කලපු ධීවර කර්මාන්තය තවදුරටත් රැක ගැනීමට නම්

 ඡායාරූපය:

කලපු ධීවර කර්මාන්තය තවදුරටත් රැක ගැනීමට නම්

කඩොලාන පරිසරය බොහෝ ගොඩබිම් හා මුහුදු ජීවීන්ට තාවකාලිකව හෝ ස්ථිර වාසස්ථානයක් වන්නේය. මොලස්කාවන්, කකුළුවන්, ඉස්සන් වැනි ක්‍රෙස්ට්‍රේෂියන් විශේෂද මාළුන්ද ලවණතාවෙන් යුතු පරිසරයක හැඩගැසුණු කිඹුලන්ද මෙහි ජීවත් වේ. නැඟෙනහිර ඔස්ට්‍රේලියාවේ වාණිජ ලෙස මත්ස්‍ය කර්මාන්තයෙහි අල්ලනු ලබන මාළු ප්‍රමාණයෙන් 67%ක්ම වාසභූමි කරගෙන ඇත්තේ කඩොලාන හා මෝය පරිසරයන් බව වාර්තා වේ.

‘ඵලදායීතාව’ නමැති සංකල්පය යොදාගනු ලබන්නේ යම් වෘක්ෂලතා ප්‍රජාවක පාරිසරික වටිනාකම හෝ පාරිසරික කාර්යය විස්තර කිරීම උදෙසාය. කඩොලානවල ඵලදායීතාව ඍජුවම වෙරළ ආහාර දාමයේ කාර්යය කෙරේ තදබල බලපෑමක් ඇති කරයි. අනෙක් සෑම ශාකයක් මෙන්ම කඩොලානද ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මඟින් සූර්ය ශක්තිය පත්‍රය තුළදී කාබනික ද්‍රව්‍ය බවට හරවයි. කඩොලානවල කොළ හා අතු බිම වැටුණු විට එමඟින් මොලැස්කාවන්, කකුළුවන් හා පණු විශේෂ වැනි ජලජ ජීවීන්ට ආහාර ප්‍රභවයක් සකස් කර දෙනු ලබයි. මෙම ප්‍රාථමික මට්ටමේ පාරිභෝජකයන් කුඩා මසුන් වැනි ද්විතීය පාරිභෝජකයන් විසින් ආහාරයට ගනු ලබයි. ඔවුන් පරිණත වූ විට තෘතීයික මට්ටමේ පාරිභෝජකයන්ද වන්නේය. මෙයින් පැහැදිලි වන සත්‍යතාව නම් ඉහළ මට්ටමේ කාබනික ද්‍රව්‍ය සංචිතයක් පද්ධතිය මඟින් නිෂ්පානය කරන බැවින් එයට ඉහළ ඵලදායීතාවක් ඇති බවත් ඒ නිසාම පරිසර පද්ධතියක විශාල පරාසයක් තුළ වෙසෙන විවිධ සතුන් ප්‍රචාරණයට අවශ්‍ය පෝෂණය සපයන බවත්ය.

කඩොලාන පරිසරය බොහෝ ගොඩබිම් හා මුහුදු ජීවීන්ට තාවකාලිකව හෝ ස්ථිර වාසස්ථානයක් වන්නේය. මොලස්කාවන්, කකුළුවන්, ඉස්සන් වැනි ක්‍රෙස්ට්‍රේෂියන් විශේෂද මාළුන්ද ලවණතාවෙන් යුතු පරිසරයක හැඩගැසුණු කිඹුලන්ද මෙහි ජීවත් වේ. නැඟෙනහිර ඔස්ට්‍රේලියාවේ වාණිජ ලෙස මත්ස්‍ය කර්මාන්තයෙහි අල්ලනු ලබන මාළු ප්‍රමාණයෙන් 67%ක්ම වාසභූමි කරගෙන ඇත්තේ කඩොලාන හා මෝය පරිසරයන් බව වාර්තා වේ.

බොහොමයක් මිනිස්සු සිය විනෝදාස්වාදය සඳහා කඩොලාන පරිසරයට ඇදෙති. පක්ෂීන් නරඹන්නෝ මේ අතරින් ප්‍රධාන වෙති. මොවුන් සමහරක් පර්යටනය වන පක්ෂීන් වේ. මේ හැරුණු විට කටුසු වර්ග, කකුළුවන්, මත්ස්‍යයන් වැනි සත්ත්ව ගහණ එක්ව ජීවත් වීම විශේෂ ලක්ෂණයකි. සුළු ධීවරයන් විසින් සිදු කරනු ලබන කලපු මසුන් ඇල්ලීම මෙම පරිසර පද්ධතිය හා බැඳේ. මේ හැරුණු විට එක් අතකින් සිදුවන පාංශු ඛාදනයත් මුහුදු රළ නිසා ඇති වන ඛාදනයත් යන දෙකෙන්ම පරිසර පද්ධතිය ආරක්ෂා කරන ස්වාරක්ෂක තීරුවක් ලෙසද කඩොලාන ප්‍රජාව ක්‍රියා කරයි.

