වී සංවර්ධනය වී ඇති අතර මාර්ග පද්ධතිය කාපට් අතුරා සංවර්ධන කොට ඇත. එසේ වුවත් අතීතයේ හන්දියට අලංකාරයක් එක් කළ අම්බලම නම් අද වන විට සියල්ලන්ටම අමතකව ගොස් ඇති සෙයකි.

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා