'චාර්ල්ස් ඩාවින්' පරපුරේ ශ්‍රී ලාංකේය සලකුණ

 ඡායාරූපය:

'චාර්ල්ස් ඩාවින්' පරපුරේ ශ්‍රී ලාංකේය සලකුණ

'මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂය වුණේ 1990දී විතර මම තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයට සම්බන්ධ වීමෙන් පසුවයි. දෙහිවල ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය තුළින් මම සතුන් පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබුවා. එහිදී තමයි මට මගේ බිරිඳ ''නෙතූ'' මුණ ගැහෙන්නේත්. පසුව මම ලෝක සංරක්ෂණ සංගමයට සම්බන්ධ වුණාට පසුව ජාතික මට්ටමේ පර්යේෂණවලට දායක වෙන්න අවස්ථාව ලැබීම තමයි මගේ ජීවිතයේ දෙවැනි හැරවුම් ලක්ෂය. මට විද්‍යාත්මක ලෙස සතුන් අධ්‍යනයට ආචාර්ය චන්න බඹරදෙණිය මහතා විශාල මග පෙන්වීමක් කළා,''

සිය ජීවිත කාලය තුළ අලුතින් එක් සත්ත්ව විශේෂයක් හෝ සොයා ගන්නට හැකි නම් එය සත්ත්ව විද්‍යාඥයෙකු ලබන මහත් භාග්‍යයකි. දැනටමත් නව ජීවින් විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂී විද්‍යාඥ පවුලක් ශ්‍රී ලංකාවේ ජීවත් වේ. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටිති. 'චාර්ල්ස් ඩාවින්' පරපුරේ ශ්‍රී ලාංකීය සලකුණ බවට පත්ව සිටින උරග හා උභයජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය බිරිඳ වන නෙතූ වික්‍රමසිංහ සහ සිය දරුවන් සමඟ වනගතව මෙම පර්යේෂණ සිදු කරයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුද ඔවුන්ගේ පර්යේෂණ කණ්ඩායමට ඇතුළත්ය.

මේ වන විට නව උරග විශේෂ 15ක් සහ උභය ජීවී විශේෂ 11ක් හඳුන්වා දී ඇති මෙන්ඩිස් වික්‍රමසිංහ වසර 135කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් තිබූ බවට විශ්වාස කෙරුණු ජීවින් තිදෙනෙකු සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නැවත ලොවට හඳුන්වා දීමටද සමත් විය. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යා විෂය නිර්දේශයේ 'පරිසර අධ්‍යාපනය පිළිබඳ නව විෂය නිර්දේශයට අනුකූලව රජයේ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය 2017-2021' යටතේ විද්‍යා ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ ජාතික වගකීමද ඔහුට පැවරී ඇත. යුනෙස්කෝ සංවිධානයේ මධ්‍යම කඳුකරයේ ස්වාභාවික ලෝක උරුම ව්‍යාපෘතියේ සහ ජාතික සත්වෝද්‍යානයේ උපදේශකයෙකු ලෙසද ඔහු කටයුතු කරයි. ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා පිරිනැමෙන ජනාධිපති සම්මානය සහ වනජීවි පර්යේෂණ සඳහා පිරිනැමෙන ජනාධිපති සම්මානයද ඔහු විසින් දිනාගෙන තිබේ.

යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බලකාය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සහ විශේෂ බලකාය [SF] ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ට වනයේ නොනැසී ජීවත් වීම සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක පුහුණුව දශකයකට අධික කාලයක් තිස්සේ ලබා දීමටද මෙන්ඩිස් වික්‍රමසිංහ දායක වී ඇත. දශක දෙක හමාරක් තිස්සේ වනජීවී පර්යේෂණ කටයුතුවල නිරත වන ඔහු දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙත ගොස් කිසිදු මුදල් අය කිරීමකින් තොරව සිය දැනුම සිසු දරුවන්ට ලබාදෙයි.