අවාසනාවකට මේ වන විට කඩොලාන පද්ධතිය විශාල තර්ජනයකට ලක්ව ඇත. මෙයින් ප්‍රධාන වන්නේ ඉස්සන් වගාවයි. විදේශ විනිමය ඉපැයීමේ පරමාර්ථයෙන් සිදු කරන අපනයනය මූලික වාණිජ ඉස්සන් වගාව මෙම පරිසර පද්ධතියේ පැවැත්මට හානිකරය. පාරිභෝගිකයන්ගේ ඇති අධික ඉල්ලුම නිසා මෙම ඉස්සන් වගාව කලෙක ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය. මෙම බලපෑම තීව්‍ර වූයේ වයඹ දිග වෙරළ තීරයේය. ඉස්සන් වගාව කෙටිකාලීන වන නමුත් සිදු වූ පාරිසරික හානිය හා සමාජයීය වශයෙන් සිදු වූ අවුල්සහගත තත්ත්වය ප්‍රතිවර්තිත කළ නොහැකි තරමට දීර්ඝකාලීනය. ක්ෂණික ලාභයෙන් පොහොසත් වූයේ ඉතා සුළු පිරිසකි. මේ නිසා කාලයක් තිස්සේ සම්පතින් පොහොසත් වෙරළ පරිසර පද්ධතියක් මේ වන විට අහිමි වී ඇති අතර අතිශයින් අපවිත්‍රද වී තිබේ. වාර්තා වන අන්දමට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් බහුලව පැතිරීගිය හා දුලබ විශේෂවලින් පොහොසත් වූ හෙක්ටයාර 300ක කඩොලාන බිම් කඩක් ඉස්සන් වගාවට පරිවර්තනය කෙරුණි. 1994 වන විට ඉස්සන් වගා කළ මෙම බිම් ප්‍රදේශයේ කලපු ධීවරයන් 28,000ක් මසුන් ඇල්ලීමේ නිරත වී ඇතැයි කියැවේ.

වාණිජ ඉස්සන් කර්මාන්තය නිසා ධීවරයන් 2/3කගේ ජීවනෝපාය අහිමි විය. මේ නිසා ඔවුහු ජීවත් වීමට යමක් ඉපැයීම සඳහා ආසන්න නගරවලට සංක්‍රමණය වූහ. මුන්දලම කලපු ධීවරයන් ප්‍රකාශ කරන්නේ 1997ට පෙර එනම් ඉස්සන් ගොවිපොළවල් ඇතිවීමට පෙරාතුව ඔවුන් විසින් කිලෝග්‍රෑම් 6කට අධික මත්ස්‍ය ප්‍රමාණයක් අල්ලාගත් නමුත් මෙයින් පසුව කිලෝග්‍රෑම් 1.5ක් තරම් අඩු වූ බවයි. ඉස්සන්ට යොදන වස ද්‍රව්‍ය කලපු ජලයට එකතු වීම හේතුව ලෙස ධීවරයෝ කරුණු දක්වති.

ශ්‍රී ලංකාවේ වෙරළාසන්න තීරයේ කලපුවල කඩොලාන බිම්කඩ මානව ජනාවාසවලින් ආක්‍රමණය කරගෙන තිබේ. ඒ ස්ථිර හෝ තාවකාලික ධීවර ගම්මානය. මෙම ධීවරයන් සංක්‍රමණිකයන්ද විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කඩොලාන පරිසර පද්ධතිය දූෂණය විය. අපිරිසුදු අපද්‍රව්‍ය මෙම පරිසරයට මුදා හැරිණි. මේ හැරුණු විට වෙරළාසන්නව වෙසෙන පිරිසක්ද මෙම බිම්වල අනවසරව පදිංචි වී සිටිති. සමාජයීය හා ආර්ථික ප්‍රශ්නවලට මෙම ප්‍රජාව භාජන විය හැකි යැයි සිතන නිසා ඔවුන් මෙම කඩොලාන බිම්වලින් ඉවත් කිරීමට මැළිකමක් දක්වයි. කෘෂිකර්ම කටයුතු, නාගරීකරණය, ලුණු ලේවා ඇති කිරීම වැනි ක්‍රියාකාරකම්ද මේ කඩොලාන බිම් ආශ්‍රිතව සිදු වේ. මෙවන් පරිසර පද්ධති සංරක්‍ෂණය විය යුතු යැයි බොහෝ බලධාරීන් තේරුම් ගෙන නැත.