කළුතර, වස්කඩුවේ උපත ලබා ඇති මෙන්ඩිස් වික්‍රමසිංහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. එහෙත් ඔහු කුඩා කාලයේදී පාසල් අධ්‍යාපන කටයුතුවලට වඩා ප්‍රියකර ඇත්තේ සර්පයන්ටය. උසස් පෙළ සඳහා වාණිජ විෂය තෝරාගත් මේ "දඩබ්බර සිසුවා" අද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සිටින විද්‍යා ගුරුවරුන්ට මඟ පෙන්වන දක්ෂ ගුරුවරයෙකි.

''මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂය වුණේ 1990දී විතර මම තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයට සම්බන්ධ වීමෙන් පසුවයි. දෙහිවල ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය තුළින් මම සතුන් පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබුවා. එහිදී තමයි මට මගේ බිරිඳ ''නෙතූ'' මුණ ගැහෙන්නේත්. පසුව මම ලෝක සංරක්ෂණ සංගමයට සම්බන්ධ වුණාට පසුව ජාතික මට්ටමේ පර්යේෂණවලට දායක වෙන්න අවස්ථාව ලැබීම තමයි මගේ ජීවිතයේ දෙවැනි හැරවුම් ලක්ෂය. මට විද්‍යාත්මක ලෙස සතුන් අධ්‍යනයට ආචාර්ය චන්න බඹරදෙණිය මහතා විශාල මග පෙන්වීමක් කළා,'' මෙන්ඩිස් වික්‍රමසිංහ සිය මතකය අවදි කළේ එලෙසිනි.

මෙන්ඩිස්ගේ සොයාගැනීම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ 2012 වසරේදී ලොවට හඳුන්වා දුන් දැනට දන්නා තොරතුරු අනුව රත්නපුර, ගිලීමලේ රක්ෂිතයෙන් පමණක් හමුවන 'රන්වැල්ලගේ ගස් ගෙම්බා' හඳුන්වාදීමය. ශ්‍රී ලංකාවේ ජීවත් වූ පරිසර හිතකාමී වෛද්‍යවරයෙකු වූ සංජීව රන්වැල්ල සිහිවීම පිණිස එම ජීවියා නම් කිරීමට හේතුවූ කරුණ මෙන්ඩිස් මෙලෙස විස්තර කළේය.

''සංජීව අයියගේ පළමු පත්වීම රත්නපුර, ගිලිමලේ රෝහල. ඒ නිසා දවසක් අපි ගිලිමලේ රක්ෂිතයේ ඇවිද යනකොට තමයි මේ අලුත් උභය ජීවියා මුලින්ම දැක්කේ. මෙම සොයා ගැනීම ලෝකයට හඳුන්වා දෙන දවස වෙනකොට සංජීව අයියා ජීවතුන් අතර නෑ. ඒ වගේම එදා ඒ ගමනට එකතු වුණු ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාසත් ජීවත් වෙලා හිටියේ නෑ,'' ඔහු ඒ වේදනාබර මතකය සිහි කරමින් කීවේය.

විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ලෝකය ජයගෙන සිටියද මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතූ සිය දරුවන් පාසල් යවන්නේ නැත. සිය දරුවන්ට සොබාදහම තුළින් ජීවිතාවබෝධය සහ නව ලෝකයේ දැනුම ලබාදෙන මේ අපූරු විද්‍යාඥ පවුල ජීවත් වන්නේ වත්තල ප්‍රදේශයේය. මෙන්ඩිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලබන සතුන් නව විශේෂ බවට තහවුරු කිරීමට අදාළ ජාන විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන්නේ බිරිඳ නෙතූ ය. ඔවුන්ට අමත සහ ගගන නමින් පුතුන් දෙදෙනෙක් හා අරංගා නමින් දියණියක් සිටිති. අවුරුදු දෙකක් වයසැති කුඩා දියණියටද සර්පයන් හුරුය. දවසේ වැඩි කාලයක් සර්පයන් හා උභය ජීවින් සමඟ ගතකරන පුතුන් දෙදෙනාද මෙන්ඩිස් සමඟ දුෂ්කර ප්‍රදේශවලට ගොස් සර්පයන් පිළිබඳ දේශන සඳහා සහභාගි වෙති. අමත සහ ගගන දරු දෙදෙනා බොහෝ විට කල්ගත කරන්නේ නිවසින් පිටතය. ඒ වටපිටාවේ හූනන්, හිකනලයන්, ගෙම්බන්, පණුවන් හෝ වෙනත් සතුන් හොයාගෙන යන නිසාය. ඒ පුංචි විද්‍යාඥයන් වටපිටාවෙන් නිවසට රැගෙන ආ සත්ත්ව විශේෂ තුනක් විද්‍යාත්මක ලෝකයට හඳුන්වා දීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

''අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ දැඩි තරගකාරී තත්ත්වයක්. ඒ තුළ ළමයි ආත්මාර්ථකාමී පැත්තටයි යන්නේ. අපේ ළමයින්වත් ඒ පැත්තට ඇදල දාල ඔවුන්ගේ නිදහස නැති කරන්න, ළමා කාලය උදුරගන්න අපිට ඕන නෑ. දරුවකු දැනුමින් සන්නද්ධ කරන්න ඕන වෙලාවක පුළුවන්. ඒත් හැකියාවන් හා ආකල්ප එහෙම දෙන්න බෑ, ඒ වගේම තමන්ගේ දරුවා ලොකු මිනිහෙක් කරන්න සමහර මවුපියෝ ගොඩාක් උත්සාහ කළාට හොඳ මිනිහෙක් කරන්න ඒ තරම් උත්සාහයක් ගන්නේ නැහැ'' ඒ නෙතූගේ අදහසයි.

මෙන්ඩිස් සහ නෙතූ සිය දරුවන්ට මඟපෙන්වන්නේ රැකියාවක් නොකර තමා කැමති ක්ෂේත්‍රය විනෝදාංශයක් කරගෙන ඉන් සමාජ මෙහෙවරක්ද සිදුකරමින් ආදායම් මාර්ගයක් සලසා ගන්නා ආකාරය පිළිබඳවය.

දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජිව් යන අයද මෙන්ඩිස් හා නෙතූගේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන්ය. එමෙන්ම ආචාර්ය චන්න බඹරදෙණිය, ආචාර්ය ඩේවිඩ් ගවර්, ආචාර්ය සමීර සමරකෝන් සහ මහාචාර්ය කමනි තෙන්නකෝන් යන පිරිසද ඇතැම් පර්යේෂණ කටයුතු සඳහා දායකත්වය සපයති.

ඔවුන්ගේ පර්යේෂණවලින් අත්වී ඇති ප්‍රතිඵල කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවෙන් නව ජීව විශේෂ ලොවට හඳුන්වා දීම නිසා ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ ගියේය. එමෙන්ම ශ්‍රීපාද අඩවියේ සිදුකළ පර්යේෂණවලදී නව ජීවින් අට දෙනෙකු හඳුන්වා දීමේ දත්ත පදනම් කරගෙන ශ්‍රීපාදයේ මාර්ග ව්‍යාපෘතියක් හා හෙලිකොප්ටර් ගොඩබස්වන ස්ථානයක් ඉදිකිරීමේ සැලැස්ම අත්හිටුවන ලදී. මුළු ලොවින්ම රත්නපුර, ගිලීමලය රක්ෂිතයේ පමණක් දක්නට ලැබෙන ''රන්වැල්ලගේ ගස් ගෙම්බා'' සොයා ගැනීමට අදාළ පර්යේෂණ දත්ත මත රත්නපුරයේ ගංවතුර පාලනයට මල්වල ප්‍රදේශයේ බැම්මක් ඉදිකිරීමේ තීරණය වෙනස් කිරීමට සමත් විය. වෙඩිතලතිව් අභය භූමියට හානිදායක ඉස්සන් කොටු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමටද ඔවුන්ගේ පර්යේෂණ ඉවහල් විය. ඊට අමතරව රක්ෂිත ප්‍රදේශ ගැසට් කිරීමට මෙන්ම ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සා තෙත් බිම්(උදාහරණ - බුන්දල, කුමන, ආනවිලුන්දාව යන රැම්සා තෙත් බිම්) ප්‍රකාශයට පත් කිරීමේදීද මෙන්ඩිස් වික්‍රමසිංහගේ පර්යේෂණ දත්ත ප්‍රයෝජනයට ගෙන තිබේ.

මාතෘකා