විනාශ වෙමින් පවතින කඩොලාන පරිසර පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි ක්‍රම කිහිපයක් ඇත. ප්‍රජා මූලික ප්‍රතිස්ථාපන වැඩසටහන් ඒ අතරින් ජනප්‍රිය වූවකි. කඩොලානවල ප්‍රයෝජන හා සිදුවන සේවාව හොඳින්ම තේරුම් ගෙන ඇත්තේ මෙයින් යැපෙන ධීවර ජනතාවය. මේ නිසා මෙවන් ප්‍රතිස්ථාපන වැඩසටහනකදී මෙම ප්‍රජාවගේ හැකියා හා ඒ සම්බන්ධව ඇති ඥානය දායක කරගත හැක. මෙහිදී කාන්තා නියෝජනය මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව හා වෙරළ සංරක්ෂණ අධිකාරියේ දායකත්වයද ලබාගෙන ඔවුන් හා කිට්ටුවෙන් වැඩ කළ හැකිය.

පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය පිළිබඳව සිදු කළ යුතු හැකියා වර්ධනය මූලික අවශ්‍යතාවකි. කලපුව ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව හා කඩොලාන පරිසර පද්ධතිය සමඟ ඇති සම්බන්ධතාව එමෙන්ම ඔවුන්ගේ ජීවනෝපාය මුළුමනින්ම මේ මතම රැඳෙන බව යන කරුණු ඉස්මතු කිරීම තුළින් කඩොලාන වන වගා කටයුතු සාර්ථක කරගත හැකි වනු ඇත. මෙම ක්‍රියාකාරකමට සම්බන්ධ වන ධීවර ප්‍රජාවට හා ඔවුන්ගේ පවුල්වලට ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් අනෙකුත් ධීවර ප්‍රජාවට ලබා දීමට මෙය කදිම අවස්ථාවක්ද වන්නේය.

කඩොලාන හෝ එම පරිසර පද්ධති ප්‍රතිස්ථාපනයේදී කාන්තා සහභාගිත්වය මඟින් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන් බල ගැන්වීම කළ යුතු වේ. විශේෂයෙන් කලපු ආශ්‍රිත ගෙවතු සංවර්ධනය සඳහා කාන්තා දායකත්වය වැදගත් වන්නේය. කෙසේ වෙතත් වැලි සහිත බිම්කඩක කෘෂිකර්මය කළ හැකි ක්‍රම කාබනික සංචිතය වැඩි කිරීම, සෙවණ කළමනාකරණය, වසුන් භාවිතාව වැනි සූක්ෂ්ම පාරිසරික ගොවිතැන් තාක්ෂණ ප්‍රායෝගිකව යොදාගෙන එම බිම් ප්‍රයෝජනයට ගත හැකි බවට අත්දැකීම් තිබේ.

ප්‍රදේශයේ පාසල් සිසුන් මෙම පරිසර පද්ධති ප්‍රතිස්ථාපනයේදී සම්බන්ධ කරගැනීමෙන් මෙවන් පද්ධතියකට හානි නොවීම පිළිබඳව උනන්දු කළ හැකිය. ක්ෂේත්‍ර කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීම හා ඔවුන් අතර විෂය බද්ධ චිත්‍ර හෝ කථික තරග පැවැත්වීම මඟින් අනාගත සංරක්ෂණ කටයුතු සමඟ මෙම පිරිසගේ දායකත්වයද ගම්මුන්ට ලබාගත හැකි වනු ඇත.

මෙවන් විශේෂිත පරිසරයක කඩොලාන ප්‍රතිස්ථාපන කටයුතු සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව පෙන්වා දී ඇත. වගා කළ යුතු විශේෂ සඳහා අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම එනම් ජල මාර්ග පාදා ගැනීම, ජල චක්‍ර පිළිබඳ අවබෝධය වැනි කරුණු වැදගත් වේ. තවද පුත්තලම දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශ අනාගතයේදී මුහුදු මට්ටම ඉහළ යෑම වැනි සංසිද්ධිවලට මුහුණ දිය හැකිය. මුහුදු ජලයේ ලවණතාව අභ්‍යන්තරයට ගලා ඒම නිසා කලපුවල ලුණු ගතිය වැඩි වීමට හා රළ පහර නිසා එම බිම් ඛාදනයට ලක් වීම වැනි නිශේධනාත්මක ප්‍රතිඵල වැඩිවනු ඇත. මීළඟ දශක දෙක තුළ මුහුදු මට්ටම අංශක 16කින් ඉහළ යා හැකි යැයි විශ්වාස කෙරේ. මෙසේ වුවහොත් එම තත්ත්වයන්ට ප්‍රතිරෝධ වීමට කඩොලාන ප්‍රජාවට ඇති ඉඩකඩ ඉතා සීමිතය.

ආචාර්ය [ලයනල් වීරකෝන්]

මාතෘකා